Menu Close

අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක – ක්ලාස් කතා 01

ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි, ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා කියලා හිතුනා.

පහුගිය දොහේ මොකුත් කොටන්න කරන්න බැරි උනේ නාඩියා ජුන්ඩියක් විතර ලොකු පිම්මක් පැනපු නිසා. ඒ කිව්වේ කසාද බැන්දේ එහෙම නැතුවා. මංතුමා අධ්‍යාපන සහ පරේක්ෂණ කාරණේකට විප්‍රවාසගත උනා. දැන් වාසේ දේසේ කැන්ගරු දේසේ. ඒ අල්ල පනල්ලේ මේක කොටන්න ඉස්පාසුවක් ලැබුනේ හදිසි වැඩකට ට්‍රම්ප් දේසෙට යන ගමන් අඩි දහපාලොස්දාහක් උඩ ඉඳන්. (ඔව් දැන් කියපං උඹට එච්චර උඩට යන්න උනා අකුරක් කොටන්න කියලා.. )

හැමදේම වෙනස් වෙලා බොලව්…

ඒ ඇහැව් අස්සේ ඉස්සර දොහේ කරපු කියපු දේවල් තනියම මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවට ඔළුවට එන එක වලක්වන්න අමාරුයි. ඒ අස්සේ ඇස් අග්ගිස්ස තෙත් වෙන වේලාවන් නැතිවමත් නෙවෙයි.

කොහොමෙන් කොහොම හරි අද කොටන්න හිතුවේ හරිම අපූරු අතීත මතක ටිකක්. අපි කොයි කාගේත් ජිවිතේ සොමිබර ජෝලිබර කාලසීමාවක් තමයි ඉස්කෝලේ කාලේ. ගෙදර ඇඳේ ඉඳන් හැතැම්ම බාගයක් දුරින් තිබිච්චි ඉස්කෝලේට අවුරුදු දහතුනක් ගච්චපු එකා වෙච්චි මං  ඉස්කෝලේ කාලේ ආයේ මදි නොකියන්න ආතල් එකේ හිටියා.

ඒ අස්සේ තිබිච්චි AL කාලේ පිස්සු බම්ප් වෙන කාලයක්. අවුරුදු දෙකකින් විතර ජිවිතේ තීරණේ කරන (ටිකකට හරි) මහා විබාගයක් තියාගෙනත් අපි ආතල් එකේ හිටියා. ගෙදරින් පොකැට් මනි විදිහට දෙන රුපියල් සීයෙන් පන්ති ගිහිං දවල්ට බඩ පුරව දානකම් බණ්ඩාගේ කඩෙන් තොසේ කන්න පුළුවන් උනා.

AL පන්ති තමා හොඳම එක. මෙහෙමයි. කාඩ් ගන්න නොගන්න එක වෙනම දෙයක් 😉 ඒ අස්සේ පොඩ්ඩක් ගණන් හදන්න එහෙම කම්මැලි නම්. Chemistry පරිවර්තන අරහං නම් ක්ලාස් එකක් දෙකක් කට් කරන්න අපේ සැට් එක පසුබට උනේ නෑ. ඔය කාලේ සිද්ධ වෙච්චි කතා දෙක තුනක් මතක විදිහට කොටලා දාන්න හිතුවා.

ඔන්න එක දවසක් උදේ පාන්දර හයේ බස් එක අල්ලාගෙන ක්ලාස් යන්නයි සූදානම. ඕක සෙනසුරාදා ඉරිදා දවස් දේකට බදු අරගෙන හිටියේ ක්ලාස් යන උන්. ඩබල් සීට් බොහොමයක් පාසල් ප්‍රේම වලින් පිරිලයි තිබ්බේ. අපි වගේ අහිංසකයන්ට පිටිපස්සේ සීට් එකේ පොඩි ඉඩක් සෙට් උනා. නැත්නම් පුට්බෝඩ් තමා. එක එක හෝල්ට් වලින් සැට් එකේ එක එකා ගොඩ වෙනවා. දැන් ඔන්න බස් එක ගිරිඋල්ල පාස් කරලා යනවා. 

පුට්බෝඩ් එකේ ඉන්න මට උදේ බඩට දාගත්තු කිරි එක සිග්නල් දෙන්න පටන් අරගෙන.

“අඩෝ පුෂ්පේ.. බොක පාරක් බාන්න ඕනේ වගේ ඕයි”

“මොන මඟුලක්ද. මං අදවත් ක්ලාස් යන්න ඕනේ. උඹ නාරම්මලින් බැහැලා වැඩේ කරගෙන ඊළඟ බස් එකේ වරෙන්”

බඩේ හොල්මන් ටික හරි අමාරුවෙන් ඉවසගෙන බස් එක නාරම්මල ස්ටෑන්ඩ් එකට දාපු ගමන් හුරේ රන් එක පබ්ලික් ලැට් එකට (ඒ වෙද්දී වටේ පිටේ නගර බොහොමයක ලැට් එක ඇස් පියාගෙන හොයාගන්න තරං මට්ටමක අපි හිටියා) නයි කයිද රෝස් පාන් කියපි! එතැන ලැට් එක නෑ කියපන්කො!

පුක බෙරි කරගෙන වටේ කැරකිච්චි මාව දැකපු ත්‍රිවිල් අයියා කෙනෙක්…

“මල්ලි ලැට් එක ගිය බදාදා කැඩුවනේ අලුතින් හදන්න කියලා!!!”

හිටපං ඇති වෙච්චි තත්ත්වේ! හරිම අමාරුවෙන් එතැන තිබ්බ තේ කඩේකට දුවලා වැඩේ ගොඩ දාගත්තා. මොන ක්ලාස් යාමක්ද එදා. පැයක් පරක්කු වෙලා ක්ලාස් යන්න පුළුවන් යෑ! බෝකක් සෙට් වෙලා ක්ලාස් ගියේ නෑ කියලා රෙද්දක් ඇදගෙන ගෙදර යන්න පුළුවන් යැ!

ඔය AL කාලේ කියන්නේ කොල්ලෝ කෙල්ලොන්ගේ හද මෝරන කාලේ නේ. එකම විදිහේ විත්‍රපටි හැමදාම බලලා ඇති වෙලා හිටිය අපිට, නෙක නෙක පාට ඇඳගෙන හතර අතෙන් එන කෙලි පොඩිත්තියෝ දැක්කහම නිකම් කාන්තාරේ යන ඔටුවොන්ට වතුර පෙන්නුවා වගේ කිචි කැවෙන සීන් එකක් තිබ්බා. ඉතිං ඔය කාලේ පොඩි පොඩි හුට්ටප්පර තිබුනේ නැතිවමත් නෙවෙයි. හැබැයි ඉතිං මේ කාලේ වගේ වට්සැප්, වයිබර මොකුත් නෑ. පොඩි නොකියා මෝබයිලාවකට රුපියල් පනහක රිලෝඩ් එකක් දාගෙන මාසයක්වත් අදින්න අපිට සිද්ධ වෙලා තිබ්බා. ඉතිං ලොකුම communication medium එක මැසේජ් තමා. නැත්නම් මිස් කෝල්! ඔව් යකෝ! අපි සමහරු මිස් කෝල් වලින් මෝස් පණිවිඩ යවන ක්‍රමයක් හොයාගෙන තිබ්බා!

ඔන්න මංතුමත් ගල අයිනේ ඉස්කෝලේ ගෑල්ලමයෙක් එක්ක පොඩ්ඩක් හිනා වෙන්න කතා කරන්න පටන් අරගෙනයි තිබ්බේ ඒ වෙද්දී. 😉 වැඩේට සපෝට් කරන්න ඕනෑම වෙලාවක ක්ලාස් කට් කරන්න උනත් උරදෙන අතීසාර මිතුරු කැලක් හිටියා. ඔන්න මිස් කෝල් වලින් මැසේජ් වලින් ගලා ගිය ප්‍රේමේ හා හා පුරා කියලා හම්බෙන්නයි මංතුමාගේ සූදානම. කුරුණෑගල පරණ මාකට් එක ඉස්සර කොක්කු පිරිච්චි ගස් යට ගහන ලෝකේ හිමිංම යන බස් සැට් එක මතක ඇතිනේ. ඔතන තමා තැන. දවල් දොළහට විතර “එයා” එනවා කිව්වා. මගේ තනි නොතනියට අපේ උන් දෙක තුනක් හත් අට පොලක උකුසු ඇස් යොමාගෙන හිටියා. ඇතුගල රත් වෙලා උණුහුම් වෙච්චි හුලං පාරක් ඉම්පීරියල් එක පැත්තෙන් ඇවිත් ගස් අතු හොලවගෙන හැමුවා. කපුටු කූඩු වල අපිළිවෙලට තිබිච්චි කෝටු හයියෙන් හයියෙන් අඩි තිය තියා යන කෙල්ලොන්ගේ කුඩ උඩට වැටුනා. එයා ආවා!

“අද ක්ලාස් ගියාද” – ඒ මම!
“හ්ම්ම්…”
“මමත් ගියා”
“හ්ම්ම්..”
“හවස ක්ලාස් යනවද?
“හ්ම්ම්….”

ඒ අහව් අස්සේ කෙල්ල බයෙන් බයෙන් වගේ මහේ උරිස්සට උඩින් පිටිපස්ස බලනවා මට පේනවා. මං තුමා පිටිපස්ස බැලුවද? නෑ සහෝදරවරුනි, ඒ අක්ෂි රසායනය නේත්‍ර දෙකෙන් මොහොතකටවත් අයින් කරගන්න මං ලෝබ උනා මිත්‍රවරුනි!

කෙල්ල ටිකක් සලිත උනා කියලා මට තේරුනා. හදිස්සියෙන් වගේ අතේ බැඳපු ඔරලෝසුවෙන් වෙලාව බලපු දැරිවි,

“මට පරක්කු වෙනවා. මං යනවා!”
ඈ යන්න ගියා!

මොහොතක් ගල් ගැහුණු මං පිටිපස්ස බැලුවා. කිව්වට ඇස් වහක් කටවහක් නෑ පුෂ්පයා ඇතුළු අතීසාර මිතුරු කැල කට බලියාගෙන විරිත්තාගෙන පිටිපස්සේ!

“තොපි මොකෝ මැද්දට පැන්නේ?”

“නෑ බං ඒ කෙල්ල අපිත් එක්ක නිකං යන්තමට හිනා වෙනවා වගේ අපි දැක්ක. ඉතිං හිතුවා උඹ අපි ගැන කියන්න ඇති කියලා. ඉතිං අපි පොඩ්ඩක් කෙල්ල හොඳට බලාගන්න ලොකේෂන් ගත උනා”

එච්චරයි! මුන්ගේ විරිත්තිල්ලෙන් කෙල්ල බය උනා! නානා හරක් දිහා බලනවා වගේ කෙල්ලෙක් දිහා කොල්ලෝ රංචුවක් බලං ඉද්දි මොන මුවැත්තියද බිය නොවන්නේ මිතුර!
මට කෙල උනා. එයා ආයේ මිස් කෝල් එකක්වත් ගැහුවේ නෑ.

මේ ටිකයි! ඉතුරු ටික පස්සට!

%d bloggers like this: