Menu Close

මේරිගෙ…

මේරිගෙ ඇවිටිලි කිරිල්ලෙන් බේරෙන්න බැරිම තැන ලුසී එදා හැන්දෑවෙ එළියට යන්න තීර්ණය කළා.

“මේක ඔයාට සෑහෙන හොඳවෙයි වස්තුවේ”මේරි කිව්වෙ ලුසීගෙ කම්මුල උඩින් හාද්දක් තියන ගමන්.

ඒ වෙනකොට ලුසී ඇක්සිඩන්ට් වෙලා මාස පහකටත් කිට්ටුයි.ඉස්පිරිතාලෙට යන්න ගෙයින් එළියට බහින වෙලාවට ඇරෙන්න ලුසී හැමතිස්සෙම හිටියෙ කාමරේ ගුලි වෙලා.

හුළං ටිකක් වදින්න ,එළියට යන්න කියන යෝජනාව ඉදිරිපත් කළේ මේරියි පිලිප්නුයි විතරක් නෙවෙයි .ලුසීගේ මනෝවෛද්‍ය දොස්‍තර නෝනා කැතීත් කොයි වෙලාවෙත් ජීවිතේ ඉස්සරහට අඩිය තියන්න ඕනෙ කියන එක ලුසීට මතක් කළා.

එයානං කියයි.ඇක්සිඩන්ට් එක ලුසීගෙ අම්මයි තාත්තයි මල්ලියි හැමෝගෙම ජීවිත උදුර ගත්තා.ලුසීගෙ ජීවිතේ බේරුණෙත් හාස්කමකින් කියලයි දොස්තරලා කිව්වෙ.
ලුසීට ඉතුරු වුනේ මේරි විතරයි.මේරිටනම් පිලිප් හරි හිටියා.
ලුසීට ?
මෙහෙම මළපෙරේතියෙක් වගේ හිටියොත් මේරිටත් තමන් එපාවෙයි කියලා හිතිලයි  ලුසී මේරිගෙ ඉල්ලීමට කැමති වුනේ.

ගෙවල් පේලියේ එහා කෙළවරෙන් ටික දුරක් ගෙවුනම තිබ්බ උද්‍යනෙට යමු කියලා මේරි යෝජනා කළා.

“යමු.හැබැයි ගිහින් තනියෙන් ඉන්න ඕනෙ .ඔයා කිකිළි පැටවු රකිනවා වගේ මගෙ වටේ කැරකෙන්න බෑ”ලුසී තමන්ගේ නීතිරීති ඉදිරිපත් කරනවා.

“අනේ රත්තරනේ…මම කොහොමද ඔයාව තනියෙන් එතන දාලා එන්නෙ?”

“ඇයි බැරි? මොකෝ මම පොඩි ළමයෙක්යෑ.ඔයාට බඩුමුට්ටු ගන්න තියෙනවනෙ ටවුමෙන්.ඒක කරගන්න බැරියැ මම එනකං.”

“අනේ ඒ වුනාට”

“අනේ අනේ බෑ.එහෙම නැත්නම් මම යන්න එන්නෙත් නෑ”ලුසී පොඩි එකෙක් වගේ මුරණ්ඩු වුනා.

“අනේ මන්දා…හා එහෙනං”මේරි අකමැත්තෙන් කැමති වුනා.

ඇත්තටම ගෙයින් එළියට බහින එක හොඳ අදහසක් තමයි.හොඳ හුස්මක් ගන්න ගමන් ලුසී හිතුවෙ  උද්‍යානෙ කෙළවරේ පොඩි බංකු පොඩ්ඩක වාඩි වෙලා .
බොහොම අමාරුවෙන් මේරිව යවා ගත්තෙ.මේරි පොඩි එකෙක් ගැන වගේ තමන් ගැන වද වෙන්නෙ ආදරේට කියලා ලුසී දන්නවා.ඒත් ඒක වෙලාවකට හරි කරදරයක්.

සරත් කාලෙ ගෙවීගෙන යමින් තිබුනෙ.හීතලත් නැති රස්නෙකුත් නැති බොහොම සෞම්‍ය කාළගුණයක් නිසා උද්‍යානෙ සෑහෙන මිනිස්සු හිටියා.
ලුසී වාඩි වුනේ පාර්ක් එක කෙළවරේම .ඒ හරියට වැඩිය කවුරුත් එන්නෙ නෑ.

ටිකක් එහාට වෙන්න තිබුන පොකුණෙ ලොකු තාරාවො රංචුවක් ඉන්නවා කියලා ලුසී දන්නවා.ඉස්සර ලුසී උන්ට දෙන්න සාක්කුවේ පාන් කෑලි පුරවන් ආවා.

ටිකක් ඈත පොඩි එවුන් ටිකක් බෝල සෙල්ලම් කළා.සැරෙන් සැරේට ඒ සද්දෙ කැඩි කැඩී ලුසීට ඇහුණා.

ලොකු ලොම් බෝලයක් එක පාරටම විදුලි වේගෙන් ඇවිත් ලුසීගෙ උකුලට පැන්නම ලුසී හොඳටෝම බය වුනා.
බලු තඩියෙක්.
කොච්චර බය වුනාද කියනවනං ලුසීට කෑ ගහගන්න මතක් වුනෙත් ටිකක් වෙලා ගිහින්.

“හපොයි දෙයියනේ……
ලැසී…ඔයා මහ නරක ළමයෙක් එන්නයි කිව්වෙ මෙහාට…..
මිස් ඔයාට තුවාලද?”
ලොම් තඩිය අයිතිකාරයත් බොහොම කලබල වෙලා.

“අහ් නෑ නෑ.මට මුකුත් වුනේ නෑ.ටිකක් බය වුනා විතරයි”

“අපිට සමා වෙන්න.ලැසී සාමාන්‍යයෙන් ඔහොම කාගෙවත් ඇඟට පනින්නෙ නෑ එයාගෙ හිත ගියේ නැත්නම්.මෙහෙම හිටියට මෙයා හරි ආඩම්බරකාර බලු නෝනෙක්.”ලොම් තඩියගෙ අයිතිකාරයා සමාව ඉල්ලනවා.

“නෑ නෑ.ඒකට කමක් නෑ.”හැටට හැටේ දුවන්න ගත්ත පපුව සාමාන්‍ය වේගෙට පහු බහිද්දි  ලුසී ලැසීගෙ ඔලුව අතගෑවා.

“මම පෝල්.ලැසීව ඔයා දැනටම අඳුරනවනෙ”
“ලුසී.හඳුනාගන්න ලැබීම සතුටක්”

“මටත්.ඔයා කලින් මේ උද්‍යානෙට ඇවිත්  තියෙනවද?”

“කාලෙකට කලින් .ඒත් මම වැඩිය මේ පැත්තට ඇවිත් නැහැ.”

“ඔව්.ඒක තමයි .නැත්නම් අපි කලින් මුණ ගැහෙනවනෙ.ලැසී වැඩියෙන්ම කැමති මේ පැත්තට”

“හයියෝ, ඔයා හිටගෙනනෙ තාම.එන්න වාඩි වෙන්න”ලුසී බංකුවෙ පැත්තකට උනා.

“ස්තූතියි ලුසී”

පෝල්ගෙයි ලුසීගෙයි මැද්දෙන්  හරිබරි ගැහිලා ලැසීත් වාඩි වුනා.ඒ මදිවට අහන්නෙත් නැතුවම ලුසීගෙ උකුල උඩින් මූනත් තියා ගත්තා.

“එයා මට සෑහෙන කැමතියි වගේ.”
ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පළමුවෙනි වතාවට ලුසීගෙ මූනෙ හිනාවක් ඇඳුනා.

“ඔව්.ඇත්තටම.මොකද එයා ලේසියෙන් කාටවත් කැමති වෙන්නෙ නෑ .මම කිව්වනෙ ඔයාට”

“මෙයා මොන ජාතියෙ බල්ලෙක්ද?මට බල්ලො ගැන ලොකු තේරුමක් නෑ”

“මෙයා ගෝල්ඩන් රෙට්‍රීවර් කෙනෙක්.මෙහෙම කෙල්ල වගේ හිටියට දැන් සෑහෙන නාකියි.අවුරුදු අටක් කියන්නෙ ඒ ගොල්ලන්ගෙ ලෝකෙ සෑහෙන වයසක් ගිහින්”

පෝල්ගෙ ළඟින් පෙපර්මින්ට් සුවඳක් ආවා.හුළඟත් එක්ක  කොහෙන්දෝ ආපු පොප් කෝන් සුවඳකුත් ලුසීගෙ නහයෙ පැටලුනා.

පැයකට කිට්ටු වෙලාවක් ගෙවුනෙ ඔහොම.ඒ පැයේ හුඟ තැන්වල තිබුනෙ නිස්සද්දවම හිටපු තැන්.ඒ වුනාට ඒ සද්ද බද්ද නැති නිස්කලංක සමාගමට ලුසීගෙ හිත බොහොම තදින් බැඳුනා.

ඉස්පිරිතාලෙ යද්දි හම්බවෙන මිනිස්සු වගේ පෝල් ලුසීගෙ පිලිස්සුම් තුවාල ගැන හාරා ඇවිස්සුවෙ නෑ.කොටින්ම ලුසීගෙ ගැන පෝල් වචනයක්වත් ඇහුවෙ නෑ.අහන්නෙ නැතුවම සමහරු කරන්නා වගේ අනේ පවු දෙයියනේ කියලා ලුසීට අනුකම්පා කරන්න ගියෙත් නෑ.
පෝල් ලුසීට නැපිය මාරුකරගන්නවත් බැරි පොඩි දරුවෙක්ට වගේ සැලකුවෙත් නෑ.

ඉතින් ඇත්තටම ලැසීටත් පෝල්ටත් ලුසීගෙ හිතේ පැලවෙන්න ගත්තේ බොහෝම ලොකු ලෙංගතුකමක්.

ලැසී හිරිඅරිමින් නැගිට්ටා.

“ඔහ්,මේ නෝනාට කම්මැලි හිතිලා වගේ .අපිට ගෙදර යන්න වෙලාව හරි ලුසී”පෝල් බංකුවෙන් නැගිට්ටෙ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි කියලයි ලුසීට හිතුනෙ.

“හමුවීම සතුටක් ලැසී.ගිහින් එන්න කෙල්ලෙ”ලුසීගෙ හිතේ පුංචි දුකක් එක්කහු වෙන්න ගත්තා.
ලැසී උත්තර දුන්නෙ ලුසීගෙ අත ලෙවකමින්.

“ඇත්තටම ඔයා හමු වීම අපිට ලොකූ සතුටක් ලුසී.ගොඩක් වෙලාවට අපි පාර්ක් එකේ ඉන්නෙ තනියම.සමහරු බල්ලොන්ට කැමති නෑ.ඊටත් වඩා සමහරුන්ට ඕනෙ මගේ ජීවිත කතාව ගැන දැන ගන්න.මට අනුකම්පා කරන්න.ඔයා තමයි ලැසී ඇරුණම කාලෙකින් මට මුණ ගැහුණු හොඳම යාලුවා.
හපොයි මම කියවනවා වැඩියි නේද?”
පෝල්ට ලැජ්ජා හිතිලද කොහෙද?

“අහ් නෑ නෑ.පෝල් මම ප්‍රශ්නයක් අහන්න ඔයා මගේ ගැන මුකුත් හිතන්නෙ නෑ නේද?

“මොකද්ද?”

“අහ්…ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ?”

පෝල් උත්තර දුන්නෙ නෑ.ඒත් එයාට තරහ ගිහින් විත්තිය ලුසීට තේරුනා.

“පෝල්, සමාවෙන්න මම වැරදි දෙයක් ඇහුවද?”

“මං හිතුවා ඔයා අනිත් අයගෙන් වෙනස් කියලා ලුසී.ඔයත් අනිත් මිනිස්සු වගේම තමයි බලාගෙන යද්දි.”පෝල්ගෙ කටහඬේ තිබුනෙ බිඳිච්ච බලාපොරොත්තුවල සද්දෙ.

“ඇයි අනේ මම මොකද්ද කලේ?”ලුසීට මුකුත් හිතා ගන්න බෑ.

“මොකද කලේ..මොකද කලේ?
ඇස් දෙකම පොට්ට ගයිඩ් ඩෝග් කෙනෙක් එක්ක හැමතැනම යන මිනිහෙක්ගෙන් මොකද්ද එයාට තියෙන ප්‍රශ්නෙ කියලා අහපු එක තමයි ඔයා කළේ.එනවා යන්න ලැසී” පෝල් යන්න හැරුනේ තරහෙන්

තත්පර දෙක තුනක් කිසිම සද්දයක් බද්දයක් නැතුව ගෙවුනා.
ඊට පස්සෙ ලුසී සෑහෙන කාලෙකට පස්සෙ මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.ඇස්වලින් කඳුළු පෙරි පෙරී හුස්ම හිරවෙලා පපුව තද වෙද්දිත් ලුසී දිගටම හිනා වුනා.

යන්න ගියපු පෝල් නැවතුනේ මේ මොන විකාරයක්ද කියලා හිතාගන්න බැරුව.ලැසී ඔලුව හරව හරවා බැලුවෙ තමන්ගෙ අලුත් යාලුවට හැදුනෙ මොන විදිහෙ ලෙඩක්ද කියලා .

බොහෝම අමාරුවෙන් අන්තිමේ ලුසී හිනාව නවත්තගත්තා.

“පෝල්,ඔයා තාම ඔතනද?”

“පිස්සු හැදීගෙන එනවද ?ඇයි මං මෙතන හිටගෙන ඉන්නවා පේන්නැද්ද?”

“නෑ පෝල් මටත් පේන්නෙ නෑනෙ”

ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ලොකුම අනතුර ලුසීගෙ ඇස් පෙනීම නැති වෙච්ච් එක.

%d bloggers like this: