Menu Close

මගේ කුමාරිහාමි

අලුත් ඔෆිස් එකට ආපු දවසෙ ඉස්ඉස්සෙල්ලාම මම දැක්කෙ එයාව.ඇස් දෙක ලොකූ කරන් එයා මගෙ දිහා බලන් හිටියා.
“හලෝ”
මම ළඟට කිට්ටු කළා විතරයි මෙන්න මුන්දෑ අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තා.
පිස්සු කෝළමක් නෙ.

මම සමරබන්දු.රිටයර් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි බම්බලපිටියෙ අලුතෙන් දාපු ඔෆිස් එකේ මැනේජර් කම හම්බුනේ.

“යන්තං ඇති මැරීගෙන් කඹුරපුවට ඔහොම පට්ටමක් හරි හම්බුනා”මාලතී කිව්වෙ උපහාසෙට විරිත්තන ගමන්.

මාලතී ව කසාද බැඳලා අවුරුදු තිහක්.අවුරුදු ගණනාවක් දන්න කියන හැම නැටුමක්ම නටලා අන්තිමේ ළමයෙක් හදන ආසාව අතඇරියෙ හෙම්බත් වෙලා.එක ගෙදර කාමර දෙකක වෙනම ජීවිත දෙකක් හැටියට ජීවත් වෙන එක මාලතීටයි මටයි දැන් පුරුද්දට ගිහින්.
මගේ හැම දේකම මාලතීට පෙනුනෙ ඇදයක්ම යි.මාලතී කියන ඒවට බීරෙක් වගේ ඉන්න එකත් දැන් මට හොඳටෝම පුරුදුයි.

එයාගෙ නම රෝසි කියලා මම දැනගත්තෙ දවසක් දෙකක් යද්දි.එයා වැඩිපුරම හිටියෙ උඩ තට්ටුවෙ.ඒත් සැරෙන් සැරේ මගේ කැබින් එකේ දොරෙන් එබිකම් කරලා අතුරුදහන් වෙන්න රෝසි අමතක කළේ නෑ.
හරිම කෝලමක් තමයි.

ඔෆිස් එකෙ අනිත් උදවියව මම තියාගත්තේ අතේ දුරින් නැත්නම් ඕකුන් කරේ නැගලයි පස්ස බලන්නෙ.
ඒත් රෝසිට ඒ තහංචි වලංගු වුනේ නෑ.
මටත් නොදැනීම මගේ හිතේ රෝසි ගැන ලොකූ ලෙන්ගතුකමක් ඉපදිලා.
හැමදාම රෝසි එනකන් මම දෙතුන් පාර කැබින් එකේ දොර දිහා බැලුවා .
ඉරිදා දවස් නිවාඩු දවස්වලට මට සාංකාව වගේ දැනුණා.ඉඳලා හිටලා දවසක රෝසි රෑට මගෙ හීන අස්සටත් රිංගුවා.

රෝසි පුදුමාකාර ආඩම්බරයි.මං ඇරෙන්න ඔෆිස් එකේ වෙන මොකෙක්ව වත් තඹ සතේකට මායිම් කළේ නෑ.ඔෆිස් එකේ උන් මං නැති තැන රෝසිට බොසාගෙ කුමාරිහාමි කියලා නමකුත් පට බැන්දා.ඒත්  රෝසි නෙවෙයි ඒවා ගනන් ගත්තේ.

මට වැඩවැඩි වෙලාවලට කවදාවත්  රෝසි කරදරයක් වෙන්න ආවෙ නෑ.ඒත්  මට විවේක ගන්න මිනිත්තුවක් දෙකක් හම්බෙනකොටම රෝසි කැබින් එකේ දොර ළඟ .හරියට මගේ හිත කියෙව්වා වගේ.

රෝසිගෙ වැඩි කතාවක් බහක් තිබ්බෙ නෑ.ඒකටත් එක්ක හරියන්න ඒ වෙලාවල් මම පිස්සෙක් වගේ කියෙව්වා.පොඩි කොල්ලා කාලේ කරපුවා, කැම්පස් කාලේ පිස්සු නටපුවා, මාලතී කසාද බැඳපු හැටි, එක ගෙදර කාමර දෙහෙක නීසර ජීවිතේ ගැන රෝසිගේ කන් දෙක ගොඩ වෙනකම්ම මං කියෙව්වා.ඉඳ හිට හූමිටි තිය තිය හුරතල් වෙවී රෝසි ඔය ඔක්කොම කණිපින්දම් කන්වල පුරව ගත්තා.ඉඳලා හිටලා කවුරුවත් වටපිටාවෙ නැතිවෙලාවට රෝසි මට තුරුල් වෙලා හිටියා.ජීවිතේ ආයෙමත් සැරයක් ජීවත් වෙනවා කියලා ඇත්තටම මට දැණුනා.

අවුරුදු හැටකට කිට්ටු තට්ටෙ පෑදිච්ච තඩි බඩකුත් තියෙන නාකි හමෙක්ට කවුද ආදරේ කරන්නෙ?ඔය වයසට හම්බෙන හුඟක් ආදර කෑදර වෙන්නෙ ආදරේට , රස්සාවෙ පට්ටමට එහෙම.රෝසි එහෙම නෑ කියලා මට සීයට දෙසීයක්ම විශ්වාසයි.කවදාවත් කටක් ඇරලා කිසිම දෙයක් ඒකි මගෙන් ඉල්ලුවෙ නෑ මේ මුලු අවුරුද්දටම.

ඒත් අද?
අද මම රිටයර් වෙනවා.
අද මම ඔෆිස් එන අන්තිම දවස.අවුරුදු ගානක් තිස්සේ කරපු රස්සාව දැන් මට ඇති වෙලා තියෙන්නෙ.රිටයර් වෙලා නිදහසේ ඉන්න එක කොච්චර සතුටක්ද කියලයි අවුරුද්දෙ මුල මට හිතුනෙ?
ඒත් මම කොහොමද රෝසි දාලා යන්නෙ?
දවසම රෝසි පේන්න හිටියෙ නෑ.කොහේ ගිහින්ද මන්දා.දොර දිහා බලලාම මගෙ බෙල්ලත් උලුක්කු වෙන්න ආවා.

ඔෆිස් එකේ එවුන් මම යනවට පාර්ටියක්  තිබ්බා.ඒ  අස්සෙත් මම කැරකි කැරකී හෙව්වෙ රෝසිව.රෝසි අතුරුදහන් වෙලා.
මෙච්චර කල් මගෙ වටේ එති එතී ඉඳලා මම යන්න යනකොට අත ඇරලා දාන ජාතියේ ආදරයක්ද ඒකත්.
ලොකූ කලු ගල්ගෙඩියක් මගේ හිත උඩට ආයෙ ආයෙ අත අරිනවා වගේ දැනුනෙ එහෙම හිතෙද්දි.

ඔෆිස් ඇරිලා ඔක්කොම  යන්න ගියා.මම කැබින් එකේ බඩු මුට්ටු අස් කර කර තවතවත් ටැග්ගැහුනෙ දැන්වත් රෝසි එයි කියලා.
හතරවටෙන් කලු කරගෙන වහින්න එනවා.

“සර්,වාහනේ ගෙනත් තියෙන්නෙ”මගේ ඩ්‍රයිවර් සමන්ත කෝල් කලේ තුන් වෙනි පාරට.

බලාපොරොත්තු ඔක්කොම අත ඇරලා මම ලිෆ්ට් එකේ පහළට බැස්සා.
 
කාර් එකට අඩි දෙකතුනක් වෙන්න නැවතිලා මගෙ දිහා බලං හිටියෙ රෝසි.
  රෝසිව මගේ පපුවට තුරුල් කර ගත්තේ මුකුත් හිතන්න හිතට ඉඩක් නොදීමයි.

“ස…සර්….මේ..මේ..”
මට තුරුල්වෙලා ගුලි වෙලා හිටිය රෝසි දිහා බලාගෙන සමන්ත තතනනවා.
“ගෙදර යං”
අහස ගොරවද්දි මාත් ගෙරෙව්වා.

මාලතී…මාලතී මොනවා කියයිද?
මොනවා කිව්වත් මට කමක් නෑ.ස්වාමිපුරුෂයා හැටියට මම කවදාවත් මාලතීට අඩුවක් කරලත් නෑ කරන්නෙත් නෑ.ඒත් රෝසි නැතුව මට ඉන්නත් බෑ.

අන්තිම වතාවටත්  මාව ගෙදරින් බස්සලා සමන්ත ඉගිල්ලිලා ගියා.සුපුරුදු පරිදි මාව පිලිගන්න දොර ඇරගෙන කවුරුත් එන්නෙ නෑ.
සාලේ සෝපාව උඩට වෙලා මාලතී ටීවී එකේ හින්දි ෆිල්ම් එකක ගිලිලා හිටියා.

“මාලතී…..”ටීවී එකට උඩින් මම කටහඬ ඉස්සුවා.
“ඇයි?”
මාලතී මගෙ දිහාට හැරුනේ සුපුරුදු නොරිස්සුමෙන්.

“මේ රෝසි.එයා අපිත් එක්ක ඉන්නවා අද ඉඳලා.”

“ඉතින් .ගෙදරට කැන්දගෙන  ඇවිල්ලා ඉවරවෙලා නෙ මගෙන් අහන්නෙ.මොකෝ මම එපා කිව්වා කියලා අහන එකක් යැ.
මගෙ මොකෝ.ඕන කෙහෙල් මලක්.

හැබැයි ඔන්න මම දැන්මම කිව්වා කියලා හිතා ගන්න.ජරාව අදින්නයි මෙතන පැටවු ගැහුවම පන්සල් ගානෙ ගෙනිහින් දාන්නයි ඔක්කොම කරන්න වෙන්නෙ ඔහෙට.තියෙන ඒවා මදිවට……….”

මාලතීගේ කන්දොස්කිරියාව ඒ කනෙන් රිංගලා මේ කනෙන්  එළියට යද්දී රෝසිවත් තුරුළු කරං මම මගේ කාමරේට රිංගුවා.

රෝසි හැමදාම පුරුදු විදිහට ඇස් දෙක ලොකූ කරලා මාත් එක්ක හිනා වුණා.

ඤාව්…………………….

ඉගිලෙන ලියමන් 2018.12.23

%d bloggers like this: