Menu Close

ගඩොල් වාඩිකරුවන්ගේ කතා, ගඩොල් පිච්චීම සහ වලං පිච්චීම, පුස්තකාලෙ පන්සල, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ගිලන්පස පූජාව, සිල්වාගේ වැඩ සහ හාමුදුරුවන්ට දෙසු කාමසුත්‍රය.

අපේ ගම කාලාන්තරයක සිටම දක්ෂ ගඩොල් බාස්ලා සිටින ගමක් හැටියට නම්දරා ඇති ගමකි.  ගඩොල් කොන්ත්‍රාත් කරුවන් හෙවත් මුදලාලිලා යම්කිසි ඉදිකිරීම් වැඩබිමකට ගඩොල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගත් විට මේ ගඩොල් බාස්ලාට පණිවිඩයක් යවා ගෙන්වා ගෙන අවශ්‍ය ගඩොල් කප්පවා ගැනීමට කටයුතු යොදාගනිති.  සේන ගියේත් මෙන්න මේ වගේ ගඩොල් කොන්ත්‍රාත්තුවක වැඩ කරන්නටය.  පස්සෙ දවසක සේන මට කීවේ ඒ දවස්වල පටන්ගෙන තිබුණු දඹුල්ල උසාවියේ ඉදිකිරීම් සඳහා තමන් කැපු ගඩොල් යොදාගත් බවය.
ගඩොල් වාඩියක ජීවිතය දුෂ්කරය, කර්කශය.  ගඩොල් වාඩිකරුවන්ට නවාතැනක් ද ගඩොල් කපන්නට අවශ්‍ය මැටි, දහයියා ආදියද වෙනත් ආම්පන්න ද කොන්ත්‍රාත් කරුවා විසින් සපයනු ලැබේ.  නවාතැන බොහෝවිට අත්හැර දැමු ගෙයක් හෝ පොල්ලතු මඩුවක් වේ.  වාඩිකරුවන් මෙහි පදිංචි වී වැඩ පටන්ගනිති.  උදේම අවදිවන වාඩිකරුවන් දවාලටත් එක්ක කෑම උයාගනිති.  ඔවුන්ගේ අහාරය නිතරම පාහේ කැකුළු බතක්, කරෝල කටු හොද්දක් සමග පොල් සම්බෝලයකින් සමන්විතය.  මේ දළ ආහාරය උදේ කෑමට ගෙන ඔවුන් ගඩොල් පොළට ගොස් වැඩ ආරම්භ කරති.
ගඩොල් කැපීමේදී එක්වරම මැටි අනා ගඩොල් කපාගන්නා සිරිතක් නැත.  අද ගඩොල් කපන්නේ ඊයේ සවස හොඳින් පාගා පදම් වන්නට තබාගත් මැටි වලිනි.  දවස අවසානයේ ද පසුවදාට අවශ්‍ය මැටි ප්‍රමාණය පාගා පදම් වන්නට තැබීම ඔවුන්ගේ සිරිතයි.  අද මෙන් අති විශාල ගඩොල් කැට නොකපන ඒ කාලයේ ඔවුන් කැපුවේ ඉංජිනේරු ගල් කියා කතාවට කියැවුණු කුඩා ප්‍රමාණයේ ගඩොල්ය.  එමෙන්ම ඒ ගඩොල් කැපුවේද වරකට එක බැගින්ය.  දැන්නම් එකවර ගඩොල් හතරක් කපන ගඩොල් අච්චු තිබුණත් එදා බාස්ලා තනි අච්චුවෙන් ගඩොල් කපා ගත්හ.
ගඩොල් පොළේ පදම් කළ මැටි ගොඩ ළඟ වාඩිගන්නා ගඩොල් බාස් අච්චුව වතුරේ පොඟවා මැටි දමා අතින් සකසා ගඩොල ඉදිකරන විට ඔහු ළඟ ඉන්නා සහායකයා එම ගඩොල තමන් අතේ ඇති ලෑලි කැබැල්ලකට ලබාගනී.  දහයියා ඇතිරූ එම ලෑලි කැබැල්ලේ තබන ගඩොලට උඩින්ද දහයියා ඉස පැත්තකට ගෙනගොස් වියලෙන්නට තබයි.  දහයියා ඉසින්නේ ගඩොල් පැලීම සහ එකිනෙක ඇලීම වළක්වා ගන්නටය.  පෝරණුවේ දී මේ දහයියා පිළිස්සී යයි.  එක ගඩොලකට පසු අනෙක කපන්නට බාස් ගතකරන්නේ විනාඩියකටත් අඩු කාලයකි.  ගඩොල කපා අවසන් වන විට සහායකයා එතැන පෙනී නොසිටියේ නම් ඌට ලැබෙන්නේ කුණු බැණුම් ය.
වාඩිකරුවන් තරමක් හොඳ ආහාරයක් සකසා ගන්නේ රාත්‍රී කෑමටය.  අත හැර දමා ඇති හේන්වල කැලේට වැවී ඇති අමුමිරිස්, කැකිරි, පුහුල්,කරවිල ආදිය ඔවුනට සොයාගන්නට ලැබේ.  අතේ මිටේ ඇති නම් ගමේ නිෂ්පාදනයක් වන හොර අරක්කු බෝතලයක් ද රෑ කෑමට පෙර හිස්කරති.  මුදලාලිගෙන් ගඩොල් බාස්ට සුමාන කාසි ලැබෙන්නේ සතියට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික මිළදී ගන්නටය.  ඔය තොරතුරු සොයාගන්නට මම අපේ ගමේ පරණ ගඩොල් බාස්ලා දෙතුන් දෙනෙකුට කතා කළෙමි.  එක බාස් කෙනෙක් මගෙත් එක්ක කීවේ කිරිවෙහෙර හදද්දී ඒ ඉදිකිරීමටද තමන් ගඩොල් කැපු බවය.  ” මොනවද ඉතින්, ඒ කාලේ අපට හම්බුනේ ගඩොල් දාහකට රුපියල් පහළොවයි.  බඩු ගණන් අඩු නිසා ඒක ජීවත්වෙන්න ඇති.” ඔහු වැඩිදුරටත් කීවේය.
අවශ්‍ය ගඩොල් ප්‍රමාණය දහදාහ හෝ පහළොස් දාහ කපා අවසන් කර වියලා ගත් පසු ගඩොල් පෝරණුව පිළිස්සීමට කාලය එළඹේ.  ගඩොල් පෝරණුව පොල්ලතු වැසූ උස මඩුවකි.  පිළිස්සීම සඳහා දර දමන්නට උදුන් කටවල් තබා ගඩොල් පෝරණුව පිළිවෙළට සකස් කරන්නේ පළපුරුදු ගඩොල් බාස්ලා විසිනි.  පිටත ගඩොල් අතර ඇති කුඩා ඉඩවරය හෙවත් කුස්තූරු මැටි අනා හොඳින් ගා වසා දැමු පසු ගඩොල් පෝරණුව පුළුස්සන්නට සුදානම්ය.  ගඩොල් පුළුස්සන්නේ ද වලං පෝරණුවක් පුළුස්සන ආකාරයටමය.  වෙනස ඇත්තේ වලං පෝරණුව පුළුස්සද්දී ඒ සඳහා පොල්ලෙලි පමණක් යොදාගන්නා අතර ගඩොල් පිළිස්සීම සඳහා දර පාවිච්චි කිරීමය.
වළඳක් ඉදිකර නිමාකර ගැනීමද කර්මාන්තයකට වඩා කලාවක් බව එය බලාසිටීමේදී පෙනීයයි.  කාන්තාවන් වලඳක මුලික හැඩය සකපෝරුවේ සකස් කරගෙන අතින් තලා හැඩ වැඩ දමා වළඳ නිමාකර ගන්නා ආකාරය බලන්නට ලස්සනය.  මුට්ටි, ඇතිලි, කොරහ, මැටිකෝප්ප, වසන මූඩි ආදී සියල්ල නිමැවෙන්නේ කාන්තාවන්ගේ දෑතිනි.  වෙසක් සමය එළැඹෙන්නට පෙර මේ කාන්තාවන් යුහුසුළු වන්නේ මැටි පහන් තැටි සාදා ගැනීමටය.  පදම් කරන ලද මැටි ගොඩක් සකපෝරුව මත තබා කරකවමින් එකක් පසුවට එක බැගින් වතුර යහමින් පාවිච්චි කරමින් පහන් තැටිල්ලේ හැඩය මතුකර ගන්නා ආකාරය බලා සිටීමට ලස්සනය.  හැඩය මතුකර ඇඟිල්ලෙන් පැත්තක් ඇද කර කෙන්දකින් යටින් කපා පහන් තැටිල්ල ඉවතට ගනිති.  වෙසක් එළැඹෙන්නට පෙර හැමතැනම පෝරණු වල පිළිස්සෙන්නේ පහන් තැටිලි ය.
මේ මෑතකදී අපේ ගෙදර  විශාල මැටි කොරහක් එළියට අරගෙන තිබෙනු මම දුටුවෙමි.  අද මෙන් ආගිය අතේ ප්ලාස්ටික් බේසම් නැති ඒ කාලයේ කුඩා දරුවන් නාවන ලද්දේ මැටි කොරොස් වලය.  කුඩා කාලයේ අපේ අම්මා මාවද නාවන්නට ඇත්තේ ඒ කොරහේ වෙන්නට ඇති බව මට සිතුණේ කොරහ එච්චරටම පැරණි නිසාය.  කොපමණ පරණ වුවත් ඒ කොරහ මේ වන විටත් ඉතා හොඳ තත්ත්වයෙන් ඇත.
වලං පුළුස්සන්නට සුදානම් වන විටද ගඩොල් පිළිස්සීමේදී මෙන්ම ගින්දර දමන්නට කටවල් තබා වලං අඩුක් කර මුළු පෝරණුවම වැසෙන්නට මැටි ආලේප කරගනී.  හරියටම අති විශාල පාත්තරයක් මුනින් අතට නැමුවා මෙන් මැටි ආලේප කර අවසන්වූ වලං පෝරණුව දිස්වේ.  විශේෂයක් වන්නේ එසේ මැටි ආලේප කිරීමේදී මැටිවලට පිදුරුද මිශ්‍ර කර ගැනීමය.  පෝරණුව උඩ වලං නමා ඒ උඩින් පිදුරු තට්ටුවක් අතුරා මැටි ගා ගනිති.  පිදුරු මිශ්‍ර කිරීමෙන් වියලීමේදී ඇතිවන පැලුම් සිදුවීම වැළකේ.  ඉන්පසුව ඇත්තේ ගිණි දැමීමයි.  මා මුලින් සඳහන් කළාක් මෙන් මේ සඳහා තනිකරම පාවිච්චි කරන්නේ පොල්ලෙලිය.  ගිණි දැමීමෙහි දීද ඒ සඳහා ක්‍රමයක් ඇත.  පෝරණුවට එක්වරම ගින්දර දමන්නේ නැත.  මුලින්ම කරන්නේ අමු පොල්ලෙලි ගිනිතබා ගිණි පිටවීමට නොදී පෝරණුව දුම් ගැස්සවීමයි.  එක්වරම ගිණි තිබ්බොත් ගිණි සැරට වලං සියල්ල පැලී විනාශවී යයි.  මුලින් දුම් ගස්සන්නේ පැලීම වළක්වා ගැනීමටය.  මෙයට වලං තැම්බීම යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ.  පැය ගණනක් මෙසේ දුම්ගසා තම්බාගත් වලං වලට දුම්ගැසුණු පදම හරිගිය බව දැනුණු පසු ක්‍රමයෙන් වේලුනු පොල්ලෙලි දමා ගින්දර රශ්මිය වැඩිකරයි.  පදම හරිගිය බව පළපුරුදු වලං විශේෂඥයින් දැන ගන්නේ පෝරණුවෙන් හමන සුවඳිනි.  රාත්‍රියේ පටන්ගන්නා මේ පිළිස්සිල්ල මහ පාන්දර වනතුරු එක දිගට ඇදීයයි.  පෝරණුවේ වලං සියල්ල හොඳින් පිළිස්සී ඇති බව සැක හැර දැනගත් පසු ගින්දර දමන කටවල් වසා පෝරණුව නිවෙන්නට හරී.
ගඩොල් පිළිස්සීමද මේ ආකාරයටම සිදුවේ.  දුම්ගසා ගඩොල් තම්බා ගත් පසු දරදමා ගින්දර වැඩිකරමින් ගඩොල් හොඳින් රත් පැහැයට හැරී පිළිස්සෙන තුරු දවසක්ම පුළුස්සා ගනිති.  ගඩොල් පෝරණු වලට දමන්නේ පොල්ලෙලි නොව දර කොටය.  බොහෝ විට මේ සඳහා පොල් ගස් කැපු විට පරාල පැලීම සඳහා මුල් කුට්ටි ගෙන ඉතිරිවෙන අග කොටස යොදාගනී.  මේවා ව්‍යවහාරයේ පෝරන් කොට යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය.  මෙසේ ගඩොල් කොන්ත්‍රාත් කරුවාට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය නිෂ්පාදනය කර දීමෙන් පසු බාස්ලා මුදලාලි හමුවී ගණන් හිලව් බේරාගෙන සිය ගම් බිම් බලා පිටත්වෙති. 
මේ විදියට සේන ගඩොල් වාඩියට ගොස් මාසයක් පමණ ගතවිය.  අපි කට්ටිය සුපුරුදු විදියට ඩැනිස් ගේ කාමරයේ රැස්වී ගුරාත් සමග පිස්සු නටමින් කාලය ගතකළෙමු.  චිත්‍රපටි, සංගීත සංදර්ශන,නාට්‍ය, ටීටර්, සල්පිල්, කටින පිංකම් ආදී අහල පහළ ඇති සියලුම උත්සව වලට අතේ සල්ලි නැතත් අපේ සහභාගිත්වය අනිවාර්ය වූ එකක් විය.  අපේ ගමට අල්ලපු ගමේ තිබුණු පුස්තකාලෙ පන්සලේ පිංකමක් පටන් ගත්තේ මේ කාලයේදීය.  පුස්තකාලෙ පන්සල පටන්ගෙන ඒ වනවිට වැඩිකලක් ගතවී තිබුණේ නැත.  පුස්තකාලෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ විපුලසිරි හාමුදුරුවෝ කලින් වැඩ වාසය කළේ ටවුමේ පන්සලේය.  ටවුමෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ මණ්ඩාවල හාමුදුරුවන් එක්ක ආරෝවක් ඇතිකරගත් විපුලසිරි හාමුදුරුවෝ පන්සලෙන් එළියට වැඩමකර වදාළෝය.  උන්වහන්සේට ඉන්නට ඉඩක් දුන්නේ එවකට රටේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි.
ඒ වනවිට ඉඩම් නැති අයට නොමිලේ බෙදාදෙමින් තිබුණු ඉඩමක මහපාර අයිනේ අක්කර කාලක් මැතිණිය හාමුදුරුවන්ට දුන්න නිසා හාමුදුරුවෝ ඒ ඉඩමේ පන්සලක් හදාගෙන පදිංචි වූහ.  පන්සලක් කිව්වාට එය යන්තම් ගඩොලින් බැඳගත් කාමර දෙකකින් යුත් තැනකි.  වැඩ වාසය කරන්නට තැනක්  ඇත්නම් ඉතිරි හරිය කරගන්නට දන්නා වීරියවන්තයකු වූ විපුලසිරි හාමුදුරුවෝ නිකම් බලා නොසිට තමන් දන්නා හඳුනන අහල පහළ අය අල්ලාගෙන මොන මොනවා හෝ පිංකම් ආදිය කරමින් මුදල් එකතුකර පන්සල වැඩි දියුණු කරන්නට උත්සාහවන්ත වුහ.  අවුරුදු දෙක තුනක් ගතවෙන විට පන්සලට තට්ටු දෙකකින් සමන්විත බුදු මැදුරක්, සංඝාවාසයක් හා බණ මඩුවක්ද එකතු කරගන්නට හාමුදුරුවන් සමත් විය.  බුදු මැදුර මුල් කර ගනිමින් නිතරම පාහේ පිංකම් පැවැත්වූ අතර බණ මඩුව පංති පවත්වන්නට ප්‍රයිවෙට් ටියුෂන් කාරයන්ට කුලියට ලබාදෙන ලදී.  සංඝාවාසයේ කොටසක පන්සලට එන ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලයක් ආරම්භ කරන ලදී.  ලස්සන නමක් තිබුණත් අද පවා ඒ පන්සල පුස්තකාලෙ පන්සල කියා හඳුන්වන්නේ ඔය පුස්තකාලය නිසාය.  ඒ වන විට විපුලසිරි හාමුදුරුවෝ කුඩා දරුවන් දෙන්නෙක්ද ගෝලයන් වශයෙන් පන්සලේ මහණ කරගන්නට සමත් වුහ.
මේ හාමුදුරුවන් දෙදෙනාටම එනම් විපුලසිරි හාමුදුරුවන්ට සහ මණ්ඩාවල හාමුදුරුවන්ට තිබුණු මහා පොදු සාධකය වශයෙන් දැක්විය හැක්කේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග තිබූ ඉතා කිට්ටු හිතවත්කමයි.  කොටින්ම මේ දෙදෙනා අත්තනගල්ල ආසනයේ බණ්ඩාරනායක මැතිණියගේ අග සව් දෙනම මෙන් කටයුතු කළහ.  ඒ නිසාම මේ පන්සල් දෙකේ තිබුණු කුඩා පිංකමකට වුවද අගමැතිනියගේ සහභාගිත්වය නොවරදවා දැකිය හැකි විය.  එක පන්සලක පිංකමකට සහභාගිවී අනික් පන්සලේ පින්කමට වැරදිලාවත් යන්නට බැරිවුණොත් එහෙම අගමැතිකම පැත්තක තබා කුණු බැණුම් අහන්නට වෙන බැවින් අගමැතිනිය වරද්දන්නේ නැතුවම පන්සල් දෙකේම පිංකම් වලට නොවරදවා සහභාගී වුවාය.
අගමැතිතුමිය දවසක් පුස්තකාලෙ පන්සලේ කටින පිංකමට ආපු වෙලාවේ වෙච්ච සිද්දියක් මගෙත් එක්ක කොල්ලෙක් කීවේය.  එහා ගමේ කොල්ලෙක් වූ ඔහු අපේ ගමෙන් කසාද බැඳගෙන පදිංචිවී සිටියි.  ඌ නාන්නට එන්නේ අපේ ලිඳටය.  කතාව කිව්වේ මමත් නාන්න ගිහින් හිටපු වේලාවේය.
‘ ඊයෙ අපේ පන්සලේ කටින පිංකම නෙ, මමත් ගිහිං හිටියෙ, මැතිනිත් ඇවිල්ල හිටිය.  පිංකම වෙලාවෙ බණ මඩුවෙ මැතිනිට වාඩිවෙන්න මෙට්ට දාල ලෑස්ති කරලා තිබුණේ.  වැඩේ කියන්නෙ මැතිනිට බිම වාඩිවෙලා ඉඳල නැගිටගන්න බෑ, වයසයිනෙ දණිස් අමාරුවක්.  විපුලසිරි හාමුදුරුවො මේක දැකල මට කතාකරල කිව්වා ගිහිං මැතිනිව නැගිට්ටවන්න කියල.  කිව්වහම නොගිහිං බෑනෙ, මම මැතිනි ඉඳගෙන ඉන්න තැනට ගියාට මොකද මැතිනිගෙ ඇඟට අත තියන්න බයයි, ඇයි අප්පා රටේ අගමැතිනි නොවැ, අපි මොක්කුද? මාව වෙව්ලනවා.  මැතිනි මේක දැක්කා, ‘මොනවද ළමයො බලාගෙන ඉන්නෙ, අල්ලන්න මට නැගිටින්න’. මැතිනි  හිනාවෙලා එහෙම කිව්වම මගෙ හිතෙත් තිබුණු බය නැතිවෙලා ගියා.  කිහිළි දෙක අස්සෙන් අත දාල එක පාරටම මැතිනිව නැගිට්ටෙව්වා, මටත් වෙන වැඩ’.  ඌ කීවේ සිනාසෙමිනි.
එදා සැරේ පුස්තකාලෙ පන්සලේ තිබුණු පිංකම වුණේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයකි.  පිංකම සතියක් පුරා පැවැත්වීමට නියමිත විය.  ධාතු ප්‍රදර්ශනයක් යනු ලංකාවේ කොහෙ පන්සලක තිබ්බත් මුදල් ගලා එන උල්පතකි.  පිංකම් සංවිධානය කිරීමේ ලා විශේෂඥ දැනුමක් ඇති විපුලසිරි හාමුදුරුවෝ මේ පිංකමද කිසිම අඩුපාඩුවක් නොමැතිව කරන්නට වග බලාගත්හ.  පිංකමේ පළවෙනි දවසේ විවෘත කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙනි.  අපි කට්ටියත් පිංකම පැවැත්වුණු හැම දවසකම නොවරදවාම පන්සලට ගියේ ධාතු කොහොම වෙතත් ධාතු බලන්නට එන කෙල්ලන් බලන්නටය.  ධාතු ප්‍රදර්ශනය කෙරුණේ බුදු මැදුරේ උඩ තට්ටුවේය.  පඩිපෙළ දිගේ උඩට යන බැතිමතුන්ට ධාතු වන්දනා කර පහළට එන්නට අනිත් පැත්තෙන් තාවකාලික තරප්පු පෙළක් ඉදිකර තිබුණේ එකම පඩිපෙළින් සැදැහැවතුන් උඩට පහළට යන්නට ගියවිට සිදුවන අවහිරය  මග අරින්නටය. 
පිංකම පැවැත්වුණු දෙවෙනි හෝ තුන්වෙනි දින රාත්‍රියේ අපි කණ්ඩායම සියලුම දෙනාගේ සාක්කු පීරා සොයාගත් මුදලින් මිළට ගත් සිගරැට් දෙකක් සාමූහිකව උරමින්  පන්සල ඉදිරිපිට තණබිස්සේ වාඩිවී සිටියෙමු.  සිගරැට් දෙකට වියදම් කළ මුදල වන සත හතළිහ හෝ පනහ සොයන්නට සියල්ලන්ගේම ආධාර වුවමනා වීම නිසාම එවකට අප කණ්ඩායම සතුව තිබූ ආර්ථික ශක්තිය ගැන යම් අදහසක් ඔබට ලබාගන්නට හැක.  ඉතින් එදා රාත්‍රියේ අවංකවම කිවහොත් අපි හිටියේ දැඩි කුසගින්නෙනි.  කඩේකින් කන්නට තබා බොන්නට අලියා බීම බෝතලයක් වත් මිළදී ගැනීම සිහිනයක් පමණක්ම වූ ඒ රැයේ අපි කතාකළේ කුමක් හෝ බඩට දා ගන්නේ කෙසේද කියාය.  පන්සලේ රාත්‍රියට දානය නැත.  තිබුණ එකම විසඳුම වුණේ ගිලන්පස ටිකක් වැළඳීමයි. 
නිකංම බුදුගෙයි ගිලන්පසට තබන නිවිච්ච තේ මෙලෝ රහක් නැත.  නමුත් ධාතුන් වහන්සේලාට පුදන අෂ්ඨපාන පූජාව  නම් පාන වර්ග කීපයකින් විසිතුරු විය.  ලොකු වීදුරු පුරවා අලියා බීමද, තේ, කිරිතේ, කෝපි, දොඩම් යුෂ, පළතුරු යුෂ ආදී පානයන්ගෙන් සමන්විත වූ අෂ්ඨපාන බන්දේසිය සුදු රෙදි කඩකින් වසාගෙන උඩට ගෙනගොස් පුජාකළ බැතිමතියන් ආපසු එනතුරු අපි බලාගෙන සිටියෙමු.  ඒ කාලයේ තිබුණු ආනයන සීමාවන් නිසා ඇපල් සහ මිදි ලංකාවේ දකින්නටවත් නොතිබුණු නිසා නොවන්නට ඇපල් යුෂ සහ මිදි යුෂද එදා ඔය බන්දේසියට එකතුවන බව මට නොඅනුමානව කිව හැකිය.  සෙනග අඩුවූ වෙලාව අල්ලා අපිත් උඩට නැග්ගෙමු.  අපට තිබූ එක වාසියක් වුණේ උඩ ධාතූන් වහන්සේලාට එළිය දෙන්නට සවිකර තිබූ අති විශාල වෝල්ටීයතාවකින් යුතු ලොකු විදුලි බල්බය රත්වූ විට ස්වයංක්‍රීයව විනාඩියක් දෙකක් නිවී තිබී නැවතත් පත්තු වීමය.  අපි කතාකරගෙන තිබුණේ උඩ අඳුරුවූ සැණින් අතට අසුවන වීදුරුව අරගෙන ගිල දමා එළිය පත්තු වෙන්නට පෙර අනෙක් පැත්තෙන් බිමට බසින්නටය.  අපි ටික උඩ අඳුරු වෙනතුරු එකෙල මෙකෙල වෙමින් සිට අඳුරුවූ සැණින් අෂ්ඨපාන බන්දේසිය සිං සිං ගා හිස්කර බිමට බැස ගතිමු.  කවුරුවත් මාට්ටු වුණේවත් කලබලයක් ඇතිවුණේවත් නැතිවුණත් පොඩි අවුලකට තිබුණේ අනික් උන් රසවත් පානයන් බොද්දී මට අසුවී තිබුණේ වතුර වීදුරුව වීමය.
අද වන විට පුස්තකාලෙ පන්සල ලොකු ගොඩනැගිලි කීපයකින්ද චෛත්‍යයකින්, බෝධියකින් හා එය වටකළ රන්වැටකින් ද, ඉදිරිපස මකර තොරණකින් හා වටේටම ලයිට් සවිකළ ගාම්භීර තාප්පයකින්ද සැදුම්ලත් ලොකුම ලොකු විහාරයකි.  විපුලසිරි හාමුදුරුවන් අපවත්වී අඩු තරමින් දැනට අවුරුදු විස්සක් විසිපහක්  වත් ගතවී ඇති අතර ධාතු ප්‍රදර්ශනයන් නම් දැනටත් පැවැත්වේ.  මීට මාස කීපයකට පෙර තිබුණු සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ චොපර් එකකිනි.   අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන ලද චොපරයෙන් ගෙන ආ ධාතු මනාව සැරසු රන්සිවි ගෙයක තබා පන්සලට ගෙනෙද්දී චොපර් එක උඩ කැරකෙමින් මල් ඉස්සේය.  විශාල සද්දයක් සහිතව ධාතු ප්‍රදර්ශනය හාමුදුරුවන් විසින් ආරම්භ කළත් පොඩි පරහකට තිබුණේ බලාපොරොත්තු වූ තරම් ජනකායක් ධාතු වඳින්නට නොපැමිණීමය.  මම ධාතු වඳින්නට නොගියත් ඒ දවස්වල එතැනින් යද්දී එද්දී ධාතු වඳින පෝලිමේ විස්සකට තිහකට වැඩි පිරිසක් සිටිනවා මම එක දවසකවත් නොදුටුවෙමි.  මම හිතන විදියට මෙදා සැරේ ධාතු ප්‍රදර්ශනයෙන් නම් හාමුදුරුවන්ට අතින් පාඩුය. 
ආපහු අතීතයට ගියොත් ඔය නොදන්නාකමට කොල්ලො කාලෙ කළ පන්සල් පාළු කිරීම් ආදී වහුටු වැඩ අතහැර දමා රස්සාවක් කරමින් පිළිවෙලක් වී ජීවිතය ගත කරමින් ඉන්නා කාලයේත් මම පුස්තකාලෙ පන්සල ඇසුරු කළෙමි.  විපුලසිරි හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු පන්සලේ භාරකාරීත්වය පිටින් ගෙනාපු හාමුදුරු නමකට පැවරුණේ විපුලසිරි හාමුදුරුවන් පැවිදි කරගත් ගෝලයින් දෙන්නාම හොඳට ඉගෙනගෙන රස්සාවල් සොයාගෙන සිවුරු හැර ගිය බැවිනි.  අලුත් නායක හාමුදුරුවෝ කළුය, කොටය, සිවුර හැරෙන්නට දුටු පමණින් හාමුදුරු ගතියක් නොපෙනේ, නම කියන්නටද බැරිය.  දවසක්දා ඒ හාමුදුරුවෝ අපේ ගමේ මලගෙදරකදී කළාවූ අනුශාසනාවක් ඇසු පමණින් මම හාමුදුරුවන් කෙරෙහි පැහැදුනු සිත් ඇත්තෙක් වීමි.  එය එතරම්ම ඖචිත්‍යයෙන් යුක්තය, කර්ණ රසායනය,ශෝකී සිත් නිවී සැනසී යයි.  හාමුදුරුවන්ට කතාකළ මම එතැන් සිට ලැබෙන හැටියට පුස්තකාලෙ පන්සලට යන්නට එන්නට පටන් ගත්තේ හාමුදුරුවන් සමග කතා කරමින් සිත් පහදවා ගන්නටය. 
මීට අවුරුදු දහයකට පමණ කළින් මම රස්සාව කරන්නට පිට රටකට යද්දී යනවාය කියා කියන්නට හාමුදුරුවන් මුණ ගැහෙන්නට ගිය වෙලේ පිරිත් ටිකක් කියා මට සෙත් පැතු හාමුදුරුවෝ පිරිත් නූලක්ද මගේ අතේ ගැටගසා ගමනට ආශීර්වාද කළහ.  ඊට අවුරුදු හතර හමාරකට පමණ අපසු මම ආපහු ලංකාවට ඇවිත් බැලු කළ හාමුදුරුවෝ පන්සලේ සිටියේ නැත.  අහන්නට කෙනෙක්ද නැත, දන්නා කරන අයගෙන් ඇසුවිට කිව්වේ හාමුදුරුවන් පන්සල හැරගොස් ඇති බවය.  වෙච්ච දේ ගැන හරි විස්තරයක් කියන්නට කවුරුවත් ඉදිරිපත් වුණේත් නැත.  
සංජේ කාර්යාලයේ අපේ බ්‍රාන්ච් එකට යොදවා සිටි අලුත් රියැදුරාය.  ඔහුද අපේ ටවුමේ කොල්ලෙක් වගේම අති පණ්ඩිතයෙකි.  අපේ පැත්තේ වෙන හැම දෙයක්ම සංජේ දනී.  සංජේ ගේ පියාද කාලයක සිටම මගේ හිතවතෙකි.  ඔහුට ටවුමේ කොණ්ඩ කපන ලොකු සැලුන් එකක් ඇත.  හැලපි වරින් වර කොණ්ඩය කපාගන්නට යන්නේ මේ සැලුන් එකටය.  කොණ්ඩ කපන්නේ ගෝලයන්ය.  සැලුන් එකේ අයිතිකාරයාවූ සංජේ ගේ තාත්තා කොණ්ඩ කපන්නේ නැත.  ඒ ඔහුට සතියේ ආර්ථික විග්‍රහය, වර්තමාන දේශපාලන විශ්ලේෂණය වැනි බොහොම වැදගත් වැඩ කරන්නට ඇති නිසාය.  හැලපි ඇතුලේ කෙල්ලන් කොණ්ඩය කපන පැනට ගොස් කොණ්ඩය කපාගන්නා තුරු සංජේ ගේ තාත්තා මගෙත් එක්ක කතාවට වැටේ.  කතාවක් කිව්වාට ඇත්තටම වෙන්නේ ඔහු කියවන දේ මම අහගෙන ඉන්නා එකය.  සංජේත් තාත්තා වගේම එකෙකි.  ඌත් නොදන්නා දෙයක් හෝ නොදන්නා කෙනෙක් නැත.
වාහනයේ යන ගමන් මම සංජේත් එක්ක ගමේ රටේ වෙන දේවල් ගැන කතාකරන්නට පුරුදුවී සිටියේ අපේ පැත්තේ සිද්දවෙන දේවල්වල අගමුල ගැන විස්තර දැනගන්නට ඌට වඩා හොඳ කෙනෙක් නැති නිසාය.  දවසක්දා මම නිකමට වගේ පුස්තකාලෙ පන්සලේ හාමුදුරුවන් ගැන සංජේගෙන් ඇහුවෙමි. 
” සංජේ, අර පන්සලේ අවුරුදු කීපෙකට කලින්  හිටපු කළු හාමුදුරුවන්ට මොකද උනේ බං? ඒ හාමුදුරුවො දැන් නෑනෙ.”
” ඔය කියන්නෙ අර කොට හාමුදුරුවොද? ඒ හාමුදුරුවන්ට මරු වැඩේනෙ වුණේ, ඔයා ඒක දන්නෙ නැද්ද?  සංජේ සිනාසෙන්නට විය.
” නෑනෙ, මම රට යද්දී හිටියා, ගිහිං ඇවිත් බලනකොට නෑ.  එච්චරයි මම දන්නෙ.”
” හාමුදුරුවො බොහොම හොඳට පන්සලත් දියුණු කරගෙන හිටියා, ලස්සනට බණ කියන හින්දා සෙනගත් හොඳට ආවා, සල්ලි බාගෙනුත් අඩුවක් තිබුනෙ නෑ.  ඔන්න ඔහොම ඉද්දි තමා සිල්වා පන්සලට කිට්ටු කළේ.”
සිල්වා ඕල් රවුන්ඩර් කෙනෙකි.  ඔහු නොකරන වැඩක් නැත, ඉඩකඩම් දේපොළ විකුණාදීමේ බ්‍රෝකර් වැඩ, ගෙවල්වල ඉන්න කොල්ලන්ට රස්සාවල් සොයාදීම, කෙල්ලන්ට මඟුල් කතා කිරීම, ගෑණුන්ට මැද පෙරදිග රස්සාවල් හදා දීම, ළමයින්ව ඉස්කෝලවලට දැමීම, රස්සාව නැතිවූ අයට රස්සාව හදා දීම ආදී මෙකී නොකී සියළු කටයුතු දවසෙන් දෙකෙන් කරදීම සඳහා එදිනම ඇඩ්වාන්ස් එකක් ඉල්ලා ගන්නා සිල්වාව ඊට පසු දකින්නට වත් ලැබෙන්නේ නැත.
” සිල්වා පන්සලට ගියෙ පන්සල හදන්න වෙන්න ඇති.” මම කීවෙමි.
” පන්සල හදයි ඕකා, පන්සල හදන්න නෙවෙයි ඌ හැදෙන්න ගියෙ. ඕකා පන්සලට ගිය ගමන් මම දැනගත්ත මූ හාමුදුරුවොත් විනාශ කරල පන්සලත් විකුණල තමයි පස්ස බලන්නෙ කියල.”
හාමුදුරුවන්ට හිතවත් වී ටිකෙන් ටික හාමුදුරුවන්ගේ ඔළුවට වල්පල් දමමින් හාමුදුරුවන්ව නොමග යවන්නට  සිල්වාට ගතවී ඇත්තේ සුළු කාලයකි.  කොටින්ම හැම සුත්‍රයම දත් හාමුදුරුවන් නොදන්නා සුත්‍රය වූ කාමසුත්‍රය සිල්වා හාමුදුරුවන්ට දේශනා කර ඇති අතර සිල්වාගේ කාමසුත්‍ර දේශනාවට වශීවූ හාමුදුරුවෝ සිල්වා කියන කරන හැම දෙයක්ම හිස් මුදුණින් පිළිගත්හ.  මෙසේ සුක්ෂ්මව වැඩ කටයුතු කළ සිල්වා ටික දවසකින්ම හාමුදුරුවන්ට ස්ත්‍රී පහස ලබාදෙන්නට කටයුතු කළේ හාමුදුරුවන්ටත් හිතාගන්නට බැරි ආකාරයටය.  සිල්වා ඊට පසු හාමුදුරුවන්ගේ ප්‍රධාන උපදේශකයා බවට පත්විය.  මෙන්න මේ විදියට කාලය ගතවෙද්දී දවසක් සිල්වා හාමුදුරුවන්ට යෝජනා කළේ මේ නිකංම පොඩි පොඩි තැන්වලට යනවාට වඩා පිට පළාතකට ගිහිං දවසක් ගතකර සොමියක් අරගෙන එන්නටය.  හාමුදුරුවෝත් යෝජනාවට එක පයින්ම කැමති වූහ.
”  ඔන්න ඔය රත්නපුර පැත්තෙ ගෑනියෙක්ලු, ඒ ගෑනිගෙ මිනිහත් දැනුවත්වයි වැඩේ කෙරෙන්නෙ කියල සිල්ව කිව්වෙ, කොහොම හරි හාමුදුරුවොත් සිල්ව එක්ක ඒ ගෙදරට ගිහිං.”
කාන්තාවත් සමග යහන්ගත්වූ හාමුදුරුවෝ තමන් අනුදත් කාමසුත්‍ර පාඩම් රෑ තුන්යමක් වෙනතුරු කාන්තාව සමග ප්‍රායෝගිකව රඟදක්වා අවසන පසුදා උදේ පිටත්ව එන්නට සුදානම් වුහ.
” උදේ හාමුදුරුවෝ ආපහු එන්න ලෑස්ති වෙලා එළියෙ පුටුවක ඉඳගෙන තේ එකක් බිබී ඉද්දි අර ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු.  ඒ වැන්දේ හාමුදුරුවො පෙන්නපු වැඩ ගැන ගෑනි සතුටුවෙලා හිටපු හින්ද කියලයි සිල්ව හිනාවෙවී කිව්වෙ.”
” කොහොමහරි ඒ ඇවිත් වැඩිකලක් හාමුදුරුවො පන්සලේ හිටියෙ නෑ.  පන්සලට ආපු කෙල්ලක් යාළු කරගෙන සිවුරත් ගලෝල දාල ඒකිත් අරගෙන අතුරුදහන් වුණා.”
සංජේ කතාව හමාර කළේය.  ඊට ටික දිනකට පසු ස්ථාන මාරුවක් ලැබූ මම ඕමාන් රටේ සේවයට ගියෙමි.  සංජේ ද පත්වීමක් ලැබී ස්වීඩනයේ ස්ටොක්හෝම් වල සේවයට ගිය බව මම පසුදිනෙක දුටුවෙමි.  සංජේ රස්සාව අවසන්කර ලංකාවට ඇවිත් ඉන්න බව ආරංචිවී මම ඌ ගැන තොරතුරක් දැනගන්නට සංජේ ලාගේ තාත්තගේ සැලූන් එකට ගියෙමි.  සංජේලගේ තාත්තා මියගොස් ටික කලක් ගතවී ඇති බව කියූ සැලුන් එකේ කොල්ලන් සංජේ ඉන්න තැනක් ගැන විස්තරයක් නොදන්නා බව කීහ.  පන්සලට නොගියත් දැන් පුස්තකාලෙ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ ද මාත් එක්ක හිතවත්ය. දානයකදී පිංකමක දී හමුවුණාම කතා බහ කරනවා ඇරෙන්නට ඊට වඩා ලොකු හිතවත්කමක් අපි අතරේ නැත෴
( ප. ලි සේනගේ කතාව අවසන් කරන්නට තව කොටසක් පමණ ලියන්නට ඇත.  පෝස්ටුව දික්වෙන නිසා ඒ කොටස ආයෙමත් ලියන බව දන්වා සිටිමි)
%d bloggers like this: