Menu Close

ජාතික වස්තුවක් ලෙස මියගිය වීදි ගායිකාව – ඊඩිත් පියැෆ්

ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම පැමිණි පුද්ගලයින්ගේ ජීවිත කතාව බලන විට අපට වැටහී යන්නේ ඒ අතුරින් බොහෝ දෙනාට සුන්දර අතීතයක් හිමි නොවූ බවයි. ඊඩිත් පියැෆ් ද එසේයි. ඇය ප්‍රංශයේ වීදි ගායිකාවක් වූයේ කුසට ආහාරයක් ලබා ගැනීම උදෙසා විනා ජනප්‍රියත්වයට පත් වීමට නොවේ. එහෙත් ජනප්‍රියත්වය ඇය පසුපස හඹා ආවාය. වීදි ගායිකාවක් ලෙස තම සංගීත දිවිය ආරම්භ කර 1963 දී මියයන්නේ ප්‍රංශයෙන් එතෙක් මෙතෙක් බිහිවූ සුවිශාල අන්තර්ජාතික තාරකාවක් ලෙස තම නම රඳවාය. මේ ඇයගේ කතාවයි.

ඇයගේ කුඩා කාලය

ඊඩිත්ගේ කුඩා කල ගැන තොරතුරු අතිශයින් විරලයි. ප්‍රංශයේ මිනිසුන් අතර පවතින කටකතා වල පැවසෙන්නේ ඇයගේ මව ඇයට පදික වේදිකාවකදී උපත ලබා දුන් බවයි. එහෙත් ඇයගේ උප්පැන්න සහතිකයේ තිබෙන්නේ ඇය ප්‍රංශයේ ටෙනොන් රෝහලේ 1915 වසරේ දෙසැම්බර් මස 19 වන දින ඉපදී ඇති බවයි. ඇයගේ උපත් නාමය ඊඩිත් ජියොවන්නි ගැසියොන් ය. ඇගේ පියා ලුවිස් ගැසියොන් ය. ඔහු වීදි සංදර්ශන කරුවෙකි. මව ඇනෙට්ටා ජියොවන්නි වන අතර ඇය ආපනශාලා වල ගායිකාවක් ලෙස කටයුතු කළාය.

ඊඩිත්ගේ මව තම දරුවාව රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙයින් දරුවාගේ වගකීම පැවරුනේ පියාටයි. පියාටද ඊඩිත් ඉපදී වසරක් යාමට මත්තෙන් (1916 දී) පලමු ලෝක යුද්ධය සදහා ප්‍රංශ හමුදාවට බැඳෙන්නට නියෝගයක් ආවේය. එම නිසා එකල අතදරුවෙක් වූ ඊඩිත්ව ඔහු නතර කරන්නේ ඔහුගේ මව ලඟයි. ඊඩිත්ගේ මිත්තණිය එකල ගණිකා නිවාසයක් බාරව සිටියේය. එහෙයින් ඊඩිත්ව කුඩා කල රැකබලා ගත්තේ ගණිකාවන් විසිනි.

1929 වසර වන විට ඊඩිත්ට වයස අවුරුදු 14කි. මේ වන විට ඇගේ පියා හමුදාවෙන් නික්ම පැමිණ නැවත වීදි සංදර්ශන වල නිරත වීමට සූදානමින් සිටියේය. මෙහිදී ඔහු තම දරුවා වන ඊඩිත්ව වීදි වේදිකාවට හදුන්වා දුන්නේය. ඊඩිත් පලමුවරට සමූහයක් ඉදිරියේ ගායනා කරන්නේ මෙම අවස්ථාවේදීයි. වයස අවුරුදු 15 දී ඇයට මෝමොනෙ නමින් වූ තමන්ගේ සහෝදරියක්ව හදුනාගැනීමට හැකිවේ. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ වීදි වල ගායනා කරමින් තමන් අතට මුදල් රැස්කරගත්තේය. තරමක් මුදල් එක්රැස් වූ පසු ඔවුන් ජීවත්වීමට කුලියට නිවසක් ගත්තේය.

පලමු ආදරය

1932 වසරේදී ඇය ලුවිස් ඩුපොන්ට් නම් තරුණයෙක් සමග ආදරයෙන් බැදුනේය. වැඩි කාලයක් යාමට පෙර ඔහු ,ඊඩිත් හා මෝමොනෙ එකල ජීවත්ව සිටි කුඩා කාමරය වෙත ආවේය. තිදෙනාම එකට එකම කාමරයේ සිටීම ඊඩිත් හැර අනෙක් දෙදෙනාම කැමැත්තක් දැක්වූයේ නැත. ඊඩිත් වීදියේ ගායනා කරනවාට ලුවිස් කැමැත්තක් දැක්වූයේ ද නැත. එමනිසා ඔහු ඇයට බොහෝ රැකියා අවස්ථා තෝරා දුන්නද ඇය ඒවාට යාමට අදිමදි කළාය. නමුත් ඊඩිත් ඔහුගෙන් ගැබ්ගත් පසු කෙටි කාලයකට රෙදිපිළි කර්මාන්තශාලාවක රැකියාවකට ගියේය.

1933 දී 17 හැවිරිදි ඊඩිත් මාර්සෙලා නම් වූ තම දියණියට උපත ලබා දුන්නාය. ඊඩිත් ද තම මව මෙන් දරුවන් රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මෙය කැමැත්තක් නොදැක්වීමට වඩා ඇය දරුවන් බලාගන්න ආකාරය දැන සිටියේ නැහැ. දරුවා ඉපදුන පසුද ඇය තම සොහොයුරිය සමග වීදි වල ගායනා කිරීමට ගියාය. මේ නිසා කෝපයට පත් ඊඩිත්ගේ පෙම්වතා ඇයත් සමග කල රණ්ඩුවක ප්‍රථිපලයක් ලෙස ඇය තම සොහොයුරිය හා දරුවා සමග හෝටල් කාමරයක නවාතැන් ගැනීමට ගියේය. මෙහිදී ද මොවුන් දෙදෙනා දරුවාව කාමරය තුල දමා වීදියේ ගායනා කිරීමට ගියේය. මේ නිසා ලුවිස් පැමිණ දරුවාව තමන් වෙතට ගෙන කියා සිටියේ දරුවාව ඕනනම් ඊඩිත්ට ඔහු සමග විසීමට නැවත පැමිණිය යුතු බවයි. නමුත් ඊඩිත් නැවත ඔහු වෙත නොගියත් දරුවාගේ වැඩකටයුතු සදහා මුදල් ඔහු වෙත යැව්වාය. අවාසනාවන්ත අයුරින් මාර්සෙලා වයස අවුරුදු දෙකේ දී රෝගී වී මියයයි. කටකතා වල පැවසෙන්නේ ඊඩිත් තම දරුවාගේ අවමංගල්‍ය සදහා මුදල් එවිට නොතිබූ නිසා මිනිසෙක් සමග නිදිවැදූ බවයි.

වීදි ගායනයෙන් සමාජශාලාවට

1935 වසරේදී ඊඩිත් සුපුරුදු පරිදි ප්‍රංශයේ පැරීසිය නගරයේ වීදි වල ගායනා කරමින් සිටින අතරතුර පැරීසියේ රාත්‍රී සමාජ ශාලාවක අයිතිකරුවෙක් වන ලුවිස් ලෙප්ලී ඇයට මුණගැසෙයි. මොහු ඇයගේ ගායනය දෙස බලා ඇයව තම සමාජ ශාලාවේ ගීත ගැයීමට යොදා ගනියි. ඊඩිත් හට පියැෆ් යන නාමයද ලබා දෙන්නේ මොහු විසිනි. ඔහු කියා සිටියේ ඇගේ පෙර නම ගායිකාවකට සුදුසු නොවන බවයි. එම නිසා එතැන් පටන් ඇය ඊඩිත් පියැෆ් නමින් සංගීත දිවියට පිවිසෙයි. ලුවිස් විසින් ඇයට කළු ගවුමක් ඇදීමටද කියයි. ඊඩිත් විසින් තම සංගීත දිවිය පුරාවටම එය තම අනන්‍යතාවයක් ලෙස තබා ගත්තේය.

රාත්‍රී සමාජ ශාලා වල ගායනා කිරීමට පටන් ගත් පලමු වසරේදීම ඇය තම ප්‍රථම ගී නිර්මාණ දෙක එළුදැක්වූයේය. මෙම සමාජ ශාලාවට බොහෝ ජනප්‍රිය පුද්ගලයින් පැමිණි නිසා ඊඩිත් හට ඔවුන්ව හදුනාගැනීමට ද අවස්ථාව සැලසුණි. 1936 වසරේ අප්‍රේල් 6 වන දින ලුවිස් ලෙප්ලී ව තම කාමරයේ දී ඝාතනය කරනු ලබයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊඩිත්ව සැකකරන ලැබූ නමුත් ඇය මෙයට කිසිදු සම්බන්ධයක් නොවීය. මේ නිසා එකල සිටි සමාජ ශාලා හිමියන් ඇයව තමන් යටතේ වැඩට ගැනීමට බිය විය. එහෙයින් ඊඩිත් හට නැවතත් වීදි වල ගායනා කිරීමට සිදුවිය.

සමාජශාලාවෙන් රංග ශාලාවට

බොහෝ තැන් වලින් ප්‍රථික්ෂේප වී සිටි කාලයේ ඊඩිත් ව සංගීත කටයුතු සදහා රේමන්ඩ් ඇස්සෝ එක්කර ගනියි. ඊඩිත් හට ‘ඊඩිත් පියැෆ්’ යන වේදිකා නාමය දිගටම පවත්වාගෙන යන ලෙසද ඔහු පවසයි. ඊඩිත් ව නියම ගායිකාවක් ලෙස සකසන්නේ මොහුයි. ඇයට හොද පුහුණුවක් ඔහු ලබා දෙයි. රේමන්ඩ් ඇයට ආදරය කරන්න පටන් ගත් නමුත් ඔවුන්ගේ සම්බන්ධය එතරම් කලක් පැවතුනේ නැත.

සමාජ ශාලා වල සහ වීදියේ ගායනා කරමින් සිටි ඊඩිත් ව පැරීසියේ ප්‍රකට රංග ශාලාවක ගායනයක් සදහා යොමු කරන්නේ රේමන්ඩ් ය. ඔහු ඇයට ඇයගේ ප්‍රථම ජනප්‍රිය ගීතය නිර්මාණය කර දෙයි. එය නමින් ‘Mon Legionnaire’ ය. 1939 දී දෙවන ලෝක යුද්ධය සදහා ප්‍රංශය හමුදාවට සේවය කිරීමට රේමන්ඩ් හට නියෝගයක් පැමිණියේය. මෙයින් ඊඩිත් සහ රේමන්ඩ්ගේ ආදර සම්බන්ධය බිද වැටුණි.


දෙවන ලෝක යුද්ධ අවධියේ දී

දෙවන ලෝක යුද්ධ අවධියේ දී ඊඩ්ත්ගේ ජනප්‍රියත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියේය. ජර්මානුවන් පැරීසිය ආක්‍රමණය කල පසු සමාජශාලා ආදිය පෙර පරිදිම විවෘතව තැබුණි. ඊඩිත් ගණිකා නිවාස වල සහ සමාජශාලා වල නිතර ගායනයට ගියේය. ලෝකය යුද්ධයක ඇවිලී ගිය අවධියක ඇය ජනප්‍රියත්වයේ පඩි නගින්නට විය. ජර්මානුවන්ගෙන් ස්වදේශික හමුදා පැරීසිය බේරා ගත් පසු ඊඩිත් එලිදැක්වූ ගීතය ඇයගේ ගීත අතරින් වඩාත් ජනප්‍රියත්වයක් හිමි කරගත් ගීතයකි. එය ‘La Vie en Rose’ වේ.

1947 දී ඇය පදරචනය කර ගායනා කල ‘Mais qu’eat-ce que j’ai?’ එලිදැක්වීමෙන් වසරක් තුල ඇය ප්‍රංශයේ වැඩිම ජනප්‍රියත්වයක් හිමි ගායක ගායිකාවන් අතරට එක්විය. යුද්ධයෙන් පසු ඇය යුරෝපය හා ඇමරිකාව දෙසට ගියේය. ඇමරිකාවට ගොස් ඇය තැබූ මුල්ම ප්‍රසංගයෙන් එහි ජනතාව ඇය කෙරෙහි එතරම් විස්මයට පත් වූයේ නැත. ඇය ශරීර ප්‍රමාණයෙන් කුඩා, කළු පැහැති ගවුමක් ඇඳගත් ශෝක ගී ගැයූ කාන්තාවකි. නමුත් ඇමරිකානු වැසියන් බලාපොරොත්තු වූයේ එවන් අයෙක් නොවේ. නමුත් වර්ජිල් තොම්සන් විසින් නිව් යෝර්ක් පුවත්පතට ලියූ ඊඩිත් පියැෆ් ගැන ලිපිය ඇමරිකානු වැසියන්ගේ ඊඩිත් ගැන අදහස් වෙනස් කිරීමට සමත් විය.

ඇගේ ප්‍රකට ගී අතර ‘Hymne a l’amour’ (1949), ‘La Foule’ (1957) , ‘La Vie en Rose’ (1946), ‘L’Accordeoniste’ (1940), ‘Padam padam’ (1951), ‘Milord’ (1959) සහ ‘Non, je ne regrette rien’ (1960) ගීත ප්‍රමුඛ තැනක් ගනියි.

පැරීසියේ ඔලිම්පියා සංගීත ශාලාව යනු ඊඩිත් හට දිගු කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුන් ස්ථානයයි. පැරීසියේ වැඩිම ජනප්‍රියත්වයක් තිබූ මෙම සංගීත ශාලාවේ ඇය 1955 සිට 1962 අතර කාලයේ දී බොහෝ සංගීත ප්‍රදර්ශන පැවැත්වූයේය. නමුත් 1960 අවධියේ දී ඔලිම්පියා සංගීත ශාලාව බැංකු කටයුත්තක් නිසා හිරවී වසා දැමීමේ තත්වයට පත් වීමට ගියේය. මෙයින් සංගීත ශාලාව බේරා ගත්තේ ඊඩිත් විසිනි. ඇය එම සංගීත ශාලාවේ බොහෝ වාර ගණනක් පෙනී සිටි අතර එය සදහාම විශේෂිත වූ ගීතයක් ද නිර්මාණය කලේය. එය ‘Non, je ne regrette rien’ නම් වේ. මෙය විසින් නිර්මාණය කල විශිෂ්ටතම ගීතයක් වන අතර ප්‍රංශ භාෂාව නොදන්නා අයෙකු පවා මෙම ගීතය ඇසීමෙන් එයට වසඟ වනු නිසැකයි. ඔලිම්පියා සංගීත ශාලාව සදහා ඇය මෙම ගීය ගයා ඉන් වසර තුනකට පසු(1963 දී) ඇය මියයයි.

ඊඩිත්ගේ පෞද්ගලික ජීවිතය තරමක් සංකීර්ණය. ඇයට ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබූ අතර දෙවරක් විවාහ විය. ඇය වාහන අනතුරු කිහිපයකටම මුහුණ දුන්නේය. එයින් ඇගේ ඉළ ඇට දෙකක් ද ගැලවී ගිය අතර ඇයට අවසාන කාලයේ සිට ගැනීමට අපහසු තත්වයකට පත් විය. ඊඩිත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. ඇයට එය නවත්වන්න යැයි කවුරුත් කීවේ ද නැත. මන්ද ඇගේ ජීවිතයේ එකදිගට වැඩි කාලයක් සිටි අය සිටියේ නැත. කෙතරම් ජනප්‍රියත්වයක් තිබුනද ඇගේ ජීවිතය නිරන්තර දුකින් පිරී තිබුණි. ඇගේ ගීත වලින්ද ඇය ඉදිරිපත් කලේ ඇගේ විරහවයි.

ඇගේ ජීවිතය අලලා චිත්‍රපට හා වාර්තා වැඩසටහන් බොහොමයක් නිර්මාණය විය. ඒ අතර 2007 වසරේ දී තිරගත වූ ඇකඩමි සම්මාන දිනූ ‘La Vien en Rose’ චිත්‍රපටය විශේෂ වේ. වීදි ගායිකාවක් ලෙස සංගීත දිවිය ආරම්භ කර ප්‍රංශයේ ජාතික වස්තුවක් ලෙස මියගිය ඊඩිත් පියැෆ් ඇයගෙන් පසු පැමිණි කලාකරුවන්ට හා විශේෂයෙන් කලාකාරිනියන්ට මහත් පිටුබලයක් සැපයූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මූලාශ්‍ර :
1) https://en.m.wikipedia.org/wiki/Édith_Piaf

2) https://www.britannica.com/biography/Edith-Piaf

3) https://www.telegraph.co.uk/culture/10374637/Edith-Piaf-Mistress-of-heartbreak-and-pain-who-had-a-few-regrets-after-all.html

4) https://youtu.be/ue1pRDnVRqg

   https://youtu.be/dBWtdJCHB5o

   https://youtu.be/WhlPp8z6BYk

   https://youtu.be/EVTDxMJjBP0

%d bloggers like this: