Menu Close

ඒ අහිතකර කාලය..

“let’s not talk anymore again and part our ways separately”

අහිතකර කාලයන් තරණයට
ගසක් සතු හැකියාව ගැන
විසල් සටහන් කියවන,
මේ ක්ෂුද්‍ර යුද්ධමය කාලයක්
විභාගය පෙනිපෙනී
නිදා නොගෙනම ඇස් රතු වුණ..

පාළුව තනිකම සහ බඩගින්න
ආදරේ පෙරළාගෙන විත්
ඉදිරි පෙළ අසුන් වල සිටින,
මෝසම් සුලඟ තදයි
වැසි වැටෙයි, හීතලයි,
ඔබ ගැන මතකයන්
ඉටිපන්දම් එළියක්ව දැවෙයි..

ආදරේ අමාරුම සමීකරණ
විසඳාගන්න අපි නොදන්න,
තටු හයිය නැති මාව
මේ දූපතේ තනිකර
ඔබ ඉගිල ගිය එක ගැන
දුක් වෙන්න කොයිතරම් නම්
පරක්කුද..

සටහන් අතර ඉඳහිට
ලංකාවේ හැඩයට
කඳුළු පැල්ලම් හමුවෙන,
මලක කොටස් නම් කරමින්
ඔබ එවූ පැරණි පණිවිඩ
නැවතත් කියවන,
ආදරේ කොයිතරම් දුකද
ඔබව මොහොතකට
දකින්නටවත් නැතිවෙන තරමට

ඔබ ඔබේ මාවතේ
ශීත කබායක් හා
හිස් වැසුම් දාගෙන
සුදු හිම අතර ඇවිදින,
නැවත ආපසු එන්නට
තියෙන මඟලකුණු මඟහැර
අලුත් මං සොයසොයා වෙහෙසෙන

මම
පොත් කන්දක් බදාගෙන
ඔබ එවූ අවසාන පණිවිඩය
නැවත නැවතත් කියවන,
ඔබ වෙන්ව ගිය තැන
අතරමං වී ලතවෙන..

%d bloggers like this: