Menu Close

283. සඳ ආදරයෙන් අහස පුරා… රටා මවනවා…

“සෑහෙන කාලෙකින්නෙ!”


එක්වරම ඇසුණේ ඈ කිසිසේත් අසන්නට බලාපොරොත්තු නොවූ හඬකි. දශක ගණනාවකින් පමණ අසන්නට නොලැබුණු කටහඬකි. සැබැවින්ම එතරම්ම කාලයක් නොවූවද ගෙවුණු කාලය දශක ගණනාවක් ලෙසින් දැනෙන තරමට එම කාලයේදී ඇය මහත් වූ සාංකාවකින් පීඩා වින්දාය. විස්මයෙන් දැනවූ කම්පනය හේතුවෙන් මොහොතක් එලෙසම සිටි ඇය සිය දෑතට මැදිව තිබූ වීදුරුව වෙතින් දෙනෙත් මුදවාගෙන සෙමින් හිස හරවා බැලුවාය. ඈ අසළින්ම උස් මේසය මතට බර දී හිටගෙන සිටි ඔහුගේ මුහුණේ වූ මඳ සිනහව වඩාත් පුළුල් විය.


“ඔය තරං බය වෙන්න දෙයක් මං කිව්වෙ නෑනේ?” ඔහු යළිත් කතා කළේය.


දෙවරක් ඇසිපිය සැලූ ඇය හිස අනෙක් පසට හරවා එළිමහන් භූමිය සිසාරා දෙනෙත් යැවුවාය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්නන්ගේ වර්ෂ අවසාන ප්‍රිය සම්භාෂණයක් වූ එය මධු සාදයකින් හා රාත්‍රී භෝජන සංග්‍රහයකින් සමන්විත විය. ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටි ව්‍යාපාර ජාලයක හිමිකරුවන් විසින් සංවිධානය කර තිබූ එයට සහභාගි වූවන්ගෙන් මධු සාදය පැවැත්වුණු එළිමහන් භූමියද, ඉන් ඔබ්බෙහි තැන තැන එළිමහන් කූඩාරම් සෙවණේ වූ සම්භාෂණ මේසද පිරී ගොස් තිබුණි. මොහොතකට පෙර ඈ හා පිළිසඳරේ යෙදී සිටි විනෝදබර වයෝවෘද්ධ යුවළ ඉන් එක් කූඩාරමක් වෙත ඇවිද යන අන්දමත්, ඔවුන් හැරෙන්නට මෙහි සිටි ඈ දන්නා හඳුනන අනෙක් එකම තැනැත්තිය වූ නයෝමි, කඩවසම් තරුණයෙකු හා කතාවට වැටී ඇති අන්දමත් නිරීක්ෂණය කරන අතරේ ඇය යළිත් තමා අසළ සිටි තැනැත්තා දෙස බැලුවාය.


“හිතුවෙ නෑ නේද මේ විදිහට හම්බවෙයි කියලා?” ඔහු මඳ සිනහවෙන් යුතුවම ඇසුවේය.


ඇයට තම දෑස් කෙවෙනි බර වන්නට පටන්ගන්නා බවක් දැනුණි. ඇයට එක්වරම ඔහුගේ ගෙල වැළඳගෙන පපුවේ හිස හොවාගන්නට සිතුණි. නමුත් ඒ හා සමගම එතෙක් ඇගේ සිත තුළ යටපත් වී තිබූ කෝප ගින්නක උණුසුම් අඟුරු වසාගෙන සිටි සාංකාවේ අළු දුහුවිලි විසිරෙමින් ගිනි පුපුරු ඇවිලෙන්නට තතනනා බවක් ඇයට දැනෙන්නට විය. වරදකරු ඔහුය. ඈ තනිකර දමා ගියේ ඔහුය. නමුත් ඈ හඬන්නට සූදානම් වන අතරේ ඔහු හිනැහෙමින් සිටියි. ඈ තුරුළු කරගෙන සනසන්නට ඔහුගේ කිසිදු සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඇය දෙතොල් විකාගෙන, දෝරේ ගලා යන්නට තරමේ තෙරපුමකින් හදවතින් නැගී එන කඳුළු ගංගාව ආයාසයෙන් නවත්වා ගත්තාය. ඇය දෙවැනි විය යුතු නැත. ඔහුට තුරුළු වන්නට කල්පනා කරමින් සිටි බොළඳ සියුමැලිය පසෙකට තල්ලු කර දමා තවත් මොහොතකින් ඇගේ අභිමානය යළි හිස ඔසවාගනු ඇත. එතෙක්, සිරව තිබූ උගුරෙන් කිසිවක් පවසාගත නොහැකි වූ නිසා ඇය නිහඬව ම මේසය මත තිබූ සිය පළතුරු යුෂ වීදුරුව අතට ගෙන එය සෙමින් තොළ ගාන්නට පටන්ගත්තාය.


මොහොතක් නිහඬවම ඈ දෙස බලා සිටි ඔහු, ඔවුන් අසළින් විවිධ පාන වර්ග සංග්‍රහ කරමින් ඇවිද ගිය සේවකයෙකු වෙතින් පානයක් අතට ගන්නා අන්දම ඇගේ නෙත් කොණට හසු විය. මේසය මත තැබූ වීදුරුව දෙස යටැසින් බැලූ ඇගේ මුවගට සමච්චල් සිනහවක් එක් විය. මධු පැන් සාදයකදී ඔහු අතට ගෙන ඇත්තේ සිසිල් පානයකි! ඇයද පානය කරමින් සිටියේ පළතුරු යුෂ වීදුරුවක් බව සැබෑ වුවද, ඒ ඈ එතෙක් කිසිදා මධ්‍යසාර පානය කර නොමැති නිසාත්, හිතවතුන්ට වඩා නන්නාඳුනන්නන් බහුල උත්සවයකට තනිවම සහභාගි වද්දී එය පෙර සිදු නොකළ වික්‍රම අත් හදා බලන්නට සුදුසු අවස්ථාවක් නොවන නිසාත් ය. නමුත් ඔහු! ඔහුට උවමනානම් කෙළින් සිටගන්නට බැරි වන තරමට මධුවිත රස බලන්නට හපනෙකු බව ඇය හොඳින්ම දැන සිටියාය. මේ නම් සැබෑ වෙනසකි! නමුත් ඈ කිසිවක් නොකියා, ඔහු දෙසවත් නොබලා එක හුස්මට සිය පානයේ ඉතිරිය හිස් කර දැමුවාය. ඈ සූදානම් වූයේ ඔහු මග හැර සම්භාෂණ ආසන වෙත යාමටය. ඔහු හා කතාබස් කරන්නට ඇයට කිසිදු උවමනාවක් නැත. ඔහු හා කතා කරන්නට කිසිවක් ඇත්තේද නැත.


“ලස්සන වෙඩිං රිං එක!”


මේසය වෙතින් ඉවතට තැබූ පියවර යළි ආපසු ගත් ඇය හිස ඔසවා අභියෝගාත්මක දෑසින් ඔහු දෙස බැලුවාය. එම සුන්දර සිනහව හමුවේ දුම් දමනා ගිනි පුපුරු නොනිවී තබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනා අතරේ ඇය ඔහුගේ සුරත වෙත නෙතු යොමු කළාය. ගිනි පුපුරුවලින් නැගි දුම් ඇගේ හිස් මුදුනින් පිට වන්නට විය. එහි ගිනියම ඇගේ දෙකනින් පිට වන්නට විය. ඇගේ නාසයද රත් පැහැති ගිනි අඟුරක් බවට පරිවර්තනය විය. මහා ගිනි ජාලාවක් ඇරඹින. “තමුනුත් බොහොම සන්තෝසෙන් කාලෙ ගෙවන බව පේනවා!” ඇය පළමු වරට කටහඬ අවදි කරවාගෙන තවත් එතන නොඉඳ පිටව ගියාය.


ඔහුද ඈ පසුපස ඇවිද එන හඬ ඇයට ඇසුණද, මොහොතකින්ම ඔහුගේ හඹා ඒමට බාධා කරමින් “හෙලෝ! මිස්ටර් අරවින්ද!” ලෙසින් ගජ මිතුරු ලීලාවකින් අමතමින් කවුරුන්දෝ ඔහු නවතාගන්නා හඬද ඇයට ඇසුණි. සැනසුම් සුසුමක් සමගින් ගමන් වේගය අඩු කළ ඇය කූඩාරමක් අභියස හිඳ මඳක් වටපිට බැලීමට ඉසිඹුවක් ලබාගත්තාය. මධුවිත සංග්‍රහ කරන ප්‍රධාන මේසය වූයේ ඉන් මඳක් ඔබ්බෙනි. ඇය මොහොතක් එදෙස බලා සිටියාය. ඇගේ සිතට මුරණ්ඩු සිතුවිල්ලක් පහළ විය. ඒ ගැන දෙවරක් සිතන්නට තම සිතට ඉඩ නොදී ම ඇය එදෙසට ඇවිද ගියාය. කාන්තාවන් සඳහාම වෙන්ව තිබූ පළතුරු මුසු මධ්‍යසාරබවින් අඩු නෙක පැහැති පානයන්ගෙන් පිරි හැඩැති වීදුරු දෙස මොහොතක් බලා සිටි ඇය අවසානයේදී රත් වයින් වීදුරුවක් ලබාගත්තාය.


ඈ මෙහි පැමිණියේ ඇගේ සැමියාගේ උවමනාවටය. ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ අත්‍යාවශ්‍ය විදෙස් ගමනක් හේතුවෙන් සාදයට සහභාගී වන්නට නොහැකි වූ ඔහු වෙනුවෙන් ඇයට මේ සඳහා සහභාගී වන්නට සිදු විය. එම සහභාගීත්වය ව්‍යාපාර ලෝකය තුළ ඔහුගේ ප්‍රතිරූපය රැක ගැනීමට අත්‍යවශ්‍ය විය. එබැවින් අකමැත්තෙන් හෝ එයට සහභාගි වීමට අවසානයේදී ඇය කැමති වූවාය. මේ වන විට, මෙහි පැමිණෙන්නට තිබූ අකමැත්තටත් වඩා තව දුරටත් මෙහි රැඳී සිටීමට ඇති අකමැත්ත ඇගේ සිතට වඩාත් ප්‍රබලව දැනෙමින් තිබුණි. නමුත් ඇයට මේ මොහොතේ පිටව යාමට හැකියාවක් නැත. එය ඇගේ සැමියාගේ ප්‍රතිරූපයට හානි දායක වනු ඇත. ඔහුගේ ප්‍රතිරූපය රැකුණාම ප්‍රමාණවත්ය. ඇගේ සිතුවිලි ගැන ඔහුට වගක් නැත. තවත් කවුදෝ අරවින්දගේ නම කියා හඬ ගසනුද, ඔහුගේ බිරිඳ ගැන විමසනුද ඇයට ඇසුණි. ඈ අතේ වූ රත් වයින් වීදුරුව ඈ සිතුවාටත් වඩා ඉක්මනින් අවසන් විය.


ඇයට කුසගින්නක් දැනුණේ නැත. ඇය තවත් වයින් වීදුරුවක් ලබාගත්තාය. ඔහු නැවතත් ඈ අසළට ආවේ ඈ එම දෙවැනි වීදුරුවේ අඩක් නිම කර ඉතිරි අඩ දෙස කල්පනාකාරී දෑසින් බලා සිටියදීය. වඩා නිවැරදි අඩක් පිරී ඇති බව පැවසීමද, නැතහොත් අඩක් හිස් බව පැවසීමද? “මේ මොකද කරන්නේ?” ඔහුගේ හඬේ වූ තැතිගත් බව ඇගේ විනෝදයට හේතු විය. පෙරදී ඈ විහිළුවකට ගෙන සමච්චල් ස්වරයෙන් කතා කළ ඔහුගේ ඒ සිනහව අතුරුදන් කරවන්නට ඈ සමත් වී ඇත.


“ඇයි අහන්නෙ?” ඇය හිස ඇල කොට ඔහුගෙන් විමසුවාය.


“ඔය මොනවද බොන්නෙ?”


ඇය වීදුරුව ඔසවා ඔහුට පෙන්වූවාය. “මේ… වයින්…”


“මේ ටික කාලෙට බේබද්දියෙක් වුණාද?”


පෙරදී තමා ඔහු ගැන සිතූ අන්දම සිහිපත් වී ඇය හඬනගා සිනාසුණාය. “ඔයා මේ ටික කාලෙට උපාසකයෙක් වෙච්ච එකේ, මාත් එහෙම වුණාම මොකද?” ඇය වීදුරුවේ ඉතිරි අඩද අවසන් කර දැමීමට සූදානම් විය.


“ඔය ඇති, ඔය ඇති!” ඔහු ඇගේ අතින් අල්ලා ඈ නවතන්නට උත්සාහ කළේය.


“ගන්නවා අත අහකට!” ඇය ඔහුගේ අත ගසා දැම්මාය. “මං බැඳපු ගෑනියෙක්!” ඇය සිය වමත ඔසවා පෙරදී ඔහු ම නිරීක්ෂණය කළ මංගල මුදුව පෙන්නුවාය. “මට වඩා තමුන්ගෙ රෙපියුටේෂන් එක ලොකු වෙච්ච මිනිහෙක්ව බැඳපු ගෑනියෙක්!”


මොහොතකට තුෂ්නිම්භූත වූ ඔහු අනතුරුව ඔහුගේ පුරුදු සුන්දර සිනහව පෑවේය. එදෙස බලාගෙනම ඇය යළිත් සිය වීදුරුව මුවට ළං කරගත්තාය. නැවතත් එම මුහුණේ නැගී ඇති සමච්චල් සිනහව මැකී යන්නට ඉතිරිව ඇති වයින් පොද ඔහුගේ මුහුණට දමා ගසන්නට සිතුණු සිතුවිල්ල ආයාසයෙන් මැඩගෙන ඇය වීදුරුව හිස් කළාය. එවර ඇයට බාධා නොකළ ඔහු දෑත් බැඳගත්තේය. “අද ගෙදර යන්නෙ කොහොමද ඔහොම?”


“ඒකෙන් තමුන්ට ඇති කාරිය මොකද්ද? මං යන්නෙ මගෙ ගෙදර!”


“කොහෙ යන්ඩත් සිහියෙං ඉන්න එපැයි. දැන් ඔය ඇති හොඳද!” එවර ඔහු බලෙන්ම ඇගේ අතේ වූ වීදුරුව රැගෙන අසළ මේසයක් මතින් තබා ඇගේ අතින් අල්ලාගත්තේය. “ඔයා බැඳලා වුණාට කමක් නෑ, මාත් බැඳලා. ඒත් මේ වෙලාවේ ඔයා තනියම ඇවිදින්න හැදුවොත් අඩි දෙකක් යන්න කළින් අර පොඩි කාලේ ඒදණ්ඩේ යන්න ගිහිං වැටුණා වගේ ඇදගෙන වැටෙයි. එහෙම වුණොත් ඒක ඔයාගේ හස්බන්ඩ්ගේ රෙපියුටේෂන් එකට හොඳ නෑ. ඒ හින්දා එන්න මාව අල්ලගෙන…”


ඔරවමින්, දත්මිටි කමින් ඔහුගේ අත යළිත් වරක් ගසා දැමූ ඇය අඩි දෙකක් නොව එක් අඩියක් තැබූ සැණෙන් උස් අඩි පාවහන් පැළැඳි සිරුරේ සමබරතාවය තමා හට අවනත නොවන බව අවබෝධ කරගත්තාය. ඈ නොවැටී බේරුණේ ඇගේ ඉඟ වටා එතුණු ඔහුගේ වමත හේතුවෙනි. නමුත් ඈ පරදින්නට සූදානම් නැත. “මිස්ටර් අරවින්ද, මං සැරයකුත් කිව්වා! මාව අල්ලන්න ලෑස්ති වෙන්න එපා!!!” තමාගේ සිත තුළ ඔහු වෙත ඇති දුරස් බව ඔහු එම ඇමතුමෙන් හෝ වටහාගනු ඇතැයි ඇය සිතුවාය.


නමුත් ඔහුද ඇගේ වදනින් සැලුණු බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔහු දැක්වූයේ වඩාත් රළු ප්‍රතිචාරයකි. “මධූ! පොඩි බබෙක් වෙන්න හදන්න එපා!” ඇයට මුදාගත නොහැකි තරම් තදින් ඇගේ අත අල්ලාගත් ඔහු ඇයද ඇදගෙන හිස්ව තිබූ එළිමහන් කූඩාරමක් වෙත ඇවිද යන්නට විය.


මේ සියල්ල මින් පෙරද මෙලෙස සිදු වී ඇති බවක් හැඟී යන අතරේ ඇගේ සිත වසර ගණනාවකට එපිට අතීතයක් වෙත දිව ගියේය. ඇගේ මව් පියන්ද, ඔහුගේ මව් පියන්ද සමීප හිතවතුන්ය. බොහෝ පිරිසකගෙන් සමන්විත වූ එම පවුල් හිත මිතුරු කණ්ඩායම වසරකට කිහිප වරක් එක්ව විනෝදබර සන්ධ්‍යාවන් ගත කිරීම සිරිතක්ව පැවතුණි. ඇයද, ඔහුද ඇතුළුව එම පවුල්වල දරු පිරිස කුඩා කළ පටන් හිතවත් වූයේ එලෙසිනි. එම තීරණාත්මක සන්ධ්‍යාව එළඹෙද්දී ඈ සිටියේ උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබා විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන්ය; ඇයට වඩා පස් වසරකින් වැඩිමහළු වූ ඔහු, විදෙස් අධ්‍යාපනය නිම කොට නිවාඩුවකට ලංකාවට පැමිණි අලුත ය. සාදය පැවැත්වූයේ ඔහුගේ දෙමාපියන්ගේ නිවසේය. පැමිණ සිටි අමුත්තන් අතර සුන්දර තරුණියන් බොහොමය. ඉන් ඇතැමෙක් ඇගේද හිතවතියන්ය. ඔහු වට කොටගෙන ඔවුන් පානා මුකුළු තව දුරටත් ඉවසා සිටින්නට නොහැකිව ඈ හුදෙකලාවම පසෙකට වී සිටියාය. අවසන ඔහුට ඈ හා කතාබස් කරන්නට සිහිපත් වූ මොහොතේ ඈ සිටියේ ඔහු හා බෙහෙවින් උරණවය. ඔහුගේ සැනසිලි බස්වලින් ඈ සනසන්නට නොහැකි වූ තැන අවසානයේදී එදිනද ඔහු ඇයට කීවේ මෙම වදන් ම ය: “මධූ! පොඩි බබෙක් වෙන්න හදන්න එපා!” අනතුරුව ඔහු මෙලෙසින්ම ඇගේ අත රළු ලෙසින් අල්ලාගෙන කොහේදෝ ඇදගෙන ගියේය. ඈ ඇගේ මුල්ම හාදුව ලැබුවේ එදින ය; ඔහු ඔහුගේ මුල්ම හාදුව ඇයට පිරිනැමුවේ එදිනය. සියල්ලන්ගේ ඇස් වසා කුඩා හාදුවකින් ඈ යළි මිතුරු කරගන්නට ඉඩ හසර ලබා ගත් ඔහු ඈ වෙනුවෙන් සියල්ලන් මධ්‍යයේ ‘පෙම්බර මධූ’ ගීතය ගැයුවේ එදිනය. නමුත් ‘මධූ’ යනු ඔහු පමණක් ඈ අමතන්නට යොදාගත් ඇගේ දෙවැනි නමේ කොටසක් බවත්, අන් සියල්ලන්ටම තමා උත්පලා පමණක් බවත් ඇයට සිහිපත් වූයේ ඔහුගේ මව්පියන් ඔහු හට ඔහුගේම නෑනණ්ඩිය වූ මදුනි යෝජනා කළ බව අසන්නට ලැබුණු දා ය. හිතවතුන්ට වඩා ඥාතීන්ට වැඩි උරුමයක් ඇති බව මෙනෙහි කරමින් තමා දින ගණනක් සිතෙන් වැළපුණු බව සිහිපත් කරගන්නා අතරේ ඇය යළිත් වර්තමානයට පැමිණියාය.


ඇය කූඩාරමක් සෙවණේ අසුනක් මත හිඳ සිටියාය. එහි ඈ හැරෙන්නට වෙනත් කිසිවෙකුත් නොවීය. ඉන් මඳක් ඔබ්බෙන් අනෙකුත් මේස වටා හිඳගෙන සිටි අමුත්තන් සිනාසෙමින් කතාබස් කරමින් රාත්‍රී භෝජනය භුක්ති විඳින අන්දම ඇය දුටුවාය. ඇගේ මුවගට සිනහවක් නැගිණි. ඈ මධුවිතෙන් මත්ව සිහිනයක් දකින්නට ඇත. ඔහු මෙහි හිඳින්නට හැටියක් නැත. එය විය නොහැක්කකි. ඇය හිස් දෑසින් බලා සිටියාය. තවත් මෙහි හිඳින්නට නොහැක. කුසගින්නක් දැනුණද මුවේ දැනෙමින් තිබූ නුහුරු රසය හේතුවෙන් ඇයට කෑමට පිරියක් නොවීය. ඇගේ ස්වාමියාගේ ප්‍රතිරූපය ගැන තව දුරටත් සිතන්නට තරම් දිරියක් ඈ තුළ ඉතිරිව නැත. ඈ බරැති සුසුමක් හෙලා නැගිට සිටින්නට උත්සාහ කළාය. නමුත් ඇගේ දෙපා තවමත් ඇයට අවනත නැත.


“ඔන්න කාලා ඉන්නකෝ…” ඔහු යළිත් ඈ ඉදිරියේ ප්‍රාදූර්භූත විය. ඔහුගේ දෑත් මත එළවළු සලාද සහ තවත් අඩු වැඩිය රැගත් කුඩා බන්දේසියක්ද, සුප් බඳුනක්ද විය. ඇය ඇසිපිය නොසලා ඔහු දෙස බලා සිටියාය. “ඒ ගමන මොකද? මේ, ඔන්න මටනං යකෙක් කන්න බඩගිනියි. මං කන්න පටන්ගන්නවා. ඔයාට එපානං නිකං ඉන්න!” එළවළු සලාද බන්දේසිය ඈ ඉදිරියෙන් තබමින් ඈ අසළින් ම හිඳගත් ඔහු ලොව ඇති අවසන් සුප් බඳුන මෙන් එය ළං කරගෙන බොන්නට පටන්ගත්තේය.


ඔහු සැබැවින්ම තමා අසළ හිඳිනා බව බොහෝ වේලා ඔහු දෙස බලා හිඳීමෙන් අනතුරුව ඇයට පිළිගන්නට සිදු විය. “අරවින්ද…” ඔහුට ඇගේ හඬ ඇසුණ බවක් පෙනෙන්නට නැත. “මිස්ටර් අරවින්ද…”


“ම්?”


“සොරී…” තමා ඔහුගෙන් සමාව ඉල්ලා සිටින්නේ මන්දැයි ඈ දැන සිටියේ නැත. සම්පූර්ණ වරදකරු ඔහුය. ඔහුම පමණය. නමුත් එම වදන මුවින් පිට වත්ම ඇයට මහත් සැනසිල්ලක් දැනුණි. “මට අපේ ඉස්සර කාලේ මතක් වුණා…”


“හ්ම්.”


“ඔයාලගෙ ගෙදර තිබ්බ පාටිය… අපි චූටි කාලේ එකට සෙල්ලං කරපු හැටි…” ඇය නැවතත් බරැති සුසුමක් පිට කළාය.


“ඕවා ගැන මතක් කර කර ඉඳලා වැඩක් නෑ මධූ…”


“ඔයා කියන්නේ ඒ ලස්සන මතක අමතකම කරලා දාන්න කියලද?”


“අපෝ නෑ… ඔයා ආච්චි කෙනෙක් වෙච්ච දවසක පොඩි එවුන් වට කරගෙන කියන්න ඕවා කොහෙ හරි අරං තියලා තියාගන්න…” ඇය ඔහුට ඔරවමින් සලාදයෙන් බිඳක් ගෑරුප්පුවේ අමුණා මුවේ රුවාගත්තාය. “මං ඒ කිව්වේ පරණ මතක අස්සේ ගිලිලා ඉන්නෙ නැතුව අද දවසේ – මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලයි…” ඔහු බඳුන හිස් කොට නැගී සිටියේය. “මං යනවා ප්ලේට් එක අරං එන්න. ඔයා එනවද?”


“මට කන්න බෑ,” ඇය මුරණ්ඩු ස්වරයෙන් කීවාය.


“මං මොනවා හරි ගෙනත් දෙන්නද?”


“එපා!”


“හ්ම්, ඔය ටික හරි කන්නකෝ එහෙනං…” ඔහු නික්ම ගියේය. ඇය බඳුනේ වූ කුසගිනි දනවන කුඩා ආහාර බිඳෙන් බිඳ මුවේ ලාගත්තාය. ඔහු හා මෙලෙස හිඳීමට ලැබීම ඇගේ සිතට සතුට ගෙන දෙන කාරණාවක් විය. නමුදු, ඔහුගේ වරද ඉන් නිවැරදි වන්නේ නැත. ඇයට ඔහුට සමාවක් දීමට සිත එකඟ කරගත නොහැක. ඇගේ සිතේ තවමත් ඔහු පිළිබඳව ඇත්තේ තරහකි. විරහවේ මිහිර මුසු තරහකි.


වැඩි වේලාවක් නොගොස් ඔහු යළි පැමිණියේය. ඇගේ ආහාර ගැනීම සම්බන්ධයෙන් පමණක් සැලකිලිමත් වූ ඔහු, ඈ ආහාර බෙදාගැනීමට යාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළෙන්දෝ ඈ හා උරණව නිහඬව ම ආහාර ගත්තේය. එබැවින් ඈ අවසන නැගී සිට, නොසැලී දෙපයින් යා හැකි බව තහවුරු කරගෙන, අමුත්තනට ආහාර රිසි සේ බෙදාගැනීමට ඉඩ සලසා තිබූ මේසය වෙත ගියාය. ඈ සිනහව පිරුණු මුවින් යළි ඔහු වෙත පැමිණ හිඳගනිද්දී ඇගේ දෑතේ වූයේ රසවත් අතුරුපස පිරි බඳුනකි. ඈ දෙසත් අතුරුපස බඳුන දෙසත් එක් බැල්මක් පමණක් හෙලූ ඔහු යළි තම නිහඬ අනුභවය ඇරඹුවේය.


“මට ඇහුණා ඉස්සල්ලා කට්ටිය වයිෆ් ගැන අහනවා…” නිහඬ විනාඩි ගණනකට පසු ඇය හඬ අවදි කළාය.


“ආ… ඔව්…”


ඈ බලාපොරොත්තු වූයේ ඔහු තව දුරටත් ඒ පිළිබඳව කතා කරනු ඇතැයි කියාය. නමුත් ඔහු නිහඬය. ඔහුගේ මෙම හැසිරීමට හේතුව තමා සමග උරණ වී සිටිනා නිසාද, නැතහොත් ඔහු සැබැවින්ම අධික කුසගින්නේ සිටිනා නිසාදැයි ඇයට සිතාගත නොහැකි විය. “ඉතිං?” ඇය යළිත් ඇසුවාය.


“එයා ඉතිං මේවට එන්න ඒ හැටි කැමති නෑනේ… මං එහෙම කිව්වා…” ඔහුගේ පිළිතුර එපමණය.


ඇය තවත් මොහොතක් නිහඬව සිටියාය. කිසිවෙකුත් පවසන්නට අකමැති දෑ ගැන හාරා අවුස්සමින් අසනා පුරුද්දක් ඇයට තිබුණේ නැත. ඒ ප්‍රතිපත්තිය ඔහුටද අදාළය. එබැවින් ඇය මාතෘකාව වෙනස් කළාය. “ඇයි මාත් එක්ක තරහ වෙලා?”


“මමයැ, ඔයානෙ මාත් එක්ක තරහ වෙලා හිටියේ?”


“මගේ තරහා අසාධාරණයිද අරවින්ද? ඔයාට මගේ පැත්තෙන් ඒ ගැන පොඩ්ඩක් හිතන්න බැරිද?” ඇගේ හඬේ ඈ බලාපොරොත්තු වූ කෝපය නොවීය. නමුත් ඇය ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූයේද නැත. ඔහුද ඇයට පිළිතුරක් දුන්නේ නැත. ඉන් අනතුරුව ආහාර ගෙන නිම වන තෙක් දෙදෙනාගෙන් කිසිවෙකුත් කතා කළේද නැත.


ඔහුගේ කෑම පිඟාන ඉක්මනින් හිස් වූ අතර ඈ සෙමින් සෙමින් අතුරුපස බඳුන හිස් කරන තෙක් ඔහු සිය ජංගම දුරකතනය අතට ගෙන එහි මුහුණ ඔබාගත්තේය. අවසන ඈ හැන්ද දීසිය මත තැබූ සැණින් ඔහු දුරකථනය සාක්කුව තුළ රුවාගෙන නැගිට සිටියේය. “යමු!”


“බෑ!” ඇය හිඳගෙනම සිටියාය.


“කොහෙද කියලා අහන්නෙවත් නැතුව බෑ කියන්නේ?”


“කොහෙ වුණත් මං එන්නෙ නෑ. මං ආපු විදිහට මං ගෙදර යන්නං. ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.”


“මධූ…” ඔහු යළිත් හිඳගත්තේය. “මං දන්නවා මං කරපු දේට ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති බව. ඒත් මට ඒ වෙලාවේ වෙන කරන්න කිසිම දෙයක් තිබුණෙ නැති බව ඔයා හොඳටම දන්නවනේ… ඔයාගෙ කේන්තියත් අසාධාරණ නෑ – පොඩ්ඩක්වත් නෑ… මට ඕනේ ඒ වැරැද්ද හදාගන්න… ප්ලීස්… මට තව එක අවස්ථාවක් දෙන්න…”


එක් මොහොතකට හෝ ඔහුගේ මුහුණ දෙස නොබැලුවද ඔහුගේ එම හෘදයාංගම වදන් ඇගේ හදවත උණු කරවන්නට සමත් විය. නමුත් ඇගේ මුරණ්ඩු සිත හදවතට අවනත වන්නට සූදානම් නැත. “දැන් පරක්කු වැඩියි…” ඇය ඉවත බලාගෙනම කීවාය.


ඔහු මොහොතක් නිහඬව සිටියේය. “ඔයාට ඔහොම ඩ්‍රයිව් කරන්න පුළුවන්ද?”


“පුළුවන්!”


“පොලිසියෙන් ඇල්ලුවොත්?”


“මට වෙරි නෑ!”


“ෂුවර්?”


ඇය ඔහු දෙස ඔරවා බැලුවේ නැවතත් ඔහු සමච්චල් කරනවාදැයි දැනගැනීමටය. නමුත් ඔහුගේ මුහුණේ විසුළු සේයාවක් නැත. එහි වූයේ ඈ පිළිබඳව දක්වන සැලකිලිමත් භාවය පමණි. “ඔව්!” තම ස්වරය මඳක් පහළ බැස ඇති බව ඇයට ම දැනුණි.


“හරි, මං ඔයාව එහෙනං කාර් එක ළඟට හරි ඇරලවන්නංකෝ. මගේ ඒ පුංචි ඉල්ලීමට ඉඩ දෙන්න ඔයාට පුළුවන් නේද?”


එවර ඇය නිහඬව සිටියාය. ඇය පැමිණි ලෙසටම තනිවම නිවසට යනු ඇත. එය ඇගේ සැමියාගේ නිවස නොව, ඇගේ මව්පියන්ගේ නිවස වන්නට බොහෝ දුරට ඉඩ ඇත. මොහු ඉන් පසු ඔහුට ඕනෑ දෙයක් කරගනු ඇත. ඇයට කම් නැත. ඇයද අසුනෙන් නැගී සිටියාය.


“යමු, අපි කට්ටියට කියලා එමු…” ඔහු ඇගේ අතින් අල්ලාගන්නට සූදානම් විය.


නමුත් ඇය ඔහුගේ අත ගසා දැම්මාය. “ඔයාම ගිහින් කියලා එන්න… මං ආවොත් කට්ටිය හිතයි මං අර ඔයාගේ මෙහෙම ෆන්ක්ෂන්ස්වලට එන්න අකමැති වයිෆ් කියලා… මං අඳුරන කට්ටියක් මේ පැත්තේ ඉන්නවා, මං ඒගොල්ලන්ට කියලා කාර් පාර්ක් එක පැත්තට යන්නං…” ඔහුගේ ප්‍රතිචාරය දැනගන්නටවත් නොහිඳ ඇය ඇගේ හිතවත් වයෝවෘද්ධ යුවළ හිඳ සිටි අසුන් කරා ගියාය. හෘදයාංගම ලෙසින් ඔවුන්ගෙන් සමුගත් ඇය නයෝමි කොහිදැයි සෙව්වද ඈ පෙනෙන්නට සිටියේ නැත. එබැවින් ඈ හුදෙකලාවම හෝටල් සංකීර්ණයේ රථ ගාල වෙත ඇවිද ගියාය.


උඳුවප් පුර පසළොස්වක පොහොය ගෙවී වැඩි දවසක් ගතව නොතිබුණෙන් පුර හඳ අහසේ නැග එමින් තිබුණි. රථ ගාල වෙත ඇවිද යන මාවතට ඔබ්බෙන් වූ කුඩා පොකුණද, ඒ මතින් ඉදි වූ කුඩා ආරුක්කු පාළමද සඳ එළියෙන් නැහැවී තිබුණි. ඇය ගමන මඳක් පමා කොට ඒ වෙත ගියාය. එය සුන්දර දසුනකි. ඇගේ සිතේ වූ පීඩාකාරී සිතුවිලි මඳකින් හෝ සන්සුන් කරවාගැනීමට මොහොතක් එහි රැඳී සිටීමට ඇයට සිතුණි. ඇය ආරුක්කු පාලමේ අත් වැටට බර දී නිසල පොකුණු දිය මත ලෙල දෙන සඳේ ඡායාව දෙස බලා සිටියාය.


දැහැනකට සම වැද ගෙවුණු විනාඩි ගණනාවකට පසු එක් වරම ඇගේ බඳ වටා උණුසුම් දෑතක් එතෙනු දැනීමෙන් තිගැස්සී ගියද ඒ සමගම ඇගේ දකුණු කන වෙත ගලා ආ කෙඳිරිලි වදන් පෙළෙන් ඒ අරවින්ද බව ඇය හඳුනාගත්තාය. “මෙතනට තමයි මම එමු කියලා කිව්වේ…” ඔහු මිමිණුවේය.


තිගැස්මෙන් වේගවත් වූ හෘද ස්පන්දනය පරයමින් වේගයෙන් සැලෙන සමනල් පියාපත් කම්පනයකින් ඇගේ සියොලඟ වෙලී ගියේය. නමුත් හදවතට පෙර බුද්ධියට මුල් තැන දෙන්නට පුරුදුව සිටි ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට උත්සාහ කළාය. “අත අරින්න අරවින්ද…”


“බෑ…” ඔහු සිය ග්‍රහණය තවත් තද කළේය. “මං මගෙ වැරදි ඔක්කොම හදාගන්නවා… අර ඉන්නේ ඒකට හොඳම සාක්කි කාරයා…” ඔහු සිය සුරත දිගු කොට ඔවුනට ඉදිරියෙන් අහසේ බැබළෙමින් සිටි සඳ පෙන්වා සිටියේය. “කියන්න… මට දෙවෙනි අවස්ථාවක් දෙනවා නේද… මට සමාව දෙනවා නේද…?” ඇය යළිත් ඔහුගෙන් මිදෙන්නට සූදානම් වූ අතර ඒ ඔහුගෙන් මිදී පළා යාමට නොව ඔහු දෙසට හැරීමට බව වැටහුණෙන්දෝ ඔහු ග්‍රහණය බුරුල් කළේය. තම දෑසට කඳුළු උනා ඇති බව ඇයට දැනුණේ ඔහු සිය දෑතම ඇගේ මුහුණ වෙත ගෙනැවිත් මහපට ඇඟිලිවලින් එම කඳුළු පිස දමා හැරි මොහොතේය. “අපේ කතාවේ කිසිම දෙයක් පරක්කු නෑ මධූ… හැම දේම මුළ ඉඳන්ම ආපහු පටන්ගන්න වුණත් පුළුවන් අපිට… කළින් සිද්ධවුණාටත් වඩා ලස්සනට…”


ඇය හිස දෙපසට වැනුවාය. “සුරංගනා කතා කියන්න එපා… ඒක ඔයා වගේ බිස්නස්මන් කෙනෙක්ට ගැලපෙන්නේ නෑ…”


“ඒත් ආදරවන්තයෙකුට සුරංගනා කතා කියන්න පුළුවන්… එයා බිස්නස්මන් කෙනෙක් වුණත්, ඩොක්ටර් කෙනෙක් වුණත්, ලෝයර් කෙනෙක් වුණත්, බස් කොන්දොස්තර කෙනෙක් වුණත්, මාළු කාරයෙක් වුණත් වෙනසක් නෑ… හැබෑ ආදරවන්තයෝ කවුරුත් එකයි…”


“හැබෑ ආදරවන්තයෝ?” ඇය සිනහවක් සලා යළි ඉවත බලා ගත්තාය. “එහෙම අය කොහෙද ඉන්නෙ අරවින්ද?”


“හරි හරි, මං දන්නවා මං පර්ෆෙක්ට් නෑ කියලා. මට ඒකයි මගෙ අතින් වෙච්ච වැරැද්ද හදාගන්න ඕනේ. ඔයා මට අවස්ථාවක් දෙනවානම් මං හැමදේම ආයෙ මුළ ඉඳලා පටන් ගන්න ලෑස්තියි…..” ඔහු ඇගේ නිකටෙන් අල්වා ඇගේ හිස යළි තමා වෙත හරවාගත්තේය. “ප්ලීස් මධූ… ප්ලීස් ෆොර්ගිව් මී… ඒ කාලේ ඉඳන්ම ඔයා ළඟ තිබුණ ස්පිරිට් එකට මං ආදරේ කළා… මං වාගේ රැයක් දවාලක් නැති, වෙලාවක් අවේලාවක් නැති ජීවිතයක් ගෙවන මිනිහෙක්ට ආදරේ කරන එක ලේසි දෙයක් නෙවෙයි කියලා මං දන්නවා… ඒත් ඒකට ඕන කැපවීමයි, ඉවසීමයි මං දැක්කේ ඔයා ළඟ විතරයි. කොච්චර කේන්තියෙන් හිටියා වුණත් ඔයා මං වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න බය නැති බව මං දන්නවා… එහෙම ඔයාට මං කළේ ලොකු වැරැද්දක්… මට ඒ වැරැද්ද හදාගන්න ඉඩ දෙන්න මධූ… ප්ලීස්……”


ඇය අතරමං වූ දෑසින් ඔහු දෙස බලා සිටියාය. “මං දන්නෙ නෑ අරවින්ද… මට තේරෙන්නෙ නෑ… මං මොනවද කරන්න ඕනේ?”


“අනේ ලොකු දෙයක් නෙවෙයි… ඉස්සෙල්ලාම ඔය කඳුළු පිහිදගෙන චුට්ටක් හිනාවෙන්න…..”


ඇයට ඔහුගේ ඉල්ලීමට කීකරු වන්නටම සිතුණි. නමුත් ඇගේ අභිමානය හෝ කෝපය හෝ සන්තාපය හෝ කුමක් හෝ විසින් එය සිදු කිරීමෙන් ඈ වළක්වාලීය. ඒ වෙනුවට ඇය කඳුළු පිරි දෙනෙතෙන් යුතුවම හිස දෙපසට සැලුවාය. “මං අමාරුවෙන් හරි ඒ දේවල් අමතක කළා කියමු… ඒත්…” ඇය උගුරෙන් නැගී ආ ඉකි ගැසීම නවත්වා ගැනීමට මොහොතක පරිශ්‍රමයක් දැරුවාය. අනතුරුව ඔහුගේ සුරත අතට ගෙන එහි වෙදැඟිල්ල පෙන්වා සිටියාය. “ඒත් මං කොහොමද මේක අමතක කරන්නේ…? ඔයාට එච්චරටම මාව එපා වෙච්ච බව මං කොහොමද අමතක කරන්නේ???”


ඔහු ආදරබර සිනහවක් පෑවේය. අනතුරුව ඉදිරියට නැඹුරු වී ඇගේ දෙතොල් සිප ගැනීමට සූදානම් විය. නමුත් ඇය විරෝධය පෑවාය. “කෝ ඔයාගෙ රිං එක අරවින්ද?” ඒ පැනයත් සමගම එතෙක් ඇගේ සිත තුළ දුම් දමමින් තිබූ ගිනි කන්ද පුපුරා ලෝ දිය ගලා හැලෙන්නට විය. ඔහුට පිළිතුරක් ලබා දීමට ඉඩක් නොදීම ඇය නොනවත්වා කියවාගෙන ගියාය. “ඔයා ඒක නැති කරගත්තා නේද? වෙඩින් එකෙන් පස්සේ සති දෙකයි ගෙවුණේ. ඒකවත් පරිස්සං කරගන්න බෑ. වෙඩින් එක දවසෙම රෑ මාව දාලා ගියා. මං ඒත් ඉවසගෙන හිටියා අනේ ඉතිං රාජකාරි වැඩක්නේ කියලා. සති දෙක තුන කොහොම හරි ඉවසං ඉන්නං කියලා මං හිත හදාගෙන ඔයාගෙ අම්මලත් එක්ක ඒ ගෙදරට වෙලා හිටියා…” ඇය හුස්ම ගැනීමට මොහොතක් නතර වූවාය. “ඔයා දන්නවද – ඔයා දන්නවද අරවින්ද ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස මොකද්ද කියලා? එයාගෙ වෙඩිං එක දවස. එදා දවස ඇත්තටම ලස්සනට තිබ්බා. ෆොටෝවල, වීඩියෝවල අපි දෙන්නා හරි ලස්සනට ඇති. වෙඩින් එකට ආපු කට්ටියත් එදා හරි ලස්සන දවසක් කියලා හිතන්න ඇති. ඒත් ඒ ලෝකෙට විතරයි. මගේ හිතේ ඒ ලස්සන ඔක්කොම උදුරගෙන ඔයා එදා රෑ අලුත බැඳපු මනමාලිව ගෙදර දාලා ඔයාගෙ මහ ලොකු බිස්නස් කොන්ෆරන්ස් එකට ගියා. එහෙම වෙන බව දැන දැනම මං ඔයත් එක්ක ආවා. ඔයා එහෙ ගිහිං ඉන්න අතරෙදි මං ඔයාගෙ හැම දෙයක්ම බලාගත්තා. ඔයාට එන්න වෙන්නෙ ලබන සතියෙ කියපු හින්දා, ඔයාගෙ මහ ලොකු රෙපියුටේෂන් එක ගැන හිතලා මේකටත් ආවා. ඒ කාලෙදි ඔයාට මං වෙනුවෙන් කරන්න තිබ්බෙ එකම එක දෙයයි. ඒ පුංචි වෙඩිං රිං එක පරිස්සම් කරගන්න එක විතරයි… ඔයාට මං වෙනුවෙන් එච්චර පුංචි දෙයක්වත් කරගන්න බෑ…..” ලෝ දිය කඳ නිවී ගියේය. මහා වරුසාවක් ඇගේ දෑස් තුළින් ඇද හැලෙන්නට විය. “ඒ සති දෙක මං ඉවසං හිටියේ හරි අමාරුවෙන් අරවින්ද… ඔයාව අද මෙහෙම දැක්කාම මං හරිනං සතුටු වෙන්න ඕනේ. ඒත් මට සතුටු වෙන්න බැරි තරමට ඔයත් එක්ක කේන්තියි මට…” ඇය ඔහුගේම උරහිසට වාරු වී කඳුළු සලන්නට පටන්ගත්තාය.


ඔහු ඇගේ හිස අතගෑවේය. “සොරි මධූ… මං දන්නවා කොච්චර සොරි කිව්වත් ඒ වැරැද්ද හදන්න බෑ කියලා. ඒත් ඉතිං මාසෙකට කළින් ෂෙඩියුල් කරලා තිබ්බ කොන්ෆරන්ස් එක හරියටම අපේ වෙඩිං එක දවස්වලටම පෝස්ට්පෝන් වෙයි කියලා මං කළින් දැනං හිටියෙ නෑනේ – අපි කළිනුත් මේ ගැන කතා කළානේ. ඒ වෙද්දි මං වෙනුවට වෙන කෙනෙක් යවන්න හැටියක් තිබ්බෙත් නෑ – එච්චර අමාරුවෙන් සෙට් කරගත්ත චාන්ස් එක මිස් කරගන්න එකත් අපරාදේ කියලා ඔයාමත් කිව්වනේ… මමත් එදා ඔයාව දාලා ගියේ හිතකින් නෙවෙයි මධූ… ඒ සති දෙකේදි මං ළඟ තිබ්බ ඒ වටින වස්තුව ඔයා හිතනවද මං එහෙම නැති කරගනියි කියලා…” ඔහු සිය කළිසම් සාක්කුව තුළින් ස්වර්ණාභරණ ඇසුරුම් පෙට්ටියක් පිටතට ගත්තේය. “ඒක මං ගලවගත්තෙ මෙහෙදි, අර ඔයා හිටපු මේසෙ ළඟට එන්න කළින්… එතකල්, ඔයාගෙ මේ ඇඟිලිවලින් මගේ අතට දාපු ඒ මුද්ද මං ගැලෙව්වෙ නෑ… නැති කරගත්තෙත් නෑ…” ඔහු ඇගේ සුවඳැති හිස කෙස් මතට හාදුවක් දුන්නේය. “ඔයාට ඉරිසියා හිතුණා නේද මං ඒක නැතුව එහෙදි තනිකඩයෙක් වගේ ජොලියෙ හිටියා කියලා???” ඔහු හිනැහුණේය.


ඇය හිස නො ඔසවාම දෑත් මිටි කොට ඔහුගේ පපුවට පහර දුන්නාය. “ඔය ඒ මුද්දෙ පෙට්ටිය නෙවෙයි… මාව බොරුවට රවට්ටන්න හදන්න එපා… ඔයා ඒක නැති කරගෙන වෙන එකක් අරගෙන…”


“ඒ මුද්දෙ පෙට්ටිය ඉතිං මං කොහෙන් හොයන්නද? ඒක ඇත්තේ ගෙදරනේ. වැඩ ටික ඉක්මනට ඉවර කරගත්තු ගමන් මං ෆ්ලයිට් චෙක් කරලා බැලුවා. එහෙයි මෙහෙයි ටයිම් ඩිෆරන්ස් එක නිසා මට කොහොමත් මෙහෙට ජැනුවරි ෆර්ස්ට් ලබන්න කළින් එන්න පුළුවන් වෙයි කියලා හිතුණ. මට අඩුගානේ අලුත් අවුරුද්ද ලබද්දි හරි ඔයත් එක්ක ඉන්න ඕනෙ නිසා මං ඉතිං ෆ්ලයිට් එක බුක් කරගෙන කොහොම හරි ආවා. එයාපෝර්ට් එකේ ඉඳන් කෙළින්ම මෙහෙ ආවේ ඔයා මෙහෙ නිසා, අක්කලාගෙ ගෙදරින් බඩු ටික දාලා. මේක…” ඔහු ඇගේ හිස වමතින් අල්ලා ඔසවා අතේ වූ පෙට්ටිය පෑවේය. “මේක ගෙනාවේ ඔයාට…”


ඇගේ කඳුළු බොහෝ දුරට වියැකී ගොස් තිබුණි. ඇය සෙමින් නාසය ඉහළට ඇද දෑස් පිස දමා ගත්තාය. “මට මොකටද තව එකක්?”


“මං කිව්වේ… මං හැම දේම මුළ ඉඳන් පටන් ගන්නවා. ඔයාට මිස් වෙච්ච හැම දෙයක්ම මං ඔයාට දෙනවා…” ඈ කිසිවක් පවසන්නට පෙර ඔහු ඇගේ වමත ගෙන ඇගේ අතේ වූ මංගල මුදුව ගලවාගත්තේය.


“අනේ…” ඇය අඳෝනාවක් නැගුවාය.


එය නෑසුනාක් මෙන් ඔහු දිගටම කතා කළේය. “මට මතකයි ඔයා ඒ දවස්වල ඔයාගෙ යාළුවන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ප්‍රපෝස් කරපු හැටි කියනවා. මගේ හිතෙත් එහෙම දෙයක් තිබ්බා. ඒත් ඉතිං ඊට කළින් අපේ අම්මලා ඉස්සර වුණානේ.” සිනහවක් පෑ ඔහු උගුර මඳක් පාදා ඈ ඉදිරියෙන් දණක් නමා ගත්තේය. “මධූ… ඔයාට ආයෙමත් බඳින්න අවස්ථාවක් ලැබුණොත්, ඔයා ඒ දෙවෙනි අවස්ථාවත් මට දෙනවද?” ඔහු සිය අතේ වූ පෙට්ටිය විවර කර එතුළ වූ ඔහුගේ මුදුව අතට ගෙන සුන්දරව බැබළෙන අනෙක් සිහින් මුදුව ඈ වෙත පෑවේය. “විල් යූ මැරී මී අගේන්?”


සුන්දර සිනහවක් ඇඳී තිබූ ඇගේ මුහුණ සතුටු කඳුළින් පිරි දෑසින් බැබළෙමින් තිබුණි. දෑතින් මුව වසාගෙන ඇය ඔහුගේ ඉල්ලීමට එකඟ බව පවසන්නට හිස සැලුවාය.


එලෙසම හිඳගෙන ඇගේ වමතේ වෙදැඟිල්ලේ එම නව මුදුව පැළඳූ ඔහු ඒ මතට හාද්දක්ද දී නැගී සිටියේය. අනතුරුව ඉහළ අහස දෙස බැලුවේය. “හිසට ඉහළින් තරු වියන…” අනතුරුව පාලමේ බැම්මෙන් එබී පොකුණු දිය දෙස බැලුවේය. “දෙපා පාමුලින් ගලා යන දිය දහර…” ඔහුගේ කාව්‍යමය ස්වරය ඇගේ මුහුණේ සිනහව වැඩි කළේය. “ආයෙ මීට වඩා පෝරුවක් කොහෙන්ද? හඳ මාමා අෂ්ඨක කියන්නෙ නැතෑ. අපි එහෙනං බඳිමු…” ඔහු ඇගේ අතින් පෙරදී ගලවාගත් මංගල මුදුව අතට ගෙන කුඩා මුදුවට ඉහළින් ඇගේ වෙදැඟිල්ලේ එය පැළැඳුවේය. “මං වෙනුවෙන් ඔයාට ගොඩක් දේවල් දරාගන්න වෙයි මධූ… ඒ මං නරක හිතකින් කරන දේවල් නෙවෙයි, අපේ බිස්නස් ජීවිතේ එහෙම තමයි… ඔයාට ඒවාට පුරුදු වෙන්න වෙයි… ඒ එක්කම මාත් එක්ක ඒ වැඩවලට එකතු වෙන්න වෙයි… ඔයාට ඒ දේ කරන්න පුළුවන් නිසයි මං ඔයාව තෝරගත්තේ… අපි දෙන්නගේ අන්ඩස්ටෑන්ඩිං එකයි ඉවසීමයි තමයි වැදගත්… එහෙම නේද?”


ඇය හිස සලා එකඟ වී ඔහුගේ මංගල මුදුව ඈ අතට ගත්තාය. එහි ඇතුල් මුහුණතේ කොටා ඇති ඇගේ නමේ මුළකුරු යළිත් කියැවූ ඇය එය දෙතොලට ළං කොට සිපගත්තාය. “මගෙ කේන්තිය පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ…” ඇය එය ඔහුගේ සුරතේ පළඳිනා අතර කීවේය.


ඔහු ඇගේ නළලතට සිය නළලත හේත්තු කරගත්තේය. “ඒ සෝඩා බෝතලේටත් මං ආදරෙයි ඉතිං…” ඇය සිනහවක් පෑවාය. “දන්නවද… අර හඳ… ඒක සමහර දවසට අපෙන් හැංගෙනවා… අපිට හිතෙනවා හඳ අපිව දාලා ගිහින් කියලා. ඒත් පොඩ්ඩක් හැංගිලා හිටියට හඳ අපි ගාවමයි… කවදාවත් අපිව දාලා යන්නෙ නෑ… තේරුණාද…?”


“හ්ම්ම්…” ඇය පිළිතුරු දුන්නාය.


එසැනින් මුහුණ පසෙකට ඇල කළ ඔහු ඈ තදින් වැළඳගෙන දෙතොල් මතට දිගු රසබර හාදුවක් පිරිනැමුවේය. දිගු චුම්බනයක අවසානයේ ඈ වෙතින් මිදුණු ඔහු දෑතින්ම ඇගේ මුහුණ අල්ලාගෙන හිස් මුදුනටද හාද්දක් දුන්නේය. “යමුද?” ඔහු ඈ වෙත අත දිගු කරමින් ඇසුවේය. ඇයද හිස සළා එකඟ වී ඔහුගේ සුරතේ එල්ලී ඈ පැමිණි ඔවුන්ගේ මෝටර් රථය වෙත ඇවිද ගියාය. සිය පසුම්බියෙන් මෝටර් රථයේ යතුර රැගෙන ඔහු අතට දුන් ඇය අනෙක් පසින් ගොස් මගී අසුනේ වාඩි වූවාය.


හෝටල් පරිශ්‍රයෙන් පිට වූ මෝටර් රථය, රථ වාහන එතරම් බහුල නොවූ මාවත ඔස්සේ ඇදී යද්දී රථය තුළ ඇසුණේ සිහින් හඬින් වාදනය වූ ඉංග්‍රීසි ගීතාවලියක හඬ පමණි. ඒ හැරෙන්නට වූ නිහඬතාවය සාමකාමී විය; සැනසිලිදායක විය. ඔහුගේත් ඇයගේත් මුවග වූයේ සිහින් මඳහසකි. ඔහු විටින් විට තමා දෙස බලනා බව කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටියද ඇගේ නෙතගට හසු විය. ඊළඟ වතාවේදී ඔහු ඈ දෙස බැලූ මොහොතේ ඇයද ඔහු දෙස හිස හරවා බැලුවාය. ඔහුගේ ආදරණීය සිනහවට ඇයද එලෙසින්ම පිළිතුරු සැපයුවාය. ඊළඟ ප්‍රධාන මංසන්ධියේදී වාහනය හැරවුණේ ඔවුන්ගේ නිවස දෙසට නොව ඉන් ප්‍රතිවිරුද්ධ දෙසටය.


“මේ කොහෙද යන්නේ?” ඇය පුදුමයෙන් ඔහු දෙස බලමින් ඇසුවාය.


ඔහු නිහඬව කවට සිනහවක් මුව රඳවාගෙන ඔවුන් ඉදිරියේ දිගුව විහිදී ඇති මාවතට ඉහළින් අහසේ දිස් වූ පූර්ණ චන්ද්‍රයා වෙත හිස දිගු කළේය.


“හඳට?” අන් කිසිවක් සිතාගත නොහැකි වූ බැවින් ඇය වඩාත් විස්මයෙන් අසා සිටියාය.


ඔහුගේ සිනහව පුළුල් විය. දෙතොල් විකාගත් ඔහු ඈ දෙස බලා ඇසක් ඉඟිමැරුවේය. “පැණි හඳට!” ඇය විළියෙන් රතුව ඉවත බලාගත්තාය. “මං කිව්වනේ ඔයාට මිස් වෙච්ච හැම දේම මං දෙනවා කියලා…”


එදින මැදියම් රැයේ එක් සොඳුරු හෝරාවක අවසානයේ ඈතින් ඇසෙනා රතිඤ්ඤා හඬ මධ්‍යයේ ඔහුගේ කෙඳිරිලි හඬේ උණුසුම ඇයට සිහිනෙන් මෙන් ඇසුණි: “හැපි නිව් ඉයර් මගෙ වස්තුවේ! අයි ලව් යූ සෝ මච්!”


*****


ප/ලි: හැපි නිව් ඉයර් මයි ඩියර් ෆ්‍රෙන්ඩ්ස්! අයි ලව් යූ ඕල් සෝ මච්! 🙂

ප/ප/ලි: ලියන්ට මක්කවත් හිතාගන්නට ඉස්පාසුවක් නැතිව, ඒත් මක්කවත් නොලියා ඇඟිලි කසන්නට පටන්ගත්තු දොහක රයිටිං ප්‍රොම්ප්ට්ස් ඉල්ලලා මං ගූග්ල් දෙයියන්ට කන්නලව්වක් කොළා. එව්වයෙ ආනිසංස තමා ආයිබෝං මේ. වැඩිය හිතලා ගලපලා ලීවෙ නෑ.

%d bloggers like this: