Menu Close

භූගත ‘හිරිගල් ලෙන්’ පද්ධතියක අසිරිය දුටුවෙමි….

   ස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ, නිරිත දෙසින් පිහිටි වන අරණ ‘භූගත හිරිගල් ලෙන් පද්ධති රක්ෂිතය’ (Underground Limestone Caves Reserve) ලෙස නම්කර තිබේ. ‘බුකන් වන අරණ රක්ෂිතය’ (Buchan forest reserve)ලෙස කෙටියෙන් හඳුන්වනුයේද මෙයයි.  රක්ෂිතය මධ්‍යයේ, ස්වාභාවික හිරිගල් ලෙන් පද්ධතියක් පිහිටා තිබේ. මෙල්බර්න් නගරයේ සිට, ‘ප්‍රින්සස්’ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 360 පමණ දුරක් ගිය විට හමුවන, මෙම රක්ෂිතය තුළ, හිරිගල් ලෙන් කිහිපයක් පිහිටා ඇති අතර, දැනට එයින් හිරිගල් ලෙන්  දෙකක් පමණක්, මහජනතාවට  දැක බලා ගැනීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙල්බර්න්හි, සිංහල සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ සාමාජික පිරිසක් සමග, මෙම සුවිශේෂී ස්වාභාවික නිමැවුම නැරඹීමේ භාග්‍යය මටද උදා විය. 2018 දෙසැම්බර් මස පළමුවන දින, පෙරවරු නවයට පමණ චාරිකා බස්  රථයකින් ගමන ආරම්භ කළ  අපි, අතරමඟ ඇති, ‘ලේක් එන්ට්‍රන්ස්’ (Lake Entrance) නගරයද  පසුකර, එදින පස්වරු දෙකට පමණ, චාරිකාවේ ප්‍රධානතම නැරඹුම් ස්ථානය පිහිටි  රමණීය බුකන් (Buchan), කුඩා ගම්බද නගරයට පැමිණියෙමු.

බුකන් නගරයේ උද්‍යානයක, ටික වේලාවක් නතරවූ අපි, දහවල් ආහාරය ගෙන, මඳක් විවේක ගතිමු.

අප චාරිකාවේ ප්‍රධානතම නැරඹුම් ස්ථානය වුයේ ‘බුකන් ලෙන්’ (Buchan caves) යන නමින් හැඳින්වෙන භූගත හිරිගල් ලෙන් පද්ධතියයි. මෙය නැරඹීම සඳහා අපට වෙන්කර තිබුණේ පස්වරු 3.45 සිට එක් පැයකි.

මෙහි ඇති හිරිගල් ලෙන් නම්කර ඇත්තේ  Royal Cave (රාජකීය ලෙන) සහ  Fairy Cave(සුරංගනා ලෙන) යන නම් වලිනි. (මෙයින් අපට නැරඹීම සඳහා වෙන්කර තිබූයේ ‘රාජකීය ලෙන’පමණකි.
                       

              
වන රක්‍ෂිතයට ඇතුල්  වීමේ දොරටුව, ඉතාමත් චාම් ලෙස නිමවූවකි. එය  ලී කොටවලින් සකස් කර ඇති අතර, ආරුක්කුවක ස්වරූපය ගනී. එතැන් සිට කිලෝමීටරයක් පමණ රක්ෂිතය තුළට ගිය විට  ‘රාජකීය ලෙන’ නාම පුවරුව හමුවේ.

අපි පස්වරු 3.30 පමණ වන විට ‘රාජකීය ලෙන’ දොරටුව අසලට රැස් වූයෙමු.

ලෙන් පද්ධතියට ඇතුල්වීම සඳහා සකස් කර ඇති දොරටුව සිත් ගන්නා සුළු කෘතීම උමඟකි. කවාකාර කෘතීම උමඟට ස්වාභාවික පෙනුමක් ලබාදීම සඳහා  එය ආරම්භ වන ස්ථානයේ ලෙන් විවරය වටා, ගල් කුට්ටි අසුරා තිබීම විශේෂ ලක්ෂණයකි. මින් ඔබ්බට මීටර් තුනක් පමණ ගිය විට ලෙන් පද්ධතියට ඇතුල් වීමේ විශාල දොරක් තිබේ.                                           

එතැන සිට ඉදිරියට ඇත්තේ ස්වාභාවික ලෙන් පද්ධතියයි.

හිරිගල් ලෙන තුළට ඇතුල් වන විටම, අප කුඩා කාලයේ කියවා තිබුණු ජූල්ස් වර්න්ගේ   ‘A journey to the center of the Earth’ (භූ ගර්භය මැදට ගිය ගමනක්), නම් ත්‍රාසජනක නව කථාව මට සිහියට නැගුණි.

මෙම නව කථාවේ ප්‍රධාන චරිතය වන මහාචාර්ය ඔටෝ සිය සගයින් දෙදෙනාත් සමග අයිස්ලන්තයේ අක්‍රීයව තිබුණු ගිනි කන්දක, ශිකරයේ තිබෙන ආවාටයකින් භූ ගර්භය තුළට බැස, අභ්‍යන්තරයේදී අදහාගත නොහැකි තරමේ වික්‍රමාන්විත  රාශියක් කර තිබේ. භූ ගර්භයේ විවිධ මංපෙත් ඔස්සේ දිගු ගමනක් ගොස්  අවසානයේදී, ඔව්හු නතරවී  ඇත්තේ දකුණු දිග ඉතාලියේ භු ගර්භය තුළය. එහිදී ඔවුහු   සක්‍රීය වීමට ආසන්න ගිනි කන්දක අභ්‍යන්තරයට පැමිණියහ. පහුරක ආධාරයෙන් ගිනි කන්දේ, ලාවා මත රැඳී සිටි ඔවුහු, ගලායන ලාවා ධාරාව සමග නිරුපද්‍රිතව පෘථිවිය මතට පැමිණියහ. එදා දුටු ඒ මනඃකල්පිත භූ ගර්භයේ බිඳක්වත්, මෙදින සත්‍ය වශයෙන්ම දැකගැනීමට ලැබීම  භාග්‍යයකි. 
 
අපට, ලෙන් පිලිබඳ තොරතුරු විස්තර කළ, මාර්ගෝපදෙශිකාවගේ  පැහැදිලි කිරීම අනුව, මෙය ‘රාජකීය ලෙන’ ලෙස නම්කර තිබෙනුයේ එය තුළ ඇති, එක් හිරිගල් පිහිටීමක, රාජ සභාවක් රැස්වී සිටින ආකාරයේ හැඩතල සහිත, ‘හිරි ටැඹ’ (stalagmite) ඇති නිසාය. එම ස්ථානය දෙස ටික වේලාවක් බලා සිටින විට, රජ කෙනෙකු සහ ඇමතිවරු අසුන් ගෙන සිටින, රාජ සභාවක් සිතින් මවා  ගැනීම අපහසු නොවේ.

එසේම, ‘සුරංගනා ලෙන’ එසේ නම්කර ඇත්තේ පියස්සේ සිට පහලට වැඩෙන ‘හිරි ලඹ’ (stalactite) මගින්, වලාකුලක් අතරින් දෘශ්‍යමාන වන, සුරංගනාවියන් සමූහයක් වැනි ස්වරූපයක් නිසා බවද ඇය කීවාය.
රාජකීය ලෙන’ පිලිබඳ පහත දැක්වෙන තොරතුරුද මාර්ගෝපදේශිකාවගෙන් අපට දැනගන්නට ලැබිණ.

·    ලෙනෙහි දිග මීටර් 520 පමණ වේ.
·    ලෙන ඇතුලත කිහිප ස්ථානයකම ගමන් මගෙහි, ඉහල මට්ටමකට  නැගීම සඳහා සකස් කල පඩි  150  ක් පමණ ඇත.
·    අභ්‍යන්තර ගමන් මගෙහි සමහර ස්ථාන, බොහෝ පටු වන අතර, ස්ථාන කිහිපයකදී ශරීරය නමා රිංගා යාමට පවා සිදුවේ.
·    ලෙනට ඇතුල්වන සහ පිටවන දොරටු සහිත මීටර් දහයක පමණ කොටස්, උමං මග ලෙස කණින ලද කෘතිම නිර්මාණ වේ.
·    ලෙන තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
·    ස්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයද ලෙන තුලට කෘතිමව සැපයේ.
·   නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ලෙන තුළ යොදවා ඇති සියලුම ක්‍රමවේද දිනපතා සෝදිසියකට ලක්  කරනු ලැබේ.

මාර්ගෝපදේශිකාව සමග ඉදිරියට ගමන් කළ අපට, හිරිගල් වලින් සෑදුනු,  ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ රාශියක්ම දැකගත හැකි විය. ඇය වරින් වර, සුවිශේෂී ස්ථාන පිලිබඳ විස්තරයක්ද කළාය.

“මෙම ස්වභාවික හිරිගල් නිර්මාණ අසලට කෙනෙකුට ලංවීමට නොහැකි ආකාරයට දැල් ගසා වෙන්කර තිබෙන්නේ ඇයි ?” අප කණ්ඩායමේ කෙනෙකු ඇයගෙන් ප්‍රශ්න කළේය.

“වසර මිලියන ගණනක් තිස්සේ, ක්‍රමක්‍රමයෙන් සෑදී ඇති මෙම ස්වාභාවික හිරිගල් නිර්මාණ ඉතාමත් සියුමැලි බවකින් සහ පරිබාහිර ඕනෑම බලපෑමකට සංවේදී බවකින් යුක්තයි. කෙනෙකුගේ අතෙහි ඇති ඩහදිය ස්වල්පයකින් පවා, හිරිගල් කොටසක් දියවී යාමේ තර්ජනයක් තිබෙනවා. මෙසේ ආවරණය කර තිබෙන්නේ ඒවායේ ප්‍රවේශම සඳහා.”  ඇයගේ පිළිතුර විය.

ඉදිරියට ගමන් කළ අපට තවත් සුවිශේෂී හැඩතල වලින් යුක්ත විවිධ හිරිගල් නිමැවුම් රාශියක් දකින්නට ලැබිණ. එම හැඩතල වල තවත් වැදගත් ලක්ෂණයක් වුයේ, ඒවා එක් එක් අයගේ දර්ශන පථයට වැටී, මැවී පෙනෙනුයේ විවිධ ආකෘති ලෙස හෝ වෙනත් විවිධ සංකල්ප ආශ්‍රීත නිමැවුම් ලෙස වීමයි. මෙම ලෙන් වලට නම් තැබීම සඳහා මුලික වූ ‘රාජ සභාව’ සහ ‘සුරංගනාවියන්ගේ අනුරූ’තෝරාගෙන ඇත්තේද මේ ආකාරයටමය.
 
අපට දකින්නට ලැබුණු හැඩතල අතර, දිය ඇලි, කඳු ශිඛර, පොකුණු, මල් ආසන, දේව රූප, බුදු පිළිම වැනි නිර්මාණ බොහෝ විය. විශේෂයෙන්ම එක් ස්ථානයක අපගේ හිස් වලට ඉහලින් තිබුණු,   මුව අයාගත් දැවැන්ත කිඹුලෙකුගේ විශාල දත් සහිත උඩුතල්ල වැනි ව්‍යුහය සහ ගල්කණු සහිත පැරණි නටබුන් වැනි  ආකෘතිය  කාගේත් සිත් ඇද ගත්තේය.

මේ අවස්ථාවේදී අප පිරිසේ කෙනෙකු, වැදගත් ප්‍රශ්නයක් මෙසේ ඇසුවේය.

“ නරඹන අයට ස්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලෙන් තුලට ලැබෙන්නේ කෙසේද?”

උපදේශිකාව එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නාය.

“ලෙන තුළට වරකට ඇතුල්වන අයට, අවශ්‍යයයි ගණනය කර ඇති  ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක්, නිරතුරුවම කෘතීම වශයෙන් සැපයෙනවා. ‘හිරිලඹ සහ හිරිටැඹ’ වල වර්ධන ප්‍රතික්‍රියාව සඳහාත් ඔක්සිජන් යම්කිසි ප්‍රතිශතයක් අවශ්‍ය නිසා, ඒ ගැනද සිතා වැඩිපුර ඔක්සිජන් සපයනවා.” 
       
මෙසේ බලන කළ ස්වභාව ධර්මය, ඉතාමත් නිහඬව චමත්කාර ජනක දේ කෙතරම් නිර්මාණය කරන්නේද යන්න අපට සිතා ගත හැකිවිය. මෙතෙක් මිනිසාට ඇස නොගැසුණු මෙවැනි තවත් බොහෝ අසහාය ස්වභාවික නිර්මාණ, පෘථිවිය මතුපිට, පෘථිවි ගර්භය තුළ සහ මහා සාගරයේ කෙතරම් තිබිය හැකිද?  මෙසේ තිබිය හැකි බොහෝ දේ සදාකාලිකවම මිනිස් ඇසට වසන් වී යන්නටද ඉඩ තිබේ.

ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙන භූගත හිරිගල් ලෙන් හටගැනීම ස්වාභාවධර්මයේ සිදුවන අන්තර්ක්‍රියා රාශියක සංකලනයන්ගේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්විය හැකිය.  බුකන් ලෙන්වල හිරිගල් වසර මිලියන 300 සිට 400 දක්වා ඈත අතීතයකට නෑකම් කියන බව විකිරණ දත්ත අනුව නිර්ණය කර තිබේ. ‘ඩිවෝනියන් යුගය’(Devonian period) වශයෙන් හැඳින්වෙන එම කාලයේදී, මෙම ප්‍රදේශය මුහුදෙන් යටවී තිබුණු බව සහ මුහුදේ කොරල් පර තිබුණු අතර, එහි කවච සහිත සමුද්‍ර ජීවීන් සිටි බව පෙන්වන පාෂාණිභුතවූ සාක්ෂි තිබේ. කාලයත් සමග, මළ කොරල් පර සහ සමුද්‍ර ජීවී කොටස් සම්පීඩනයට භාජන වී, භූගත හුණුගල් නිධි සෑදී තිබේ. හුණුගල් යනු කැල්සියම් කාබනේට්ය. පසු කාලයේදී මෙම ප්‍රදේශය ගොඩබිමක් වූ විට,  හුණුගල් නිධි භූගත වී ඇත.  කල්යාමේදී විවිධ දේශගුණික විපර්යාස නිසා  හුණුගල් නිධි දියවීමට පටන්ගෙන තිබේ.

එසේ සිදුවන්නට ඇතැයි උපකල්පනය කරනු ලබන එක් ක්‍රියාවලියක් මෙසේය. වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ඉතා ස්වල්ප වශයෙන්  වර්ෂා ජලයේ දියවී දුබල කාබොනික් අම්ලය සෑදෙයි. දිය සීරාවත් සමග පස හරහා කාන්දුවන මෙම අම්ලය හුණුගල් නිධි සමග ප්‍රතික්‍රියා කර, ද්‍රාව්‍ය කැල්සියම් බයිකාබනේට සාදයි. වසර මිලියන ගණනක් තිස්සේ හුණුගල් නිධි, මේ අයුරෙන් දියවී යාම නිසා, භු ගර්භය තුළ ගුහා වැනි හිස් අවකාශ හටගෙන ඇත. මෙසේ සෑදී ඇති හිස් අවකාශ ස්වාභාවිකව එකතුවීමෙන් හෝ මෑත කාලයේදී මිනිසා විසින් විවිධ ක්‍රමෝපායයන් භාවිත කර එම ගුහා වැනි අවකාශ  එකට යා කිරීමෙන් භූගත ලෙන් නිර්මාණය වී  තිබේ.
භූගත ලෙන් හටගැනීමෙන් පසුව, ඒවා අභ්‍යන්තරයේ ‘හිරි ටැඹ’  සහ ‘හිරි ලඹ’ නිර්මාණය වීමද සරල රසායනික ප්‍රතික්‍රියා කිහිපයක ප්‍රතිඵලය වේ. ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි හිරි ටැඹ සහ හිරි ලඹ හට ගැනීමද ස්වභාව ධර්මයේ අපූරුතම නිර්මාණ වේ. කලින්ද සඳහන් කළ පරිදි ලෙනක පියස්සේ ඉහල සිට පහලට වැඩෙන සිහින් කූරු වැනි ව්‍යුහයන් ‘හිරිලඹ ’ (stalactite) ලෙස හැඳින්වෙන අතර, බිම් මට්ටමේ සිට ඉහලට වැඩෙන එවැනි ව්‍යුහයන් ‘හිරිටැඹ’ (stalagmite) ලෙසද හැඳින්වේ.

ආදී යුග වලදී, භූගත හුණුගල් නිධි දියවී ගොස් ලෙන් සෑදුණු ක්‍රමවේදයේ ආපසු හැරීමකට අනුරූප, රසායන විපර්යාස මාලාවක් මගින් ‘හිරිලඹ’සහ ‘හිරිටැඹ’නිර්මාණය වීම සිදුවේ. නිරතුරුවම සිදුවන මෙම ක්‍රියාදාමය මෙසේ දැක්විය හැකිය.

වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ස්වල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. වර්ෂාව, පිනි බෑම, හිමපතනය වැනි අවස්ථා වලදී, පතිත වන ජලයේ ස්වල්ප වශයෙන් දිය වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා, දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය හටගනී. ජලයත් සමග පොළොවේ පස්  අතරින් කාන්දුවී යන කාබොනික් අම්ලය, පසෙහි ඇති කැල්සියම් සමග ප්‍රතික්‍රියා කර, කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමග පසෙහි පහලට කාන්දුවන කැල්සියම් බයිකාබනේට්, ලෙන් පියස්සේ සියුම් ඡීද්‍ර තුලින් වෑස්සී, ජල බිංදුවක් ලෙස ටික වේලාවක් පියස්සේ යටි පැත්තේ රැඳී  සිටී. මෙම සුළු කාලය තුලදී ජලය වාෂ්ප වීම නිසා, ජල බිංදුවේ ඇති  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී, ජලබින්දුව පහලට වැටේ. පියස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය, ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත්  වේ. එසේම පියස්සේ සිට පහලට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර එසේ පතිත වන  ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත්වේ.

මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද, වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවීම නිසා, අද අපට දකින්නට ලැබෙන විවිධ හැඩතල සහ  රූ රටා නිර්මාණය කර තැබීමට ස්වභාව ධර්මය සමත් වී තිබේ.

හිරිගල් ලෙනක් තුළ ‘හිරිළඹ’ නිර්මාණය වීමේ ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන්නකි. හිරි ළඹයක්, දිගින් සෙන්ටිමීටර් දහයක් වර්ධනය වීම සඳහා, වසර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. මෙම ලෙනෙහි තිබෙන සමහර නිමැයුම්, වසර 190,000  පමණ පැරණි බව, විකිරණශීලී මිනුම් මගින් අනාවරණය කරගෙන තිබේ. 
 
ලෙන තුළ චාරිකාව අවසන් කිරීමට ටික වෙලාවකට කලින්, උපදේශිකාව අපගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

“Have you ever seen perfect darkness?”                                                                                             (ඔබ කිසිවිටක කිසිම ආලෝකයක් නොමැති පූර්ණ අඳුර දැක තිබේද ?)

මෙය, අපට කුතුහලය දනවන ප්‍රශ්නයක් විය.

සියලුම ජංගම දුරකථන අක්‍රීය කරන ලෙස ඉල්ලීමක් කළ ඇය, තමා  අසල තිබුණු විදුලි බොත්තමක් ඔබා, එකවරටම, ලෙන තුළ විදුලි බලය විසන්ධි කළාය.

අප සියලු දෙනාම මවිතයට පත් කරමින් පූර්ණ දැඩි අඳුර, අප වෙලා ගත්තේය. අප සමග සිටි එක් කාන්තාවකගේ  භීතියට මුසු ‘විලාපයක’ හඬක්ද ඇසුණි.

උපදේශිකාව තත්පර දහයකට පමණ පසු, නැවත විදුලි ආලෝකය සන්ධි කළාය. අමාවක දිනයක රාත්‍රී කාලයේදී වුවද, තරු එළිය නිසා අපට පූර්ණ අඳුර දැකගත නොහැකි බව, ඇය විස්තර කළාය. භු ගර්භය ඇතුලතදී මිස, මිහිපිට අන් කිසිම ස්ථානයකදී  මෙවැනි දසුනක වින්දනය ලැබිය නොහැකි බව අපටද තහවුරු විය.

මෙය ද අපට අමතක නොවන සිදුවීමකි.

(ශ්‍රී ලංකාවේද රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ, වවුල්පන ගමෙහි,මෙවැනි හිරිගල් ගුහාවක් තිබේ.)

මෙම වන රක්ෂිතය පිලිබඳ මානුෂික වශයෙන්, වැදගත් කරුණක්ද මෙහිලා සඳහන් කිරීම උචිතයයි සිතමි. එනම්: 
 
ඕස්ට්‍රේලියාවේ බුකන් වනරක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය ඉහතදී ‘ගුනයිකුර්නායි’ (Gunaikurnai)  නමැති, ආදිවාසී මිනිස් වර්ගයාට, අයත්ව තිබුණු බවට පිළිගැනීමක් තිබේ. මේ නිසා, රජය මගින් එම ප්‍රදේශය නිත්‍යානුකූලව, ආපසු  ඔවුනට භාරදී ඇත. එම ප්‍රදේශයේ  පරිපාලන කටයුතු සහ ධරණීය සහ තිරසාර සංවර්ධන වැඩ සටහන්, එම මිනිස් වර්ගයා සමග හවුලේ කිරීමටද රජය  ගිවිස ගෙන තිබේ.  මෙය ‘වික්ටෝරියානු උරුම’ තෝම්බුවේ ඇතුලත් කර තිබෙන රක්ෂිතයකි.
———————————
ලෙන් චාරිකාවෙන් පසු, එදින රාත්‍රී නවාතැන් සඳහා,  අපට බුකන් රක්ෂිත ප්‍රදේශයේ සිට, කිලෝමීටර් හැටක් පමණ දුරින් පිහිටි,  ‘ලේක් එන්ට්‍රන්ස්’ (Lake Entrance) සංචාරක පුරවරයේ,  මනා පහසුකම් සහිත නිවාඩු නිකේතන වෙන්කර ගතහැකි විය.

පසුදින පෙරවරු දහයට පමණ, ආපසු ඒම සඳහා නිවාඩු නිකේතනයෙන් පිටත්වූ අපි, ටික වේලාවක් ‘ලේක් එන්ට්‍රන්ස්’ නගරයේ මනස්කාන්ත බවෙහි සුවයද විඳිමින්  එහි ඇති වැදගත් ස්ථාන කිහිපයක්ද  නැරඹුවෙමු. එදින පස්වරු හය පමණවන විට,  ආපසු ගම්බිම් බලා පැමිණි අපි, සදා අනුස්මරණීය වැදගත් චාරිකාවක් මෙසේ නිම කළෙමු.

(සමහර තොරතුරු ස්තුති පූර්වකව, අන්තර්ජාලයෙනි) 
දිගුව:https://www.thetourexpert.com/countries/visit-australia-information-guide/places-of-interest-in-victoria-australia/buchan-caves-victoria-australia-2
                               
                      

%d bloggers like this: