Menu Close

දළ රළ පෙලට හසුව – සයුරේ දසවසක් – 8


    ගාල්ලෙන් පිටත්වු පසු දළ රළ පෙල  අප පිඩාවට පත්කරවන්න පටන් ගත්තේ වියරුවෙන් මෙන්ය. අධික ලෙසින් නෞකාව පැද්දෙන්නට පටන්ගත් බැවින් අපට සී සික් සැදි දවස පුරාවට නොකා නොබි වමනය කරන්නට සිදුවුනි. දැඩිව පැද්දෙන එවන් දිනවලදී නෞකාවේ ජල ටැංකි සියල්ල කැලති ටැංකියේ පතුලේ රැදුනු මඩ හා මලකඩ ඇවිස්සී ගොසිනි. අපහට පාවිච්චි කරන්නට පමනක් නොව පානය කරන්නද සිදුවුයේ තද කහ පැහැති මලකඩ මිශ‍්‍ර මඩ ජලයයි. රැ පුරා නින්දට බාදා කරමින් වියරුවෙන් හැසුරුනු මහ සයුරද  පසුදාට කිසිදු රළක් නොනංවා ඉතා සාමකාමි වෙයි. එවන් දිනෙක සාගර තලයේ කෙළිදෙලෙන් ඉන්නා තල් මසුන් හා ඩොල්පින් රංචුද ඉතා හොදින් නිරික්ෂණය කල හැකිවුනි. ගාල්ලෙන් පිටත්ව දෙවුන්දර පසුකර ගිය අප සංගමන් කන්ද පොයින්ට් වලින් හැරවුනු නොෟකාව ගොඩබිමින් ඈත්ව ඈත දියඹ දෙසට යාත‍්‍රා කලාය. ඒ මුහුදු කොටි ත‍්‍රස්තයින් සිටිනා ඉසව් මග හැරවිමටය. 


”ආ මල්ලි උඹ ………… ටෙක් එකේදි වෙල්ඩින් එහෙම කලේ නැද්ද?”
”ඔව් කලා. මට පුළුවනි වෙල්ඩින් කරන්න.”
”ආ එහෙනම් කරපං බලන්න.”
පයිප්යක් උඩ වාඩිගත් රංජි අයියා තම අත තිබු වෙල්ඩින් හොල්ඩරය හා මුහුනු ආවරනය මාවෙත දිගු කලේය. කිසිදු වැඩක් නොදැන මෙතනට පැමිණියෙකු නොවන බව රංජිට පෙන්විමට ලැබුනාවු මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනිමට සිතු මා වෙල්ඩින් හොල්ඩරයට අළුත් කුරක් ඇතුළු කර සුදානම් වුනෙමි. තරමුක රළු ස්භාවයක තිබු මුහුද නිසා නැවද තරමක පැද්දිල්ලකට ලක්වෙමින් පැවතියද මා දන්නා ලෙසින් පෑස්සීම කරගන්නට පටන් ගත්තෙමි. රළ පහරින් පැද්දෙන නැවේ අත සීරුවට රදවාගෙන වෙල්ඩින් කිරිම පහසු නැත. කොටසක් හොදින් පෑස්සුනත් තවත් කොටසක් එකට ගුලි ගැසි කැතවි ගොසිනි.
”කෝ් උඹේ මහ ලොකු වෙල්ඩින්? ………..කේ ……………ටෙක්. උඹලා හිතන් ඉන්නේ ඔය ටෙක් ගිහිල්ලා එනකොට ඔක්කෝම දන්නවා කියලා.”
ඔහු ළඟින් සිටි චමින්දවත් හවුල් කරගත්තේ මා සමච්චලයට පත් කරවන්නටය. ඉගෙන ගත් කාර්මික  විද්‍යාලයට අපහාස කිරිම මා නොසන්සුන් කරවාලන්නට විය.
”මේ මං ඉගෙන ගත්ත ටෙක් එකට අපහාස කරන්න එපා. වෙල්ඩින් කරන්න ඉගෙන ගත්තේ ගොඩබිම මිසක් මේ පැද්දි පැද්දි මුහුදේ දි නෙමෙයි. අනික තමුසේලාගේ අම්මා නැවක නෙමෙයි තමුසෙලාව වැදුවේ. එ් හින්දා මේ පැද්දි පැද්දි වෙල්ඩින් කිරිල්ල තමුසෙලාටත් මුලදි වරදින්න ඇති. අපහාස විතරක් කරන්න එපා.”
මා කෝපයෙන් ඔහුට ගිගිරුවාලිමි. එතැන් පටන් කිසි දිනෙක ඔහු මාහට වෙල්ඩින් කිරිමට අරාධනා කිරිමට හෝ මගේ කාර්මික විද්‍යාලයට අපහාස කලේද නැත.


         විශේෂ සිදුවිම නොමැතිව දින ගනනාවක් ගතවිගිය අතර අප යළිත් ත‍්‍රිකුණාමලයේ වරායට ගොස් ප‍්‍රීමා පිටි කම්මලෙන් පාන්පිටි තොගයක් රැගෙන උතුරට යාත‍්‍රා කරන්නට විය. උතුරට යාත‍්‍රා කිරිමේදි ති‍්‍රකුණාමලයෙන් පසුව අපගේ ජල සැපයුම සිමා කෙරුනි. එ් උතුරෙදි නැව් වලට ජලය ලබාගැනිමට පහසුකම් නොතිබු බැවිනි. උඳේ හයට හා සවස හයට ජලය ලබා දෙන වෙලාවල් විය. වොච් එක කරනා අයට මෙම ජලය සිමා කිරිම ඉතා විශාල අපහසුවක් හා කරදරයක්ම විය. අධික රස්නයට ලක්වි දහඩියෙන් තැම්බි පැය හතරක වොච් එක නිමාකර එන්ජින් කාමරයෙන් පිටට එන අයට ඇගපත දොවාගන්නට තියා අතේ තැවරුනු තෙල් මජං සෝදා හරින්නවත් ජලය පොදක් නොමැතිවිය.  එබැවින් ලිටර් විස්සේ හිස් තින්ත බාල්දියක් හා බොන වතුර එකතුකර තබාගන්නට ප්ලාස්ටික් කෑනයක් සෑම කැබින් කාමරයකම අනිවාර්්‍ය අංගයක් විය.

සවස හයට වතුර අරින අවස්ථාව වනතෙක් සියල්ලන්ම හිනට තුවායන් හැද හිස් තීන්ත බාල්දි කුණු වැකුණු ඔවරෝල් රැගෙන නානකාමරය අසලට වි සිටියහ. ජල සැපයුම ලැබෙන තෙක් බොහෝ කඩමාලුවි ඉරුනු තුවායකින් යාන්තමින් විලිවසාගත් රංජි අයියා නානකාමරය අසලට වි දල්වාගත් සිගරට්ටුවක් උරන්නට විය. ජලය ලැබෙනා කෙටි කාල සීමාවේ කුඩා නාන කාමරය තුල නා ගන්නටත් දුහුවිලි තෙල් ගෑවුනු ඔවරොල් සෝදා පිරිසිදු කරගන්නටත් පොරකන්නට සිදුවුනි. රෙදි සෝදා නාගන්නට පෙර පැය බාගය අවසන්වි ජල සැපයුම නවතා දැමිමත් සමහර අවස්ථාවලදී සිදුවුනි. මේසේ  ජලය සිමා කල අවස්ථාවලදි සමහරුන් තම බොහෝ තෙල් වැකුණු ඔවරෝල් පිරිසිදු කරගැනිමට සිහින් නයිලොන් ලණුපොටක ගැටගසා මුහුදට දැමිමට පුරුදුව සිටියහ. එහෙත් දැඩිව සයුර රලුවු අවස්ථාවන් වලදි ආපසු මුහුදෙන් නැවට අරගන්නට හැකිවුයේ අතක් හෝ කකුලක් ගැලවි ගොස් තිබුනු ඔවරෝලයකි. එකල මේ නැව් සමාගමේ  සේවය කල අයට ඔවරෝල් සැපයුයේ නැත. එදා මෙන්ම අද දිනයේද බොහෝමයක් නැවියන් ඔවරෝල් මිලදීගත්තේ පිටකොටුවේ මල්වත්ත පාරේ තිබු පැරනි ආරක්ෂක සපත්තු බුට් වින්ටර් ජැකට් හා ඔවරෝල් විකුණන කඩවලින්ය. මේ කඩවල විකුණන්ට තිබුනේ කොළඹ වරායට එන විදේශීය නෞකාවලින් ලබාගත් අලුත් හෝ පාවිචිකරන ලද ඒවාත් බාල රෙද්දෙන් ලංකාවේ  මැසු එවාත් විය. මාස දෙක තුනකට පසු ඉරි වැරහැලිවි ගිය ඔවරෝලයන් අන්ඩ දමමින් ඇද සේවය කරන්නන් මේ නැව් වල බහුල සිටියෝය.
    
            රංජිත් අයියාගේ වෙල්ඩර් හෙල්පර් ලෙසින් සේවයට යැවු මා එතැන් පටන් දිගටම ඔහුත් සමගින් රැුදි සිටින්නට වුයේ එන්ජින් කාමරයේ කිසිදු වැඩකට සහභාගි නොවමින්ය. රැුගක් ලෙසින් කොට රංජි ළඟට යැවු මා ඔහුත් සමගින් කුළුපගව වැඩ කිරිම සමහරුන්ට නොරිසිවිය. මේ වන විට මා මේ නෞකාවේ සේවයට එක්වි දෙමසකට ආසන්න වෙමින් තිබුනි. නාවික හමුදාවේ අනුදැනුම ඇතිව මුහුදු කොටි ත‍්‍රස්තයන්ගේ ඉසව් වන මුලතිව් පුනරින් මුහුදු සිමා මග හරිමින් අන්තර්ජාතික මුහුදු සිමාවෙන් යාත‍්‍රා කිරිම හේතුවෙන් අප හට කන්කසන්තුරය වෙත ළඟාවෙන්නට දින පහකට ආසන්න දින ගනනක් ගතවේ. නැවේ පැරණි භාවය වැඩිවන්නට මෙසේ යාත‍්‍රා කරන දිග ගනන වෙනස් විය. ඉතා පැරණි නොෟකාවක්වු මෙය ඉදිරියට යනවාට වඩා ගතකලේ ප‍්‍රචන්ඩ රළ සමගින් ඔට්ටුවෙමින් එක තැන ගෑටීමය. පසුකාලිනව මා සේවය කල නවින පන්නයේ නෞකාවන්ට දින පහකින් හෝ ඊට අඩු දිනකින් කොළඹින් පිටත්ව මුහුදු සැතැපුම් ගනනාවක් දුරින් පිහිටි ඊජිප්තුවට යා හැකිවුනි.

        ප‍්‍රධාන තට්ටුවට යටින් පිහිටා තිබු කැබින් කාමර පෙලට සුළං පොදක්වත් එමට අවකාෂ නොතිබුනි. කාමරවල තිබු කවුළු නොහොත් පෝට් හෝල් (Port Hole) ඇරිය නොහැකි වන සේ  සිලිකොන් ගම් යොදා මුදාතබා තිබුනේ එ්වයේ පැරණිබාවය හේතුවෙන් නියමාකාරයෙන් වැසිය හැකි නොවු බැවිනි. නැවට බඩු පැටවු පසුව නියමාකරයෙන් වැසිය නොහැකි පෝට්හෝල්වලින් මුහුදු ජලය කැබින් තුලට කාන්දුවන්නට විය. අල්විස් අයියා සිටි කැබින් කාමරයේ එලෙස ජල කාන්දුවන පෝට් හෝලයට තහඩු පිල්ලක් රදවා දෙකට කැපූ තෙල් බැරලයක් තබා තිබුනේ වෑස්සෙන  මුහුදු ජලය එකතු වන්නටය. වරෙක මා සහයට ගෙන එම ජලය වෑස්සෙන පොට්හෝලය සදහටම විවරකල නොහැකිවනසේ රවුමට කැපු යකඩ තහඩුවක් එම කවුලුවලට තබා රංජි අයියා විසින් වෙල්ඩින් කර ස්ථිරව වසාදැමීය. මා සිටි කැබිනයේ පෝට්හෝලය විවර කලහැකිවුවත් එය නැව ගමන්කරද්දි විවර කර තැබිය හැකි නොවිය.

      මියන් කැරපොත්තන් හා දැලියන්ගෙන් පිරි තිබු අඳුරු ගුහාවක් වැනි කැබින් කාමර පෙලහි අපද උන්ද සමගින් වාසය කලෙමු.  රාත‍්‍රිකාලයේදි එලිබසින මියන් විසින් නිදා සිටින්නන්ව සපාකෑම්ද බහුලවිය. වායු සමිකරන පද්ධතියක්ද නොවුන එහි අපට තිබු එකම සම්පතවුයේ ඉන්දියාවේ නිෂ්පාදිත මේස විදුලිපංකාවයි. මෙකල අප නිවෙස්වල තිබෙනා මේස විදුලිපංකා සේ ප්ලාස්ටික් වලින් සැකසුවක් නොවු එම ඉන්දියානු නිෂ්පාදන තනිකර යකඩින් සෑදු ලස්සනක් හෝ හැඩයක් නොමැති දෘඩ එවා විය. මේවා නැවේ පැද්දිල්ලට බිම නොවැටි තබාගැනිමට මේසයට තබා තදින් ගැටගසා හතරවටයෙන්ම කම්බිවලින් ගැට ගසා තිබුනි. එකල ජංගම දුරකතන ලංකාවේ ආරම්භකල අවදිය වු බැවින් මේසය මත ගැට ගසා රදවා තැබු විශාල දෟඩ මේස විදුලි පංකා අප හැදින්වුයේ සෙල්ටෙල් කුළුණු ලෙසින්ය. නැව යාත‍්‍රා කරන දිනයන්හි ප‍්‍රධාන එන්ජිමෙන් නැගෙන රස්නය ඉහළින්වු  අපගේ කාමරවලට දැනෙන්නට ගනියි. දහඩියෙන් තෙත්වි ඇදේ නිදාගැනිම කල් ගතවෙද්දි මාහට පුරුදුවිය. කිසිසේත්ම ඇදක නිදාගැනිමට නොහැකි ලෙසින් හිත් පිත් නැති ලෙසින් දළ රළ පෙල අපහට පහර දෙද්දි ඇතිවන නෞකාවේ දැඩි පැද්දිල්ල දවස මුලූල්ලේම වැඩකර වෙහෙස නිවා ගැනිමට තිබු එකම සම්පතවු නින්ද කොතරම් උත්සාහ කලත් ළඟා නොවෙයි. ඉදහිට කුමක්හෝ පෙරලියන හඬක් ඈතින් ඇසෙයි. දෙපැත්තට වන පැද්දිල්ලෙන් සයනයේ වැතිර සිටි මා දෙපැත්තට නොපෙරලිමට උත්සාහගනිමින් සිටියෙමි. අසිරුවෙන් සිටි මා පොට් හොල් එක තුලින් අහසත් අහසේ දිදුලන සඳත් දකින්නට හැකිවෙද්දි එ් ක්ෂනිකයෙන් යලිදු නැව අනෙක් පැත්තට පැද්දිගොස් මුහුදත් අනතුරුව පොට්හෝලය මුහුදු ජලයෙන් වැසී යන්නටද විය. විටෙක මා මේ සිටින්නේ සම්මැරිනයක දෝ සිතෙයි.

             අපගේ නැව කොතරම් පැද්දිල්ලකට හෙවත් රෝලිං වෙනවාදැයි මාහට සිතාගත නොහැකිවුනි. නින්ද අහලකටවත් නොඑන නිසාවෙන් ඇදෙන් බිමට බැස ඬේ බංක් එකේ වාඩි ගතිමි. ප‍්‍රධාන එන්ජිමෙන්  නැගෙන ගොර ගොර හඬ කැබිනයට හොදින් ඇසේ. විශාල රළ පහරකට අසුව පසුපස ඉහළට එසවෙද්දි එන්ජිමේ වේගය වැඩිවි ශබ්දය ඉහල යන හඬද යළිත් පොප්ලරය මුහුද ජලයේ ගිලෙද්දි ඉන් ලැබෙන ප‍්‍රතිරෝදය වැඩිවෙද්දි එන්ජිමේ වේගය මෙන්ම ශබ්දයද අඩුව යන  හඬද ඇසෙන්නට විනිි. ගාටගාට යන මහල්ලකෙුසේ මේ පැරණි නොෟකාව ඉබි ගමනින් චන්ඩ රළත් සමගින් පෙරලි කරමින් සිටියේය. දෙපසට පැද්දෙන විට නැවෙන් නැගෙන කීරි කීරි ශබ්දය මරණිය විලාපයක් සේ හැගෙන්නට විය. විටෙක මේ කබල් නැව මුහුද මැද පෙරලි ගොස් අප සියළුදෙනාම මිය යනු ඇතැයි විටෙක මා  සිත පෙලන්නට විය. රාත‍්‍රි දොළහට පෙර ඊළග වොච් එකට අදාල එන්ජිනේරුවරයා හා ඔයිලර් අවදිකිරිමට කඞ්ඩා පහල තට්ටුවේ එන්ජින් කාමරයේ ජලමුදා ෙදාර විවර කරනු ඇසින. එම ෙදාර විවර කරද්දිම එන්ජින් කාමරයෙන් නැගෙන ගොරහැඩි ශබ්දය එම තට්ටුවටත් ඊට ඉහලින්වු ප‍්‍රධාන තට්ටුවටත් ඇසේ. බඬේ කැලති ඔක්කාරයට එන්නට මෙන් දැනුන නිසාවෙන් කැබිනයට වි සිටිය නොහැකි තැන මා ද දෙපසට විසිවි විසිවි කඞ්ඩා පසුපසින් මේන් ඩෙක් එකට ගමන් කරන්නට විය. දහඩියෙන් හා පෙගුනු හෙම්බත් සහගත තෙහෙට්ටුවෙන් යුතුව කඞ්ඩා තරප්පුව නැග ආවේ කටින්ද හුස්ම ගනිමිනි. තෙල් පිසදැමු අබිලි රෙදිකඩවල් පුරවා තිබු කුණු බාල්දිය හෙවත් ලිටර් විස්සේ තින්ත බාල්දිය අසිරුවෙන් ඔසවාගෙන විත් ඇකමඬේෂන් එකෙන් එලියට ගියේය. මාද ඔහුත් සමගින් එළියට බැස්සේ එ් අහයපත් කාලගුණය නිසා තනිවම එලියට බැසිම එතරම් ගුණදායි නොවන නිසාවෙනි. කුණු බාල්දිය බිම අතහැරිය කඞ්ඩා ගන්වෝල් එකෙන් එලියට හිස දමා වමනය කරන්නට විය. වමනයට යන්නට කුසේ කිසිවක් නොමැති වුවත් බොකු බඩවැල් එලියට ගන්නට මෙන් ඔක්කාර කරන්නට විය. සී සික් එක සැදි අසිරුවෙන් සිටි මාද වමනය දමමින් සිටි කඞ්ඩාගේ පිට පිරිමදිමින්නට විමි. ඔහු විදින වේදනාව දුටුවිට මෙපමන අසීරුවෙන් දුක් විදින්නේ මොන කරුමයකට දැයි සිතගත නොහැකිවුනි. වමනය දැමිම නතරකෙරු ඔහු කුණු මුහුදට හලනවා වෙනුවට බාල්දිය පිටින්ම මුහුදට විසිකලේය.
”ඇයි බං?”
”වේලාවකට මේ රස්සාව එපා වෙනවා බං.”
කී ඔහු යලිත් මුහුදට වමනය කරන්නට විය.
”ඇයි බාල්දිය දැම්මේ?”
”ඔය තින්ත බාල්දි  ඕනේ තරම් තියෙන්නේ. අනිත් උන් දෙන්නාවත් ඇහැරවලා වොච් එක ලියන්නත් තියෙනවා මම යනවා.”
පැවසු කඞ්ඩා මඳ වේලාවක් මුහුද දෙස බලාසිට තරප්පු පෙල බැස එන්ජින් කාමරය වෙත යන්නට ගියේය. 

සයුරේ ආ මඟ 

 

කොට රංජිගේ කුකුල් කේන්තිය – සයුරේ දසවසක් – 7

 අටුවාව 

 

A porthole, sometimes called bull’s-eye window or bull’s-eye, is a generally circular window used on the hull of ships to admit light and air.

%d bloggers like this: