Menu Close

මුතු කැට

🎲ඉවර වෙන්න ටිකකට කලින්

“ආයෙ එහෙම මේ පැත්තෙ එන්න එපා.ඔහෙගෙ නෝනා මහත්තැන් ළමයි එහෙම දැනගත්තොත් මොනවා නොහිතයි ද ?”
මුතුලතා කිව්වෙ ජනේලෙන් එළිය බලාගත් ගමන්ම

“හ්ම්”

🎲කතාවේ මුල

“ඩිං ඩිං” පල්ලෙහා බෙල් එක වැදුනෙ කස්ටමර් කෙනෙක් ඇවිදින් කියාගෙන.

මුතුලතා කාමරෙන් එළියට ඇදුනෙ ඕනෑවට එපාවට.
මුතුලතාට දැන් තිස් අටත් පැනලා.තාම ලස්සන වුනත් වයස පේනවා.මුතුලතා බලන්න එන කට්ටිය ටික ටික අඩු වේගෙන එන විත්තිය මුතුලතාට නොතේරුනා නෙවෙයි .

ආපු හාදයාට එච්චර වයසක් නැති පාටයි.ඕන්නං තිහක් තිස්පහක් විතර.සල්ලි බාගෙ තියෙන හැඩයි පෙනුමෙන් නං.මුතුලතා බලාපොරොත්තු අත ඇරගෙන ආපහු යන්න හිත හරෝගද්දි ඒ හාදයා මුතුලතාට අත දික්කරේ.

“එන්න මහත්තයා”
කස්ටමර් කාමරේට එක්කගෙන ගිය මුතුලතා සුපුරුදු පරිදි තමන්ගේ රෙදි පෙරෙදි උනා දමන කර්තව්‍යයට ලක ලැහැස්ති වුනා.

“එපා”

හපොයි .මේ ජාතියේ හාදයෝනං වාතයක් තමයි.මුන්ට තිබ්බේ වෙන වෙන විකාර ආසාවල්.මුතුලතා මූණ පුලුටු කරගත්තා.

“ඇයි මහත්තයා?”

“මට ඕන ඔහෙත් එක්ක ටිකක් කතා කරන්න”

හම්මෝ.ඒකනං කමක් නෑ.මේ ජාතියේ උදවියත් මෙහෙට අඩු නෑ.ගෙදර ගෑනිගේ අඩු පාඩු ගැන කොහේවත් ඉන්න ගෑනියෙක් ට කණුකුණු ගාන්න එන මහත්තුරු ගැන මුතුලතාට කිසිම අහිතක් හිතෙන්නෙ නෑ.මුතුලතාට තිබ්බේ ඉඳලා හිටලා කතාවට හූමිටි තියන්න විතරයි.

“මහත්තයා පත්තරෙන් හරි පොලිසියෙන් හරි…”

“නැහැ නැහැ.මම වැඩ කරන්නෙ ……කම්පනි එකේ.මේ තියෙන්න් ඔහෙට සැකනං අයිඩී එක.”

මේ හාදයා නං හද්ද මෝඩයෙක්.මෙහෙම තැනක තමන්ගෙ ඇත්ත නම ගම විස්තර කියන්නෙ මොන පුත්තලං බූරුවද?

මුතුලතාට හිනාත් ගියා.

“හරි හරි …මහත්තයා කියන්න හිතේ තියෙන ඔක්කොම…මම අහන් ඉන්නං”
මුතුලතා කාමර පොඩ්ඩෙ ජනේලෙ අද්දරින් හිටගත්තේ ඇඳන් රාජයා කස්ටමර්ට වාඩි වෙන්න ඉතුරු කරලා.

“අම්ම මැරෙද්දි මම පුංචියි.අම්මව මට මතකම නැහැ.
තාත්තා වැඩ කලේ වඩු මඩුවක.මම පවුලේ හරි මැද.අක්කයි මල්ලියි මමයි තුන්දෙනාටම හොඳට උගන්නන එක තමයි තාත්තගෙ ලොකුම හීනෙ උනේ.අක්කා උපාධිය ගනිද්දි මම හිටියෙ දොලහෙ පන්තියෙ.

තාත්තා නයෙක් ගහල මලේ මම  දහතුනේ අගට යනකොට.මල්ලි එතකොට එකොලහේ.”

“හ්ම්…”මුතුලතා කලට වෙලාවට හූමිටි තිබ්බා.

“තියෙන කාලෙ හිටි නෑ හිතවත්තු අතුරුදහන් වුනේ හත්දවසෙ දානෙත් එක්කමයි.

තාත්තා අපිට ඉගැන්නුවා මිසක් වෙන රස්සාවකට පුරුදු කරලා තිබ්බෙ නෑ.අක්කට තිබ්බෙ කලා උපාධියක් නිසා රස්සාවක් හොයා ගන්න ලේසි වුනෙත් නෑ.

අන්තිමට  මම හිතාගත්තා ගෙදර නැවතිලා කුලියක් කරන්න යන්න.මොකද මල්ලි තමයි අපේ ගෙදර ඉගෙනගන්න දක්ශම.මං ඒලෙවල් ලියන්න මාසයක් විතර තියෙන්න ඇති එතකොට.

අක්කට මම මගේ තීරනේ කියලා දවස් දෙක තුනක් යද්දි අක්කට රස්සාවක් ලැබුණා.

පොඩි තැනක රස්සාවක් වුනත් කමක් නෑ මටයි මල්ලිටයි වියදම් කරන්න හම්බෙන පඩිය ඇති වෙයි කියලා අක්කා කිව්වෙ.වඩුමඩුවත් විකිණුව හින්දා එතනිනුත් ගාණක් ලැබුනා.”

තාම පවුලෙ පුරාජේරුව.කසාද බැඳලා බැඳපු උන්දැගෙ ගැන අඳෝනාව පටන් ගනිද්දි කීය වෙයිද  කියලා මුතුලතාට හිතුනා.

“ඉතින් මහත්තයා?”

“මම කැම්පස් ගියා.මහපොලෙන් මගේ වියදම් ටිකක් අඩු වුණාට මල්ලිගෙ වියදම්වලනං අඩුවක් තිබ්බෙ නෑ.කොහොමත් මිනිහට සල්ලිවල අගයක් තිබ්බෙ නෑ.
එතකොට මම තුන්වෙනි අවුරුද්දෙ.මල්ලි ඒ අවුරුද්දෙ ඒ ලෙවල් ලියලා ගෙදර හිටියෙ ප්‍රතිඵල එනකං.”

“එතකොට?”

“අක්කා නැති වුණ ආරංචිය ලැබුනෙ මම ලෙක්චර් එකක ඉන්දැද්දි .
අක්කාව අපේ ගමේ එකෙක්ට හම්බ වෙලා තිබුනේ මේ වගේම තැනකදි.

අක්කගෙ රස්සාව මොකද්ද කියන එක ගම වටේ පැතිරෙන්න ගිහින් තිබ්බෙ පැය දෙක තුනක්.

මල්ලි අක්කට පිහියෙන් ඇනලා තිබ්බා දාහත් පොලකට.ඉස්පිරිතාලෙ ගෙනියද්දිත් අක්කා යන්නම ගිහිල්ලා”

මුතුලතා ජනෙල් පොලු දෙක හයියෙන් අල්ලගත්තා.

“මල්ලි හිරේ ගියා.අක්කා යන්න ගියා.අදට අවුරුදු පහක්”

උන්දැගෙ හීල්ලිල්ලට ජනෙල් රෙද්දත් ගහගෙන යයි කියලා මුතුලතාට හිතුණා .

“මහත්තයගෙ අක්කා කරපු වැඩේ හරි කියලා මහත්තයා හිතනවද?
ඔච්චර ඉගෙනගෙනත්.
ඇඟ විකුණන්නෙ නැතුව කීයක් හරි හම්බ කරන්න වෙන විදි ඕන තරං තියෙනවා මහත්තයා”
මුතුලතා කිව්වෙ නුරුස්නාවෙන්

මුතුලතා එහෙම විදිහකට හම්බ කරන්නෙ නැත්තෙ ඇයි කියලා අහයිද කියලා මුතුලතා බලං හිටියා.

ඒත් උන්දැ එහෙම ඇහුවෙ නෑ.
යන්න නැගිට්ටා විතරයි.

“සල්ලි මහත්තයා ගන්න”
“එපා ඔහේ තියාගන්න.මට ඔහේ දැක්කම අක්කව මතක් උනා”

අක්කව වටින්නෙ රුපියල් එක්දාස් පන්සීයද කියල අහන්න හිතුනත් මුතුලතා එහෙම ඇහුවෙ නෑ.

“ආයෙ එහෙම මේ පැත්තෙ එන්න එපා.ඔහෙගෙ නෝනා මහත්තැන් ළමයි එහෙම දැනගත්තොත් මොනවා නොහිතයි ද ?”
මුතුලතා කිව්වෙ ජනේලෙන් එළිය බලාගත් ගමන්ම

“හ්ම්”

මුතුලතා සෑහෙන වෙලාවල් ජනේලෙන් එළිය බලාගෙන ම හිටියා.
මේස ලාච්චුවේ හතරට පහට නවපු ලියමන දැන් කියවලා කියවලාම මුතුලතා ට කටපාඩම්.

ආදරණීය අම්මා වෙත,
අම්මා සනීපෙන් ද?
මාත් මල්ලීත්  ආත්තම්මාත් සනීපෙන් ඉන්නවා.ගෙවල් කුලී ගෙවන්නට සල්ලි ලැබුනාය කියන්නැයි අත්තම්මා කියනවා.
දෙසැම්බර් නිවාඩුවට අම්මා ගෙදර එනවද?
මල්ලිටයි මටයි අලුත් පන්තියට පොත් ලිස්ට් ලැබුනා.මල්ලිගේ සපත්තු දෙක කැඩිලා.මගේ දෙකනම් ලබන අවුරුද්දෙත් දාන්න පුලුවන්……….

මුතුලතාගේ ඇස්වලින් තවත් පාරක් මුතුකැට වැටෙන්නට පටන් ගත්තා.

%d bloggers like this: