Menu Close

කිරි අම්මා

ඉලන්දාරි වයස පහුවෙලා උණත් මම තාම නිදාගත්තෙ කිරිඅම්මගෙ ඇඳේ. කිරිඅම්මගෙ කාමරේ තෙල් බෙහෙත් සුවඳත් එක්ක වෙනදා වගේ මං ඇහැරුණා.

කොහොමත් ඉතින්  හැමදාම කිරිඅම්මට කලින් මං ඇහැරෙනවා.ඇහැරිලා වටේ පිටේ ලෝකෙ ඇහැරෙන සද්දවලට කන් දීගෙන ඉන්නවා.ටිකකින් මට බඩගිනි වෙනවා.මගේ කුණුකුණුවට කිරිඅම්මට ඇහැරෙනවා.අපි කුස්සියට ගිහින් තේ බොනවා.අපේ දවස පටන් ගන්නෙ එහෙමයි.

මගේ අම්මඅප්පා කවුද කියලා මතකයක් මට නෑ.මතක ඇති කාලෙක ඉඳන් මම හිටියෙ තනියම.කිරිඅම්මට දරු මුනුබුරෝ සෑහෙන හිටියා.සමහරු පිටරට.මෙහෙ හිටි උදවියත් හිටියෙ දුර පළාත්වල.ඉතින් අහම්බෙන් දවසක හම්බුන වෙලේ කිරිඅම්මා කිව්වම ඔන්නොහේ මාත් එක්ක නැවතියන් මයිකල් කියලා මම ඔලුව වැනුවෙ එක පයින් ම.එදා ඉඳන් කිරිඅම්මයි මායි හිටියෙ එකට.

 වෙනදා වගේ මගේ කුණුකුණුවට කිරිඅම්මා පුරුදු විදිහට ඇහැ ඇරියෙ නැති වුනාම මට මොකද්දෝ මහ අමුත්තක් දැනුනා.හත් දෙයියනේ කිරි අම්මා අයිස් කුට්ටියක් වගේ සීතලයි.

කිරි අම්මට සෑහෙන අසනීප තිබුණා .හැමදාම උදේ දවල් හවස බෙහෙත් පෙති අහුරු අහුරු  බීවෙ ඒ අසනීපවලට.ඒත් කිරි අම්මාට ළඟදිම දවසක යන්න වෙයි කියලා කිරිඅම්මා නිතරම මැතිරුවා.
“මට යන්න දුක නෑ ,මයිකල්.ඒත් මට දුක මම ගියාම උඹට මොකද වෙන්නෙ කියලා”
ඒ වෙලාවට කිරි අම්මා දිග හුස්මක් අදින්නේ මාවත් ඒ දිහාට ඇදිලා යන ගානට.

කිරිඅම්මගෙ දරුමුණුපුරෝ මට කිසිම ඇගෑලුම්කමක් දැක්කුවෙ නෑ.ඉඳලා හිටලා දවසක ආයෙත් දුවන්න බලාගෙන මහ ගෙදර ආපු දවසක උන් ඔක්කොම මගේ දිහා බැලුවෙ අනවසර පදිංචිකාරයෙක් එහෙම නැත්තං අපරාධකාරයෙක් දිහා බලන විදිහට.

මට උන් එකෙක්වත් වැඩක් නෑ දැන්.මගේ කිරි අම්මා යන්න ගිහිල්ලා.පපුව පිච්චී ගෙන යද්දි මම මහ හයියෙන් විලාප තියන්න ගත්තා.

මගේ විලාපෙට අල්ලපු වත්තෙ ගෙදර අමරෙයි කාන්තියි දුවගෙන ආවා .අමරපාල ගෙට ආවෙ පිටිපස්සෙ දොරේ අගුල කඩා ගෙන.වෙන දවසක ඕක වුනානං මට මාරාවේස වෙනවා.එදා මට ගානක්වත් උන්නෑ.

“හපොයි දෙයියනේ රන්හාමි නැන්දා”කාන්තිත් පපුව අල්ලගත්තා.

එතනින් එහාට වැඩිහරියක් මට මතක නෑ.අමරපාල කොහෙන්දෝ වාහනයක් අරං රූං ගාල ඇවිදින් කිරිඅම්මා අරං ගියා.කිරිඅම්මා ආයෙත් ආවෙ දුඹුරු පාට පෙට්ටියෙන්.
ඒ වෙද්දි දවස් කීයක් ගිහින් ද මන්දා.

ඒ වෙද්දි කිරිඅම්මයි මායි විතරක් හිටපු ගේ පිරෙන්න පිට මිනිස්සු හිටියා.කිරිඅම්මගෙ දරුමුණුපුරු පරම්පරාවත් එකා දෙන්නා පාත් වුනා.

මම පෙට්ටියෙ හිටපු කිරිඅම්මා බලන්න ගියෙ නෑ.ඒ මගේ කිරිඅම්මා නෙවෙයි .මම ආසම කරන තෙල් බෙහෙත් සුවඳ වෙනුවට ඒ පෙට්ටියෙන් ආවෙ නහය කඩා ගෙන යන අප්පිරිය ගඳක්.මම එළියට වෙලා හූල්ල හූල්ලා හිටියා.

ඉඳලා හිටලා  ගමේ උදවිය කවුරුහරි මගෙ ඔලුව අතගාලා අනේ අසරණයා කිව්වත් මම නෙවෙයි ඔලුව ඉස්සුවෙ.

පිටරට හිටිය දුවාදරුවො එනකන් දවස් ගානක් කිරිඅම්මා පෙට්ටියේ නිදාගෙන හිටියා.
ඒ උන්දැලා ඇවිදින් හොටු පෙර පෙරා ඇඬුවා.ඊට පස්සෙ කඳුළු පිහදාගෙන අහුමුළුවලට වෙලා කිරිඅම්මගෙ බඩු මුට්ටු බෙදා ගන්න  හීතල යුද්ධයක් පටන් ගත්තා.

“උඹ තමයි කොලුවෝ මට මේ ලෝකේ ඉතුරු වෙච්චි එකම වස්තුව”මාව තුරුලු කරන් කිරිඅම්මා කීපාරක් නම් එහෙම කියන්න ඇද්ද?
ඒත් මේ උදවිය බෙදාගන්න දඟලපු බඩුමුට්ටු ලැයිස්තුවේ අන්තිම අග්ගිස්සේවත් මම උන්නෙ නෑ.

අන්තිම මුණුපුරාත් ඒරොප්පෙන් ගොඩබැහැලා ආවම  කිරිඅම්මගෙ අවසාන කටයුතු සිද්ධ වුනා.

මළ ගෙදරක්‍ ද මගුල් ගෙදරක්ද බං මේක කියලා කවුදෝ කියනවා මං අහගෙන.හාමුදුරුවොම විසිනමක් විතර වැඩියෙ පිට පලාත්වලින්.
කිරිඅම්මගෙ දරු මුණුපුරන්ගේ තොරණේ විස්තර තමයි වැඩි හරියක් කතාවල තිබුනෙ.ඒ දරුවො කිරිඅම්මාට කරපු නොසෑහෙන සැලකිලි ගැනත් කියද්දි මම කල්පනා කළේ මැරුනෙ මගේ කිරි අම්මා නෙවෙයි වත්ද කියලා.

කැරකොප්පුවේ අන්තිම කෙලවරේ බිම් පොඩ්ඩක කිරිඅම්මව පස් යට හංගලා ඒ උදවිය ඔක්කොම යන්න ගියාට පස්සෙයි මම කිරිඅම්මා බලන්න ගියේ.

අලුත් පස්වල සුවඳ අස්සෙන් කිරිඅම්මගෙ සුවඳ හීනියට වගේ දැනෙද්දී මම කිරිඅම්මගෙ පස්ගොඩැල්ල උඩ වැටිලා හිත දියවෙලා යනකං අඬන්න ගත්තා .

දවස් කීයක් මං ඇඬුවද කියලා මට මතක නෑ.
අමරපාලයි කාන්තියි කීපසැරයක් ම ඇවිත් මාව උන්දැලගෙ ගෙදර එක්ක යන්න තැතනුවා.බැරිම තැන   කාන්ති බත් කටක් පාන්කෑල්ලක් වතුර උගුරක් බොන්න කියලා මට පින්සෙන්ඩු උනා.
කිරිඅම්මා නැතුව මට කෑම කන්න පුලුවන්ද ?

ඔහොම එක දිගට හිත දිය වෙනකං අඬද්දි එක දවසක මගේ පණත් දිය වෙලා ගියා.

මගේ මළගෙදරට ආවෙ අමරපාලයි කාන්තියි විතරයි.කිරිඅම්මා ගාවම පොඩි ඉඩක මාව වළලද්දි පස් ගොඩේ  අමරපාලගෙ කඳුළුත් කලවම් වෙනවා මම කොහෙදෝ උඩක ඉඳන් බලන් හිටියා.

“පව්.තිරිසන් සතෙක් වෙලා මූට දැනිච්ච දුක අර නල්ලමලේ දූලා පුතාලා ටිකට තිබ්බනම් අම්මපා”කාන්ති චීත්තෙන් කඳුළු පිහදා  ගත්තා.

කාන්තියි අමරපාලයි එතන ඉන්දැද්දි මම කිරිඅම්මා හොයන්න යන්න පිටත් උනා.

උන්දැ මං නැතුව පාලුවේ ඇත්තෙ.

ඉගිලෙන ලියමන් 2018.12.20

%d bloggers like this: