Menu Close

(අ) සම්මතය | The Atypical

තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත ‌තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන ‌‌කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ පොටෝ ටිකත් හදිසියෙන් වගේ බලාන පහලට යන අතරමග එකපාරටම මවුස් එකෙන් අත ඈතට විසි උනේ කරන්ට් එක වැදිලා වගේ ෂොක් වෙලා. ඒක අතැගිලි දෙකක් එකිනෙක බැදුන පින්තූරයක්. ඒත් කොච්චර කාලයක් ගතවුනත් ඒ තඹපාට අතැගිලි අදුරගන්න මට බැරිකමක් තිබුනෙ නෑ. මගෙ පපුව දිගේ හීනියට රිදුමක් ගියේ මොකුත්ම හිතාගන්නවත් බැරිව. ඒක සතුටක්ද දුකක්ද කියලා හිතාගන්න මට සෑහෙන අමාරු උනා.
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ…

ඔව්, ඒක එක විදියක අසම්මත ආදරයක්. ඒත්, කවුද කියන්නෙ ආදරේ කරන්න සම්මත විදියක් තියෙනව කියලා. මෙහෙම කරන්නෝනි අරහෙම කරන්නෝනි කියලා. ඒක සාපේක්ෂයි, ඒ වගේම එකිනෙකාට වෙනස්. එහෙම වෙන්නම ඕනෙ. නැතිනං ඒක ඒක ඒකාකාරී වෙන්නැද්ද. ඔව්, එයා අක්කා කෙනෙක්. මට වඩා අවුරුදු ගානක් වැඩිමල්. ඒත් එහෙමයි කියලා, ඒ හුරතලේට.. ඒ දගකාරකමට ආදරේ කරන්න නොහිතෙන්නෙ කාටද? දන්නවද, මට එයාව හම්බුනේ හරිම අහම්බෙන්. හැමතිස්සෙම ලස්සන මතකයන් අපේ ජීවිතේට එන්නෙ කිසිම බලාපොරොත්තුවත්, දැනුම්දීමක් නැතිව. ඒත් මං කවමදාකවත් හිතුවෙ නෑ අපේ ඒ හමුවීම මට කවදාවත් අමතක නොවෙන මතකයක්, ජීවිතේටම දැනුන ලොකුම තෘප්තියක් එකතු කරාවි කියලා. ඇගේ තඹ පාට සිරුර, හීනි කටහඩ, මුදු මුදු ස්පර්ශය.. මාව මත් කරවාවි කියලා… ඒත් හොදට හෝ නරකට. ඒක එහෙම උනා. විනාඩි ගානක ඒ ඇසුර. මාව උන්මත්තකයෙක් කලා.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා…


දන්නවද, මං කොච්චර ඈට වශී උනාද කියලා. මං තීරණය කලා වයස පරතරය නොහිතා ඈව මගේම කරගන්න. මං හීන දකින්න පටන් ගත්තා හැම තත්පරයකදිම ඈ ගැන. ඒත් මොන සරදමකටද මන්දා මට ඈව හමුවෙන්න  පුලුවන් උනේ කිහිව වතාවක් විතරයි. ඒත් එහෙමයි කියල මං ඈ ගැන හීන දකින එක නං ‌නැවැත්තුවේ නෑ ‌පොඩ්ඩක්වත්. ඒත්, ‌‌කවදාහරි මට එයාව මගේම කරගන්න බැරි උනොත් එයාට ලස්සනට ‌කසාදයක් හරි කරලා ‌‌දෙන්න ඔනි කියන තැනට මගෙ ඔලුව වැඩ කරලා තිබුනා. ඒක ඒ තරම්ම ඔපන් ආදරයක්. මට ඒ හැම මතකයක්ම දැන් දැන් ආයෙමත් ඔලුවට ඇවිත් හිසරදයක් ‌වෙන්න පටන්ගත්තෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ. ඒ ගැන හිත හිතම මං ඇදේ අනිත් පැත්තට හැරුණා. ඔව්, මං තාම ඒ අසම්මතේට ආදරේ කරනවා අප්‍මාණව. ඉතිං දුක් වෙන්නෙ මොකටද මම? ඈ සතුටින් නම්…

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා…


%d bloggers like this: