Menu Close

ආදර බෘංගයා

පාසල් ප්‍රේමේ හරිම අලංකෘත එකක්. මේකත් එහෙම කතාවක්. නම් ගම් ඔක්කොම කල්පිතයි. විස්තර ඔක්කොම කල්පිත නෑ.

මේක අට වසරේ විතර වෙච්චි දෙයක්.  දැන් තොපි කියයි කටේ කිරි සුවඳ යන්නත් කලින් තොපිට මදන කුලප්පුව ගහලා තිබිලා කියලා! ඔව්. අපි ඉස්සර ඉඳන් වනචර කොල්ලෝ!

අපේ පන්තියේ හිටපු කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදර හැඟීමක් පහල උනා! අපි කෙල්ලට මල්රානි කියමු! කොල්ලට නිමල් කියමු. අවධාරණයෙන් කියන්නේ නිමල් කියන්නේ මං නෙවෙයි!

නිමල් මල්රානි ට පැලෙන්න ආදරේ කළා. අට වසරේ ඇටකිති කොල්ලෙක්ට හිතාගන්න බැරි තරමට මල්රානිගේ හැමදේටම නිමල් ආදරේ කළා. කොච්චරද කිව්වොත් මල්රානි පාවිච්චි කරන.. මල්රානි ලඟින් හරි ගියපු දේවල් හරිම පරිස්සමෙන් එකතු කරන්නත් නිමල් පුරුදු උනා.

මේ අපූරු එකතුවේ, මල්රානිගේ කොන්ඩේ බදින කළු රිබන් පටියක්, මල්රානිගේ ඔටෝ බුක් එකේ පුංචි යතුරක්, මල්රානි ලියලා ඉවර වෙච්චි පෑනක් වගේම මල්රානිගේ උප්පැන්න සහතිකේ පොටෝකොපියක් වගේ දේවලුත් නිමල් ළඟ තිබ්බා.

කොහොමෙන් කොහොම හරි එකොළහ වසරට එද්දී මල්රානිට වචනේ දාන්න නිමල් එඩිතර උනා. මල්රානි හා කිව්වද! නෑ මිතුරනි! මල්රානි බෑ කිව්වා. OL පාස් වෙලා මල්රානි වෙන ඉස්කෝලෙකට ගියා.

අපි අපේ රාජධානියේ තනි උනා. නිමල් අස්පයා මැරිච්චි සොල්දාදුවා වගේ මල්රානි යන එන තැන්, ක්ලාස් හොයන්න පටන් ගත්තා.

මල්රානි අපි ගියපු සමහර ක්ලාස් වලට ගියේ නෑ. ඒත් නිමල් ට සහයෝගයක් විදිහට ඒ ක්ලාස් මුර කරන්න යන්න අපි බොක්කෙන්ම සපෝට් එක දුන්නා. මල්රානිගේ එක හිනාවක්, කොන්ඩ කරලක් පිසගෙන එන හුලං රොදක් නිමල් මාසයක් නොකා නොබී ජිවත් කරන්න ඇති බව අපි දැනගෙන හිටියා.

ගණන් පන්තිය ඉවර වෙන්නේ පහයි තිහට, YMBA එකේ ක්ලාස් කරපු ඒ උත්තමයා සමහර දවස් වලට හය වෙනකනුත් ක්ලාස් ඇද්දා මතක ඇති. මල්රානි පහයි කාලට ක්ලාස් ඉවර වෙලා පහයි තිහේ බස් එකේ යන බව නිමල් දැනගෙන හිටියා. ඒ හින්දාම පහයි කාල වෙද්දී උගේ පුකේ කිරිපනුවෝ නලියන්න පටන් ගන්නවා.

“ ඒ යමන්කෝ!”
“කොහේ යන්නද බං. මේකා දැක්කොත් ඉවරයි. දන්නවනේ කට!”

සත්‍ය ප්‍රේමයට අග්න්‍යාසයෙන් උදව් කරන්න බැඳිලා හිටිය අපි සර් උත්තමයා SF එක්ක හදන කොනේ හොයන්න බෝඩ් එක දිහාට හැරෙද්දීම ජනේලෙන් පැන්නා.
සර් උත්තමයා දැක්කා!

“යකෝ! අර බලාපියව් අරුන්ගේ දිවිල්ල. මොකෝ රෑ උනාම පාරට අලි එනවද! කමක් නෑ පුතාලා ලබන සතියේ කාඩ් ගන්න ඕනේ නිසා ක්ලාස් එන්න!!”

ඒ උත්තමයා කියන දේවල් අහන්න නොහිටිය අපි නිමලත් එක්ක ස්ටෑන්ඩ් ඒකට දිව්වා. හරි අමාරුවෙන් අද්දන බස් එකට දුවලා ගොඩ උනා. මෙන්න නිමලා නගින්නේ නෑ!

“නැගපන් යකෝ! මල්රානි ඇතුලේ ඇති!”

“ඔව් බං. ඒකි ඇතුලේ ඇති. ඒත් මට අද ඒකිව බලන්න බෑ වගේ බං”

එහෙම හිතෙන එකත් සත්‍ය ප්‍රේමයේ ම කොටසක් වෙන්න ඇති කියලා නිමලට අම්මමෝ නැතිව බැනලා අපි පුට්බෝඩ් එකෙන් බිමට පැන්නා.

කාලය ගත උනා. නිමල් රට ගියා. මල්රානි කැම්පස් ගියා. ඊට පස්සේ බැන්දා. නිමල් නෙවෙයි. වෙන කෙනෙක්!
නිමල් ළඟ අර උප්පැන්න සහතිකේ තාම තියනවා ඇති.  

%d bloggers like this: