Menu Close

සතුටෙන්ම හිටපු මිනිසා

ආදම් හිටියේ තනියම. අම්මා තාත්තා කවුද කියන්ඩ ආදම් දැනං හිටියේ නෑ. ඒ ගැන අහන්ඩ කවුරුත් හිටියෙත් නෑ. ආදම්ගේ උප්පැන්න සහතිකේ ඉස්කෝලෙට දාන වෙලාවෙවත් ඕනේ උනේ නැත්තේ ආදම් ඉස්කෝලෙ ගියේ නැති හින්දා. කොටිම්ම ආදම්ට ළමා කාලයක් තිබ්බේ නෑ. එහෙමයි කියලා කවුරුත් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කළේ නෑ. ආදම්ට ඒක ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.

උන්දෑ උදේ හිතිච්ච වෙලාවට නැගිට්ටා. එලාර්ම් ඔරලෝසුවක් ගන්ඩ ඕනෙ උනත් ආදම් ඒක ගැන එච්චර උනන්දු උනේ නෑ. ෆෝන් එකක් ගත්තනං ඒකෙම එලාර්ම් එක තියන්ඩත් තිබ්බා කියලත් වෙලාවකට ආදම්ට හිතුනා.ඒත් ෆෝන් එකක් අරගෙන කාට කෝල් කරන්ඩද? ආදම් කාගෙවත් ෆෝන් නම්බර් එකක් දැනං හිටියේ නෑනේ.

උදේට නැගිටලා දත් මැද්දේ නැමි දෙකේ මිට සහිත කුරුඳු කෝට්ටෙං. උදේ කෑම රජෙක් වගේ කන්න කියලා කියන්න ක්වුරුත් හිටියේ නැති හින්දා ඔය අහුවෙච්ච දෙයක් කාලා කක්කි දාන්ඩ හිතිච්ච තැනක වාඩි උනා.සුද්දෝ වගේ පස්ස පිහදානවද නැත්තං ආසියාවේ උං වගේ වතුර දාලා හෝදනවද කියලා නියමයක් ආදම්ට තිබ්බේ නෑ. හිතිච්ච දවසට හේදුවා. හිතිච්ච දවසට පිහ දැම්මා. එකම දේ උනේ කලිං දවසේ කක්කි දාපු පැත්තට අනිත් දවසේ නොගිහිං ඉන්න කල්පනාවෙං ඉන්ඩ උන එක විතරයි. උදේ පාන්දරම කක්කි බෙට්ටක් පාග ගන්න එක විතරක් නෙමෙයි ඒක දාපු එකත් තමංම උනාම කාට කියලා බණින්නද? .

කොටිම්ම කිව්වොත් ආදම් සන්තෝසෙං හිටියා. දවස පුරාම රස්තියාදු ගහලා හිතිච්ච තැනක නිදාගත්තා. “තමුසේ දැම්ම එන්නැද්ද?” කියලා කෝල් දෙන්න කවුරුත් හිටියේ නෑ.

වෙන විදිහකට කිව්වොත් ආදම්ට ප්‍රශ්න තිබ්බෙත් නෑ. රුපියල පාවෙන එක, තේවර්ප්පෙරුම ෆොන්සේකා රෙදි ගලවා ගැනිල්ල වගේ දේවල් විතරක් නෙමෙයි වසන්ත සේනානායක දැං ඇත්තටම කොයි පක්ශෙද වගේ අපිට තියෙන ප්‍රශ්න මොකුත් ආදම්ට තිබ්බේ නෑ. රෑ උනාම වට පිටාව පේන්නැති උනාම වැටිච්ච තැනක නිදා ගත්තා. වැස්ස දවසක් නං තෙමෙන්නැති තැනක් හොයා ගන්ඩ ඕනේ. එච්චරයි.

තව පොඩ්ඩෙං අමතක වෙනවා, ආදම්ට රෙදි තිබ්බෙත් නෑනේ අඳින්න.ඒ ගැන අවුලක් තිබ්බෙත් නෑ. මොකෝ ආදම්ගෙ හෙළුව බලලා හූ කියන්ඩ වගේම සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියලා පොර ටෝක් දෙන්න කවුරුවත් හිටියෙත් නෑ. ප්‍රසිද්ධ ස්ථානෙක ඩෙනිම් කලිසමක් ඇඳං ඉද්දි වෘෂණ කෝෂේ යට පැත්තේ කැසිල්ලක් ආවම ඇති වෙන අපහසුවට ආදම් කවදාවත් මුහුණ දුන්නේ නෑ. ඉස්සුවා කැසුවා. සන්තෝසෙන් පහසුවෙන් හිටියා.

ආදම් මෙහෙම තෘප්තිමත් ජීවිතයක් ගෙනියන එක දෙයියන්ට එච්චර ඇල්ලුවේ නෑ. කිසි හැපනිං එකක් නෑ. ඌ ඔහේ ෆන් එකේ ඉන්නවා. චිත්‍රපටියක උනත් ෆයිට් එකක් දෙකක් නැත්තං කිසි රහක් නෑ. දෙයියෝ හිතුවා ආදම්ගේ ආතල් එක කඩන්න.

පහුවදා උදේ ආදම් ඇහැරුනේ ගොරවන සද්දෙකට. සමහර සීතල දවස්වලට සිංහයා ඇවිල්ලා ආදම්ට හේත්තුවක් දාලා නිදාගන්නවා. ඒ නිසා ආදම් හිතුවේ අදත් සිංහයා හේත්තුවක් දාගෙන නිදි කියලා. ඒ උනාට ඌ කවදාවත් ආදම්ගෙ ඇඟ උඩිං කකුල දාන්නේ නෑ. ඒ විතරක් යෑ ආදම් සීතලට පොරවගෙන හිටපු කොළ අතු ටිකත් කවුරු හරි අරගෙන.

ආදම් නිදිමතේම අනිත් පැත්තට හැරෙන්න හැදුවා. බුදු අම්මෝ කියලා කෑගැහෙන්ඩ ගිය එක ආදම් නවත්තගත්තේ අමාරුවෙං. පපුවේ යට හරියට වෙන්ඩ දරුණු වේදනාවක් ආවා.හෙමිහිට අල්ලලා බලද්දි මෙන්න බොලේ මැහුම් පාරක් තියෙනවා. යකෝ කවුරු හරි වකුගඩුවකට වැඩක් දීලද දන්නෑ කියලා ආදම්ට හිතුනා. හිතට පොඩි සහනයක් ආවෙ මේක ඉන්දියාව නෙමෙයි කියලා මතක් උනාම.

අමාරුවෙන් පැත්තට හැරිච්ච ආදම් දැක්කෙ පුදුම සතෙක්ව. ආදම් පොරවගෙන හිටපු කොළ අතු ටිකත් පොරවගෙන ලතාවකට ගොරව ගොරව නිදියන මේ අරුම පුදුම සතා මොකාද කියලා ආදම්ට හිතාගන්න බැරි උනා. පාරාදීසේ ටික කාලයක් ඉන්න කොට එක එකා එක්ක වලි දාගෙන තොපිත් එක්ක ඉන්ඩැ බෑ මං යනවා මුහුදෙ පනින්න කියලා ගිය ඩොල්ෆින් හරි තල්මහෙක් හරි වෙන්ඩ බැරිද? ඒ උනාට උංට දිග කොණ්ඩයක් තිබ්බේ නෑනේ. ආදම් කවදාවත් තමංව කණ්ණාඩියකිං දැකලා තිබ්බේ නෑ. ඒක නිසා මේ අරුම සතා මොන ජාතියේ එකෙක්ද කියලා එක පාරට අඳුන ගන්න බැරි උනා.

ටික ටික වටේ පිටේ අනික් සත්තුත් මේ අමුතු සතා බලන්න වට උනා. අයිස්ක්‍රීම් කාරයෝ, අන්නාසි වෙළෙන්දෝ, කඩල වෙළෙන්දෝ නරඹන්නන් අතරේ රිංගලා බිස්නස් එකක් කරගත්තා. මේ සද්ද බද්ද මැද්දෙත් අමුතු සතා නිදාගෙනම හිටියා.


ඉතුරු කොටස ආයෙ වෙලාවක් හම්බ උනාම ලියන්නං….

%d bloggers like this: