Menu Close

280. අවසානයට පසු…

කාලෙකට කළින් උත්සන්න වෙලා තිබුණ රෝගයක්, පහුගිය කාලේ අමාරුවෙන් සනීප කරගෙන හිටියේ. බැලින්නං සනීප වෙලා නෑ තවමත්. ඔය තියෙන්නේ මේ වතාවේ ඒ රෝගය උත්සන්න වෙච්ච හේතුව තමයි: 614. සමණල තටු සැළිණ……When The Butterfly Wings Fluttered…

රවි අයියාට වගේම මටත්, පොඩි කුමාරිහාමිගේ වළව්ව කියන්නේ බොහොම වටින තැනක්. ඒ කාලේ කවි විතරක් ලිය ලිය හිටපු මට කතන්දර ලියන්නත් පුළුවංය කියලා මං දැනගත්තේ ඒ වළව්වේ පොඩි මැණිකේ ඇතුළු ආදරණීය යාළුවන්ගෙන්. ඉතින් එහෙනම් කියවන්න අද මේ ලියපු කතාව. රවි අයියා ඔය පෝස්ට් එකේ ලියාපු මුල්ම කතාවේ, අර යතුරුපැදිය අන්තිම වතාවට ගෑනු ළමයාගේ ගේ ළඟින් හරවගෙන ගියාට පස්සෙ දිග ඇරෙන කතාන්දරේ තමයිලු මේ. මේ කතාවේනම් butterfly effect එකක් නෑ. හැබැයි නැත්තෙමත් නෑ. 🙂

***


දින ගණනක් පුරා උණෙන් පෙළුනු ගත විඩා ගෙන දුන්නද එදින රැයේ නින්ද ඈ අහලකටවත් පැමිණියේ නැත. තම නැගණිය පැවසූ යතුරුපැදිකරු කවුරුන්දැයි ඇයට සිතාගන්නට අපහසු නැත. ඔහු බොහෝ වේලාවක් ඔවුන්ගේ නිවස අද්දර දෙවැට අයිනේ බලා හිඳ ඇත. පසුගිය දින ගණනාව පුරාද ඒ අසළ ගැවසී ඇත. ඒ කුමකටදැයි සිතා ගැනීමටද ඇයට අපහසු වූයේ නැත. 

ඒ අඳුරු මූසල සන්ධ්‍යාවේ උන්හිටි ගමන් නතර වූ බස් රථය තව දුරටත් යන්නට බැරි බව කියනා බව රියදුරු මහතා මගියන් වෙත දැනුම් දුන්නේ සමාව අයදිනා ස්වරයෙනි. කොන්දොස්තර කොළුවාගෙන් මුදල් ආපසු රැගෙන මැසිවිලි නගිමින් ඇද හැලෙන වැහි පොද මැදට බට මගීන් අතර, නගරයේ පැවැත්වෙන අමතර පංතියට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි ඇයද වූවාය. තවත් එහි බලා හිඳ තේරුමක් නැත. එය එදින ඇගේ ගම් පියස බලා දිවෙන අවසන් බසය විය. නිවසේ වූ එකම අකුලන කුඩය තමාගේ තනි පාවිච්චියට රැගෙන එන්නට තරම් අවශ්‍යතාවයක් සති ගණනකින් වැසි නොවැටුණු, දහවල චණ්ඩ හිරු රැසින් බැබළුණු අහසෙන් දිස් වූයේද නැත. නමුත් මේ වනවිට, වැහි අඳුර වෙනදාටත් කළින් රාත්‍රිය රැගෙන විත් ඇත. ඒ කළුවරේ තනිව ත්‍රීරෝද රියකට ගොඩවන්නටද ඇගේ කැමැත්තක් තිබුණේ නැත. එවැන්නකට ගෙවන්නට මුදල්ද ඈ සතුව නැත. එබැවින්, වර්ෂාවද එතරම් තදව නොතිබුණෙන්, එකම විකල්පය වූ පා ගමනින් නිවස බලා පිටත් වීමට ඈ ගමන් ඇරඹුවාය. නමුත් අතර මගදී මඳ වැස්ස, ධාරාණිපාත වර්ෂාවකට හැරුණි. අසළ වූ වසා දැමුණු කඩ පිළක් හැරෙන්නට ඇයට සෙවණ වන්නට වෙන කිසිවක් එහි නොවීය. පාරේ කිසිවෙකුත් නැත. අසළක ගෙයක් දොරක් හෝ පෙනෙන්නට නැත. ඇගේ නිවස පිහිටි ගම්මණ්ඩියට ළඟා වන්නට තව සැතපුම් දෙකකට ආසන්න දුරක් ගෙවා යා යුතු ය. ඇයටත් නොදැනී වැසි දියෙන් තෙත්ව තිබූ ඇගේ දෙකොපුල් ඔස්සේ කඳුළු කඩා හැලෙන්නට විය.

සුරුස් ගා මඩ විසුරුවමින් ත්‍රී රෝද රියක් ඈ ඉදිරියෙන් ඇදී ගියේ ඒ මොහොතේදීය. කඩ පිළ පසු කර මඳ දුරක් ඇදී ගිය එහි වේගය අඩු වී නැවත පසු පසට ඇදෙන්නට වූ විට ඈ බොහෝ සෙයින් බියට පත් වූවාය. ඈ ඉදිරියෙන්ම නතර වූ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙන් එබුණේ හැඩපළු ගෙතුණු රැවුලකින් හා කෙස්වැටියකින් හෙබි බිහිසුණු මුහුණකි. ඇගේ මුව කෙල සිඳී ගොස් වැහි හීතල මධ්‍යයේම හීන් දහදියකින් නළල වැසී ගියේය. ඇය ඇගේ පියා පැමිණෙන තුරු එතැන හිඳිනා බව පවසා සිටියත් ත්‍රී රෝද රථ රියදුරා එතැනින් නික්ම යන හැටියක් පෙනෙන්නට නැත. ඔහු ඈ හා චාටු කතාවේ පැටලෙන්නට උත්සාහ දරයි. අඳුර කපා පැමිණෙන තවත් රියක එළියක් නෙත් කොණින් දුටු ඈ මහත් බලාපොරොත්තු සහගත මුහුණකින් ඉදිරියට නැඹුරු වී “අන්න තාත්තා” යැයි කියමින් ඒ දෙස බලා සිටියේ එවිට හෝ කරදරකාරයා පිටව යනු ඇතැයි සිතාය. නමුත් ඇගේ භීතිය දෙගුණ කරවමින් ත්‍රී රෝද රථ රියදුරා එතැනින් යනු වෙනුවට කෙමෙන් ලඟා වූ යතුරු පැදි ආලෝකය ඈ සිටි කඩ පිළ වෙත හැරවුණි. දිය බේරෙමින් ඉන් බැස ආ යතුරුපැදි කරුවා ඈ දෙසත් ත්‍රී රෝද රථ රියදුරු දෙසත් හොඳින් බලා යළි ඈ දෙස බැලුවේය. එක් කරදරකාරයෙකු මදිවට දැන් තවත් එකෙක්!

“මැට්ටි!” අමුත්තා එක් වරම හඬ අවදි කළේය. “එන්න රෑ වෙන දවසට ෆෝන් එක අරං යන්ඩ කියලා කොච්චර කිව්වත් අහන්නෙ නෑ. අම්මා අහරේ හොඳටම බය වෙලා!”

හැඬීමෙන් රත් පැහැ ගැන්වී තිබූ ඇගේ දෑස් පුදුමයෙන් විසල් විය. අනතුරුව ත්‍රී රෝද රථය වෙත ඉක්මන් බැල්මක් හෙලූ ඇය කඩපිළට ගොඩ වී හිස් ආවරණය ගලවන අමුත්තා දෙස බලා ප්‍රවේශමෙන් හඬ අවදි කළාය. “තාත්තා කෝ?” අනවශ්‍ය ගැටුමකට මැදි නොවී ත්‍රී රෝද රථ රියදුරා එතැනින් එළවා ගතහොත් මේ අලුත් යකා පරණ යකා තරම් කළු නැති බවක් ඇයට දැනෙමින් තිබුණි. ඔහුද ඇගේ සොහොයුරෙකු බව හඟවමින් ඇගේ සහයට පැමිණියේ මැරවර පෙනුමක් ඇති ත්‍රී රෝද රථ රියදුරා සමග ඔහුටද අනවශ්‍ය ගැටුමක් පටන් ගැන්මට වුවමනා නොවූ නිසා වන්නට ඇත. 

“තාත්තට හැන්දෑවේ හිසේ ඇම්මක් අල්ලලා. මට කතා කරලා කිව්වා ඔෆිස් ඇරිලා එන ගමන් ඔයාවත් එක්කං එන්න කියලා. බලනවා, ෆෝන් එක ගෙනාවනං මේ රස්තියාදුව නෑනේ!” තවමත් තුන් රෝද රථ රියදුරාට එතැනින් පිටව යන්නට සිතක් නැතියෙන්දෝ අමුත්තා ඈ ආවරණය කරගනිමින් ත්‍රී රෝද රථයට අතක්ද තබාගෙන ඔහු වෙත නැඹුරු විය. “අයියට බොහොම පිං මං එනකල් අපෙ නංගිව බලාගත්තට. කෙල්ලෙකුට තනියෙං පාරෙ බැහැලා යන්න පුළුවං වෙලාවක්ද මේ. ඊටත් මහ වැස්සෙ. අයියා වාගෙ මේ මනුස්සකමට මෙතන ඉඳං තනි රැක්කට, නැත්තං අපේ මෝඩිත් ඔය ඕන එකෙක් ගෙදරිං බස්සන්නං කියලා කතා කරපු ගමං විශ්වාස කරලා යයි!”

ඒ වදන් ඇසීමෙන් පසුවද තවත් එතන රැඳී සිටින්නට නොහැකි නිසාවෙන්දෝ රථය පණ ගන්වාගත්තද රියදුරා අමුත්තාට ඔබ්බෙන් දෑස් පොවා යළිත් ඈ දෙස විපරමෙන් කිහිප විටක් බැලුවේය. එවර කෙළින් වූ අමුත්තා සිය දිය බේරෙන කබාය ගලවා ඈ වෙත පා “ඇඳගන්නවා ඕක!” යැයි ගිගිරුවේය. කොහෙ යන චණ්ඩියෙක්ද මන්දා! ඇය නොසතුටින් සිතුවාය. ත්‍රීවිල් කාරයට බටර් ගාලා මෙතන මට ගොරවනවා! ඇය එය රැගෙන එතෙක් තුරුළු කරගෙන සිටි පොත් බෑගය මතින් පපුවට තුරුල් කරගත්තා විනා ඔහු අණ දුන් ලෙසින් ඇඳගත්තේ නැත. කෙසේ හෝ යළිත් රියදුරු වෙත නැඹුරු වී මොන මොනවාදෝ කුටු කුටු ගා ඔහු හා කතා කොට ඔහුව එතැනින් පිටත් කර හරින්නට අමුත්තා සමත් වීම ඇගේ මහත් සහනයට හේතු විය. ඔහු යළිත් ඈ වෙත හැරුණේ වෙහෙසකර සුසුමක්ද පිට කරමිනි. “කාලකණ්ණි තිරිසන්නු!” ඔහු වැහි දියට හසු වූ තම හිස කෙස් සුරතින් පිස දමාගනිමින් දත්මිටි කෑවේය.

දැන් බණිනවා! එවෙලෙ අල්ලලා දෙකක් දෙන්නෙ නැතුව! කළින් යකා පෙනුමෙනුත් කළුය, ඇතුළතිනුත් කළුය. මේ යකා පෙනුමෙන් කළු නැත. ඇතුළතින් කොහොමදැයි සිතාගන්නට බැරිය. වඩා භයානක එවැන්නන් බව ඈ අසා තිබේ. එතෙක් බියටම මිදී තිබූ ඇගේ කඳුළු නැවතත් දිය වී දෙනෙත් මුළ පිරෙන්නට විය. නමුත් එවර ඇසුණේ ඈ මෙතෙක් ඇසූ සැරපරුෂ ගෝරනාඩු කටහඬට වඩා බොහෝ සෙයින් කාරුණික කටහඬකි. “නංගි තාත්තා එනකල්ද ඉන්නෙ?” 

ඇගේ සිතේ වූ බිය බොහෝ දුරට අඩු කිරීමට එම කටහඬ සමත් විය. “නෑ,” ඈ ඔහු දෙස නොබලාම මිමිණුවාය. “මං අර මිනිහට එහෙම කිව්වෙ බොරුවට. මං ආපු බස් එක මගදි කැඩුණා. නැත්තං මං වෙනදට මේ වෙද්දි ගෙදර ගිහිං.” බිය දුරු වූ සිතින් එසේ පවසාගෙන ගියද, ඒ මිනිහාට බොරු කියූ තමා මේ මිනිහාට ඇත්ත පවසන්නේ මන්දැයි ඇගේ සිතේ කොණක් ඇගෙන්ම විමසන්නට විය. කළු යකාව එළවා දැම්මාට මේකාද යකෙක් වන්නට බැරි නැති බව එම සිතේ කොණ ඇයට ටොකු අනිමින් පවසන්නට විය.

“එහෙමද? ඉතින් දැන් ඊළඟ බස් එක කීයටද?”

“ආයෙ නෑ. ඒ අන්තිම බස් එක.”

“හප්පා! දැන් මොකද කරන්නෙ? නංගිගෙ ගෙවල් කොහෙද?”

එවැනි පැනයන්ට පිළිතුරු දිය යුත්තේ බොහෝ පරිස්සමෙනි. “තව ටිකක් දුර.”

“ගෙදරට කතා කරලා කිව්වද මෙහෙම කරදරයක් වුණා කියලා?”

ඇය හිස දෙපසට සැලුවාය. 

එවර ඔහුගේ මුවින් පිට වූයේ සමච්චල් සිනහ හඬක් බව ඇයට ඇසුණි. ඇය ඔහුගේ ජැකට්ටුවද සමග පොත් බෑගය තවත් තදින් සිරුරට තද කරගත්තාය. “මොකද, අර කිව්වා වගේම ෆෝන් එක ගෙදර දාලා ආවද?”

ඇය නිහඬවම සිටියාය. එතෙක් ඈතින් ඇසුණු අකුණු ගිගුරුම් හඬ ඒ මොහොතේදී වඩාත් ආසන්නයෙන් ඇසෙන්නට විය. තිගැස්සී හිස ඔසවා අහස දෙස බැලූ ඇය කඩ පිළේ තවත් කෙළවරට වූවාය. 

“මගෙ ෆෝන් එක දෙන්නං පණිවිඩේ දෙන්න ඕනෙනං?” ඔහු යළිත් සමච්චල් කටහඬ අත් හැර කාරුණික හඬින් කතා කළේය.

“අපේ ගෙදර ෆෝන් එකක් නෑ…” ඈ යළිත් මිමිණුවාය. ඇගේ නිවසේ හෝ නිවසේ කිසිවෙකුත් සතුව හෝ දුරකථනයක් තිබුණේ නැත. 

ඔහු මොහොතක් නිහඬව සිටියේය. “ළඟ ගෙදරකවත්?”

ඇය යළිත් හිස දෙපසට වැනුවාය. “ඉස්කෝලෙ මහත්තයලගෙ ගෙදර තියෙනවා, ඒත් අපේ ගෙදරින් සෑහෙන්න දුර. ඒ ඇරෙන්න තැපැල් කන්තෝරුවේ තමයි. ඒක දැන් වහලනෙ.” එවර අමුත්තා මඳ වේලාවක් නොව බොහෝ වේලාවක් නිහඬව සිටියේය. ඇය හිස ඔසවා බලනවිටද ඔහු ලොකු කල්පනාවකය. ඒ වන විට වර්ෂාව යළිත් තුරල් වන්නට පටන්ගෙන තිබුණි. ඇය සිතට දිරි ගත්තාය. “වැස්ස අඩු වේගෙන එනවා වගේ. මං යන්නං එහෙනං…” ඇය අතේ වූ ඔහුගේ කබාය යළි ඔහු වෙත පාමින් කීවාය.

ඔහු එය අතට ගත්තේද කල්පනාකාරී මුහුණිනි. “තව කොච්චර දුර යන්න තියනවද?”

“ටිකක් දුර…”

“කිලෝ මීටරයක් විතර?”

“ඊට වැඩියි…”

“ඉතිං තනියම ඔච්චර දුර පයින්? මේ කළුවරේ? අනික වැස්සත් ආයෙ කඩං වැටෙන්න බැරි නෑ?”

“කමක් නෑ. මං ඉක්මනට යන්නං.” ඇය සිය ගමන් මල්ලද උර මත සකසාගෙන කඩ පිළෙන් එළියට බසින්නට සූදානම් වූවාය. “අයියට ගොඩක් පින් මාව අර කරදරකාරයාගෙන් බේරගත්තට.”

ඔහුද ඈ සමගින් එළියට බැස්සේය. “අකමැත්තක් නැත්තං මං ගිහින් බස්සන්නං?”

ඇගේ සිරුරේ හීගඩු පිපුණි. “නෑ කමක් නෑ, මට මේ ටික ගිය හැකි.”

ඔහු එවර ඇගේ මග අඩක් ඇහිරෙන සේ හිටගත්තේය. “මේ, මං ඉස්සල්ලා අරූට ඔය බණ ඩිංගක් කිව්වා තමයි. ඒවුණාට ඔයා එහෙම මෝඩ ළමයෙක් නොවෙන බව මට තේරෙනවා. මං මේ මනුස්සකමට කියන්නේ. මට ඔයා වගේ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා. දැනටමත් ඔය හොඳ හැටි තෙමිලා ඉන්නේ. මේ මහ දවාලක වුණානං මට ඔයාව මෙතන දාලා යන්න තිබ්බා. ඒත් මේ රෑ එහෙම කරන්න බෑ. මං යකෙක් නෙවෙයි. අර ඉස්සල්ලා මෙතනට වෙලා හිටිය එකා වගේ නරුමයෙකුත් නෙවෙයි.” ඔහුගේ කටහඬට පෙරදී බලෙන් ආරෝපණය කරගෙන සිටි කෝපය මෙවර නිරායාසයෙන්ම එකතු වී තිබුණි.

ඔහුගේ බස් විශ්වාස කළ හැකි බවක් ඇයට පිළිගන්නට උවමනා වුවද ඇගේ සිතේ අඳුරු කොණ යළිත් ඇගේ කනෙන් අදින්නට විය. ඕනෑම යකෙකුට ඔවැනි වදන් කියන්නට බැරි නැත. විශ්වාසය දිනාගන්නට එවැන්නන් ඕනෑම චාටු කතාවක් කියනු ඇත.

“නංගි, මට ඔයාට කරදර කරන්න ඕනෙනං මගෙ මේ බයිසිකලේ නග්ගගෙන යන්න ඕනෙ නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං තේරෙයි පේන තෙක් මානෙක කවුරුවත් නෑ කියලා. ගෙදරක එළියක් තියා අඩුගානේ තරු එළියක්වත් නෑ. තව ටිකකින් අපි දෙන්නාට අපි දෙන්නාවවත් පේන්නෙ නැති තරමට කළුවර වෙනවා. ආයෙ මග ලයිට් කණුවක්වත් තියෙනවද මේ කට්ට කළුවරේ තනියම යන්න හදන්නේ?”

ඇය නිරුත්තර විය. ඔහු කියන බස සැබෑවකි. නමුත් ඇගේ සිතේ කොණකින් දනවන බිය රෑ කළුවරට වඩා බිහිසුණුය. “කමක් නෑ. අයියට ආයෙමත් ස්තූතියි. ආයෙ වැස්ස තද කරන්න කළින් මං යන්නම්.” ඈ සූදානම් වූයේම එතැනින් නික්මී විගසින් ගමන් අරඹන්නටය. නමුත් ඒ මොහොතේ ඔවුනට නුදුරු ඕවිටක් අසබඩ වූ පුවක් ගසක් වෙත මහ හඬින් ගුගුරමින් පතිත වූ අකුණු සැරයෙන් සියල්ල වෙනස් විය. දෑතින් දෙකන් වසාගෙන දෑසද තද කොට පියාගත් ඇය මොහොතක් එතැනම ගල් ගැසුණාය. ඊළඟ මොහොතේ ඇයට හිස මතින් දැනුණේ බරැති උණුසුම් අතක ස්පර්ශයයි. “බය වෙන්න එපා…” ඇය දෑස් විවර කළාය. ඔහුගේ දෑස් ඉතාමත් කාරුණික විය. අවංක විය. “නංගිට මාව විශ්වාස කරන්න පුළුවන්…” 

ඇගේ සිතේ අනතුරු අඟවන අඳුරු කෙළවර නින්දට යන්නට ඇත. සිතුවිලිවල බාධාවකින් තොරව එවර ඈ සුසුමක් පිට කරන අතරේ අපහසුවෙන් මඳ සිනහවක් පෑවාය. “මට බයිසිකල්වල ගිහිං පුරුදු නෑ…”

“ඕකෙ ආයෙ පුරුදු වෙන්න දෙයක් නෑ… මේක ඇඳගෙන ඉන්නකො…” ඔහු යතුරු පැදිය මතින් දමා තිබූ කබාය ගෙන යළිත් ඈ අතට දුන්නේය. තෙතබරිත වූ ඇඳුම් මතින් දැනෙන හීතල හුළඟට ඈ ඒ වනවිටත් වෙව්ලමින් සිටියෙන් එවර ඇය එය රැගෙන ඇඳගත්තාය. ඒ අතරේ හිස් වැස්මද අතට ගත් ඔහු එයද ඇගේ හිසේ පැළඳුවේය. “පටිය දාගන්න,” යැයි කියමින් යතුරු පැදිය මත හිඳගත් ඔහු එය පණගන්වන්නට උස්තාහ කළේය. ඔහු දෙතුන් වරක් උත්සාහ කළද උත්සාහය සාර්ථක වූයේ නැත. “වැස්සකට අහුවුණොත් ඔහොමමයි මේක, පොඩි එකෙක් වගේ ලෙඩ වෙනවා…” ඔහු යළිත් වෙර ගෙන යතුරු පැදිය පණගන්වන්නට උත්සාහ කළේය. එවර එංජිම ක්‍රියාත්මක විය. “දැන් පරිස්සමෙන් මාව අල්ලගෙන නගින්න.”

කෙතරම් අකමැති වුවද ඇයට ඔහුගේ උරහිසට බර දී ආධාරය ලබා ගැනීමෙන් තොරව එයට ගොඩවන්නට හැකියාවක් තිබුණේ නැත. දෙවරක්ම පය ලිස්සා යාමෙන් පසු ඇය අවසානයේ ඔහු කියා දුන් අන්දමට යතුරු පැදියට ගොඩ වූවාය. “හයියෙන් අල්ලගන්න.” යතුරුපැදිය ගමන් ඇරඹුණි. තරමක් වේලා යනතුරු ඇගේ පූර්ණ අවධානය යොමු වූයේ සුළඟ කපාගෙන ඇදෙනා යතුරුපැදියෙන් නොවැටී ඉන්නේ කෙසේදැයි සිතමින් තැතිගැන්මෙන් වේගවත්ව තිබූ සිය හෘද ස්පන්ධනය යථා තත්ත්වයට පත් කරගන්නටය.

“නංගි, මෙතනින් කොහෙටද?”

“වමට…” ඈ අඩ සිහියෙන් මෙන් පිළිතුරු දුන්නාය. යතුරු පැදිය මඳක් නැවී වංගුව ගනිද්දී එතෙක් දෑතින්ම අල්ලාගෙන සිටි යතුරුපැදියේ පසුපස රාමුව අත හැරී ඈ තවමත් නමවත් නොදන්නා අරුම පුදුම අමුත්තාගේ ගෙල දෙපසින් අල්ලාගත්තාය.

“මගෙ බෙල්ල මිරිකනවා එහෙම නෙවෙයි ඔන්න, හරිද?” ඔහුගේ මුවින් ඇසුණේ හාස්‍යය මුසු හඬකි.

ඇයට දැනුණේ මහත් ලැජ්ජාවකි. ඇය විගසින් යළිත් දෑත් පසුපසට ගෙන පිටුපස රාමුවෙන් අල්ලාගත්තාය.

“මේ, ඔය හැටි පිටිපස්සට වෙලා ඉන්නකොට මේක බැලන්ස් නැතුව යනවා. පොඩ්ඩක් ඉස්සරහට වෙලා ඉන්ඩ!” 

ඇය සෙළවුණේවත් නැත. තමා අඟලක් හෝ සෙළවුණහොත් ඔවුන් දෙදෙනාත් සමගින් යතුරු පැදිය පෙරළී යනු ඇතැයි ඇයට සිතුණි. එවැන්නක් සිදු වුවහොත් – හිස් ආවරණයක් පැළඳ සිටින්නේ ඈ පමණි – ඇගේ මේ කාරුණික ගැලවුම්කරු… වැහි අඳුර මැදින් ආ දේව දූතයා… තුවාළ ලබනු ඇත. එවැන්නක් වුවහොත් ඇයට-

“මේ මැඩම්, ගෙදර යන්ඩ ඕනෙනං මට පාර කියන්ඩ. හරියට මගෙ ගෙදර එක්කං යනවා වගේනේ මෙයා සද්ද නැතුව ඉන්නේ…”

ඇය යළිත් ලැජ්ජාවෙන් රතුව ගියාය. “දකුණට හැරෙන්න ඕනෙ…” එතැනින් ඔබ්බට ඈ මංසන්ධියකට ළඟා වන්නට කළින්ම හැරවිය යුතු දිශාව පවසා සිටියාය. වර්ෂාවද නැවත මඳක් වැඩි වන්නට වූයෙන් ඔහුද ගමනේ වේගය මඳක් වැඩි කර නිහඬවම යතුරු පැදිය පැදවූවේය. 

අවසන ඇගේ නිවස පෙනෙන මානයේ දෙවැට අද්දර නතර වූ යතුරු පැදියෙන් බසිද්දී ඇගේ සිත පිරී ගොස් තිබුණේ මහත් වූ ගෞරවය මුසු කෘතුගුණ පූර්වක හැඟීමකිනි. ඇය හිස් වැස්මද, කබායද ගලවා ඔහු අතට දුන්නේය. එවිගසින් ඒවා පැළඳගත් ඔහුගේ මුහුණේ වූ සිනහව, එතෙක් කිසිදා ඈ අත් විඳ නොතිබූ ලැජ්ජාව පරයා ගිය කෝල බවක් සිතේ ඇති කරලීය. “මං ඔය මගදි කියපුවා ඒ හැටි ගණං ගන්න එපා. ඔයාගෙ බය අඩු කරන්නයි ඒවා කිව්වේ…” ඔහු මඳ සිනහවෙන් යුතුවම කීවේය. ඔහුට කෙසේ ස්තූති කරන්නදැයි සිතාගත නොහැකි වූ ඇගේ මුවින් පිට වූයේ “ස්තූතියි අයියෙ,” යන වදන් දෙපළ පමණි. ඔහුට නිවසට ඇරයුම් කොට මව්පියන්ට හඳුන්වා දී උණුසුම් තේ කෝප්පයකින් හෝ සංග්‍රහ කිරීමට ඇයට උවමනා වුවද ඈ ඒ සඳහා සිත තුළ වදන් ගලපන අතරේ “ආ ඒක මොකද්ද නංගි, මම ගිහිල්ල එන්නම්,” ලෙසින් පවසා ඒ වනවිටද පණ ගැන්වීම තිබුණු යතුරු පැදිය හරවාගෙන නික්ම ගියේය.

ඒ එදා රාත්‍රියයි. මේ වන විට එය සිදු වී පුරා සතියක් ගෙවී ගොස් ඇත. උණෙන් පෙළුණු දින ගණනාව පුරාද සිතින් බැහැරව නොගිය එම කාරුණික ආදරණීය සිනහවේ හිමිකරු මෙතෙක් දිනක් ඈ වෙනුවෙන් මග බලා හිඳ ඇති බව ඇගේ සිත වේදනාවෙන් පිරවීය. පව්… නමවත් අහගන්න බැරි වුණා එදා… කොහෙ ඉන්නවද දන්නෙත් නෑ… අදත් එයිද? එදත් මේ සියල්ල සිදු වූයේ සෙනසුරාදා හවස පංති ගොස් එන විටය. අදත් පන්ති ගොස් එන විට ඔහු මුණ ගැසෙනු ඇත්ද? ඈ දන්නේ නැත…

වේදනාවෙන් බර වූ සිතින්ම ඈ සෙනසුරාදා උදෑසනින්ම පිටව ගියේ පෙර දින අතපසු වූ සිය මිතුරියගෙන් සටහන් පොත් ඉල්ලා ගැනීමේ කටයුත්ත ඉටු කරගැනීම පිණිසය. නමුත් මිතුරිය නිවසේ සිටියේ නැත. ඇය පුස්තකාලයට ගොසිනි. පාසලේ උසස් පෙළ පංතියේ එකම විෂය ධාරාවේ ඉගෙනුම ලැබූ මිතුරිය පුස්තකාලයට ගොස් තිබුණේ පාඩම් පොත්ද රැගෙන බව ඇගේ මව පැවසීය. ඇයද යළි නිවසට ගොස්, නිවසේ තිබූ පුස්තකාල පොත් දෙකද, ඇගේ සටහන් පොත්ද රැගෙන මවගෙන් අවසර ගෙන නගරයේ වූ පුස්තකාලය බලා පිට වූවාය.

ඇයට මිතුරිය හමු විය. නගරයේ පාසලක සිසුවෙකු වූ මිතුරියගේ පෙම්වතාද හමු විය. අඩ හෝරාවක පමණ කාලයක් සටහන් පිටපත් කරගැනීමේ යෙදුණු ඇය මඳ විවේකයක් ගැනීමට සිතා රැගෙන ආ පුස්තකාල පොත් දෙකද රැගෙන කවුන්ටරය වෙත ගියාය. එහිදී ඈ වෙත තොරතුරු සටහන් කර දීමට ආකෘති පත්‍රයක් ලබා දෙන ලදි. “අලුත් සර් තමයි ඔය ෆොර්ම් එක කට්ටියට දීලා පුරවගන්න කිව්වේ…” පොත් බාර දෙන කවුන්ටරයේ සිටි තැනැත්තිය වැඩි දුරටත් කියා සිටියාය.

එය පිරවීමේ කටයුත්ත පසෙක තබා ඇය පොත් තෝරාගන්නට පොත් රාක්ක අතරට ඇවිද ගියාය. නොදැනීම ඈ පොත් අතර අතරමං විය. සිතාගෙන ආවේ මෙවර විෂයානුබද්ධ පොත් දෙකක් ආපසු රැගෙන යන්නට වුවත් ඇගේ සිත අතරමංව තිබුණේ නවකතා හා පරිවර්තන අතර ය. ඇය රාක්කයක් අසළ හිටගෙනම අලුතෙන් පැමිණ තිබූ පොතක පිටු දෙක තුනක් කියවන්නට වූවාය. එය කියවනා අතරේම රාක්කයේ වූ තවත් සිත් ගන්නාසුළු කවරයක් දැක ඇය එයද අරගන්නට සූදානම් වූවාය. පොත් ගොන්නක් අතර සිර වී තිබූ එය පිටතට ඇද ගත යුතු වූයේ සීරුවෙනි. නමුත් ඒ මොහොතේදී ඇගේ අවධානය බිඳෙන යමක් සිදු විය. ඇයට පිටුපසින් වූ රාක්කයට ඔබ්බෙන් ඇසුණු ඒ කටහඬ ඇගේ කන අසළින්ම නැගුණු ලෙසින් ඇයට ඇසුණි. “මේ අලුත් පොත් ටික ඔක්කොම ලේබල් කළා නේද? කැටලොග් එකට හරි පිළිවෙලට ඔක්කොම ඇතුල් වෙන්න ඕනේ…” ඈ නොදැනුවත්වම රාක්කයේ වූ පොත තවත් පොත් ගොන්නක්ද පෙරලාගෙන එළියට ඇදී ආවේය. මොහොතකින් පෙරදී ඇසුණු හඬේ අයිතිකරුද, පුස්තකාලයේ පැරණි ලිපිකාරිනියක්ද රාක්කය පිටුපසින් මතු වූහ. “මේ ළමයින්ට සීරුවට පොතක්වත් තෝරගන්න බැරි හැටි!” ලිපිකාරිනියගේ බැණ වැදුම ඇරඹෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. 

නමුත් ඇයට ඒ හඬ ඇසුණේ යන්තමිනි. ඇය ගල්ගැසී බලා සිටියේ ලිපිකාරිනියට පිටුපසින් සිටගෙන සිටි ඇගේ දේවදූතයා දෙසය. ඔහුගේ මුහුණේ පිරී ඉතිරෙන්නට නළියන, ඔහු අපහසුවෙන් වළක්වාගෙන සිටි සිනහව දෙසය.

*****



%d bloggers like this: