Menu Close

මං කැමති අව්වට…

වැස්ස කියන්නෙ රජරටට කාලෙකට සැරයක් ලැබෙන අත්දැකීමක්. ඉතින් ඒ නිසාම අපිට ඒක සුවිශේශයි. අව්‍ රශ්මියෙන් ඉරි තැලුන පොළොව වැහි බින්දු සිපගද්දි පොළොවෙන් මතුවෙන්නෙ හරිම නැවුම් සුවදක්. ඒ සුවද මට මතක් කරන්නෙම අලුත උපන් දරුවෙක්ගෙ මුවගින් හමන කිරි සුවදක්. එහෙමත් නැත්නම් මදුසමය ගතකිරීමට සූදානම් වන කන්‍යාවකගේ වරලසින් හමන පිච්ච මල් සුවදක්… ඒ තරමටම එය පිවිතුරුයි. නිකැලැල්.

පොඩි කාලේ මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ මේ වැස්ස කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙනවද කියන එක. අදටත්  වැස්ස දිහා බලාගෙන ඉද්දි ඒ පුන්චි කාලෙ හිටිය ළමයව මට මතක් වෙනව. කොන්ඩෙ කොටටම කපපු, පිරිමි ළමයෙක් වගෙ ඇදුම් අදින ගෑනු ළමයෙක් කඩදාසි ඔරු පා කරනව. ගෙදර බැම්ම උඩට නැගල වැස්ස ගැන එයා දන්න පුන්චි පුන්චි සින්දු මහා හයියෙන් කියනව. අම්ම හිනා වෙවී එයා දිහා බලන් ඉන්නව.
               “වැස්ස වහිනවා
                සතුට පිරෙනවා
                අපි තේ බොනවා” පුන්චි පුන්චි කවි හද හදා ගෙදර බිත්ති පුරා ලියනව. ඒ කාලෙට වඩා ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා උනත් සමහර පුරුදු එහෙමමයි කියල මට හිතෙනව. අදටත් වහින වෙලාවට මට මොනවම හරි ලියන්න ඕන. රත්නශ්‍රී විජේසිංහයන්ගෙ ‘වස්සානය ‘ කවි පන්තියේ එන
 “වැහි වළාකුලු රංචු කදු මුදුන් වල ලගින
    දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
     වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න
   ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න”
කවි පෙළ සිය සැරයක් හරි හිතින් මුමුණන්න ඕන.   ටී. එම් ජයරතයන්ගේ “හිතින් මා නොසැලී” ගීතයට නොනවත්වා සවන් දෙන්න ඕන. .. ඒත් වැස්සත් එක්ක තිබ්බ ඒ ආත්මීය බැදීම නම් දැන් බොහෝ දුරට අඩු වෙලා.. දැන් මං කැමති අව්වට. අව්ව දවස් කියන්නෙ ප්‍රීතීමත්ම දවස් වලට. උදේ නැගිට්ට ගමන් නිල්ම නිල් පාට අහසක් දකින්න මං කැමතියි.කුඩයක්වත් නැතුව දාඩිය ගලනකල් ඉර  එළියෙ හිටගෙන ඉන්න මම කැමතියි. ඉර එළිය යන යන පැත්තට හැරෙන සූරියකාන්ත මල් දිහා බලන් ඉන්න මං කැමතියි. සුළගත් එක්ක දැවටිලා එන දූවිලි සුවදට මං කැමතියි. ඉර එළිය මූණට වැටෙද්දි ඇස් හීනි කරගෙන ඇවිදින මිනිස්සු දිහා බලන් ඉන්න කැමතියි. හැන්දෑවට  ඉර බැහැගෙන යද්දි අහස වෙනස් වෙනවට කැමතියි. අව්වෙ සෙල්ලම් කරන පුන්චි ළමයි දිහා බලන් ඉන්න මං කැමතියි.වැස්සකට වඩා කොච්චර දේවල් අව්වකට කරන්න පුලුවන්ද. අහසෙ පාට සැරින් සැරේ වෙනස් කරන්න පුලුවන්
නිදාගෙන ඉන්න චූටි චූටි මල් ඇහැරවන්න පුලුවන්.
වැඩකරන මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්. රබර් යායවල් වල දවසෙ කුලියට වැඩ කරන මිනිස්සුන්ට, හන්දියෙ කඩයක් ගානෙ බර අදින නාට්ටාමිලාට , ලෝකෙටම ණය වෙලා වැස්සට දිය වෙන අස්වැන්න ගැන හිත හිතා ඉන්න ගොවියෙකුට,  හෙට දවස ගැන බලාපොරොත්තුවක් ගේන්න අව්වකට පුලුවන්. ඉතින්.. මං කැමති නිල් පාට උදේවරු වලට.ඉර එලියෙන් දිලිසෙන දවල් වරු වලට. රතු පාටින් බැස යන හවස් වරු වලට. සරලවම කිව්වොත් වැහි වළාකුලක්වත් නැති පැහැදිලි දවස් වලට.

%d bloggers like this: