Menu Close

රෝස මලට කියනවාද?

මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ… කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත.  ඒත් මං හිතුවා, මොන වැඩේ තිබුනත් ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න. ලස්සනට සාත්තු සප්පායම් කරලා ආදරෙන් බලාගන්න. ඉතිං… මං හිමීට ඒ මල අතට ගත්තා, හීනියට තිබුන නටුවෙන් කටුත් ගිලිහිලා තිබුනෙ. ඒ තරමට විනාස වෙලා. ඉතින් ඒ කටුවලට හයිය හත්තිය ඉතුරුවෙලා තිබුනෙ නෑ, මගෙ ඇගිලි තුඩුවලට රිද්දන්න තරම්… ඒ තරමට දුර්වල වෙලා ඒ “රෝස මල”.

මල වටකර පෙති සැදුනේ
පෙති රකින්න නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතිත් එක්ක මං…

කාලය වේගයෙන් ගතවෙලා ගියා. ඒ රෝස මල දැන් හරිම ශක්තිමත්. නටුවත් එහෙමයි. ඒත් ඒක තියෙන්නෙ තාමත් මං ලග. චූටිම චූටි ලස්සන පෝච්චියක. අව්වට වැස්සට සුළගට අහු නොවුනාමත් නෙමයි. ඒත් ඒ හැම දෙකින්ම තව තවත් ලස්සන උනා ඒක. මාත් ගොඩාක් ලොකුවට ට්‍රයි කලා ඒක පරිස්සම් කරන්න. ඒත් සමහර වෙලාවට ඒකට මදි උනා මං දුන්න සීමිත ඉඩකඩ. ඒ රෝස පැලේට ඔන උනා ඉර පැත්තට ඇදීලා යන්න. අවට පෝච්චිවල තියෙන අනිත් පැල එක්ක හරි හරියට තරග කරන්න. මං පැත්තක ඉදගෙන ඒ දිහා ගොඩාරියක් බලාන හිටියා. තව තවත් ට්‍රයි කලා පරිස්සම් කරන්න. එහෙම කරන්න හදපු වෙලාවට මගේ අත කටුවලින් හූරන්නත් නටුව අමතක කලේ නෑ. හීනි නහර පලාගෙන ලේ එන්න ගන්නකොට මං ඉවසගෙන හිටියෙ හරිම වේදනාවෙන්.

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්
කියන්න මා‌ පෙම් කළ බව
රෝස ගහ තරම්…

කොච්චර ලස්සන උනත් රෝසිට කවදාවත් වෙනස් කරගන්න බැරි පුරුද්දක් තිබුනා. එයාට වතුර නැති වුනත්, පස සවුත්තු වුනත්, හුළග දරාගන්න බැරි වුනත්… අඩුම තරමෙ මොනම හරි දෙයක් වුනොත් ඇකිලෙන පුරුද්දක්. හරියට නිදිකුම්බා මලක් වගේ. හැම දේටම “උත්තරයක් නොවුනු, ඒ වගේම කවදාවත් හරි උත්තරයක් නොවෙන” උත්තරයක් තිබුනා. ඒක හරිම අස්වාභාවිකයි වගේම අනතුරුදායකයි. ඒ ඇකිලෙන හැම සැරේම නටුවෙන් කටු විහිදෙන්න ගත්තා,විසිරෙන්න ගත්තා. ඒ හැම සැරේම ලග පාතක තිබුන රුධිර නාල වලින් රුහිරේ වෑහෙන්න ගත්තා. අතපය දරුණු විදියට හීරෙන්න ගත්තා. මං එක්ස්පෙරිමන්ට් කරන්න ගත්තා, ඒ ඇකිලෙන එක නවත්තන්න විදියක් හොයාගන්න, මොකද කවදාවත් අව් වැසි හුලං නවත්තන්නට මට බැරි බව හොදින්ම දන්නා නිසා. අඩුගානේ ඒවායින් ආවරණය වෙන්න, ඒවට උත්තර හොයන්න විදියක් එයාටම හදාගන්න දෙන්න.

දන්නවද, ලෝකෙ තියෙන හොදම සම්මතය”සුදු කොඩිය”. මට මිහිතලේ එක්ක කතා කරන්න බැරි උනාට ඒකෙම කොටසකට පුලුවන් වෙන්නම ඔනෙ කතාකරන්න- කතා කරලා විසදගන්න. මට පුලුවන් සුදු කොඩියක් වෙන්න විතරමයි. ඉතිං මං මාස ගානක් නැවත නැවත කිව්වා රෝසිට, ඇකිලෙන එක නවත්තන්න කියලා- ලේ පෙරෙන අත පෙන්නලා… ඒත්, කවදාවත් ඒක වැඩක් උනේ නෑ… අන්තිමට, මට සිද්ධ වුනා ඉඩදෙන්න, වගෙම පිලිගන්න… කවදාවත් ස්වභාව ධර්මය වෙනස් කරන්න බෑ කියලා.

රෝස මලට කියනවාද
මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුනු වග…
%d bloggers like this: