Menu Close

චූටි කෑලි මල් කතාව – පූර්විකාව




පහුගිය සති අන්තයේ උණවටුන පැත්තේ ගැසූ සවාරියෙන් ඉතුරු වී ගෙදර ගෙනා වොඩ්කා කොටය හිස් කරන්නට ඊයේ රාත්‍රිය වෙන් කර ගතිමි. පොඩියට කපා ගත් ඇපල් කෑලි කිහිපයත් සමග බයිට් එක පිරවීමට එක්කාසු උනේ වැඩ ඇරී එන ගමන් ගෙනා මුරුක්කු පැකට් එකය. වොඩ්කා කොටය පතුල කරා පල්ලම් බහින යාමයේ, කරස් ගා හැපෙන මුරුක්කු සද්දයත් , සිරිස් ගා විසිරෙන ඇඹුල් ඇපල් පෙත්තේ සද්දයත් මට පසුබිම් සංගීතය සැපයීය. ඒ පසුබිම් සංගීතය මැද්දෑවේ හීනියට නෙත් අඩවන්ව යද්දී , ලතාවකට හිස , බෙල්ලට අවනත නොවී පැද්දෙන්නට ගන්නා යාමය යනු වොඩ්කා පදමේ නිසි  මොහොතයි. ඒ මොහොතේ මට හෙට දවස ගැන , එනම් අද දවස ගැන මතක් විය. අහා !!!….එය පෝය දවසකි. නිවාඩු පාඩුවේ ගෙදරට වී සිටිය හැකි දවසකි. ඒ සන්තෝසය නිසා තවත් වඩියක් සුරුස් ගා උගුරු දඬු මාවත සෝදා ලමින්  වේගයෙන් උදර කුහරය කරා ඇදී යද්දී,  බමමින් තිබූ මගේ මොළය මාගේ ළමා කාලයට මා මෙහයවීය. ඒ ළමා කල ගැන තැබිය යුතු මුහුණු පොත් සටහන වෙරි මත මැද්දේම මගේ හිතේ ලියවුණි. ඒ සටහන අද දවසේ හොඳ සිහියෙන් ලියවෙන්නේ චූටි කෑලි මල් කතාවේ පූර්විකාව ලෙසය. සමහරවිට මෙය ඊයේ රෑම ලියවුණා නම් මීට වඩා රසවත් වීමට ඉඩ තිබේ. 


* * * * * * * * *


බඩ පැලෙන තරමට ගත් රාත්‍රී අහරේ හේතුවක් ලෙස නිදි දෙව්දුව මා කරා වේගයෙන් එලඹෙමින් සිටියාය. ඒ එළඹීමේ වේගය වැඩි කමට මම ඉඳගෙන සිටි සැටි පුටුව මතටම වී නිදි මතේ බර කිරමින් සිටියෙමි. ඒ බර උහුලාගත නොහැකි තරම් වූ කල, සැටිය මතම වැතිරී නිදි දෙව් දුව තුරුලේ සැඟවෙනවා මිස වෙන කුමක් කරන්නද?. බලමින් සිටි නාට්‍යයේ ජවනිකා ඇත්තක්ද , සිහිනයක්දැයි සිතා නොහැකි තරමින් ඇස් අඩවන් වී පුංචි මම නිදි දුවත් සමග සැටි ගත වීමි. 

“ඒයි , ඒයි …මල්ලි නැගිටිනවා. ඇඳට ගිහින් නිදා ගන්නවා නිදිමත නම්. පුටුවෙන් වැටිලා බෙල්ල කඩා ගනී නැත්නම්”…..අයියා කියවූ හෑල්ලකින් නිදි දුව සැටියෙන් පලා ගියාය. 

මම සිහින ලොවත් සැබෑ ලොවත් අතර හිරවී ගොඩ එන්නට ඳඟලමින් ඒ මේ අත බැලුවෙමි.

“දුවනවා….ගිහිල්ලා චූ කරලා බුදියගන්නාවා. හෙට ඉස්කෝලේ යන්නත් තියනවනෙ”

මොනවා….!!!!…..හෙට ඉස්කෝලේ….!!!! …..මගේ ජීවිතය තුල එතෙක් මට මුණ ගැසී තිබූ අප්‍රිය ජනකම වචනය…..”ඉස්කෝලේ”. මම එක වසරේ දරුවෙකු පලිගසන්නට දන්නා සෑම වචනයකින්ම හිතින් සාප කරමින් මිදුලට ගොස් චූ දමන්නට වීමි. අම්මා හැමදාම කියන්නේ ගෙයින් පුලුවන් තරම් ඈතට වෙන්නට චූ කරන්නට පුරුදු වෙන්නට කියලාය. නමුත් මම ගෙයි පඩිය මත්තෙන් එහාට යන්නට පරාණ බයය. චූ පැටියා දිහා බලන් චූ කලොත් මිස වැරදිලාවත් හිස කෙලින් කලොත් එපිටින් ඇති රාත්‍රී ඝන අන්ධකාරය ඇසට අරමුණු වේ. ඒ අරමුණු වීම යනු දහසක් බය දනවන සිතුවිලි හිත ඇතුලේ අඩව් ඇල්ලීමය. ඒ අඩව්වේ ඇරඹුම යනු චූ කිරිල්ල පැත්තක දා ගේ ඇතුලට දුවන්නට හිතෙන මොහොතය. ඉතින් චූ දිය ඇල්ලේ භාගයක් කලිසමේය. ඒ කියන්නේ අම්මාගෙන් සැර අඩු ටොක්කක් ලැබීමට සුදුස්සෙක් වීමය.නමුත් ඉස්කෝලේ යාම නමැති මහා හෙණ ගෙඩිය හිස මතට පහත් වේගෙන එන බැවින් මට රාත්‍රී කලුවර මේ මොහොතේ මහා ගැටලුවක් නොවේ. ඈත පෙනන ඝන කලුවර තුලින් මතු වෙන ඕනම යක්ෂයෙක්, භූතයෙක් හෝ මල පෙරේතයෙක් සමග වුව සටන් වැදිය හැකි ලෙස මගේ හිත කෝපයෙන් පුපුරු ගසන්නේය. මම කාමරයේ වූ ඇඳට ගියෙමි. ඇඳට මදක් ඔබ්බෙන් වූ මගේ පුංචි මේසය මත පොත් බෑගය හරි බරි ගැහිලාය. එය පිම්බී ගාම්භීරව වැජඹෙන්නේ අම්මා මගේ පොත් පත් ටික පිලිවෙලට අසුරා තැන්පත් කර ඇති නිසාය. මම කොට්ටයට තුරුලුවී පොත් බෑගයට රවමි. මගේ සිතේ අසහනය නිසාමදෝ සැටිගතවීමට හැල්මේ දිව ආ නිදි දුව , මා හා යහන්ගත වීමට අදි මදි කරයි. අම්මා කාමරයට පැමින මට රෙද්දක් පෙරවූවාය. මදුරුවන්ගෙන් මා මුදවාගනුවස් දැල්වෙන කොයිල් එක නොනිවී දැවෙන බව තහවුරු කරගත් ඈ මගේ හිස අතගා මගේ නලලත සිම්බාය.

“good night චූටි පුතේ. සැපට දොයියන්න”….ඇය යන්නට සැරසෙන්නේය.

“අම්මේ…මට හෙට නිවාඩුවක් ගන්න පුලුවන්ද ?”……මම හැමදාම අසන ප්‍රශ්නය අසමි. 

“එහෙම බෑනෙ ළමයො. ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්න ඕනනෙ චූටි ළමයි උනාම.”

ඇගේ පොතේ ඉතින් හැමදාම ඇත්තේ බෑ කියන එකය. අපි වැනි පොඩි ළමයින්ට දින පහක ඉස්කෝල ගමනක් අවශ්‍ය වන්නේ මොකටදැයි මම හිතින් අසමි. මේ සියල්ලට වැරදි අම්මාය. මට නිවාඩුවක් අනුමත කිරීමට ඈට බැරි ඇයි. තාත්තා උදෙන්ම නැගිට වැඩට යන බැවින් මම ඉස්කෝලේ යන නොයන එක ගැන දැනගන්නට එයාට බැරිය. ඒ නිසා අම්මාට ඒ ගැන බයක් හැකක් නැතුව මට නිවාඩුවක් ලබාදෙන්නට බැරි ඇයි. මම අමමා විත්ති කූඩුවට නංවමින් හිතින් නඩු අසමි. නඩු හබ මැද්දේ මට නින්ද යනු ඇත…….



“Good morning චූටි පුතේ……කෝ කෝ නැගිටලා මේ කිරි එක බොන්න”……

මල කෙලියකි මනරම් රාත්‍රිය ගෙවිලා මුස්පේන්තු උදෑසන උදාවී ඇත. ඉතින් මොන ගුඩ් එකක්ද.

“Good morning උඹ”…….මම අම්මාට සුබ පතමි.

මම දන්නා නරකම අකාරයට උදෑසනට සුබ පැතිය හැක්කේ “good morning උඹ” කීමෙනි. අම්මා සිනාසෙමින් මගේ හිස අතගා ලහි ලහියේ පිටව යන්නේ තවත් දහ්සක් වැඩ කටයුතු මේ උදෑසන ඇයට උරුමවී ඇති නිසාවෙනි. මම උකටලීව කිරි තේක තොලගාමි. ඉන්පසු අම්මාගේ අනුදැනුම යටතේ මුහුණ කට සෝදාගෙන ඇඳුම් අන්දවා සපත්තු දමන ලද මම ඇයත් සමග පාසල් හිරගෙදර වන 1-D පන්තිය කරා පිය නගමි. මාව පන්තියේ අසුනේ ඉන්දවා මගේ කොපුලට ආදරණීය හාදුවක් දී ඇය පිටව යන්නේ මගේ දෑස් අග ලොකු කඳුලු බිංදු දෙකක් එල්ලෙද්දීය. අම්මලා පිටව යද්දී බොහෝ ළමුන් යටිගිරියෙන් කෑගසමින් , යකා නැටුවෝය. උන් අම්මලා පසු පස එලවන් යාම වැලැක්වීම සඳහා ගුරුතුමියට පන්තිය දොර වසා දමන්නට වූයේ උන් සමග පොර බදින ගමන්ය. නමුත් මම කිසිදා එසේ යකා නොනටමි.  ගේට්ටුවෙන් පිටත්ව යන අම්මාගේ අවසාන ඡායා මාත්‍රය දක්වා මම බලා සිටීන්නේ ඇස් ඇග එල්ලෙන ලොකු කඳුලු බිඳු දෙකේ බරත් උහුලමිනි. නමුත් ඒ කඳුලු බිඳු කිසිදාක කොපුල දිගේ ගලන්නට මම ඉඩ නොදුන්නෙමි. කෙතරම් අකමැති පාසල් හිර කූඩුව තුල වුවත් මම මගේ දුක හෝ විරෝධය හෙලි නොකරන්නට වග බලා ගතිමි.


ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන මුලු කාලය පුරාම මම අඩු ගානේ විසි තිස් වතාවක්වත්  ගොස් ජනේලයෙන් එපිට පෙනෙන අහස දිහා බලමි. ඒ වැහි කලුවකින් අහස වැසී යන්නේද කියා බැලීමටය. එහෙත් මගේ කාලකන්නි කමට උදේට ඉස්කෝලේ ගමන කඩාකප්පල් කල හැකි ලෙස වැසි වැටුනේ නැති තරම්ය. ජනේලයෙන් එබී වැසි දෙවියන්ට කන්නලව් කරන මේ පුරුද්ද මට සාමාන්‍ය පෙළ පන්ති වලට යනකල්ම තිබුණි.  මම උදේට ලක ලෑස්ති උනේ පුලුවන් තරම් හෙමින්ය. ඒ වැසි දෙවියන්ට තම ෂවර් එක ඇරීම සඳහා වන කාලය ලබා දීමටය. ඒ කාලය තුල මම හොඳින් දන්නා සියලු සිංහල ගෞරවාර්ථ පද  පාවිච්චි කරමින් උන්නාන්සේට නොවඳිනා වැඳුම් වැන්ඳෙමි. මාගේ වැඳුම් පිඳුම් ලැබූ අවුරුදු එකොළහටම උන් වහන්සේ මගේ ඉල්ලීමට කන් දුන්නේ දවස් තුනක් හෝ හතරක් විය යුතුය. ඉතින් දෙවි දේවතාවුන් යනු තඹේකට මායිම් නොකළ යුතු කාලකන්නි අපතයන් පිරිසක් බව මට ප්‍රත්‍යක්ෂ විය. ඉන් එහාට ජීවිත කාලය පුරාම මට උන් සමග කිසිඳු පයිරු පාසානමක් ඇති නොවුණි.

අපේ ඉස්කෝලෙට ගෙදර ඉඳන් කිලෝ මීටරයක පමණ දුරක් පයින් යා යුතුය. ගොඩේ පාරවල් දිගේත් , රේල් පාර ඔස්සේත්වැටී ඇති ඒ ගමන සන්තෝෂ දායක වන්නේ යාලුවන් සමග කෙලි දෙලෙන් යා හැකි නිසාය. වැසි දිනවලදී නම් දණිහ තෙක් යටවන ගොඩ පාර දිගේ අපි ගමන් ගත්තේ සපත්තු දෙක අතින් කරින් ගෙනය. එවැනි දිනවල මා පාසල් ගියේ ඉතා සතුටිනි. මන්ද එවැනි දින වලට ළමයින් අඩු බැවින් ඉගැන්වීම් නොකෙරුනු ඇතැයි සිතාය. සිතූ ලෙසම එදාට පාසල ඇරඹෙද්දී පැමිණ ඉන්නේ ළමුන් 10ක් 12ක් පමණය. මගේ සිත සතුටින් ඉපිලේ. ඒත් සමහ කාලකන්නි මූසලයන් පැය භාගයක් පමණ පරක්කු වෙලා ඉස්කෝලේ පටන් ගත් පසුත් එවැනි දිනවලට පාසලට එන්නේය. යකෝ මෙච්චර වහිද්දිත් ඉස්කෝලේ එන්නේ උඹලාට පිස්සුදැයි අසමින් මම උන්ට බැන වදිමි. මෙවැනි මෝඩ මූසලයන් නිසා එදාටත් ඉගැන්වීමට අසරණ ගුරුවරුන්ට සිදු වන්නේය. 

සමහර දිනවල අයියා මාව ෆුට් සයිකලේ දාගෙන ගාලු පාර ඔස්සේ පදිමින් මාව ඉස්කෝලයට බස්සන්නේය. ඒ අතරමගදී මුස්ලිම් විද්‍යාලය මුනගැසෙන්නේය. තම්බි තොප්පි දමාගත් තම්බි කොල්ලෝත් , හිස ආවරනය කරගත් තම්බි කෙල්ලෝත් පාසලට ඇදෙමින් සිටිති. වේලාසන පැමිණි උන් පිට්ටනියේ සෙල්ලම් කරනු පෙනේ. මම උන් සියල්ලට සිතින් සාප කරමි. ඒ උන් මුස්ලිම් නිසා නොව උන් ඉස්කෝලේ යාම නිසාය. ඉස්කෝලේ යන හැම එකාටටමත් ඉස්කෝල හොයා ගත් එකාටත් මම හිතින් පොල් ගසමි. මේ කිනම් කරුමයක්ද?…තව අවුරුදු කීයක් මෙසේ පාසල් බඩගෑ යුතුද?

ඒ සාප කිරිල්ල හා පොල් ගැහිල්ල නැවතුනේ අපි උසස් පෙළ පන්තියට ගිය පසුය. මොකද එදවස විද්‍යා විෂය ධාරාවෙන් හරිහැටි ඉගැන්වුනේ රසායන විද්‍යාව පමණක් නිසාය. physics මිස්ට මොකක්දෝ දරුණු අසනීපයක් සෑදී අපි උසස් පෙළ පන්තියට අඩිය තියා සතියක් යද්දී පාසල් ගමන නැවත්තුවාය. combined maths ඉගැන්වූයේ අපිටත් වඩා හපන් කම්මැලි ගුරු මාතාවකි. එවැනි ටීචර්ලා තව තවත් පහළ වේවා…!!!. ඒ නිසා පීරියඩ් අටෙන් උපරිම වැඩක් කෙරුනොත් ඒ පීරියඩ් තුනකි. අනික් පීරියඩ් පහම නිකංය. අපි පොඩි කෙල්ලන්ට ලයින් දමමින්, අපේ පන්තියේ කෙල්ලන් හා උසුලු විසිලු කරගනිමින්, ඩෙස් බංකු වලට ඩ්‍රම්ස් ගසමින්, අතේ ඇති සියලු මුදල් එකතු කර කැන්ටිමටත්, ඉස්කෝල මායිමේ ඇති කඩයටත් ඒවා වියදම් කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ෆුල් ආතල් එකක් ගතිමු. එදවස මගේ ඉස්කෝල ගමනේ ඇතිව ඇති උනන්දුව ගැන අපේ අම්මා සෑහෙන සතුටු වූවාය. 

එක දවසක් අපේ ගෙදර පිරිස සාලයට වී සතුටු සාමිචියේ යෙදී උනිමු. මගේ පාසල් යාමේ උනන්දුව ගැන තාත්තාත් අම්මාත් ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. කතා බහ නිදහසේ ගලා ගිය බැවින් මමත් අපි ඉස්කෝලේ ගිහින් නිකං කාලය කන හැටි ගැන ඉතා සතුටින් විස්තර කළෙමි. මල කෙලියකි…..මා කට මැත දෙඩෙව්වා වැඩි විය යුතුය. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ අපේ තාත්තාට අසූ හාරදහට මල පැන්නේය. උසස් පෙළ ඇරඹී  මාස තුනක් ගෙවෙද්දීත් අපිට physics ටීචර් කෙනෙක් නැති බව දැනගත් ඔහු කල බල විය. ඒ අව් අස්සේ මම අපේ maths ටීචර්ගේ කම්මැලි කමේ තරම ගැනත් පාරම්බා අවසානය. මෙසේ කාලය ගතවුනොත් මා උසස් පෙළ අසමත් වනු ඇති බවට ඔහු බියවිය. මේ ගැන මෙතෙක් කලක් ඔහුගෙන් වසන් කිරීම ගැන ඔහු මටත් අම්මාටත් දෙහි කැපුවේය.තාත්තාගේ ක්ෂණික තීරණය වූයේ මා පාසලෙන් ඉවත් කර ගාල්ලේ ප්‍රධාන පාස්ලකට ඇතුලත් කළ යුතු බවය. මගේ ඇස් දෙක උඩ ගොස් බිමට එන්නට සෑහෙන වේලවක් ගත විය. කට මැත දොඩවා මම ලොකුම එකෙන් ඇරගෙන ඇති බව වැටහෙන විට මා පමා වැඩිය. භයානක සිහිනයක්, නිදාගන්නේත් නැතුවම ඇස් ඉස්සරහ දිග හැරෙමින් ඇත.  

ඉන්පසු එළඹි දින කිහිපය තුල මගේ පාසල වෙනස් කිරීමේ කටයුතු වේගයෙන් දිග හැරිනි. මම නාහෙන් අඬමින් අම්මා පසු පස ගියෙමි. පාසල වෙනස් කරන්නට අවශ්‍ය නැති බවත් ටියුෂන් ගොස් උසස් පෙළ ගොඩ දාගන්නට හැකි බවත් මම අම්මාට කීවෙමි. ගාල්ලට යාම දුර ගමනක් බැවින් , එයින් මහන්සි වී මගේ ඉගෙනීම කඩාකප්පල් විය හැකි බවටද මම ඇයට අනතුරු හැඟවීමි. ඇය මගේ දුක් ගැනවිල්ල තාත්තාට ඉදිරිපත් කළාය. තාත්තාත් එය යම් පමණක බරකින් භාරගත් බව පෙනිනි. 

“හරි….මම හෙට ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් එක්කයි, chemistry මිස් එක්කයි කතා කරන්නම්. එයාලා කිව්වොත් මෙහේ ඉඳන් වැඩේ කරගන්න පුලුවන් කියලා, අපි ඉස්කෝලේ මාරු නොකර ඉමු”……..තාත්තා අවසන් තීරණය දුන්නේය.

මගේ හිතට යම් සහනයක් දැනුනි. මා පාසලේ හොඳම සාමාන්‍යපෙල ප්‍රතිඵල ලැබූ සිව් දෙනාගෙන් කෙනෙක් වීම නිසා අපේ විදුහල්පති තුමා මා ඉවත් කරගන්නවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. තාත්තාගේ කතාව ඇසූ ඔහු පැවසුවේ අපේ chemistry මිස් එක්කත් කතා කරලා හොඳ තීරණයක් ගන්නා ලෙසය. දැන්නම් ඉතින් වැඩේ එකෙන්ම ගොඩය. නෙළුම් මිස් මගේ ඉගෙනීම ගැන ඒවන විටත් පැහැදී සිටි නිසා මාව ඉවත් කරගන්නවාට කොහෙත්ම කැමති නොවන බව මට ඉරහඳ මෙන් විශ්වාසය. විනාඩි කිහිපයකින් පසු මමත් තාත්තාත් සිටියේ chemistry lab එකේ නෙලුම් මිස් ඉදිරියේය. තාත්තා කතන්දරය ඇයට පහදා , මා ඉවත්කර ගැනීම පිලිබඳ ඇගේ අදහස විමසීය. හහ් හහ් හා…!!!!…… දැන් උදා වෙන්නේ අපේ තාත්තාගේ කුමන්ත්‍රණය පරාජයට පත්වෙන ඒ සුබ මොහොතයි. ඔව් දැන් අපි ඇයට යොමු වෙමු,……..


“හපොයි ….ලොකුම ලොකු දෙයක් සර්, දැන්ම අයින් කරගෙන මේ දරුවා හොඳ ඉස්කෝලෙකට දාන්න. මේකේ හිටියොත් නම් මෙයා විනාස වෙලාම යනවා.අපරාදේ දක්ෂ දරුවෙක්ගේ අනාගතේ…..”

හෆොයි…..මට කලන්ත ගතියක් දැනුණි.නෙලුම් මිස් තවත් මොනවාදෝ කීවාක් මෙන් ඇසින. ඊලඟ සතියේ සඳුදා උදේ මම ගාල්ල බසයක් එනතෙක් බස් නැවතුමේ සිටියෙමි.



%d bloggers like this: