Menu Close

චිත්‍රපටි හෙවත් drawings tapes – 1

ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට අම්මගෙයි මගෙයි අහිකුන්ටක ජීවිතේ තැනින් තැන. එයින් දවසක අම්මා මාවත් ඇරං තාත්තගෙ මහ ගෙදරට ගියහම දොස් කියන්නෙ ආච්චි අම්මට.

“නැංදම්මටේදාස්සොල ඕකව හරියටදෙකද්දීල හදාගංබැරිවිච්චෙකේ කර්දරේ තමා මේ උගෙපැටියයිමායිමේ විඳොවන්නෙ”

ආං ඒ වෙලාවට ආච්චි අම්මත් ඡන්ද රැස්සීමක කෑ ගහන්නා වගේ අත් දණ්ඩ උඩට උස්සලා අතේ තියෙන ඇලමේනියං වළලු දෙක “සල සල” කියල සද්ද වෙන්න හොලෝලා අපෙ අම්මට කඩා පනිනව.

“අනේ කටවැහැගනිං ජයෝ. ඒ දාස්සොල උඹලමනෙයැ ඕක එක්ක ජෝඩු දමං අයිසෙ පොඩිමහත්තයෑ චිත්තරපටි හෝල්ලෙකේ රිංගුවෙ චුජු ඥංගි බලංඤ යඤව කිය කියා. මං මෙතන ඕකට ඉලපච් කැඩෙනකං තඩිගැහුවට ඇහුවෑ”

ඒ වෙලාවට තමුන්ගෙ සායම බේරගන්න අපේ අම්ම ආච්චිඅම්මගෙ කට වහන්න නොවඳිනා වැඳුං වඳිනව.

“ඇතිඇතිනැංදම්මෙ මේ මුං නරක්කෙනව ඕව ඇහුවං. ඔයෑති ඕක නවත්තගන්නකො. බොරුකියෝනොව ඉඳං.”

ඒ උනාට ආච්චිඅම්මගෙ කට වහනව බොරු.

“හිටාං මං මෙතැංදිම හගිස්සන්න. මේ මැණික එහෙම හිටියනෙ ඒදාස්සොල. උන්ට මතක නැතෑ. ඉනඩුවයියාවෙ මේ හැමේකාම නාකි මයෙ ඇටටිකනෙ සූප්පු කොරන්න හදන්නෙ”

ඔය විදිහට චිත්තරපටි ගැන ඇහෙන හැම වෙලාවකම මං

“මොකද්ද අම්මෙ චිත්තරපටි කියන්නෙ?”

කියල ඇහුවම

“චිත්තරපටි කියන්නෙ චිත්තරපටි ඔල්ට”

කියල අම්ම උත්තර දෙනව.

“ඒවෑ හැටි කොහොමද?”

“ඒවෑ හැටි අහගං තොපෙ මහ එකා ආවං”

“ඇයි ඉස්සර අම්මත් චිත්තරපටි බලන්න ගියා කිව්වෙ”

“කවුද තොට කිව්වෙ”

“ඇයි පහුනු සැරේට කලිං සැරේ තාත්ත අපිව ගහල පැන්නුව වෙලේ ආච්චි අම්ම එදා කිව්වෙ. අම්ම තාත්තවත් ඇරං ගියා කියල මේ සුදු නංගි ද කවුද එකියක් බලන්න යනව කියල.”

“අම්පා තොපෙයාච්චියම්මගෙ කට තමා බොල්ලෑව ඉස්සරහට දාං හැමසෙද්දටම. පොඩියෙවුං ඉස්සරා කියන කතාද අම්ප කියන්නෙ”

අම්ම ආච්චි අම්මගෙ කට හදන්න කතාව.

“එහෙනං ඉතිං බලන්න ගිය එකේ ඒකෙ හැටිත් දන්න එකේ කියන්නකො. ඉස්කෝලෙ ගියදාක ඇහුවං දන්නෑ කිව්වං මං එපෑ ගුරුඔරුංගෙං ඒකටත් ගුටිකන්න.”

මං අධ්‍යාපනේ ඉස්සරහට දාල අම්මගෙං අහනව.

“හිටපිය මං තොට දෙන්න හොඳ චිත්තරපටියක්. දැං සැරෙයක් කිව්ව දෙකක් කිව්වහන්නෑ”

අම්ම ඉඳගෙන හිටි තැනිං නැගිටින්නෙ වැලමිටත් මේස කකුලෙ ඇනගෙන. මේ වෙලාවට ඉලපත්, කොහු මිට, දර පොලු, හැඳිමිට, දුමේ තියෙන පුවක් පටි, වගේ අත් ආවුද වගේම ලුණු පොල්කට්ට, පොල් බෑය, මැටි කෝප්ප වගේ දමා ගහන ආවුද මොකක් හරි මාව හොයාගෙන එන්න කලිං මං ගෙයිං දොට්ට පනිනව. ඉං පස්සෙ කනේ කලාඳුරු සුද්ද වෙන්නත් එක්ක මගෙ පස්සෙං එළවන්නෙ උන්දැගෙ කටේ සැර ඉතරයි.

“තෝ වරකො කොයි වෙලේ හරි ගෙට. ඇහ්දෙකේයිඳං පට්ට ගහන්නෙ තෝව මං.”

********************************************************************************

ඔය විදිහට චිත්තරපටි කලාව වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු මට චිත්‍රපටියක් බලන්න පොටක් පෑදෙන්නෙ ආණ්ඩුව හින්දා.

 ඒ කාලෙදි අපේ පුංචම්මා ඇතුලු ගමේ කොලු කෙළි රෑන එක්කහු වෙලා යවුවන සමාජෙ කියල එකක් හදං තිවුනා. ඒකෙ ඉන්න හැමෝම සතියක් හමාරකට සැරයක් යවුවන සමාජ හෝල්ලෙකේ රැස්සීමක් තියලා මහ හයියෙං කෑ ගගහ, හිනා වෙවී ඉඳල අල්මාරියෙ හංගන ජාතියෙ කතා පොතකුත් ඇරං ගෙදර එනවා. එන ගමනුත් පාර අයිනෙ ගස්වල ඉන්න කුරුල්ලො රංචු පිටිං බයවෙලා ඉගිල්ලෙන තරං සද්දෙට කෑ ගගහ හිනා වෙනව. ඒ රංචුවෙ ඉන්න කොලු නඩේ පාරෙ යන බල්ලන්ට ගල් ගහනව. කටුස්සො අල්ලල තමුන්ගෙ රංචුවෙ ඉන්න කෙල්ලංගෙ පිටේ එල්ලනව. උං ගිරි යටිං හූ තියාගෙන දුවනව. ඒ පිටිපස්සෙං එන බයිසිකල්කාරයො පන්සලේ හාමුදුරුවො බණට කියන එව්වා මතක් කරනව.

“මොක්කුන්ට ජාතක වෙච්චි හැත්තක්ද මන්ද“

 ඔය ගමන ගිහිං එන හැමදවසකම පුංචම්මා ගෙදර හැමෝගෙම්ම බැනුං අහනව.

“මොකද්ද බං ඔය කෙහෙම්මලෙං ඇති සෙතේ”

“පැදුරක් මල්ලක් වියාගන්න ඉගෙනගංකො ඔය මගුලෙ යනකං”

“අර කරෝලිස්ලෑ එකීලත් බොට නම කියල අඬගහනව මං අහගෙන. කොහොම හරි බාල්දු වෙයංකො ඕකුන්ට”

ඔය විදිහට නවනිංගිරාවිඳපු යවුවන සමාජෙ නම්බුව බේරන්න ඒ කාලෙ ආණ්ඩුව ගානෙ ගමේ අයට චිත්තරපටියක් පෙන්නන්න ලැහැත්ති කෙරුවා. ඒ ගැන මුලිම්ම දැනගත්තෙ යවුවන සමාජෙ අය. ඒගොල්ලො පවුලෙ අයටයි හිතවත්ම අයටයි විතරක් ඒක බලන්න එන්න පණිවිඩේ කිව්වෙ පැත්තකට අඬගහල රහසිං.

“ජාතුංගං අයියෙ අපේයවුවන සමාජෙං චික්රපටියක් පෙන්නනව බලන්නෙන්නෝන හොඳේ. වෙන කාටවක් කියන්නෙපා. ඒ හරියෙංම කිව්වෙ එහෙටයි හේමිචංදරයියටයි ඉතරයි.”

“දහාටේ ගෙදර එවුන්ට එහෙම කියන්නෙපා මැණිකෙ. ඕකුං මෙතෙන බල බලා ගුන්සේකර කඩෙං බඩුගේන්න යන්නෙ”

ආච්චම්මා පුංචම්මට දැනමුතුකං දුන්නා.

“චික්රපටි කියන්නෙ ඇත්තවසයෙම්ම පුග්ගලයෙක්ට බලන්න සුදුසු දේවල් නෙවේ.“

ඉස්කෝල මහත්තේක් වසයෙන් අපේ මාමා ඒකෙ ඇති බැරෑරුංකම පැහැදිලි කෙරුවා.

“අනෙයයියෙ මේ උඹ කටවහං හිටහං“

පුංචම්මා ඒක අනුමත කෙරුවා.

ඔය හිංදා යවුවන සමාජෙ ඉන්න අයගෙ හතුරන්ටයි ඒ ගොල්ලො ඉරිසියාකං කරන අයටයි, ආණ්ඩුවට විරුද්ද පැත්තෙ අයටයි, පුංචම්මගෙ කඩෙං බඩු නොගන්න අයටයි චිත්තරපටිය ගැන දැනගන්න ඉඩ නොතියා රහසක් හැටියටම තියාගත්තා. කොයිතරංද කියතොත් කීපවලියක්ම මගෙ කටිං “චික්රපටිය“ කියල කියවෙනකොටම ආච්චිඅම්මා මගෙ කටත් මිරිකුවා.

හැබැයි චිත්‍රපටිය පෙන්නීම යවුවන සමාජෙ අය විතරක් දන්න රහසක් බව ආණ්ඩුව දැනං හිටියෙ නෑ. ඒ හංදා ලොතරැයි, තෙල් බෙහෙත් එහෙම විකුණන්න ගන්න සද්දෙ අඩු තැප්ප වෙච්චි ලයිස්පීකර් දෙකක් බැඳපු කිරි පාට වෑංඑකක් ආණ්ඩුව ගානෙ ගමට එවලා වැඩි සද්දයක් නැතුව චිත්තරපටිය තියෙන තැනයි වෙලාවයි ගැන මුක්කං කට හඬකිං ගම පුරා කියා ඇවිද්දෙව්වා. ඒ ගමන යවුවන සමාජෙ අයගෙ ගෙවල්ඔල අය ඉස්තෝප්පුවට බැහැලා ආණ්ඩුවට තිත්ත කතාවෙං බැන්නා.

“අපේ එවුං මාංසිවෙලා කට කැඩෙනකං කියල ගෙන්නගත්ත එක”

“අම්ප මේ ආණ්ඩුවට බැරියුනානෙ සද්ද නැතුව පෙන්නන බම්බුවක් පෙන්නන්න”

“දැං පුටු කාරයොත් එක්කොම එයි”

“අපිට චිත්තරයක් ඇඳගෙන තමා බලන්න වෙන්නෙ”

“උන්ටම පෙන්නගන්න කියල අපි නොගිහිං හිටිය නං ඉවරයියොන්න”

“ඕක තමා මේයාන්ඩුවට චන්දෙ දෙන්න නාකයි කිව්වෙ”

“ආයි නං මගෙ බල්ලවත් දෙන්නෑ මුංට චන්දෙයක්”

“අම්ප ඔය වෙලේ මං හිටියනං ලැයිස්පීකර කටු දෙක චැප්ප වෙන්න දෙන්නෙ ගල් ගෙඩ්ඩකිං පාරක්”

තැප්ප වෙච්චි ලයිස්පීකරයක්

ඒ ලයිස්පීකරේ කේලම අහපු සමහරු තමුන්ගෙ අසල්වාසීන්ටත් පණිවිඩේ කිව්වා.

“චිත්තරපටියක් පෙන්නනව කියල එලවුස්සෙකක් ගියා කියන්නෙ ඊයෙ”

“ආ… ඔව් මේ අපිටත් දෙහි ගෙදර බාල එකී කිව්වෙ දැං මාසෙකට ඉතර උඩදිං. අපිට නං නෙවැරදීම බලන්න එන්නත් කිව්ව. උංගෙ අර යවුවන සමාජෙද මොකද්ද කෙහෙංමලෙන්නෙ ගෙන්නනව කියන්නෙ.”

“හැබෑද…. දැනගෙනද හිටියෙ. අපිට කිව්වෙ නෑ නේද එතකොට?”

“ඔව් ඉතිං අපේයාණ්ඩුවෙං කෙරෙන දේ අපි දැනං ඉන්නෙපෑ. තමිසෙලෑ ආණ්ඩුවක් ආ කාලෙක තමිසෙලටත් කියනව නැතෑ.”

“අනෙ මගෙ බල්ලවත් යනේකක් නෑ ඔය ලබ්බ බලන්න. අපි වේල කාල පැටව්වෙක්ක බුදියගන්නව මිසක්”

“&*% 98&(*(^&^&**( ද?”

“&^%^ ද %^&(*(* ද කියල අහං තොපෙ TUYI ගෙං”

අන්තිමට වැට පොලු තුන හතරක් ගැලවිලා, උළු කැට පනහක් හැටක් කැඩිලා පොලිස් පොතට ඇන්ටරි දෙක තුනකුත් වැටුනා.

****************************************************************************

චිත්තරපටිය පෙන්නන්න ලැහැත්ති කරල තිවුනෙ නිකෝඩ හන්දියෙ ජෑන්තියෙ පාර අයිනෙ මිදුල් කෑල්ලෙ.

(මේ ජෑන්තිය කියන්නෙ අපේ ගමේ ඉස්කෝලෙට. ගනේවිටේ ඉස්කෝලෙ මහත්තය හිටපු කාලෙ ඒකෙ පෝච්චි හයිකොරපු වැසිකිලි හදෝපු හන්දා ගමේ අය ඒකට කිව්වෙ ‘කක්කුසි ඉස්කෝලෙ’ කියලලු. ඊටත් පස්සෙ කාලෙක එච්චෙස්සී එස්සෙස්සී පංතිඔල කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යාම ඉවර වෙන්නත් කලින්ම යාලුවෙලා හොරෙං පැනල යන්න පටං ගත්තං ඒක ‘පේමජයන්තිය’ බවට පත්වුනා.)
පාර අයිනෙ පොල් ගහ යට චීත්තයක් විතර ලොකු සුදු රෙද්දක් එල්ලල. ඉස්කෝලෙ ලොකු පන්තිවල තියෙන ඩෙස් දෙක තුනක් ඊට ඉස්සරහිං තියල. අර කේලං කියපු ලයිස්පීකර කටු දෙක ගැටගහපු වෑන්නෙක පාරෙ අනික් පැත්තෙ. හැබැයි ඒකට තාම කවුරුවත් ගලකින් ගහල නෑ. ඡන්ද රැස්වීං වලට ගන්න ලොකු පීකර දෙකක් පොල්ගහේ බැඳලා. මිනිස්සු පාරෙ ඉඳං බලං ඉන්නව. පාරෙ යන වාහන හෝන් එක ගහල යන්තං ඉඩ ඉල්ලගන්නව. ගුනසේකර මාමගෙ බාරෙක ඇරල ඒක ඇතුලෙ ලාම්පුවක් පත්තු වෙනව. (මේ බාරෙක කියන්නෙ තැබෑරුමක් නෙමෙයි. සිල්ලර බඩු කඩයක්.) යවුවන සමාජෙ අය නයෙක් ගහපු මිනිහෙක්ට බෙහෙත් හොයන්න තරං කලබලෙං එහෙ මෙහෙ දුවනව. මිනිස්සු ආණ්ඩුවට බනිනව.

“මේක පෙන්නන්නැද්ද මංද.”

“අපරාදෙ තව ටිකක් රෑ වෙලා එන්න තිවුනෙ”

“මං බුදුපාන තිබ්බෙත් නෑ”

“මං හිතුවෙ විජානියට පෙන්නල ඉවර කරයි කියල.”

ඒ විදිහට පැය ගානක් බලං ඉඳල හොඳටම ඇඳිරි වෙත්දි ඉස්කෝලෙ හෝල් එක අස්සෙං ලැයිට් ඇංජිමක් ලතෝනි දෙන්න පටං ගත්තා. ඒ එක්කම පොල් ගහේ එල්ලපු මැන්ටලේ වගේ බලුප් එකකුත් පත්තු වුනා. එතන හිටපු මහත්තුරු සැරෙං කිව්වම තව දෙන්නෙක් ගිහිං පන්සලේ තියෙන ජාතියෙ ලොකු පිත්තල පානක් උස්සගෙන ඇහිල්ලා පොල් ගහ යටිං තිබ්බා. ඒ ගමන ගෙපලෙ අජිත් ඉස්සරහට පැනලා මොකද්ද එකක් කිව්වා. ඒ ගමන තව දෙන්නෙක් ඩෙස් එකක් උස්සං ආවා. පාන ඩෙස්සෙක උඩිං තිබ්බා. එතකොට පානෙ මුදුනෙ තිර ටික මිනිස්සුංගෙ ඉහටත් උඩිං. ඒ ගමන ආයි පාන බිමිං තිබ්බා. ඩෙස්සෙක පැත්තකට විසික් කෙරුවා. තව එක්කෙනෙක් පාපිස්සක් ගෙනාවා. පාන ඒක උඩ තිබ්බා.

“තව ඩිංගක් මෙහෙට”

“වැඩියි වැඩියි”

“පේන්නෑ”

අන්තිමට යන්තං පාන එක තැනක තැන්පත් වුනා.  පාන මුදුනෙ ඉන්න කොකා ලයිට් එලියට දිලිසුනා. පාන ඉව කරන්න ආපු සම්බෝල පාට බල්ලට යවුවන සමාජෙ ලොක්කා පයිං එකක් ගැහුවා. බල්ල “කැව් කැවුක් කැව් කැවුක්” කියාගෙන අඬු තුනෙං දිව්වා.

චිත්තර පටිය පෙන්නන්න ආපු මහත්තයෙක්  පීකරෙං කතාව පටං ගත්තා. එයා කියපු දේවල් මට ඒ තරං තේරුනේ නෑ. එයා කොලයක් බලාගෙන කියපු නං ලැයිස්තුවෙ පිලිවෙලට පත ග්‍රාම සේවක රාලහාමි, පොලිස් ලොක්කෙක්, බෙල්ල හිරවෙන්න රෙදි පටියක් ගැටගහපු ලොකු මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, තව මහත්තයෙක්, ආයි තව මහත්තයෙක්, කරෝලිස්  බාසුන්නැහැගෙ බාල කෙල්ල, අන්තිමට පිත්තල පාන දීපු කිතුල්ගොඩ මුදලාලිගෙ පවුල ගිහිල්ලා පොල්තෙල් පාන පත්තු කෙරුවා. මිනිස්සු වැඳගෙන හිටියා.

ඊළඟට ග්‍රාම සේවක රාලහාමි පීකරෙං කතා කෙරුවා. එයාට කියන්න තියෙන ජාති සේරම කිව්වට පස්සෙ පොලිස්සියෙ ලොක්ක පීකරෙං කතා කෙරුවා. එයා කිව්ව කතාවෙං මට තේරුනේ

“ගුටිකෙලගත්තොත් අල්ලල බලු කූඩුවෙ දාන”

කතාව විතරයි. ඊළඟට යවුවන සමාජ හදන තැන ලොකු මහත්තයෙක් කතා කෙරුවා. එයා කියන එව්ව සිංහල බාසාව කියල විතරක් මට තේරුණා. ඊළඟට තවත් ලොකු මහත්තයෙක් කතා කෙරුවා. ඒ හැමෝම ඇති වෙනකං කියෙව්වට පස්සෙ ආයිමත් මුලිංම පීකරෙං කතා කරපු මහත්තයා චිත්තරපටිය පෙන්නන්න හදන්නෙ කියල පීකරෙංම කිව්වා. එයා කිව්ව විදිහට අත් දෙක නැතුව කකුල් දෙකෙං විතරක් වැඩ කරන හැටි පෙන්නන චිත්තර පටියක්ලු පෙන්නන්නෙ.

අම්ම මාව වඩාගත්තා. පොල් ගහේ ලයිට් එක නිමුනා. ඒත් චිත්තර ඇඳපු පටිය පේන්න නෑ. ලයිස් පීකරෙං සිංදුවක් නැතුව සංගීත බාන්ඩ වලිං එන සද්දෙ විතරක් ඇහෙන්න පටං ගත්තා.

“අන්න බලහං. අර”

චිත්තර ඇඳපු පටියක් කොහෙං හෝ පාත් වෙනකං බලං හිටපු මගෙ හොස්සෙං අල්ලපු අම්මා මාව පොල් ගහ දිහාවට හැරෙව්වා. පොල් ගහ යට තිවිච්ච සුදු රෙද්ද කහ පාට වුනා.

“අම්මට උඩු”

මට කියවුනා. ඒ රෙද්දෙ කලිසං ඇඳපු සුද්දියෙක් මතුවුනා. එක යමරෙයයි. උන්දැගෙ අත් දෙක නෑ. සුද්දි රෙද්දෙ ඇවිදිනව. නෑ. ගෙයක්. ගේයි, ගෙයි බඩු මුට්ටුයි සුද්දියි ඔක්කොම රෙද්දෙ. ඒ අහුඅස්සෙ සුද්දෙක් පීකරෙං කියෝනව. හැබැයි සුද්ද පේන්න නෑ. මිනිස්සු සුද්දිට කයි කතන්දර කියනව. ගෑනු හූල්ලනව.
සුද්දි මැසිමෙං රෙදි මහනව. රෙද්ද අල්ලන්නෙ කකුලෙං.

“හා….නේ….. පව්“

“අද්දෙකම නෑනේද?“

“මැසිමකට අහුවෙලා වෙන්නැති“

“සුද්ද ගහන්නැති කැත්තකිංවත් කොහොවක්“

ඒ ගමං බීදුරුවකිං වතුරත් බොනව. බීදුරුව අල්ලන්නෙත් කකුලෙ ලොකු ඇඟිල්ලයි ඊළඟට තියෙන පොඩි ඇඟිල්ලයි දෙකෙං.

“කවුරුවක් වක්කොල්ල දුන්නොත් බොතැහැකි ඉතිං“

“බඩ්ඩිංගක් අනල කන්නෙ කොහොමෙයි ඔහොම“

“සුද්ද කවනව ඇති“

ඊළඟට සුද්දි පාං පෙති වගයක් කකුලෙං අරං කනව.

“හොදි ඩිංගක් පොඟෝගන්න නෑ ඉතිං“

“මං හිතන්නෙ පාං කෑලි දෙක අස්සට හොදි දාල ඇත්තෙ“

“ඒ උනාට ඉතිං ඉස්ම හොද්දක් එක්ක නං කන්න වෙන්නෑ“

“තුං වේලම පාං තමා මාහිතේ“

ආයි බාජනේක තියෙන මොනවද හැන්දකිං අරං කනව

“ඇට ජාතියක් මා හිතේ“

“නෑ බත්තුනත් කෑහැකි හැංදෙං. ඔය පහුනුදාස්සොල මගෙ ඇඟිල්ල මන්නෙට කැපිල තීද්දි මං කෑවෙ හැංදෙං. නැත්තං මිරිස් ගෑවෙද්දි උඩ විසික්වෙනව.“

“සුද්දො බත්කන්නෑ මාහිතේ. උන්ට මිරිස් තුනපහ සැරයිනෙ“

ඊළඟට සුද්දි පනිට්ටුවක් උරිස් කොටේ එල්ලගෙන මිදුලට බහිනව. පාත්තියක් ගාව බිම ඉඳගෙන පනිට්ටුව බිම තියල ඒකෙං හැන්දක් වගේ එකක් ගන්නව. හැන්ද කකුලෙ ඇඟිලිවලිං අල්ලගෙන පොලොව හාරල කොල දෙක තුනක් තියෙන පැල වගයක් හිටෝනව.

“අම්ප. මේ ඉන්න දෙමල්ලුන්ට බෑ ඒ තරං විජානියට තේ පැලයක් හිටොවන්න“

“ඔය හැටි නහින වෙලේ හිඟාකෑවනං සල්ලි හම්බවෙනව“

“සුද්දොන්ට සල්ලි තියෙනවනෙ. උං හිඟාකන්නෑ“

“මං හිතන්නෙ කසාදෙයක් නං කරගන්න වෙන එකක් නෑ.“

“හැබෑට ඉතිං කසාද බඳින සුද්දට තමයි කන්න උයන්නයි කක්කුස්සි ගියහං $% හෝදන්නයි වෙන්නෙ“

ඒ සුද්දි කඩේ යන හැටි, බඩු ගේන හැටි, මූන හෝදන හැටි බලං ඉන්න ගෑනු හූල්ලනව. කොල්ලො අනං මනං කියනව. අන්තිමට සුද්දි ටටා කියල නොපෙනී යනව. පීකරෙං කියෝපු සුද්දගෙ කතාවත් නැවතුනා. රෙද්ද ආයිමත් සුදු පාටටම හැරුනා. අපෙ අම්මත් උරිස්සෙ මූන පිහල මාව බිමින් තිව්ව.

ඊළඟට ආයිමත් පීකරෙං කතා කරන මහත්තය මොනවද ටිකක් කියෙව්වා. ඊළඟට තවත් චිත්තර පටියක් පෙන්නන බව ඉතරක් මට ඒකෙං තේරුණා.

ආයිමත් රෙද්දෙ සුදු පාට නැතිවුනා. අම්ම මාව ආයිමත් වඩාගත්තා. පීකරෙං සංගීත බාන්ඩවල සද්දෙ ඇහෙන්න ගත්තා. සුද්දියෙක් රෙද්දෙං මතු වුනා. ඒ සුද්දිගෙ නං අතපය මොකවත් අඩු නෑ. හැබැයි සුද්දිගෙ හැට්ටෙ බොත්තං නෑ. ඒක අඳිනව ඇත්තෙ ඔලුවෙං දාල. ඇඳං ඉන්න සායත් මගෙ කොට කලිසමකට වැඩිය දිග නෑ. මිනිස්සුංගෙ කියවිල්ල නැවතුනා. සුද්දි ගෙදරිං දොට්ට බැහැල මිදුලෙ තියෙන පුස්සයිකලේට නැග්ග. ඒක සුදු පාටයි හැඩල්ලෙකේ කූඩෙකුත් එල්ලලා. පුංචම්මගෙ බයිසිකලේ වගේ මැද පොල්ලකුත් නෑ. සුද්දි බයිසිකලේ පැදං පිට්ටනියකට ගියා. ඒක උදුලුගාපු නැති පිට්ටනියක්. හැමතැනම තනකොළ. පිට්ටනියෙ තව සුද්දෙක් ඉන්නව. සුද්ද ගමනක් යන්න වගේ දිග කලිසමකුයි කමිසෙකුයි ඇඳල. සුද්දව දැකල සුද්දි බයිසිකලේ නවත්තනව. සුද්ද සුද්දි ගාවට එනව. සුද්දිගෙ අතිං අල්ලගන්නව. සුද්දි බයිසිකලෙං බිමට බහිනව.

“මේ ළමයට බඩකිනිලු. අපි යනවක්කෙ“

අපි ළඟ හිටපු අපෙ අම්මගෙ යාලු නැංදෙක් එහෙම කියල තමුන්ගෙ ළමයවත් අරං එතනිං පැනගත්තා. සුද්දා උඩ පැනල එතන තියෙන ගහකින් මලක් කඩල සුද්දිට දෙනව…

“ආ……….. හරි හරි හරීඊඊඊඊඊ“

පාරෙං අනික් පැත්තෙ හිටපු කොල්ලො ටිකක් කෑ ගැහුව.

“රෑ වෙනව යං.“

“නිදාගන්න වෙන්නෑ මේක බලා හිටියොත්. යං“

“හෙට පන්සලට දානෙ උයන්නත් තීනවනෙ යං“

කියල තව කීප දෙනෙක් තම තමන්ගෙ ළමයි කිහිල්ලෙ ගහගෙන යන්න ගියා.

“උඹටත් බඩකිනි නං යමං ගෙදර.“

අම්ම මට කිව්ව. ඒ උනාට මට යන්න ඕනි කමක් නෑ.

“මට බඩකිනි නෑ.“

සුද්දි මල අරගෙන ඉඹල බලනව. එතකොට සුද්දගෙයි සුද්දිගෙයි මූනු දෙක රෙද්ද පිරෙන තරං ලොකු වෙනව. සුද්ද සුද්දිගෙ  මූන යටි පැත්තෙ අල්ලල එක පැත්තක් ඉඹිනව. පාරෙ අනික් පැත්තෙ හිටපු කොලු රෑන

“හූ……………………………………………….“

කිව්වා. අම්ම මාවත් වඩාගෙන සෙනග මැද්දෙං රිංගගෙන අපේ ගෙවල් පැත්තට යන්න හැරුණා.

“මට බඩිකිනි නෑයම්මෙ“

“කටවහක් යමං“

 තව ගෑනු දෙන්නෙක් තමුංගෙ ලමයි අත්කෙටි ඔලිං ඇදගෙන අපේ පස්සෙං වැටුනා.

“මල විපිරියාස.“

“කුණුහරප පෙන්නනව ඉඳං.“

ඒ දෙන්න තනියම බැන්නෙ කාටද කියල මට තේරුනේ නෑ. අපි දෙසිය පනහෙ වත්ත ගාවට එද්දි ආයිමත් හූවක් ඇහුනා.

“අන්න ආයි සැරයක් සුද්දිගෙ මූන ඉඹින්න ඇති“

මට කියවුනා.

අම්ම මාව බිමින් තියල කොන්දට එකක් තැලුවා. අපේ තාත්ත බලපු චිත්තරපටිඔල හුඟක් සැරයක් මූන ඉඹින එව්ව තියෙන්න ඇති. ආච්චි අම්ම තාත්තට ඉලපත් කැඩෙනකං ගැහුවෙ ඒක හන්ද වෙන්නැති.

%d bloggers like this: