Menu Close

කරදිපුවල් මල්විල මල විලක් වීමට පෙර..

පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව, මංගලපුර, කරදිපුවල් යන ප්‍රදේශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ නිතර නම් ඇසෙන ප්‍රදේශ බවට පත්වී ඇත. ඒ මන්දැයි හීනමාන රෝගීන් පිරිසක් වන තමුන්ට නව පරපුර යැයි කියාගන්නා අවජාතක පරපුරු වල, එසේ නොමැති නම් පුරවැසි පෙරමුණේ යැයි කියාගන්නා කුරවැසි පෙරමුණු වල හෝ ඩොලර්  සමාජයක් සඳහා වූ පජාත ව්‍යාපාර වල හරක් විජේසූරිය ලාගේ සාමාජිකයන්, අනුගාමිකයන් හෝ උන්ගේ ලණු ගිලපු හරක් පැටවුන් නොවන ජාතියක්, ජම්මයක් සහිත ශ්‍රි ලාංකිකයනට රහසක් නොවේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කල ජාතිවාදී තිරිසනුන් පසු පස හඹා ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට මුස්ලිම් අන්තවාදීන්ගේ පුහුණු කඳවුරක්  සහ අවි ගබඩාවක් සොයාගැනීමට හැකි වූවේ එම ප්‍රදේශයෙන්ය.

එහි සිටි හාල්මැස්සන් කිහිප දෙනෙකු හසුවුවත් ප්‍රබල තෝරුන්, මෝරුන් තවමත් සැපසේ සිටින බව පැවසේ. බස්නාහිර පළාතේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නමද කියැවෙන මුත්  >>Link ජාතිවාදීන්ට කප්පම් දෙන පාලකයන් ඔහුගේ ආරක්ෂාව මැනවින් සලසාදෙනු ඇත. රටක බුද්ධි අංශ හිරේ විලංගුවේ දමා සිව් වසරකට ආසන්න ජඩපාලනය මෙරටට අත්කර දී ඇති ජයග්‍රහන එවැනිය >>Link.
අද අන්තවාදීන්ගේ කෙළිබිම් බවට පත්වී ඇති මෙම ප්‍රදේශ පවා ඉපැරණි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය ව්‍යාප්තවූ පුණ්‍යභූමි බවට අදටත් එම ප්‍රදේශ වල අතරින් පතර ශේෂ වී ඇති පැරණි නටබුන් ස්ථාන දෙස් දෙයි. ඉහත සඳහන් කරදිපුවල් නම් ප්‍රදේශයේම මල්විල නමින් වර්තමානයේ හැඳින්වෙන ස්ථානයක විස්තර ඉදිරිපත්කිරීම මෙම ලිපියේ අරමුණයි.
නටබුන් ස්තූපය

පුත්තලම්-පොම්පරිප්පු මාර්ගයෙන් සැතපුම් කිහිපයක් නැගෙනහිර දෙසට ගිය විට වනාන්තරය තුල වූ නටබුන් ස්ථානයක් පරික්ෂා කර බලන ලෙසට ආණ්ඩුවේ ඒජන්ත වරයා විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් සිදුකල මූලික ගවේෂණයක තොරතුරු 1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ පාලන වාර්තාවේ මෙම ස්ථානයට අදාලව ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ ඒජන්තවරයාගේ එම ඉල්ලීමට හේතු වූවේ බෞද්ධ විහාර සංවර්ධන සමිතිය මගින් එම ස්ථානයේ විහාරයක් ඉදිකිරීමට අවසර ඉල්ලා තිබීමය. කෙසේ නමුත් එයට පෙරද 1972 වර්ෂයේ ප්‍රකාශිත “පැරණි ස්ථාන නාමාවලියේ” නිදන් හොරුන් විසින් බිඳින ලද දාගැබක නටබුන් සහ ඒ අවට ගල්කුළුණු සහිත ගොඩනැගිලි වල අවශේෂ කරඩිපුවල් නමින් හැඳින්වූ ස්ථානයක හමුවන බවට තොරතුරු ඉදිරිපත් කර ඇත.

නටබුන් ගොඩනැගිල්ලක්

එම ස්ථානයේ පිහිටි ස්තූපයේ උස අඩි 35 පමණ වන අතර එහි මුදුනේ අඩි 13 පමණ දිග, වට ප්‍රමාණය අඩි 4 පමණ වූ යූප ස්ථම්භයක්ද තිබූ බව 1979 ගවේෂණය සිදුකල නිළධාරින් වාර්තා කර ඇත. දාගැබේ වට ප්‍රමාණය අඩි 300 පමණ වේ. ස්තූපයට බටහිර දෙසට වන්නට පිහිටි නටබුන් ගොඩනැගිල්ල බිම පෙරලී නොතිබූ අඩි 9 පමණ උස ගල් කණු 35 කින් සමන්විත වී තිබූ අතර බුදු පිළිමයක පාදමක් හමුවූ බැවින් ඔවුන් එය පිළිම ගෙයක් ලෙසින් හඳුනාගෙන ඇත. ස්තූපය ආසන්නයේම වූ තවත් නටබුන් ගොඩනැගිල්ලක ඔවුනට හිඳි පිළිමයක යට කොටසක්ද හමුවී ඇත. මේ අනුව පැහැදිලිවම මෙම ස්ථානය පැරණි බෞද්ධ විහාරයක නටබුන් ලෙස හඳුනාගත හැකි බැවින් පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශ කරන ලෙසට එම නිළධාරින් විසින් යෝජනා කර ඇත. සිදුවිය යුතු ලෙසින්ම බෞද්ධ විහාර සංවර්ධන සමිතියේ ඉල්ලීම ඉටුවී නොමැති බව අදටද වනාන්තරයෙන් යටවූ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙසට එය පැවත ඒමෙන් පැහැදිලි වේ.

විනාශ වූ කොරවක් ගලක්

කෙසේ නමුත් 80 දශකයෙන් පසු කාලයේ මෙම පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට සීමා වන කුඩා ප්‍රදේශය හැර එය අවට ප්‍රදේශය විශේෂයෙන්ම  පුත්තලම් -පොම්පරිප්පු මාර්ගය දක්වා බටහිර දෙසට වූ ප්‍රදේශයේ වනාන්තරය එළිවී එම භූමිය ජනපද සහ පොල් ආදී වගා බිම් බවට පරිවර්තනය වී ඇත. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිළධාරින්ගේ ප්‍රමාණවත් රැකවරනයක් මෙම ස්ථානයට මේ වන විට ලැබෙන මුත් අන්තවාදී ක්‍රියා වැඩිවෙමින් පවතින වටපිටාවක විදිමත් කැනීමක් සිදු කර ඉක්මන් සංරක්ෂණයක් සිදුවන්නේ නම් මතු පරපුර උදෙසා මෙවැනි ස්ථාන රැකගනීමට එය ඉවහල් වනු ඇත. මෙම දාගැබේ ඡායාරූපයක්ද සහිතව මේ දිනවල සමාජ ජාලා වල සංසරනය වන පණිවිඩයක දැකගැනීමට හැකි වූවේ දුරකථන අංකයක්ද සමග මෙම ඉපැරණි ස්ථූපය ප්‍රතිසංස්කරණය සඳහා දායක වීමට කැමැති නම් අමතන ලෙසය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව සිදුවන්නක්ද යන්න අපැහැදිලි මුත් යම් ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නම් සිදු විය යුතු නිසි ක්‍රමවේදය නම් රටේ නීතියට අනුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීමක් ඇතිව එය සිදු කිරීමයි.

නටබුන් ගොඩනැගිල්ලක්

ඉපැරණි බෞද්ධ පුද බිම් අසල එම පැරණි ස්මාරක වල පෞරාණික බව රැකගනිමින් ඒවාට හානි නොකරමින් ඉදිවන නූතන විහාරස්ථාන ඒවාට ආරක්ෂාවක් වන බව සැබෑමුත් අවිදිමත් ලෙස මනා පාලනයකින් තොරව ඒවා ඉදිවුවහොත් පැරණි සිංහල බෞද්ධ සභ්‍යත්වය අනාගත පරපුරට කියාපෑමට රැකගත යුතු එවන් ස්ථාන සදහටම වැනසී යාමටද ඉඩ ඇති බව අප අවබෝධ කරගත යුතුය. අන්‍යාගමික අන්තවාදීන්ගෙන් සහ පැරණි විහාර භූමි වල නිදන් ඇතැයි සිතා ඒවා වනසා දමන අමනයන්ගෙන් මෙවැනි ස්ථාන ආරක්ෂා කරගත යුතු වනවා මෙන්ම අනවශ්‍ය ආකාරයේ ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීම්ද සිදු නොවිය යුතුය. දැනටද මෙම ස්ථානය ප්‍රදේශ වාසීන් අතර ප්‍රචලිත වී ඇත්තේ සාලිය කුමරුගේ මාලිගය පිහිටි ස්ථානය ලෙසින්ය. එම නොදැනුවත් කමද ධන ලෝභී පාදඩයන්ගේ දෑත් මෙවැනි ස්ථාන විනාශ කිරීම කෙරෙහි යොමුවීමට හේතු වේ. මාළිගා වල කෙසේ වෙතත් විහාරාරාම වල නිදන් නොමැති බව ඔවුන් වටහා ගන්නේ සිදුවිය නොයුතු විනාශය සිදු කිරීමෙන් අනතුරුව වන බැවිනි.


මූලාශ්‍ර

  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Administration Report of the Director-General of Archaeology for the Year 1979, de Silva R.H. & Karumaratne W.S.

%d bloggers like this: