Menu Close

තැඹිලි පාට විරෝදේ

ඔලුවෙ තුවාලෙට බෙහෙත් දාගන්න ලෙච්චමී වත්තෙ ඉස්පිරිතාලෙට යන්නෙ අම්මත් එක්ක.
තුවාලෙ දැකලා දොස්‍තර නෝනාගෙ ඇස් උඩ  විසි වෙනවා.
“කොයි වෙලේදෙ තුවාල වුනේ ?”
“ඊයෙ රෑ නෝනා”
“ඇයි දෙයියනේ අද උදේ වෙනකං මක් කලාද?”
දොස්‍තර නෝනායි නර්ස් නෝනයි තුවාලෙ සුද්ධ කරන්න ගන්නෙ ලෙච්චමීට දෙහි කප කප
“පොඩි එකා දාලා එන්න විදිහක් තිබ්බෙ නෑ නෝනා රෑ”
ලෙච්චමී අහිංසක බොරුවක් කියනවා.
කන්දසාමිගෙන් බේරෙන්න කොල්ලා තුරුළු කරං ගෙයි පිළිකන්නෙ එළි වෙනකං හැංගිලා හිටි විත්තිය නෝනලාට කිව්වට තේරුමක් වෙන්නෙ නෑ.
“මෙදා පාරත් මිනිහා බීගෙන ආවද?”
නර්ස් නෝනා අහන්නෙ ලෙච්ච්මීගෙ මනුස්සයා බමන මතින් කරන හිරිහැර හුඟ දවසකට නතර වෙන්නේ ලෙච්චමීගේ ඇඟේ කොහේ හරි මැහුමකට දෙකකට වග කියලා බව ඉස්පිරිතාලෙ උදවිය දන්න හින්දා.
ලෙච්චමී හිනා වෙලා නිකා ඉන්නවා.
“හිනා නෙවෙයි ලෙච්චමී, කී සැරයක් මම කිව්වද මේක පොලිසියට කියමු කියලා.ඔය මනුස්සයා අවසිහියෙන් ගහන පාරක් වැරදි තැනකට වැදුනොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ ඔන්න”දොස්තර නෝනාට දැන් ඔය මන්තරේ ලෙච්චමීට මතුරලා ම කටපාඩං මගෙ හිතේ.
“හැමදාම ඔහොම නෑනේ නෝනා.ඔය ඉඳලා හිටලා දවසක පොඩ්ඩක් වැඩි වුනාම නෙ”
ලෙච්චමී එහෙම කියද්දි මාරිඅම්මා ඔරවන්නේ බෑනා හැමදාම ගෙදර එන්නේ හතර ගාතෙන් විත්තියත් ඉස්පිරිතාලෙ නාවාට ලෙච්චමී හැමදාම ගුටි කන බවත් දන්න හින්දා.
ගෙදර දාලා ආපු පොඩි එකා ගැන කණිපින්දම් කියලා ලෙච්චමී බෙහෙත් අරන් ගෙදර යන්න හැරෙනවා.
බෑනා ගැන පොලිසියට කියන්න නහයෙන් අඬන අම්මා එක්ක ලෙච්චමීට තරහත් යනවා.
“ඒ මිනිහව පොලීසියෙන් කුදලං ගියාම ළමයින්ට කන්න දෙන්නෙ උඹේ සල්ලිවලින් ද?”ලෙච්ච්මී පිපිරුණාම මාරිඅම්මගෙ කට වැහෙනවා.
හසන්ති ඩොක්ටර් හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාන්නෙ  දවස් දෙකක් ගිහින් බැරිම තැන.
මැණික්කටුව ළඟින් අතේ ඉදිමුම මදිවට කැක්කුම නිසා කාර් එක ඩ්‍රයිව් කරන්නත් අමාරුයි.
සෑහෙන වෙලාවක් ඔන්ලයින් සර්ච් කරලා වැඩිපුර අහලා දැකලා පුරුදු නැති ඩොක්ටර් කෙනෙක්ට තමයි අපොයින්ට්මන්ට් එක දැම්මෙ.
“මොකද මිසිස් ෆනෑන්ඩු අතට වුනා කිව්වෙ?”
ඩොක්ටර් අහන්නෙ සැකෙන්ද නැත්නම් හසන්තිගෙ හිතේ සැකේ ද මන්දා.
“පුතා එක්ක ප්ලේ කරද්දි වැටුනා ඩොක්ටර්”
හසන්ති කලින් රිහර්සල් කරගත්තු බොරුව ප්ලේ කරනවා.
ඩොක්ටර් ඒ කතාව පිළිගන්නෙ නැද්ද මන්දා.තුවාල කැලැල් පේන්නැති වෙන්න අත දිගට ඇඳපු බ්ලවුස් එක විනිවිද ගෙන සනීප වුන සනීප  වේගෙන එන තුවාල ඔක්කොම ඩොක්ටර්ට පේනවා වගේ හසන්තිට හිතෙනවා.
“ආ යූ ශුවර් ඉට් ඉස් ඇන් ඇක්සිඩන්ට්?”
ඩොක්ටර් නළල රැලි කරගෙන අහනවා.
“ඔෆ් කෝස් ඩොක්ටර්.මම කොහොමත් ඇක්සිඩන්ට් ප්‍රෝන් .”හසන්ති ආයෙමත් හිනාවෙන්න හදනවා.
එක්ස්‍ රේ එකකට ෆෝම් එකකුයි බෙහෙතුයි අරන් හසන්ති ආයෙත් කාරෙකට නගිනවා.
කැම්පස් යන කාලෙ නම් නිමන්තගෙ තද පරිස්සම පෙණුනෙ ආදරේ  විදිහට වුනාට ඒක අසනීපයක් කියලා තේරෙන කොට හසන්ති සෑහෙන පරක්කුයි.
නිමන්තගෙ හේතුවක් නැති සැකේ කෙළවර වෙන්නෙ හැමදාම හසන්තිගෙ අතපයකට බෙහෙත් දැමිල්ලෙන්.
නිමන්ත  බෙහෙතක් ගන්න යන්නෙ නෑ කියලා හසන්ති දන්නවා.ඩිවෝස් එකකට යනවා කියන්නෙ උඩ බලාගෙන කෙළ ගහ  ගන්නවා වගේ වැඩක්.අනික පුතා ගැන හිතන්නත් ඕනෙ.කොහොමත් දැන් ඉතින් දවසක් දෙකක් හසන්ති බේරිලා.
කාන්තාවට එරෙහි ප්‍රචන්ඩත්වය සංකේතාත්මකව  පිටුදකින්න ටවුන්හෝල් එක දවස් ගානක් තැඹිලි පාටින් ලයිටප් කරනවා කියල එෆ් බී තිබ්බ බව හසන්තිට මතක් වුනේ කාර් එක එතනින් යද්දි.
ලෙච්චමීලගෙ වත්තට තැඹිලි පාට ලයිට් අල්ලපු ටවුන්හෝල් එක පෙනුනෙ නෑ.
ඉගිලෙන ලියමන් 2018.12.16
%d bloggers like this: