Menu Close

ලොකූ

ලොකූගෙයි මගෙයි අතරෙ වයස පරතරේ අවුරුදු තුනක්.

හරිනම් අක්ක ගෙදර ඉඳිද්දී නංගිට මගුල් කතා කරන සිරිතක් නෑ.

ඒත් අපේ ගෙදර කවදාවත් අක්කට මගුල් කතා කෙරුනෙ නෑ.
ලොකූ මගුලක් ගැන කවදාවත් ඇහුවෙ නෑ.
කොහොමත් ලොකූ වැඩි කතාවක් බහක් නෑ.
“පොඩී අපිව දාලා ගියාම ලොකූ ඉන්නව නේද අම්මවයි තාත්තවයි බලාගෙන ?”
මට මගුලක් කතා කෙරෙන හැම වෙලාවකම වගේ අම්මා ලොකූගෙන් ඔය කතාව අහනවා.ලොකූ මුකුත් නොකියා හිනා වෙනවා.

කවදාවත් ඔය ආපු මනමාලයෙක් මාව කැන්දන් ගියේ නෑ.හෙප්පුවත් උස්සන් උන්දැලා වටේ කැරකිලා කැරකිලා මාත් හෙම්බත් වෙලා උන්නෙ.

තමන්ට මගුලක් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියලා ලොකූ කවදාවත් කටක් ඇරලා ඇහුවෙ නෑ.
ඒත් එහෙම නොවෙන්න තමන්ගෙ තිබ්බ අඩුපාඩුව මොකද්ද කියලා ලොකූ කල්පනා කලේ නැද්ද කියලා මට හිතා ගන්න බෑ.

ලොකූ තාම වයස විසි හතයි.පත්තරේ තියෙන්නෙ ඕනෙ තරම් අවුරුදු හතලිහේ මෙනවියන්ටත් කසාද හොයන.ඉතින් විසිහත වයසක් නෙවෙයි නෙ කොහොමටත්?

බොහෝම අමාරුවෙන් මගේ කෙස්වල්ල ඉණ ගාවට දික් කරන් තියන් ඉද්දි ලොකූගෙ කෙස්ස දණහිසටත් පල්ලෙහාට තද කලු පාටට ඇදුනා.

මම තාත්තා වගේ තලඑළලු පාටට හිටියත් ලොකූට ලැබිලා තිබුනෙ අම්මගෙ රෝසපාටට හුරු සුදු පාට.

හිනා වෙද්දි පොඩි කාලෙ සෙල්ලම් කරපු බෝනික්කන්ගෙ වගේ ලොකූගෙ කම්මුලත් වල ගැහුණා.ආඩම්බර කමට ඉතින් හිනා වුනේ නම් බොහෝම අඩුවෙන් තමයි මුන්දැ.

ඉස්කෝලෙ වැඩවලට නම් ලොකූ එච්චර කැමැත්තක් තිබ්බෙ නැහැ.
 නටන්නටයි සිංදු කියන්නයි තමයි ලොකූ වැඩි පුර කැමති, ඒත් ඉතින් කකුල් අල්ලලා වඳින්න ඕනෙ සිංදුවක් කියවගන්න.

මැහුම් ගෙතුම්,ඉවිලි පිහිලි වැඩ ඔක්කොටම මට වඩා දස්ස අපේ අක්කණ්ඩි තමා.මං වත්ත වටේ ගස් ටිකේ ගෙඩි කඩ කඩ යද්දි ලස්සනට පිළිවෙලට මිදුලෙ මල් පාත්ති හදන්නෙත් ඉතින් උන්දැම තමයි.

විසිනම වෙනි වතාවටත් ඉතින් මනමාල කුමාරයෙක් මාව බලන්න ආපි.ෆේස් බුක් එකේ ඉන්න හැටියට නම් හැන්ඩි හාදයා.දවසක් දෙකක් චැට් කලාමත් ලොකු වරදක් තේරුනේ නෑ.
ඉතින් සුපුරුදු පරිද්දෙන් මම සාරියත් පටලෝගෙන බුලත් හෙප්පුවත් බදාගෙන උන්නේ
“පොඩි දුව…….”කියලා තාත්තගෙන්  එළියට බහින්න සිග්නල් එක ලැබෙන කං.

“ලොකූ…මනමාලයා දැක්කද?”ලා රෝස පාට සාරියක් ඇඳගෙන මගේ ඇඳ උඩින් වාඩි වෙලා හිටිය ලොකූගෙන් මම ඇහුවා.

“හ්ම්ම්”

“මොකෝ කියන්නෙ, මට මැච් වෙනවයි?”

“හොඳයි”.අම්මපා මේකගෙ කටින් වචනයක් ගන්නවට වැඩිය ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසියි.

“පොඩි දුව………”
අපේ තාත්තාගෙ සිග්නල් එකත් එක්ක මම දනිපනි ගාලා නැගිට ගෙන සූ සැට බරණින් සැරසී නා කපන වැහි වැටෙන වෙලේ විශාකා තොමෝ පැමිණි විලාසෙන් එළියට හෙප්පුවත් වඩම්මාගෙන එළියට බැස්සා.

මනමාල කුමාරයාගේ කට කන හරියේ.අම්මයි තාත්තයි දෙන්නගෙත් කියන්න තරම් වරදක් පේන්න නෑ.මේ පාරනම් මුන්දැ කැමති නම් මං හා කියනවා.

තාත්තා හරියට ඒ මිනිස්සුන්ට කලින් නොකිවු ගානට මගේ උපාදියේ විස්‍තර, රස්සාවෙ විස්තර දිග අරිනවා.
ඒ ගෙදර උදවියගෙ නම් වැඩි උවමනාවක් තිබ්බෙ මගෙ නමට තියෙන දේපොල ගැන වැඩි විස්තර දිග ඇර ගන්න.මොනවා කරන්නද ඉතින් ප්‍රපෝසල් ඔහොම තමයි නෙව.

බීම බන්දේසියත් අරන් ලොකූ එළියට ආවෙ ඒ වෙලාවෙ.කපු මහත්තයාගෙ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා යනවා මම බලාගෙන.
මනමාල කුමාරයාගෙ මෑනියන්දෑටත් ඒක බෝ වුනේ බලා ඉන්දැද්දි.
මේ මංගල්ලෙත් නොකෙරෙනා බව මටනං තේරුං ගියේ ඔන්න ඔය වෙලාවෙ.

“ලොකු මැණිකෙට මම කී ගමනක් නං කිව්වද  ලොකු බේබිව ගෙට කරලා තියාගන්න කියලා මනමාල මහත්තුරු එන දවසට?”

දවස් දෙක තුනකට පස්සෙ ගෙට ගොඩවෙච්ච කපු මහත්තයා ආඩපාලි කියන්න ගත්තා.

“මෙහෙම ගියොත් නං පොඩි බේබිට කසාදයක් හෙවිල්ල සෑහෙන අමාරු වෙයි.මිනිස්සු මගුල් කන්න කැමති වෙන්නෙ නෑ ලොකු ළමයා මෙහෙම නම් පොඩි ළමයගෙත් මොනවා හරි …”

මගේ රතු කට්ට පැන්නෙ ඕං ඔය හරියෙදි

“මේ කපු මහත්තයා…..ඔය හණමිටි කරේ තියාගෙන තාමත් ගල් යුගේ ඉන්න ගෙවල්වලට දීග යන්න මගෙත් කිසිම කැමැත්තක් නෑ.බඳින්නෙ මාව නම් අක්කගෙ දිග පළල බලන්න ඕනෙ නෑනෙ කවුරුවත්.අක්කව මනුස්සයෙක් හැටියට පේන්නෙ නැත්තෙ ඒ මිනිස්සුන්ගෙ ඔලුගෙඩිවල අවුලක්.
ඔය ජාතියේ මගුල් කතා කරන්න නං කපු මහත්තයා ආයෙ මෙහෙ නාවට කමක් නෑ”

විබීත වෙච්චි කපු මහත්තයා අංශක එකසිය අසූවක් හැරිලා වෙඩිල්ල වගේ යන්න යද්දි අපේ අම්මා මගෙ දිහා බලං හිටියෙ කට ඇරං.

“ලොකූ දිහා මනුස්සයෙක් දිහා බලන විදිහට බලන්න පුලුවන් මනුස්සයෙක් හම්බෙන්නෙ නැත්නම් ලොකුයි පොඩියි දෙන්නම කොහේවත් නොයා අම්මයි තාත්තයි එක්කම ඉන්නවා.හරිනේ”

මගේ උදාන වාක්‍යය අහලා දොර රෙද්ද අස්සෙන් එබීගෙන ලොකූ හොඳටම හිනා වුනා.

පලි: ලොකූගෙ තිබ්බ ලොකුම වෙනස ඉපදෙද්දි වැඩිපුර වර්ණදේහයක් අරං ආපු එක.
මෙලෝ හසරක් නොදන්න  මෝඩ මිනිස්සු ඒකට කිව්වෙ මොංගල් කියලා.

%d bloggers like this: