Menu Close

බැංකු ඒමටත් කලින් ණය දුන් බැංකු වෙළෙන්දෝ

“උඹනම් හෙට්ටියෙක්ම තමා” යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ ‘හෙට්ටි වීදිය’ ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙට්ටියා කියන්නේ කව්ද? මේ ලිපිය ඒ සදහායි.

චෙට්ටියාර්වරුන්, සෙට්ටි, චෙට්ටි හා සේති ආදී නම් වලින් මොවුන් හදුන්වති. එහෙත් ලංකාවේ අපට මොවුන් හෙට්ටි ය. මොවුන් පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ මදුරෙයි වලට ආසන්නව පිහිටි චෙට්ටිනාද් ප්‍රදේශයෙනි. එහි ගම් 75ක් තිබේ. චෙට්ටියාර්වරුන් වාණිජ ජන කොටසක් ලෙස සාර්ථක වූයේ දහය හා එකොළහ යන සියවස් වල බලයට පැමිණි චෝල අධිරාජ්‍යයේ දී හා දහතුන් වන සියවසේ දී බලයට පැමිණි පාණ්ඩයන් යටතේ දීය. මුදල් පොලියට දෙන්නන් ලෙස මොවුන් ඉතා ප්‍රකටව සිටියේය. එබැවින් වෙළෙන්දා යන අර්ථය ඇති වනික්කාර් යන නමින් මොවුන් හදුන්වා ඇත. මොවුන් වාණිජ ජන කොටසක් බැවින් නගරබදව ජීවත් වීමට ප්‍රියතාවයක් දක්වයි. එමනිසා නගරබදව වාසය කිරීමට ප්‍රිය කරන යන අරුත ඇති නගරාතර් යන නමින්ද මොවුන්ව හදුන්වා තිබේ.

මෙම චෙට්ටියාර්වරුන් ව පසු කලෙක ‘දකුණු ඉන්දියාවේ යුදෙව්වන්’ ලෙස හදුන්වා ඇත. එසේ හදුන්වා ඇත්තේ මුදල් පොලියට දීම පාරම්පරික වෘත්තියක් කරගත් සමහර යුදෙව් ජන කොටස් නිසාවෙනි. මෙම හෙට්ටීන්ගේ ලංකාගමනය ගැන පැහැදිලිව සටහන් වන්නේ ලන්දේසි යුගයේ දීය. එනම් ක්‍රි.ව. 1656 සිට ක්‍රි.ව. 1796 දක්වා කාලයන් වලදීය. එහෙත් ලන්දේසීන් තම වෙළද අධිකාරිය කිසිවෙකුටවත් පැවරුවේ නැත. එය ඔවුන් විසින්ම තබා ගත්තේය. මේ හේතුවෙන් ලන්දේසි යුගයේදී හෙට්ටීන්ට ලංකාවේදී සාර්ථක වීමට හැකියාව ලැබුනේ නැත. එහෙත් ඉංග්‍රීසීන්ගේ කාලයේ දී ඔවුන් වෙළද ඒකාධිකාරිය තමන් සතුවම තබා නොගෙන නිදහස් වෙළදාමට ඉඩ ලබා දුන්නේය. මෙයින් හෙට්ටීන් ප්‍රයෝජන ගත්තේ ය. ඔවුන් ලංකාවට අමතරව බුරුමය, සිංගප්පූරුව, සුමාත්‍රා, වියට්නාමය, මුරුසිය හා දකුණු අප්‍රිකාව ආදී රටවල් වලට වෙළදාම උදෙසා සංක්‍රමණය විය.

හෙට්ටීන් ලංකාවට පැමිණීමට මූලික හේතුව වූයේ මුදල් ඉපයීමයි. ඒ සදහා ඔවුන් මුදල් පොලියට දීම, රන් භාණ්ඩ උකස් ගැනීම, සහල් රෙදිපිලි හා මුතු ආදිය මිලට ගැනීම සිදු කළේය. ලංකාවේ ප්‍රථම වාණිජ බැංකුව වූයේ ලංකා බැංකුව යි. එය 1841 වසරේදී ආරම්භ විය. එය ආරම්භ වීමට ප්‍රථම බැංකුවෙන් සිදුවිය යුතු ණය දෙන කටයුතු සිදු කලේ හෙට්ටීන් විසිනි. මේ නිසා ඔවුන්ව ‘බැංකු වෙළෙන්දෝ’ යන නමින් ද හැදින්වීමට පටන් ගත්තේය. බැංකු ආරම්භය නිසා හෙට්ටීන්ගේ ව්‍යාපාර වල පසුබැස්මක් දක්නට ලැබුනේ නැත. ඔවුන් ලාභ ඉපයීමේ අරමුණින් ඈත ගම් වලට ද ගියේය. බැංකු කටයුතු නොදන්නා අයට අඩු පොලියට බැංකුවෙන් මුදල් රැගෙන වැඩි පොලියට ලබා දුන්නේ ය.

හෙට්ටීන් මුදල් ණයට දුන්නේ රණ් භාණ්ඩ, ඉඩම් හෝ වටිනා යමක් ඇපයට තබාගෙන යි. ණය ලබා ගත් පුද්ගලයාට තම ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට එම ඇපය හෙට්ටීන් ට හිමිවේ. එහෙයින් මෙසේ ණය ගෙවා ගැනීමට නොහැකි වූ බොහෝ දෙනාගේ දේපළ හෙට්ටීන් ට හිමි විය. හෙට්ටීන් ගේ ණය ලබාගෙන තම ව්‍යාපාර දියුණු කරගත් අයද බොහෝ වෙති. බැංකුව හා ජනතාව අතර අතරමැදියා ලෙස කටයුතු කරමින් අවධානමකට මුහුණ දී ණය ලබා දී ලංකාවේ ආර්ථිකය නැංවීමට කටයුතු කිරීම නිසා 1934 වසරේ දී හෙට්ටීන් ට ලංකා බැංකු කොමිසම විසින් අගය කිරීමක් කර තිබේ.

“මා කුඩා කල නිතර ඇසූ පැරණි කියමනක් නම් හෙට්ටියාගේ වචනය ඔහුග්වෙ පොරොන්දු පත්‍රය තරමටම විශ්වාසදායී බවයි” ලෙස ආර්.එල්. බ්‍රාහියර් විසින් තම කෘතියෙ හි සටහන් කරයි. එනම් හෙට්ටීන් වෙළදාම කරන්නේ විශ්වාසය මතයි. කවුරුන් හෝ තමන්ට රුපියල් වංචා කලහොත් ලක්ෂයක් වුවද වියදම් කර නඩු කියා තමන්ට සාධාරණය ඉටු කරගැනීමට හෙට්ටීන් පෙළඹේ. මෙවැනි නඩු බොහොමයක් ලංකාවේ තිබුණු අතර එම නඩු ලංකාවේ වාණිජ නීති සංවර්ධනයට බොහෝ රුකුලක් විය.

හෙට්ටීන් තම දරුවන්ට මෙම ව්‍යාපාරය උගන්වන්නේ දාහතර හා පහළොව යන වයස් වලදීය. කිසිම විටෙක පියා විසින් පුතාට ව්‍යාපාර කටයුතු උගන්වන්නේ නැත. ඒ සදහා පුතාව වෙනත් අයෙකු වෙත යොමු කරවයි. අවුරුදු තුනක හතරක වැනි පලපුරුද්දක් ලැබුණු පසු ඔහුට පියාගේ ව්‍යාපාරයේ තනතුරක් හිමිවේ. එයත් ලොකු තනතුරක් නොවේ. පියාගෙම ව්‍යාපාරයේ සේවකයෙකු යටතේ ඇති තනතුරකි. මේ නිසා පුතාට තම පියාගේ ව්‍යාපාර නිසා උද්ධච්ඡ කමක් ඇති වන්නේ නැත. ටික කලක් ගත වූ පසු පියා විසින් පුතාට මුදල් ලබා දේ. ඒ ඔහුටම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි. මුල් කාලයේ දී පියා තම පුතුගේ ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවත් එය ක්‍රමක්‍රමයෙන් අඩු කරයි.

හෙට්ටීන් හට කෙතරම් මුදල් තිබුනත් ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කිසිවක් නැත. ඔවුන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කරයි. මේ නිසයි අද සමාජයේ ද ලෝබ තැනැත්තන්ට හෙට්ටියා යන වදන ව්‍යවහාර වන්නේ. හෙට්ටීන් අරපිරිමැස්මෙන් මුදල් භාවිතා කලද ආගමික කටයුතු සදහා කිසිදු පැකිලීමකින් තොරව මුදල් වියදම් කරයි. මොවුන් කෝවිල් බොහොමයක් ඉදිකර තිබේ. කොළඹ හෙට්ටි වීදියේ පරණ කදිරේෂන් කෝවිල, නව කදිරේෂන් කෝවිල හා බම්බලපිටිය කෝවිල උදාහරණ කිහිපයකි. බටහිර ජාතීන් ලංකාව යටත් කරගත් පසු මෙහි මිනිසුන් ආගම් වෙනස් කළද හෙට්ටීන් තම ආගම වෙනස් කලේ නැති බව කියවේ. ඔවුන් දැඩි ශිව භක්තිකයන් වේ. හෙට්ටීන් කොළඹට පැමිණ වරාය ආසන්නයේ වාසස්ථාන ලබා ගත්තේ ය. මෙම පෙදෙස් හෙට්ටි වීදිය ලෙස හැදින්වේ. හෙට්ටි වීදියේ තිබූ බොහෝ ගොඩනැගිලි හා ඉඩම අයත්ව තිබුනේ හෙට්ටීන් හටයි. වර්තමානයේ දී මෙයින් බොහොමයක් වෙනත් අය හට අයිතිව තිබුනද අදත් සමහර ගොඩනැගිලි වල අයිතිය හෙට්ටීන් විසින් ඉදිකල කෝවිල් සතුව පවතියි.

1948 අංක 18 දරණ ඉන්දු පකිස්තාන පුරවැසි පනත යටතේ ලංකාවේ රැදී සිටි බොහෝ විදේශිකයින් ලංකාවේ පුරවැසිකම ලබා ගත්තද හෙට්ටීන් ඒ සදහා උනන්දු වූයේ නැත. මේ නිසා එක්දාස් නමසිය පනහ දශකයෙන් පසු ඔවුන් තම මව්බිම කරා යන්නට විය. වර්තමානයේ දී හෙට්ටීන් ගේ ව්‍යාපාර යැයි පවසන විට ‘මුතුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස්’ මතක් වේ. එහෙත් මෙය චෙට්ටි නොහොත් හෙට්ටි වන්නේ නමට පමණි. මන්ද මෙහි වර්තමාන අයිතිකරු හෙට්ටියෙක් නොවන බැවිනි. 

පන්දහසකට අධික හෙට්ටීන් පිරිසක් සිටි ලංකාවේ වර්තමානය වන විට සිටින්නේ පවුල් පහක් පමණි. ලංකාවේ ව්‍යාපාර නීති සංවර්ධනයට හා එකල ආර්ථික සංවර්ධනයට කල සේවය නිසා අප ඔවුන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන් ලංකාවෙන් පිටවන විට ඔවුන් සතුව ඇති අති විශාල වස්තු සම්භාරය ද ලංකාවෙන් පිටවූ බව අමතක නොකල යුතුයි.

%d bloggers like this: