Menu Close

ද ලයන් කින්ග් කියන්නේ එහෙමත් එකක් ය


මා ගැන වචනයකින් විස්තර කරන්නැයි මොකෙකු හෝ ඇසුවොත් කියන්නට ඇත්තේ මම නොස්ටැල්ජියානුවෙක් බව ය. ඉස්සර කාලේ තිබුණු එක් එක් ජුවල්වලට ආසා කරන බුවාලා මා කොතෙකුත් දැක ඇත. උන් තාමත් ආසා කරන ඇඩ් ඇත්තේ ලන්ඩන්වල ඇල්බට් අන්කල්ගේ පටන් ලංකාවේ බෝඩිංවල නින්ජා මදුරු කොයිල් පත්තු කරන පරාසය දක්වා ය. ඒත් මට ඇති නොස්ටැල්ජියාව සෑහෙන අන්තවාදී ය. විටක එය මා අන්තයට ම වියරු ගන්වයි. එය මොකෙකු හෝ කැති ගා දාන්නට එන වියරුවක් නො වේ. ඒ අතීතයට යා නොහැකි වීමෙන් සහ ඒ සොඳුරු බව මට විඳින්නට යළි නොහැකි වීමෙන් මා පෙළන වියරු බවයි. මගේ බඩ බොකුවැල් ඇඹරෙන, ඇඟේ මයිල් ඉස්මයිල් වෙන, ඇස්වල දුකත් සතුටත් මුසු කඳුළු පිරෙන ශාරීරික ව සහ මානසික ව මා පත්වන වියරු බවයි. මම එයට ආශා කරමි. මට ඇති වටිනා ම සම්පත මගේ අතීත මතක ය. ඒවා මට දෙන වධහිංසන නොමැතිව මට පැවැත්මක් නැත.

ඔය උඩින් ලියපු පල්හෑල්ල ලියන්න හේතු වුණේ අද උදේ වෙච්චි සිද්ධියකින්. වෙනදට ඇඳ පිටින් උස්සන් ගියත් දන්නේ නැති මම අද උදෙන් ම නැගිටලා පේවිලා හිටියේ ලයන් කින්ග් එකේ ටීසර් ට්‍රේලර් එකක් එළියට දාන බව කලින් දවසේ ආරංචි වුණ නිසා. ලයන් කින්ග් කියන්නේ මේ තාක් ඉතිහාසයේ හැම අංශයෙන් ම බිහිවෙච්ච හොඳ ම සජීවිකරණ චිත්‍රපටය. ඒක මම වගේ ආතක් පාතක් නැති එකෙක් කිව්වට වැඩක් නෑ ඒක බලලා ම ඇඟට ගන්න ඕනි දෙයක්. ඉස්සෙල්ලා ම 2D ඇනිමේෂන් එකක් විදියට ඕක එළියට ආවේ 1994දී. මම ඉපදුණෙත් 1995. එහෙම උපන්නත් ඊට පස්සේ මොන තරම් ලස්සන චිත්‍රපට ආවත් මගේ ජීවිතයට මේ තරම් සමීප වුණ වෙන කිසිම නිර්මාණයක් නැති තරම්. ඇත්ත ම කිව්වොත් ලයන් කින්ග් කියන්නේ තනිකර ම මගේ පොඩි කාලේ. අම්මයි අප්පච්චියි මට ආදරේ කරපු නෑදෑ සනුහරෙයි ගුරුවරුයි හැරෙන්න මාව හැදුවේ ඩිස්නි එකෙන් ගහපු ක්ලැසික් චිත්‍රපටයක්. ඕක පරණ එකක් නම් මොකටෙයි ටීසර් ට්‍රේලර් එකක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් (එහෙම උන් ඉන්නව ද ඕයි! ලයන් කින්ග් ගැන නො දන්න?!). 2D තැන ඉඳන් 3Dවලට පිම්මක් පනින්නයි ඩිස්නි සෙට් වෙන්නේ. ඒම කොරන්නයි කියලා අද උදේ දුන්නු සරපයිස් එකට මගේ බඩත් කොර වෙලා තියෙන්නේ.

ඒ දවස්වල තිබ්බේ අපේ ගෙදර ඩෙක් ප්ලේයර් එකක් (VHS). ගඩොල් කැට තරම් ඩෙක් පීස් ගොඩක් මගේ ළඟ තිබ්බා. ඒ අතරින් මම හැමදා ම බැලුවේ ලයන් කින්ග් තමයි. මම ඒකේ පොතු හැලෙනකන් බැලුවා. ඒ බලපු බැලිල්ලට ඉංග්‍රීසි ඉගෙනගන්න කලියෙන් ම ඒකේ දෙබස් හැම එකක් ම වගේ මට පාඩම් හිටියා. මට ඕක බලන්න පාට්නර් කෙනෙක් හිටියා. මායි චූටි අයියයි දෙන්නා උදේ රෑ නැතුව එක ම චිත්‍රපටය ආයෙ ආයෙත් බැලුවා. ඇත්ත ම පණ තියෙන මනුස්සයෙක් තරමට ඒ චිත්‍රපටය මට ළං වුණා. ඒ තරම් ආදරෙන් බලපු චිත්‍රපටය අලුත් ගැම්මකින් අද උදේ එළියට දාපු හැටි බැලුවම මට දැනුණේ කාලෙකින් දැකපු නැති යාළුවෙක් දැක්කම ලැබුණ සතුට. මම ඒ ට්‍රේලර් එක ආයෙ ආයෙ බැලුවා. ලේන්සු තුනක බටර් වගේ හොටු පිරෙනකන් මට ඇඬුණා. මට මගේ පුංචි කාලෙට යන්න ඕනි කියන අසරණ හැඟීමෙන් උදේ වරුවෙ ම මම බලාගත්ත අත බලාගෙන හිටියා.

ප්‍රයිඩ් ලෑන්ඩ්ස්! ඒක ඇත්තෙන් ම පුදුමාකාර අභිමානයක් තිබ්බ සැවානා වනාන්තරයක්. උදෙන් ම ඉර ගිනි බෝලයක් වගේ පායගෙන එනවා, කුරුල්ලෝ පියාඹනවා, කිලිමන්ජාරෝ කන්ද පසුතලයේ තියෙද්දී සතා සිව්පාවෝ කොහේදෝ මන්දා ගමනක යනවා. ලයන් කින්ග් පටන් ගන්නේ ඔහොමයි. හැබැයි ඔය දර්ශනේ තිබ්බට මදි. දත්මිටි කාගෙන උඩ පනින්න තරම් ආවේගය එන්නේ ඒ පසුබිමින් යන සින්දුවට. ඒ තමයි Circle of Life. ගෝත්‍රිකයෙක් අණ්ඩර දෙමළෙකින් කෑ ගහලා තමයි ඕක පටන් ගන්නේ. අන්න ඒ මොහොතේ. අන්න එතන දී ඉහේ ඉඳන් දෙපතුලට ම යනකන් කරන්ට් එකක් වදිනවා. ඒක ඉවර වෙන්නේ මේ සත්තු ටික ප්‍රයිඩ් ලෑන්ඩ්ස්වල ගල් තලාවට ගිහින් එයාලාගේ වෙන්ඩ රජතුමා බැහැදකින තැනින් තමයි. සිම්බා! ඔව් එයා තමයි අනාගත රජු. එතකොට ඒ ළඟින් ම ඉන්නවා සිංහ සෙයියාව උපරිමේට ම තියෙන වත්මන් රජ මුෆාසා! රෆීකී ආදරණීයයා සිම්බා ව උස්සලා මුළු වනාන්තරයට ම පෙන්නද්දී ඔහුට දණින් වැටෙන සත්තු ගොඩේ මාත් ඉන්නවා. විශ්වාස කරන්න මේ රාජකීය තේජස බකින්හැම් ගිහිල්ලත් ගන්න බෑ. මම මේ කියන දේ අනූවේ සෙට් එකට නම් කැටයම් දාලා කියන්න දේකුත් නෙවෙයි.

සිම්බාට උදෙන් ම මුෆාසා කියා දෙන පාඩමේ ගාම්භීර කටහඬින් ඔහු කියනවා මෙන්න මෙහෙම. ‘Everything the light touches is our kingdom’ ඔන්න ඔය කටහඬ බුදු අම්බෝ ඒක ජේම්ස් අර්ල් ජෝන්ස්ගේ. 3D එකේ ඉන්නෙත් ඒ උත්තමයාමයි. ඩිස්නි, දෙයිහාමුදුරුවන්පල්ලා උඹලා දන්නවා පපුවේ හරි ම තැනට අනින්න. ඒකයි එතනින් ම ටීසර් ට්‍රේලර් එක පටන් ගන්නේ. ඒ කටහඬින් ම ‘Everything the light t—‘ කියලා විතරයි කිව්වේ මගේ හුස්ම හිරවෙන්න. එතනින් එහාට පියවි ලෝකෙට එන්න මට ලොකු වෙලාවක් ගියා. සමහරවිට මම තාම ඉන්නේ අප්‍රිකාවේ සැවානා වනාන්තරේ වෙන්නත් ඇති. මේ ඩිස්නි යක්කු ටික ඊට පස්සේ කරේ මම කලින් පැහැදිලි කරපු ‘Circle of Life’ සීන්කෝන් එක. මුන් යකෝ මීට වඩා හොඳයි දෙකේ දෙකේ පරාල ටිකකින් මට ගැහුවා නම්. හරි ම තැනට වැදුණා ඒක. හරි ම තැනට!

වැඩුණු මනුස්සයෙක් වුණත් මී හරකෙක් වගේ අඬවන්න පුළුවන් සිද්ධියක් තියෙනවා ඕකේ. මුෆාසා මැරෙනවා, ඒ මැරෙන්නෙත් පුංචි සිම්බා ළඟදී ම. මම කිව්වේ මේ ඩිස්නි එකේ ඉන්නේ සිරා යක්කු ටිකක් කියලා. මැරිච්ච සීන් එකක් ට්‍රේලර් එකේ නොපෙන්නුවට මැරෙන්න හේතු වෙන දර්ශනයක් පෙන්නනවා. ඉඳිකටු දාහක් පපුවේ ඇනුණා වගෙයි ඒ වෙලාවේ නම් අම්මපා. ට්‍රේලර් එකේ අන්තිමේ, මුන් එතන දී ත් පපුවේ තෙතමනය තියෙන තැනකට ෂොට් එක දුන්නේ මුෆාසා ‘Remember’ කියලා යන්න යන දර්ශනය එතෙනට දාලා. උඹලා යක්කු බොලව්!

දැන් ඉතින් ලබන ජූලි වෙනකන් ඉන්න ඕනි ඕක බලන්න. එදාට මම යන්නේ ටිෂූ පැකට් දෙක තුනක් අරගෙන. සමහරවිට ගොඩ එන්න බැරි තරමට ම කඳුළු ගඟකින් මම වැහෙයි ද දන්නෙත් නෑ. උදේ ටීසර් එක බලලා කෙලින් වෙච්ච මයිල් තාම ලෑන්ඩ් කරලත් නෑ. ඉතින් හිතන්නකෝ සම්පූර්ණ චිත්‍රපටිය බැලුවා ම මොකකින් මොකක් වෙයි ද කියලා. ලයන් කින්ග් කියන්නේ මගේ ළමා කාලයට මම යන හයි වේ එක. ලයන් කින්ග් කියන්නේ එහෙමත් එකක් ය.

%d bloggers like this: