Menu Close

ගොවි උපදෙස් පිටුව


බිම් සකස් කිරීම (මඩ වැඩ)
Meemure-2018-Pic. by Indiwari diunuge

වැඩ ආරම්භ කිරීම
ලංකාවේ වියලි කලාපීය ගොවිතැන් ක‍්‍රියාවලියේ දී, හේන් වගා වැඩ ආරම්භ කරන්නේ සිංහල මාස ක‍්‍රමයට අනුව බිනරමාසයේ  (සැප්තැම්බර්) කළුවරට ය. එනම් බිනර කළුවට. වී ගොවීන් වපුරන්නේ වප් මාසයේ (ඔක්තෝම්බර්) පුර කාලයට (පුර කළුවරට) . එයින් පළිබෝධ උවදුරු අඩු වන බව පැරණි ගොවීන්ගේ අත්දැකීමයි.
බිම් සකස් කිරීම
මුල් හීයට දෙසතියකට පමණ පෙර,
පුරන් හීයට පෙර අක්කරයක කුඹුරකට, කිලෝග‍්‍රෑම් 25ක් පමණ බරැති ග්ලිරිසීඩියා, නත්තසූරිය ආදී නයිට‍්‍රජන් බහුල කොල අතු මිටි 20-30ක් පමණ ලියැදිවලට දමන්න. පෙර කන්නයේ පිදුරු ටික ලියැදිවලට ඇද දමා පල් වෙන්නට හරින්න. ගොම හෝ කොම්පෝස්ට් පොහොර ට‍්‍රැක්ටර් ටේ‍්‍රලර් දෙකක පමණ ප‍්‍රමාණයක්, දහයියා ඉවත් කළ කුකුල් පොහොර (බිත්තර දමන කිකිළියන්ගේ පොහොර ඉතා හොයි) හෝ වවුල් පොහොර ද සමග ලියැදිවලට දමන්න. ඉන් පසුව මුල් හීය හාන්න. එයින් ගැඩවිලූන්, පණුවන් ඇතුළු පාංශු ජීවීන් ගහණය වැඩිවී, පස සරු වෙන්නට පටන් ගනී. ඉන් පසුව මඩ වැඩ ටික සම්පූර්ණකර කුඹුර වප්පරකර ගන්න.
මුල් හීයට පෙර ගොම හෝ කොම්පෝස්ට් නො දමනවා නම්,
දෙහීයට පෙර හෝ රොටරි ගහන්නට පෙර අක්කර එකකට ගොම පොහොර කිලෝ 1000ක් (ට‍්‍රැක්ටර් ටේ‍්‍රලර් දෙකක්) යොදන්න.
වැපිරීම සහ පැලපත
දේශීය පාරම්පරික වී වර්ග, වැපිරීම සහා සකස්කර ගැනීම
පාරම්පරික හෝ නව වැඩි දියුණු කළ වී වර්ග හෝ වේවා, ඒවායෙහි ප‍්‍රරෝහණ ශක්තිය ලැබෙන්නේ ගොයම් කැපීමෙන් දින 45කට පසුව ය. බිත්තර වී තෝරා ගැනීමේ දී, එසේ දින 45ක් කල් පිරුණු බිත්තර වී සූදානම්කර ගැනීම යහපත් ය.
තෝරා ගත් වී වර්ගය හොඳින් කුල්ලෙන් පොලා බොල් ඉවත්කර ගන්න. ඉන් පසුව පැය 36ක් (දින එකහමාරක්) පිරිසිදු ජලයේ පොවා ගන්න. එය කරන්නේ මෙසේ ය.
උදේ 6.00ට මුලින් ම දියට දැමීම (වී ටික මුලින් ම පොවන අවස්ථාවේ ද බොල් ඇගිටි ඉවත්කර ගන්න.)
යළි සවස 6.00ට වී ටික අතගා, සොලවා, සෝදා හරින්න. යළි අලූත් වතුර එක් කරන්න.
මේ ආකාරයට පැය 12කට වරක් බැගින් වතුර මාරු කිරීමත්, සෝදා හැරීමත් කළ යුතු ය.
වී පොවන්නේ ගලා යන ජලයේ නම්, වතුර මාරු කිරීමක් අවශ්‍ය නැත.
පොවා ගත් වී, පැය 36කට පසුව දිය බේරීමට ගොඩ තබන්න. ඊට පසුව යහන් කරන්න.
යහන් කිරීමේ දී,
එළ ගව අමු ගොම පොල් කට්ටක් වතුරේ දියකර, එයින් වී ටික අනා ගන්න. ඉන් පසුව දිය බේරෙන්නට තබා, යහන් කරන්න. එවිට වී ඉතා හොඳින් පැල වෙයි. එළ ගව ගොමවල, ශාක ප‍්‍රරෝහණයට බලපාන යම් යම් හෝමෝන ඇති බව විශ්වාසයයි. (පොළොන්නරුව, කවුඩුල්ලේ, එම්. කේ. ජයතිස්ස මහතා දුන් තොරතුරකි.)
පැරණි ගොවීහු, සවසට තම ගවයන්ට වම්බටු කරල් කන්නට දුන්හ. ඉන් පසුව උන් උදේට දමන ගොම ටික, වගා බිමෙහි ඉහිරවා දැමූහ. ටික දිනක දී එයින් ඉතා හො වම්බටු පැල ලැබුණි. (ගාල්ල, උළුවිටිකේඕපාත පී. එල්. ජයන්ත මහතා (පාලිත) දුන් තොරතුරකි.)

වී හොඳින් පැලකර ගැනීමට තවත් ක‍්‍රමයක්
වී ටික පිරිසිදු වතුරෙන් සෝදා ගන්න. ඉන් පසුව වී ටික පොවන බඳුනට පදමට ලූණුඑක් කරන්න.
ලුණු පදම
මුලින්ම දිය බඳුනට ජීව බිත්තරයක් දමන්න. බිත්තරය ජලයේ යට යයි. ඊළට ලූණු එක් කරන්න. ලූණු එක් කරන විට  බිත්තරය ක‍්‍රමයෙන් උඩට මතු වෙයි. එය සිදු වන තුරු ලූණු එක් කරන්න. අවසන බිත්තරය උඩට මතු වේවි. බිත්තරයේ ශත විසි පහේ කාසියක් තරම් ප‍්‍රමාණයක් දියෙන් උඩට මතු වෙන අවස්ථාව එළඹුණු විට ලූණු එක් කිරීම නතර කරන්න. දැන් වී පෙවීමට තරම් ලූණු ද්‍රාවණයක් එහි තිබේ.
ඉන් පසුව බිත්තරය ඉවත් කර දමන්න. සොදා ගත් වී ටික ලූණු ද්‍රාවණයෙහි පොවන්න. එවිට බොල් ඇගිටි සියල්ල ඉතා හොඳින් ඉවත් වේ. ඊළට වී ටික ඉවතට ගෙන ලූණු සෝදා හරින්න. ඉන් පසුව නියමිත පැය ගණන් පොවන්න. එයින් පැල වීමේ ශක්තිය වැඩි වේ. (පොළොන්නරුව, කවුඩුල්ලේ, එම්. කේ. ජයතිස්ස මහතා දුන් තොරතුරකි.)
වැපිරීම හෝ පැල සිටුවීම සහ ගොයමට සාත්තු කිරිම
කුඹුර වප්පර කිරීමෙන් පසුව වී වපුරන්න. නැතිනම් පේලියට පැල සිටුවන්න. යන්ත‍්‍රයක් මගින් පේලියට බීජ වපුරන්නත් පුළුවන්. පැරිචුට් ක‍්‍රමයත් හොයි. මුල් හීයට පෙර කුඹුරට කාබනික පොහොර යෙදීම, වී වැපිරීමේ දී  රසායනික කැට පොහොරදැමුවා හා සමාන ගුණයක් ඇති ක‍්‍රියාවලියකි. එබැවින් වී වැපිරීමේ දී පොහොර දැමීමක් අවශ්‍ය නොවේ.
වල් මර්දනය
වැපිරූ කුඹුරෙහි, හීන් පැලපතේ පටන්ම වල් පැලෑටි මතුව එයි. ලියැද්දට වතුර බැඳීම සහ කැඞීම යන ක‍්‍රියාවලිය ඔස්සේ එය පාලනය කළ හැකි ය. දේශීය පාරම්පරික වී වර්ගවල ගොයම ඉක්මණින් වැඞී, පොළොව වැසී යන නිසා වල් පැලෑටි වර්ධනය හීන වේ.
පැලපතට දින 14ක දී
පැල ගොයමට දින 14ක් ගත වෙද්දී, ගොයම් පැලය පඳුරු දෙකක් දක්වා වර්ධනයවී පඳුරු දැමීම ආරම්භ වේ. එවිට කුකුළු පොහොර කලවම්කර ගත් කොම්පෝස්ට් පොහොර, අක්කරයකට කිිලෝග‍්‍රෑම් 100ක් බැගින් යොදන්න.
පැලපතට දින 28ක දී
දින 28ක් ගත වෙද්දී ගොයමට කොම්පෝස්ට් පොහොර අත රැල්ලක්හෝ ජීව මුත‍්‍රම් වැනි යම් කාබනික දියර පොහොරක් යොදන්න. දියර පොහොර යෙදීමේ දී, නිපල් නොසලය ගැලවූ ඉසින යන්ත‍්‍රයක් භාවිත කළ හැකි ය. එය නියරේ සිට ම කළ හැකි ය.
එතැන් සිට
එතැන් සිට කුඹුරේ නිල්ල අඩුවන හැටි නිරීක්ෂණය කරමින් දින 14කට වරක් කාබනික පොහොර (දියර පොහොර හෝ) යොදන්න.
හීන් බණ්ඩි කාලේ
හීන් බණ්ඩි එන කාලයටත් කොම්පෝස්ට් පොහොර යොදන්න. ඒ කාලයට කුකුළු පොහොර යොදන්න එපා. එයින් නයිට‍්‍රජන් වැඩිවී කොලදාව වැඩි වේ.
පොහොර දැමීමට තවත් ක‍්‍රමයක්

බිත්තර දමන කිකිළියන්ගේ කුකුළු පොහොර, කුඹුරේ වඩා උසින් ම පිහිටි ලියැද්දට (නාවත් ලියැද්ද)  යොදන්න. එවිට ඒවා ජලය ද සමග කුඹුර පුරා ගලා යනු ඇත. සාමාන්‍යයෙන් කුඹුරේ උසින් ම පිහිටි ලියැද්ද නිසරු ය. එය සරු වේ. එසේම, උස ම ලියැද්දෙන් ගලා එන කුකුළු පොහොර නිසා ගැඩවිලූන් ගහණය වැඩිවී, උන් පහළ ලියැදිවලට ද පැතිරෙනු ඇත. එක භූමිය සරු වීමට හේතුවක් වෙයි.


 ලෙඩ රෝග පාලනය සහ සාත්තුව

ගොයම් මැස්සන් සහ පණු රෝගවලට දස පරණ කෂායසාදා ගන්නා හැටි
අවශ්‍ය ද්‍රව්‍ය
(තිත්ත හෝ සතුන් අප‍්‍රිය කරන සැර ගන්ධයන් ඇති කොල වර්ග)
01-කනේරු කොල
02-කුරුඳු කොල
03-සේර කොල
04-වල් සූරියකාන්ත කොල
05-නික කොල
06-පාවට්ටා කොල
07-කොහොඹ කොල
08-බුලත් කොල
09-ගම්මිරිස් කොල
10-අරලිය කොල
සාදන හැටි
සියලූ කොල වර්ග වංගෙඩියේ දමා කොටා, ජලය එක්කර පැය 12ක් තබන්න. ඉන් පසුව ඉසින යන්ත‍්‍ර ටැංකියකට එම දියරයෙන් කෝප්ප දෙකක්  කලවම්කර ගොයමට ඉසින්න. ඉසිනයේ නිපලය ගලවා නියරේ සිට ඉසින්නට ද පුළුවන.
ගොයම් මැස්සන්ට කෙමක්
ගොයම් මැස්සන් ටිකක් පණපිටින් අල්ලා, මදුරු දැල් වැනි ලිහිල් රෙදිකඩකින් මැසූ සාක්කුවකට දමා කට බඳින්න. ඒවා කුඹුරේ සිවු කොණේ සිටවූ ඉනිවල එල්ලා තබන්න. සිරගත වූ ගොයම් මැස්සන් අනෙකුන්ට අනතුරු අවමින් යම් පෙරමෝනයක් නිකුත් කරති. එවිට අනෙක් ගොයම් මැස්සන් එම ප‍්‍රදේශයෙන් ඉවත් වේ.
ගොයම් මැස්සන්ගේ ප‍්‍රජනනය සිදු වන්නේ පුර පසලොස්වක පොහොය දිනය ආසන්නයේ ය. පුර පසලොස්වක පොහොය දිනයට දින තුනකට පමණ පෙර උන් පලවා හැරීමේ දියරයක් (දස පරණ කෂාය හෝ එවැනි) ඉසින්න. එවිට උන් එම ස්ථානවල බෝවීම පාලනය වේ.
ගොයම් මැස්සන් දහවලට සෙවණ ප‍්‍රිය කරති. උන් පලවා හැරීමේ දියර ඉසින විට, ඒවා කුඹුරේ සෙවණ ඇති තැන්වලට යහමින් යොදන්න.
ලයිෆ් බෝයිසබන් වතුරට කොහොඹ කොල ඉස්ම හෝ කොහොඹ තෙල් මිශ‍්‍රකර ඉසීම ද ගොයම් මැස්සන් පලවා හැරීමේ ක‍්‍රමයකි.
දේශීය වී වගාවේ පොහොර සකසා ගැනීම සහ පොහොර යෙදීම- ඉන්දියානු නිර්මාණයක් වන

ජීව මුත‍්‍රම් දියර පොහොර සාදා ගැනීම (අක්කරයක කුඹුරකට)
අවශ්‍ය ද්‍රව්‍යය
01-ජලය ලීටර් 300ක් පමණ දැමිය හැකි ලෝහමය නො වන බඳුනක්
02-අලූත් එළ ගව අමු ගොම කිලෝග‍්‍රෑම් 10ක්
03-ක්ලෝරීන් නොයෙදූ පිරිසිදු ජලය ලීටර් 200ක්
04-එළ ගව මුත‍්‍රා ලීටර් 05-10ක්
05-වේලා ගත් ග්ලිරිසිඩියා කොල කිලෝග‍්‍රෑම් 02ක්
06-ස්වාභාවික පරිසරයෙන් මතුපිට පස් (පොහොර පස්) කිලෝග‍්‍රෑම් 01ක්
07-ඉදුණු වැලවරකා, පැපොල්, කෙසෙල් ගෙඩි හෝ රතු සීනි/නැතිනම් සක්කර හකුරු කිලෝග‍්‍රෑම් 02ක්
03-පියලි ධාන්‍ය කිලෝ දෙකක පමණ කුඩු
සාදන ආකාරය
මේ සියල්ල වතුරට දමා කලවම්කර ගන්න. දිනකට තුන් වරක්, විනාඩි පහක් බැගින්, දකුණු අතට කරකවමින් කලවම් කරන්න.
මෙම දියරය දින තුනකට පසුව පාවිච්චි කළ හැකි ය. එය පෙරා මල් බාල්දියකින් හෝ දියර ඉසිනයකින් වගාවට යෙදීමට පුළුවන.
දේශීය වී වගාවට ජීව මුත‍්‍රම් දියර පොහොර යෙදීම
දේශීය පාරම්පරික වී වගාවකට හෝ  වෙන යම්  භෝගයකට කාබනික පොහොර හෝ  ජීව මුත‍්‍රම් දියර කාබනික පොහොර යෙදීමේ දී උසස් ප‍්‍රතිඵල ලැබෙන්නේ, එම පසෙහි යම් තරමකට ගැඩවිලූන් ඇතුළු පාංශු ජීවින් සුරැකී සිටිනවා නම් පමණකි. කාබනික පොහොර ඔස්සේ  පාංශු ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් ගහණය වැඩි වන්නේ ටිකෙන් ටික ය. එබැවින් නිසරුම පසක් නම්, එය භෝග වගාවකට ගැලපෙන තරමට සාරවත් වීමට යම් කාලයක් ගත වේ. පසෙහි ගැඩවිලූන් සහ අනෙකුත් පාංශු ජීවීන් සිටී නම් එම ක‍්‍රියාවලිය වේගවත් වෙයි.
විශේෂ කරුණු කිහිපයක්
01-දේශීය පාරම්පරික වී වර්ග, රසායනික පොහොරවලට යහපත් ප‍්‍රතිචාර දක්වන්නේ නැත.
02-රසායනික පොහොරවලින් ගොයමෙහි කොලදාව වැඩි වේ.
03-සුවඳැල් වී වගාවේ දී රසායනික පොහොර දැමුව හොත්, එහි බත ඉදෙන විට සුව පැතිරෙන්නේ නැත. රසායනික පොහොර නිසා සුවඳැල් ගොයම් ගස මුල සිටින ක්ෂුද්‍ර ජීවීන් නැතිවී යාම, එයට හේතුව බව පිළිගැනීමයි. 

සුවඳැල් ගොයම

04-සුවඳැල් වගා කරන ඇතැම් ගොවීන්, තම ගොයම සරු කිරීම පිණිස හොර රහසේ රසායනික යූරියා පොහොර දමති. එවිට ගොයම් ගසේ මාංසල ගතිය වැඩිවී, ගොයම බිමට ඇද වැටෙයි. එයින් හොරෙන් කළ යූරියා දැමීමහෙළිදරව් වේ. මෙය වංචනික ක‍්‍රියාවකි. රසායනික යූරියා යොදා නිපදවන සහල්, ‘කාබනික සහල්වන්නේ නැත!

05-පැරණි දේශීය වී වර්ග හෝ, නව දෙමුහුන් වී වර්ග හෝ වගා කිරීමේ දී කාබනික පොහොරටොන් ගණන් භාවිතා කරන්නට සිදුවන බව ඇතැමුන් කියති. එය වැරදි මතයකි. කාබනික පොහොර යොදන විට කුඹුරේ පස ක‍්‍රමයෙන් වැඩි දියුණු වන්නට පටන් ගනී. එනම්, ක‍්‍රමයෙන් පස සරුසාර කරන ගැඩවිලූන්, බිම් පණුවන් ඇතුළු පාංශු ජීවීන් සහ අනෙකුත් කුෂුද්‍ර ජීවීන්ගේ ගහණය වැඩි වෙන්නට පටන් ගනී. එයින් පස යළි සරුසාර වේ. වියලි කලාපීය ගොවීන්ගේ අත්දැකීමේ හැටියට, කාබනික පොහොර භාවිතා කරන විට ඉතාමත් නිසරු කුඹුරක් වුව ද සාමාන්‍යයෙන් වසර දෙකක දී (වගා කන්න හතරක දී) පස යථා තත්ත්වයට පත් වේ. පස සරුසාර වේ. එබැවින් කාබනික පොහොර දැමීම ක‍්‍රමයෙන් අඩු කළ හැකි ය.

06-රසායනික පොහොරවලින් පසට ලැබෙන්නේ මූලික පොහොර සංඝටක හෙවත් නයිට‍්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍ය පමණකි. පසෙහි කාබනික පොහොර යම් ප‍්‍රමාණයක් තිබේ නම් ඒවා පසට උරා ගැනීම පහසු වෙයි. එනම් පසෙහි කැටායන ධාරිතාවයඉහළ යයි. ශාක වර්ධනයට පසෙහි කාබනික පොහොර සාවරය ද අත්‍යවශ්‍යය ය.
කාබනික වී ගොවිතැනේ දී වල් මර්දනය
දේශීය පාරම්පරික වී වර්ගවල වල් මර්දනය පහසු එකකි. ඒවායෙහි ගොයම ඉතා ඉක්මණින් වැවී පොළොව සෙවන වන බැවින් වල් පැලෑටි වර්ධනය පාලනය වේ. වී වැපිරුමේ පටන් ම, ලියැද්දට වතුර බැඳීමේ සහ කැඩීමේ ක‍්‍රියාවලිය මගින් වල් මර්දනය කළ හැකි ය.
සුදු හීනැටි වැනි උස් ගොයමට වල් පැල ඒම අඩු ය.
පේලියට පැල සිටුවා ඇති කුඹුරුවල නම් දින 14කින් වීඩර් ගැසීමෙන් වල් පැලෑටි මර්දනය කළ හැකි ය.
කාබනික ගොවිතැනේ දී පළිබෝධ හානි වලක්වා ගැනීම

දුඹුරු පැල කීඩෑවාගේ හානිය වළක්වා ගන්නා ආකාරය
දුඹුරු පැල කීඩෑවුන්’ (Brown planthoper/Nilaparvata lungens) යනු, ගොයම් ගස උරා බොමින් එහි පහළ කොටසේ ජීවත් වන පියාපත් සහිත කුඩා කෘමි විශේෂයකි. උන් බිත්තර දමන්නේ ගොයම් ගසේ පත‍්‍ර නාරටියේ සහ පත‍්‍ර කොපුවේ   ය. එක් කෘමියෙක් වරකට දමන බිත්තර සංඛ්‍යාව 300ක් පමණ වේ. උන් ඉතා  සීග‍්‍රයෙන් බෝ වෙයි.
ගොයම මතුපිටින් නිරීක්ෂණය කළ ද, එහි පහළ කොටසේ සිටින දුඹුරු පැල කීඩෑවුන් එක්වර ම පෙනෙන්නේ ද නැත. බොහෝ ගොවීන් උන්ගේ හානිය හඳුනා ගන්නේ ගොයම කහ පැහැ ගැහී, වියැලී, මැරී යන්නට පටන්ගත් විට ය. ගොයම වියලී මැරී යන්නේ, කිඩෑවුන් විසින් ගොයම් ගසසෙහි යුෂ උරා බීම නිසා ය. වසංගත තත්ත්වයට පත්වූ විට උන් එක් රැයට කුඹුරු හෙක්ටයාර් සිය ගණන් වුව විනාශකර දමති.  
බොහොමයක් අවස්ථාවල, කීඩෑවුන්ගේ හානිය ඉස්මතු වන්නේ පීදෙන්නට ඔන්න මෙන්න තත්ත්වයේ බණ්ඩි ගොයමට ය. එයින් පසුව ඒවායෙහි ගොයම් කරල් පීදෙන්නේ නැත. ඉතින් අස්වැන්නක් ලැබෙන්නේ ද නැත
හානිය වළක්වා ගත හැකි ක‍්‍රම
(2018 වසරේ යල කන්නයේ දී පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දුඹුරු පැල කීඩෑ උවදුර අධි වසංගත තත්ත්වයට පත් විය. එහි දී මින්නේරි ව්‍යාපාරයේ ගොවීන් ලැබූ අත්දැකීම් ඇසුරෙන් මෙම සටහන් සකස්කර ඇත.)
01-විශේෂයෙන් ම සුදු හීනැටි ඇතුඵ දේශීය පාරම්පරික වී වර්ගවලට දුඹුරු පැල කීඩෑවුන් බෝ වෙනවා අඩු ය. එසේම නව වැඩි දියුණු කළ වී වර්ග අතුරෙන් ද, වැඩිමල් වී වර්ගවලට කීඩෑ හානිය වැඩිපුර බලපාන්නේ නැත. බී. ජී. 379/2’ නමැති වී වර්ගය දුඹුරු පැල කීඩෑ හානියට ඔරොත්තු දෙයි.
02-රසායනික යූරියා පොහොර නිර්දේශිත ප‍්‍රමාණයටහෝ (ගොයමේ තත්ත්වයේ හැටියට) ඊටත් වඩා අඩුවෙන් භාවිත කළ ගොයමට දුඹුරු පැල කීඩෑ හානිය අවම ය. නැතිනම් එන්නේ ම නැත. නියමිත මාත‍්‍රාවට වඩා යූරියා පොහොර දැමූ විට ගොයම් ගස අනවශ්‍ය තරම් මාංසලවේ. එය පළිබෝධක සතුන්ට ආසා හිතෙන තත්ත්වයකි. බොහොමයක් ගොවීහු ගොයමෙහි නිල්ල මදියයි කියමින් වැඩියෙන් යූරියා දමති. එය නරක භාවිතාවකි.
03-පොදුවේ ගත් කල, කාබනික පොහොර හෝ කාබනික දියර පොහොර යෙදූ කුඹුරුවලට දුඹුරු පැල කීඩෑ හානිය එන්නේ ම නැති තරම් ය. නැතිනම් දැකිය හැකි වන්නේ සියයට 25ක තරම් අඩු හානියකි.
04-රසායනික කෘමිනාශක වැඩි වැඩියෙන් යෙදූ විට දුඹුරු පැල කීඩෑවුන් ඒවාට අනුවර්තනය වෙති. එවිට උන් විනාශ නොවේ.
05-එකම වර්ගයේ වී ප‍්‍රභේද දිගින් දිගටම වගා කිරීම, පළිබෝධක සතුන් රසායනික කෘමිනාශකවලට අනුවර්තනය වීම, නියමිත වගා කන්නය ප‍්‍රමාදවී වගා කිරීම, රසායනික යූරියා පොහොර මෙන් ම රසායනික කෘමිනාශක අධි මාත‍්‍රාවෙන් භාවිත කිරීම ද දුඹුරු පැල කීඩෑවුන් ආදී පළිබෝධක සතුන්ගේ ආක‍්‍රමණවලට හේතු වේ.
06-නව වැඩි දියුණු කළ වී වර්ග වගා කිරීමේ දී. වපුරා දින 14න් වල් නාශක සහ පොහොර දමති. ඉන් පසුව, ගොයමට ලෙඩක් ඇතත් නැතත් කෘමිනාශකයක් ද ඉසිති. එයින් සිදු වන්නේ පළිබෝධක සතුන් ඒවාට අනුවර්තනය වීමයි!
07-ජලය ඉතා හො කෘමිනාශකයකි. කුඹුරට ජල සැපයුම සීරුමාරු කිරීමෙන් වල් පැලෑටි මෙන් ම, කීඩෑවුන් ආදී කෘමි ගහනය ද පාලනය කළ හැකි ය.
08-ගොයමට හීන් බණ්ඩි සමයේ ජලය වැඩි වැඩියෙන් සැපයේ. එය දුඹුරු පැල කීඩෑ උවදුර ව්‍යාප්ත වීමට හේතුවක් වන්නට පුළුවන.
09-එකම කාලයට පැසෙන වී වර්ග දිගින් දිගට ම වගා කිරීමේ දී, පළිබෝධක කෘමීහු සිය ජීවන චක‍්‍රය එයට ගැලපෙන සේ සාදා ගනිති. එවිට උන් මර්දනය කිරීම අපහසු ය.
දුඹුරු පැල කීඩෑ හානිය වළක්වා ගන්නට අත් බේත්
01-භූමිතෙල් පෙවූ ගෝනි කැබලි වක්කඩවල තැබීම
02-භූමි තෙල් වැලි සමග කලවම්කර ගොයමට ඉසීම
03-භූමි තෙල් ලීටර් 10කට, සුදුලූණු කිලෝග‍්‍රෑම් 01ක් තලා දමා, පැය විසි හතරක් තබා, පෙරා, එක් වතුර ටැංකියකට එයින් මිලිලීටර් 300ක් කලවම්කර, ඉසිනයක ආධාරයෙන් ගොයමට ඉසීම
04-ජලය ලීටර් 10කට රෙදි සෝදන සබන් කුඩු කිලෝ 01ක් දියකර ගොයමට ඉසීම
05-කැලයෙහි වැවෙන රතු පැහැති කල වැල්තලා, බාල්දියකට පෙණ ටික එකතුකර ගන්න. ඉන් පසුව වතුර කලවම් කරන්න. ඉන් පසුට එක් ටැංකියකට බෝතල් භාගයක් බැගින් කලවම්කර ගොයමට ඉසින්න.
06-දළුක් අතු තලා, වක්කඩේ දැමීම
07-‘සෝයා මීට්භූමි තෙල්වල පොවා, ගොයමට විසි කිරීම
08-පානීය ජලය පිරිසිදු කිරීමට ගන්නා ක්ලෝරීන් කුඩු, වතුරේ දියකර ගෝනි කෑලිවල පොවා, වක්ක‍ෙඩ් තැබීම
09-වතුර ලීටර් 16කට, එළ ගව මුත‍්‍රා ලීටර් දෙකක් දමා, අව්වේ කැකෑරෙන්නට තබා ගොයමට ඉසීම
———————————-
%d bloggers like this: