Menu Close

ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර ‘ඔව්’ යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේවෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුලදක් ඇදුනත් අප සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. කෙනෙකුට ජයමල්ල හිමි වූ විට ඔහු/ඇයගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? මේ නිසා ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන සොයා බලමු.

ලංකාවේ පලමු වරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකර යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායක මහතාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙල මහතාගේ කාලයේදී ය. මේ අනුව ‘ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය’ 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදි.

කිරිඅප්පු මොරිස් 8 රිය සමග

මෙම පලමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේ මහතාට යි. ඔහු මෙම ටිකට්පත මිලදී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. ඔහු එය මිලදී ගෙන නිවසට ගොස් ගෝන අං තට්‍යුව අස්සේ එය රඳවා තබයි.

කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප්ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය තවතවත් වැඩි වන්නට විය. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසදා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල් ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

“ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”

අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කලේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිලදී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට නොමිලයේ ම ලබා දුන්නේය. ලොල්ලේගොඩින් ඔහු අක්කර විස්සක ඉඩමක් මිලදී ගෙන කුඹුරු යායක් ද සමග ඔහු තමා සන්තකයේ තබා ගත්තේය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිලදී ගත්තේ ය.

මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළට ම ඉගෙනගත් කාන්තාවක් වූ අතර කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසරට වනතෙක් පමණි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වීය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තෙන් නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් විය. කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කලේය.

 පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉදහිට තමා මිලදී ගත් වාහන වලින් හයර් එකක් ද කරගෙන සිටියේය.

කිරිඅප්පු තම දරුවන්ට හොදින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටියි. කිරි අප්පු අංශබාගය සෑදී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකිණූ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරන ලදි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම් උණුසුම වර්තමානයේ ද පවතියි.

මූලාශ්‍ර : ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත

ප.ලි. ඉස්සර බ්ලොග් එකේ පෝස්ට් එකක් දාද්දි ප්‍රශ්න තුනකුත් ඒ එක්කම මම දැම්මා. ආයෙත් ඒක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ඒ නිසා පල්ලෙහා ප්‍රශ්න වල උත්තර දන්නවනම් කියන්න.

1)1912 වර්ෂයේ රුවන්වැලි මහා සෑය ප්‍රථිසංස්කරණයට ලක්ෂ දෙකක් දුන් පුද්ගලයා කව් ද?

2)මුහුදු කොල්ලකරුවන් එක ඇහැක් වහගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති. ඇයි එයාලා එක ඇහැක් වහගෙන ඉන්නේ?

3)පල්ලෙහා පින්තූරයේ තියෙන්නේ දැනට කෞතුගාරයක තියෙන එක්තරා පුද්ගලයෙක් ගේ ඇඟිල්ලක්. මේ ඇගිල්ල කාගෙ ද?

%d bloggers like this: