Menu Close

ළමයෙක් මියයාමට නියමිතයි

ඊයේ දින (24) විවිධ මාධ්‍යයන් තුල බහුලව කතා බහකට ලක්වූ සිදුවීමක් වූයේ මාතර ප්‍රදේශයේ 16 වියැති සිසුවෙකු විසින් 19 උසස් පෙළ සිසුවෙකුව පිහියෙන් ඇන මරා දමන සිද්ධියකි. 

රූපවාහිනී නාළිකා තුලින් ද සුපුරුදු පරිදි මෙම සිදුවීම හුවා දක්වමින් මරණයට ලක් වූ දරුවාවත් ඔහුගේ පවුලවත් මැරූ දරුවාවත් පෙන්වමින් සිටියි. ඔවුන් මැරූ දරුවාගේ තොරතුරු ද එළි කරමින් ඔහුට දෝෂාරෝපණය ද කරමින් තම ප්‍රවෘත්ති කරනයේ යෙදී සිටියි. සමාජ ජාලා මාධ්‍ය ද මැරූ ළමයාගේ චරිත ඝාතනයක නියැලෙමින් පවතියි.


මොවුන් ඇතුලු මෙම මැරූ දරුවාගේ චරිත ඝාතනය කරන සියලුම දෙනාම අමතක කල එක් විශේෂ කරුණක් ඇත. එනම්, මොහු වැඩිහිටියෙක් නොව තවම ළමයෙක් බවයි. ඔහු සිදුකල දෙය සම්පූර්ණයෙන්ම වැරදියි. එහි කිසිදු තර්කයක් නැත. නමුත් මෙහි සැබෑ වැරදිකරුවා කව්ද යන වග අපි සොයාබලන්නේ නැත. කුඩා කල පටන් පවුලෙන් හෝ පාසලෙන් සැබෑවට ඉගැන්විය යුතු දේ එසේ සිදු නොවීම මීට මුලයි. තරඟකාරී අධ්‍යාපන ක්‍රමයකට මුහුණ දෙමින් සිටින වර්තමාන ළමුන් අධ්‍යාපනයේ යෙදීම ලෙස සිදු කරන්නේ අශ්ව රේස් පිට්ටනියක සිටීමයි. තරඟයට එහා දෙයක් ඔවුනට උවමනා නැත. පාසල් වලින් මෙන්ම පවුල් පරිසරයෙන් ද සමාජීය යහපත් ගුණාංග දරුවන්ට කියාදෙන්නේ නැත. තරුණ වයසේ ළමුන්ගේ ආවේගය වැඩි බව අප සැවොම දන්නා කරුණක්. නමුත් සමාජීය ගුණාංග කුඩා කල පටන් ඉගැන්වුවහොත් මෙකල ඇති වන ආවේගය මරණයක් දක්වා දුරදිග යන්නේ නැත. අපි සැමවිටම කරන්නේ රෝගයට උඩින් පල්ලෙන් බෙහෙත් දමනවා මිස රෝග නිධානය සොයා එයට ප්‍රථිකාර කරන්නට උත්සහ කිරීම නොවේ.

මෙම සිදුවීමේ චූදිතයා ව සිටින ළමයාව බොහෝ විට පරිවාසයට දමයි. පරිවාස කාලය අවසන් වන්නේ ඔහු තමන් කල වැරැද්ද තේරුම් ගෙන යහපත් සමාජීය ගුණාංග ඉගෙනගත් පසුවයි. පරිවාසයෙන් පසු ඔහු තවදුරටත් කලින් සිටි පුද්ගලයා නොවේ. ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. පරිවාසයෙන් පසු ඔහු සමාජයට යන විටත් මාධ්‍ය තුලින් ඔහුගේ නම විකෘති කර අවසන්ය. නිවසට, රැකියාවකට කොටින්ම පාරක තොටකට යන සෑම අවස්ථාවක දීම සමාජය මොහුව පිලිගන්නේ අපරාධකාරයෙක් ලෙසටයි. තමන් කෙතරම් හොද මිනිසෙක් වීමට උත්සහ කලත් සමාජය තමන්ව අපරාධකාරයෙක් ලෙස පිලිගන්නවානම් එයින් සිදු වන්නේ ඔහු මානසික රෝගියෙක් වීම හෝ සැබෑ අපරාධකාරයෙක් වීමයි. එයට හේතු වන්නේ දුර දිග නොබලා කටයුතු කල මාධ්‍යයයි. විස්තර වාර්ථාකරනයේ දී සිදු වූ සිදුවීම නියමිත අයුරින් නොපවසා චරිත ඝාතන දක්වා එම වාර්තාකරණය යෑමත් සමාජ ජාලා මාධ්‍යයන් තුල සැරිසරණ පුද්ගලයින් සිතට පැමිණෙන ඕනෑම දෙයක් දුර දිග නොබලා ප්‍රකාශ කිරීමට යාමත් නිසා උක්ත දරුවාගේ අනාගතය අඳුරු වීමට නියමිතයි. මෙය එක් දරුවෙක්ට පමණක් සීමා වූ කරුණක් නොවේ. මුලු සමාජයටම දැඩිව බලපාන කරුණක්.

සමාජය හරි දේ කියා නොදීම නිසා ළමයෙක් විසින් ඝාතනයක් සිදු විය. එයට පෙරලා සමාජය විසින් ළමයා ඝාතනය කලේය.


%d bloggers like this: