Menu Close

සේනගේ කතාව, අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සමිත හාමුදුරුවෝ සහ බුද්ධ පූර්ණිමා.

අපට සේනගේ කතාවේ අවසානයක් දකින්නට බැරි වුණේ ඒ මැදට හාමුදුරු කතාවක් ආපු නිසාය.  එය මගේ භික්‍ෂු පරිච්ඡේදය දැයි ඇනෝ හිතවතෙකුත් අසා තිබිණ.  ඒ ගැන කල්පනා කරන මට මතක් වුණේ පරිච්ඡේදයක් ලියන්නට තරම් නැතත් භික්‍ෂු කතා කීපයකුත් මගේ ළඟ තියෙනවා නොවේද කියාය.  ඒ ටික ලියා ගන්නට මේ තරම් හොඳ වෙලාවක් ආයෙම එයිදැයි කියන්නට බැරි නිසා ඒ කතා ටිකත් මේත් එක්කම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.
ලංකාවේ භික්‍ෂු කතා ගත්තොත් අරක්කු ටිකක්, මලක් ගහන එකක්, කොටු පැනිල්ලක් වගේ සිල්ලර වැඩ ඇරෙන්නට සොමි කතා අඩුය.  ඒ මදිවට ඔය ටික ලියපු එකාව බෞද්ධයෝ ඇවිත් මරාගෙන කන්න හදයි.  ඔහොම කියනකොට ඔක්කොමල්ල වගේ හිතන්නේ මම ලියන්නේ හාමුදුරුවන්ගේ වැරදි විතරයි කියලාය.  නමුත් බොහෝම හොඳ හාමුදුරුවරුන්ගේ කතාත් මගේ ළඟ තිබේ.  එයින් ඉහළින්ම ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්නේ අපේ පංසලේ වැඩ සිට අපවත්වූ ලොකු හාමුදුරුවෝය.  සිල්වත්කම අතින් නම් මහපළවෙනිය.  අවුරුදු තිහ හතළිහක් තිස්සේ අපේ ගමේ තියෙන බණට, පිරිතට, දානෙට, මළගෙදරට ආදී හැම තැනටම ලොකු හාමුදුරුවෝ කකුල් ගෙවෙනවා නම් ගෙවෙනකල්ම වැඩියේ පයින්මය.  අද ඉන්න අයට නම් වාහනයක් පන්සල් මිදුලේ නොතිබුණොත් පන්සලෙන් එළියට බහින්ටවත් බැරිය.  ගහකොළට ඇති ඇල්මත් ඒ වගේමය.  පංසල මල්වත්තක් වගේ තියාගෙන සිටි හාමුදුරුවෝ ගහක අත්තක්වත් කාටවත් කඩන්නට දුන්නේ නැත.  හැබැයි ඉතින් ඇටේට පොත්තට නැත.  බනින්නට ගියාම රෙදි ගැලවෙන්නටම බනිනවාය.  කුඩා කාලයේ පටන්ම ශ්‍රී රාහුල දහම් පාසලේ ඉගෙනගත් ශිෂ්‍යයින් වූ අපි ගැන පසුකාලීනව හාමුදුරුවෝ මහා ඉහළින් කතාකළේ මගේ ගෝලයන්ය කියාය.
වෙනුජත් ලොකු හාමුදරුවන්ගේ හොඳම ගෝලයින්ගෙන් එක්කෙනෙකි.  මට වෙනුජව හදිස්සියේම මතක් වුණේ වෙනුජ ලොකු හාමුදුරුවන් ගැන හිනාවෙවී කියපු කතාවක් මතක්වෙලාය.  ලොකු හාමුදුරුවෝ සාමාන්‍යයෙන් තමන්ගේ දායක දායිකාවන් වෙනත් පන්සල් කරා යනවාට බොහෝසේ අකමැතිය.  එහෙම ගිහිං අහුවුනොත් එහෙම බනින්නේ බලු බැනුම්ය.  අපේ දුප්පත් පංසල වෙනුවට පොෂ් පන්සල් වලට යන දායිකාවන්ට හාමුදුරුවෝ දොස් කියන්නේ “අමුතු බුදුන් හොයාගෙන යනවා” කියලාය.  කේන්තිය හොඳටම තද නම් “වෙන පන්සල් වල නිදි වදින්න යනවා”ය කියලාත් බනී.
එක දහම් පාසැල් දවසක වෙනුජගේ පංතියේ කෙල්ලන් අතරේ කතාබහක් ඇතිවුණේ බොහෝම හොඳ යෝගියෙක් ක්වාටස් වල ගෙදරක වැඩ සිටින බවත් ගිහිං බලන්නට වටිනා බවත්ය.  විවේකය වෙලාවේ කෙල්ලන් තනියට එක්ක යන්නට වෙනුජටද  පෙරැත්ත කර කතා කරගෙන ක්වාටස් වල ගෙදරක හිටපු යෝගියා බලන්නට ගියහ.  ටිකක් පරක්කු වෙලා ආපහු ආ වෙනුජගෙන් කොහේ ගියේදැ’යි ලොකු හාමුදුරුවෝ ඇසු සේක.  වැඩේ බරක් පතලක් නොදන්නා වෙනුජත් ඇත්තම විස්තරය කියා ඇත.  කතාව අහපු ලොකු  හාමුදුරුවන්ගේ ඉරියව් වෙනස් වෙන්නට ගතවුණේ තප්පර ගණනකි.  ඉඳගෙන හිටපු පුටුව උඩට එකවරම පැන සිටගත් ලොකු හාමුදුරුවෝ “ගියාද නිගන්ටයන්ගෙන් බණ අහන්න” කියා පැය කාලකට වැඩි වෙලාවක් කණ පිරෙන්නටම බැන වැදුණු බව වෙනුජ කීවේය.
ඒ කාලයේ චූ කොල්ලෙක් වූ වෙනුජ පසුකාලයේදී ලොකු මහත්තයෙක් වූ පසුවත් සිය ගුරුවර ලොකු හාමුදුරුවන් ගැන උනන්දුවෙන් සොයා බැලුවේය.  ඒ වනවිට ලොකු හාමුදුරුවෝ හිටියේ බොහොම අසනීප තත්ත්වයකිනි.  ලොකු හාමුදුරුවන්ට වෛද්‍ය පරීක්ෂණ වගයක් ගම්පහින් කරගන්නට ඇති නිසා එක්ක යන්න එන්න කියා පොඩි හාමුදුරුවෝ වෙනුජට කියා ඇත.  ඒ කාලයේ ලොකු හාමුදුරුවන්ගේ පළවෙනි ගෝල නම සිවුරු හැර ගොස් සිටි නිසා හිටියේ වෙනත් පොඩි හාමුදුරු කෙනෙකි.  වෙනුජත් ලොකු හාමුදුරුවන් ගම්පහ රැගෙන ගොස් ඒ වැඩ ටික බොහොම උනන්දුවෙන් කරදී ආපහු පන්සලට රැගෙන ආවේය.  පන්සල්වත්තේ කාරෙක නවත්තන්නට තැනක් බැලු වෙනුජ උඩ බලනවිට දැක්කේ පංසලේ තැඹිලි ගස්වල ගෙඩි පැහී වේලිලා ඇති බවය.  “අවසර, ගස්වල ගෙඩි පැහිල වේලිලා නේදැ”යි වෙනුජ ඇසුකල ලොකු හාමුදුරුවන් දුන්නේ අපූරු පිළිතුරකි.
“කාට කියන්නද වෙනුජ, ඔය ගොල්ලන්ගෙ කාලෙ වගේ නෙවෙයි දැන්.  දැන් කොල්ලො ඔය ගඩා ගෙඩි දිහා බලන්නෙවත් නෑ.  ඔය ගොල්ලො දහම් පාසැල් ආපු කාලෙ නං මම දෙසැරයක් බුද්ධ පූජාව තිබ්බා” යි ලොකු හාමුදුරුවෝ වදාළ කල්හි වෙනුජ උඩ ගොස් බිම වැටුණේ ලොකු හාමුදුරුවන්ට හොරෙන් කරනවාය කියා සිතාගෙන කළ දේවල් ඔක්කොම උන් වහන්සේ දැන සිටි බව අවුරුදු විසි ගණනකට පසු දැනගන්නට ලැබුණු අවස්ථාවේය.
 ගමට බොහෝ ඈතින් තිබුණු ගලේ පංසල හෙවත් ශෛලබිම්බාරාමය හැරපියා අළුතෙන් ලැබුණු ඉඩමේ කටුමැටි ගසා හදාගත් පන්සලට වැඩිය ලොකු හාමුදුරුවෝ පංසල හොඳට හදාගන්නට සෑහෙන දුක් මහන්සි වුවෝය.  එතකොට හාමුදුරුවන්ට හිටියේ එක ගෝල නමකි.  ඒ පොඩි හාමුදුරුවොත් ඒ කාලයේ සරසවි සිසුවෙකි.  පංසල ලස්සනට හදාගන්නට පොඩි හාමුදුරුවන්ට තිබුණේ ලොකු හාමුදුරුවන්ටත් නැති තරමේ වුවමනාවකි.  ඒ කාලයේ හැම සති අන්තයකම අපි ශ්‍රමදාන දැම්මේ පංසලේ ඉදිකිරීම් වලටය.  ඉදිකිරීම් කරන්නට ශ්‍රමය විතරක් මදිය, මුදලුත් අවශ්‍ය වේ.  මුදල් ටිකක් හොයාගන්නට සල්පිලක් කරන්නට පොඩි හාමුදුරුවෝ අපිව උනන්දු කරවූහ.  සල්පිලක් කළාට මදිය ජනතාව ද ගෙන්නාගත්තේ නැත්නම් සල්පිල අසාර්ථකය.  පොඩි හාමුදුරුවන් කීවේ බණක් කියවමු කියලාය.  ඒ කාලයේ අද වගේ ජනප්‍රිය බණ කියන හාමුදුරුවරු සිය ගණනක් හිටියෙ නැත.  කාලීන ධර්ම දේශනා කළේ මාදුළුවාවේ සෝභිත හිමියන් විතරය.  සෝභිත හිමියන් ට ආරාධනා කර කැඳවා ගන්නට පොඩි හාමුදුරුවන් බාර දුන්නේ මටය.
වැලිසර රෝහලේ වාට්ටු අලුත්වැඩියා කර විවෘත කරන වෙලාවට නවලෝක මුදලාලි විසින් වැඩමවා ගෙන එන ලද සෝභිත හිමියන් සමග කතාබහ කර තිබුණද එතරම් හිතවත්කමක් උන්වහන්සේ සමග මගේ තිබුණේ නැත.  කෙසේ වුවද කෝට්ටේ නාග විහාරයට ගොස් උන්වහන්සේට ආරාධනා කරන්නට තීරණය කරගත්තායින් පසුව නාග විහාරයට යන්නේ කෙසේදැයි නොදැන සිටි අපට පාර කියාදුන්නේ රෝහලේ සිටි කරුණාරත්න පෙරේරා විසිනි.  ඉතින් එක් සුන්දර උදෑසනක ආරිත් මමත් කරුණාරත්න පෙරේරා කිව් මග සලකුණුවලට අනුව කෝට්ටේ නාග විහාරයට ගියේ ආරිගේ සයිකලයෙනි.
මග වරද්දා නොගෙන නාග විහාරයට ගිය අපි ටිකක් වෙලා බලාසිටිය විට සෝභිත හිමියන්ගේ කැඳවීම ලැබුණි.  ඒ කාලයේ නාග විහාරය අද වගේ ලොකු සහ පොෂ් විහාරයක් නොවුණු අතර වැඩිපුර සෙනග ගැවසෙන තැනක්ද නොවීය.  හාමුදුරුවෝ අපෙන් විස්තර අසා පන්සලෙන් ගෙනගිය ලියුමත් බලා ආරාධනය පිළිගත්තෝය.  ඔය කියන කාලය වන විට රටේ විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර් බොහෝ බලසම්පන්න තත්ත්වයක සිටි අතර ඔහුට කරන්නට අවශ්‍ය දේවල් හොඳින් හෝ නරකින් කරගන්නට කිසිසේත්ම පසුබට නොවීය.  පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලයත් ප්‍රබල විධායක ජනාධිපති බලතලත් සහිතව රට පාලනය කළ ජේ. ආර් කීවේ ඔහුට බැරි ගැහැණියක් මිනිහෙක් කරන්නට පමණය කියාය.  1980 ජුලි වැඩ වර්ජනය අතිශය අමානුෂික ලෙස මර්දනය කළ ඔහු කීව්වේ තවම අලියා නැට්ට හෙලෙව්වා පමණයි කියාය.  එහෙම ජනාධිපතිවරයෙක් ගෙන් ගේම ඉල්ලූ හාමුදුරුවරු දෙදෙනෙක් එකල වැඩ විසුහ.  එක හිමිනමක් මාදුළුවාවේ සෝභිත හිමියන් වූ අතර අනෙක් හිමිනම වුයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය.  මේ ගැන වැඩිදුර විස්තර පසුවටය.
අපේ පංසලේ පැවැත්වුණු සෝභිත හාමුදුරුවන්ගේ බණට ආපු තරම් සෙනගක් මම ඒ පංසලේ අද වෙනතුරු දැක නැත.  පන්සල් වත්ත උතුරන්නට හිටි සෙනග නිසා බණට පසුව පැවැත්වුණු සල්පිලද ඉතාම සාර්ථකව පවත්වා ගන්නට හැකිවිය.  සෝභිත හාමුදුරුවන් එක්ක කතාබහ කරන්නට හා හිතවත් කමක් ඇතිකරගන්නට මට ඉඩ ලැබුණේ මෙන්න මේ බණ කීමෙන් පසුවය.  එදා ඇතිවූ හිතවත්කම දැනට අවුරුදු දෙකකට කලින් සිදුවූ උන්වහන්සේ ගේ අපවත්වීම දක්වාම එක දිගට ඇදී ගියේය.  2015 අවුරුද්දේ උන්වහන්සේ ඕමානයට වැඩම කළ ගමන ඒ හිමියන්ගේ අවසාන විදේශ සංචාරය යැයි සිතමි.  එදා හමුවුනේද මා ඊට අවුරුදු තිස් ගණනකට පෙර දැක තිබූ අල්පෙච්ඡ සහ නිහතමානී යතිවරයාණන් මය.
මම චෙන්නායිවලට මාරුවක් ලැබී ගිය කාලයේ ඒ නගරයේ තිබූ බෞද්ධ සිද්ධස්ථානය වුණේ මහාබෝධියයි.  එය චෙන්නායි පමණක් නොව දකුණු ඉන්දියාවටම තිබූ එකම පන්සලයි.  චෙන්නායිහි මහාබෝධිය පන්සලක් වශයෙන් මෙන්ම නවාතැන් පොලක් වශයෙන්ද සිය සේවය ලාංකිකයන්ට ලබාදුන්නේය.   දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ හුවමාරු නැවතුම් පොලක් වශයෙන්ද, ලෙඩට බේත් ගන්නට චෙන්නායිහි රෝහල් කරා එන ලාංකිකයන්ගේ මෙන්ම වෙනත් වෙනත් කටයුතු සඳහා එන අයගේ නවාතැනක් වශයෙන්ද මහාබෝධිය ජනප්‍රිය මධ්‍යස්ථානයක් විය.  එම පංසල යැපුනේද එහෙම නවතින්නට එන අයට කාමර කුලියට දී ලබාගන්නා මුදලිනි.  මම යන කාලයේ පංසලේ හිටියේ සමිත හාමුදුරුවන්ද පංසලේ පරිපාලන වැඩ ටික කරන්නට ජයතුංග මහත්තයා ද යන දෙදෙනාය.  ආවතේව, පිරිසිදු කිරීම් සහ උයන පිහන කටයුතු කෙරුණේ දකුණු ඉන්දීය කම්කරුවන් කීප දෙනෙකු අතිනි.  මුරට වයසක මුරකාරයෙක්ද විය.
මහාබෝධියේ පැවැත්වුණු ප්‍රධාන බෞද්ධ උත්සවය වු බුද්ධ පූර්ණිමා යනුවෙන් ඉන්දීය ජාතිකයන් හැඳින්වූ වෙසක් උත්සව සැමරුම ඒ කාලේ කිසිම විදියකින් සිත් ඇද බැඳ නොගන්නා සහ මහම කම්මැලි උත්සවයක් වූ බව මට මතක තිබේ.  එදාට පන්සලට නොගිහින් ඉන්නට බැරි නිසා ගියා මිසක ඒ උත්සවයට කට්ටිය ගියේ කිසිම කැමැත්තකින් නොවේ.  පළමු කොටම පන්සිල් සමාදන් වීමෙන් පසුව උත්සවය ඇරඹේ.  ඊට පසු තියෙන්නේ කතා වාරයයි.  ආරම්භක කතා කීපයකට පසු මුඛ්‍ය දේශනය පවත්වන ආචාර්ය සිද්ධාර්ථන් සිනහ වෙමින්ද තමාගේ කතාව ගැන තමන්ම සතුටුවෙමින්ද අඩුම වශයෙන් පැය දෙකක්වත් කතා කරන්නේ අහගෙන ඉන්න අසරණයින් ගැන තඹයකටවත් මායිම් නොකරමිනි.  තේරෙන කතාවක් නම් අහගන ඉන්නටවත් හැකි වුවත් ඔහු මුළු කාලය පුරාවටම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙනි.  යන්තම් කතාව ඉවරවුන විට හැමෝම සතුටුවෙන්නේ එතනදීම නිවන් ගියා වගේය.  ඊළඟට සමිත හාමුදුරුවෝ ඉංග්‍රීසියෙන් කොළයක ලියාගත් ස්තුතී කතාවක් කියවයි.  උත්සවයේ වැඩ අවසන් වෙන්නේ වඩේ, මුරුක්කු සහ බොන්නට අඹ ජුස් පැකට් එකක්ද වශයෙන් ඇති සංග්‍රහයකිනි.  තියෙන හිතේ අමාරුවේ හැටියට අපට නම් අඹ ජුස් බීලා හිත හදාගන්නට බැරි නිසා කොහේ හෝ කාමරයකට වී විස්කි ටිකක් නොබී බැරිය ෴
%d bloggers like this: