Menu Close

උපතේ පටන් වෙනස්කොට සැලකීම කාන්තා අයිතිවාසිකම් කඩ වීමේ මුල ද?

කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩ වීම අද ලංකාව පුරා බහුලව සිදු වන්නා වූ දෙයකි. මේවාට පිලියම් යෙදීමට උත්සහ කරත් ඒවා විසඳෙන බවක් නම් දක්නට නොලැබේ. මන්ද කාන්තාවන්ට දැනුවත් ව හෝ නොදැනුවත් ව සිදුවන හිරිහැර දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන බවක් දක්නට නොමැති නිසාවෙනි.

මෙසේ අයිතිවාසිකම් කඩ වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ සමාජය එක් රාමුවකට වී සිතීමට උත්සහ කිරීමයි. උපතේ දී පිරිමි ළමයෙකුට හා ගැහැණු ළමයෙකුට ජීව විද්‍යාත්මක වෙනසකට වඩා වැඩි වෙනසක් නැත. උපතේ දී පමණක් නොව ඊට පසු ද ඇත්තේ මෙම ජීව විද්‍යාත්මක වෙනස පමණි. නමුත් සමාජය දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම පාර්ෂවයන්ට වෙනස් කොට සැලකීම උපතේ පටන් සිදු කරයි. දැනටත් සමහර මිනිසුන් තම පවුලේ උපදින පලමු දරුවා ගැහැණු දරුවෙකු වීමට අකමැත්තක් දක්වයි. යම් පවුලකට දරුවෙකු ඉපදුන විට ඒ ගැගැණු දරුවෙකු නම් එම දරුවාට ලබා දෙන තෑගි සහ ඒ පිරිමි දරුවෙකු නම් ලබා දෙන තෑගි ගැන ඔබ මදකට සිතා බලන්න. වෙනස් කොට සැලකීම ආරම්භ වන්නේ මෙසේ උපතින්ම යි.

සමාජය විසින් ගැහැණුන් හා පිරිමින්ගෙන් බලාපොරොත්තු වන ගති ලක්ෂණ තිබේ. ගැහැණු කෙනෙක් නම් කීකරු, විනීත, වැරෙන් කතා බහ නොකරන චරිතයක් විය යුතු බව ද පිරිමින් ස්වභාවයෙන්ම කේන්ති ගන්නා, දැඩි, සැර පරුෂ චරිතයක් ඇති අය විය යුතු බව සමාජය සිතයි. කුඩා උදාහරණයක් ලෙස මෙය ගන්න ; පිරිමි පාසලක ළමුන් අතරේ ඇතිවන රණ්ඩුවක දී රණ්ඩුවට සහභාගි නොවන පුද්ගලයාට බොහෝ විට බනින්නේ “කෙල්ලෙක් වෙන්න එපා” කියා යි. රණ්ඩු කිරීම් හරි යැයි නොකියන නමුත් රණ්ඩු කරන්නේ පිරිමින් පමණ ද? මෙසේ කුඩා කල පටන් පිරිමින්ගෙන් හා කාන්තාවන්ගෙන් මෙම සමාජය බලාපොරොත්තු වන ගති ලක්ෂණ තිබේ. එම ගති ලක්ෂණ වලට පිටින් ගිය විට නිතැතින් ම පහර වැදෙයි. පිරිමියෙක් සිදු කරන දෙය කාන්තාවක් සිදු කරන්නට ගියහොත් ඇයට නිතැතින්ම පහර වැදෙන්නේ එය “ගැහැණු කමට නින්දාවක්” ලෙසයි. මේ කියන්නා වූ ගැහැණු කම සමාජය විසින් බලාපොරොත්තු වන දෙයක් මිස කාන්තාවකගේ තිබිය යුතු ලක්ෂණ නොවේ.

පිරිමියෙක් ගෙන් සමාජය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ රස්සාවක් කර පවුලක් නඩත්තු කිරීමයි. නමුත් කාන්තාවකගෙන් එසේ බලාපොරොත්තු වන්නේ නැත. බිරිඳ රස්සාවකට ගොස් සැමියා විසින් නිවසේ සිට ළමුන් බලාකියාගෙන වැඩ කටයුතු කලහොත් එයට සමාජය විසින් පිරිමියාට බැණ වදියි. මන්ද සමාජය විසින් පිරිමියාගෙන් බලාපොරොත්තු වන දේ ඔහු විසින් සිදු නොකරන නිසාවෙනි. මෙම ක්‍රියාව පහර ගසන්නට තරම් දෙයක් දැයි සිතා බැලීම වටියි. මෙම සිතුවිලි මිනිසුන් තුලින් ඉවත් කිරීමට අපහසුයි. නමුත් ඉවත් කරගත් විට සමාජය තුල විශාල වෙනසක් අනිවාර්යයෙන්ම සිදු කල හැකියි.

මෑතක දී එක්තරා පාසලක විදුහල්පති වරයෙක් නියෝගයක් පනවා තිබුනේ පාසලේ සිටින ගුරුවරියන්ට අත් දිගට සිටින ලෙස සාරි ඇඳ පැමිණෙන ලෙසයි. මෙයට හේතු ලෙස ඔහු දක්වා තිබුනේ අත් කොට හැට්ට සහිත සාරි ඇඳ පැමිණෙන විට පාසලේ සිටින පිරිමි ළමයි ‘ඇවිස්සෙන’ බවයි. සමක් දුටු පමණින් පිරිමින් ‘ඇවිස්සෙනවා’ ද? එසේත් නැති නම් මෙය පිරිමින්ගේ ක්‍රියා කලාපයක් කියා සමාජය විසින් අපට උගන්වා ඇති දේ ද? මිනිසා ස්වභාවයෙන්ම අනෙක් සතුන්ගෙන් වෙන් වන්නේ තමන්ට තමන් කරනා දේ පාලනය කරගත හැකි වීම නිසාවෙනි. මෙසේ තමන් කරනා දේ පාලනය කරගත නොහැකි නම් තවදුරටත් ඔවුන්ට මිනිසුන් ලෙස හදුන්වාදීමේ ඇති ඵලය කුමක් ද? ඇරත් පිරිමියා තුල තිබෙන වරදකට (සමාජය කියනා පරිදි) කාන්තාවට දඬුවම් දෙන්නේ ඇයි? මෙසේ පිරිමියා ගැන සමාජය තුල සමාජය විසින්ම ඇති කර තිබෙන වැරදි ආකල්ප නිසාවෙන් දඬුවම් විදීමට සිදු වී ඇත්තේ ද කාන්තාවටම යි.

කාන්තාවන් විදින බොහෝ ගැහැට වලට ප්‍රධාන හේතුවක් වන්නේ මේ සමාජය විසින් එකිනෙකාගෙන් බලාපොරොත්තු වන ගති ලක්ෂණයි. මෙය මේ සමාජය විසින් අපට උගන්වන දෙයයි. නමුත් ඒ සෑම දෙයක් ම ඉගෙන ගත යුතු ද? එය ප්‍රශ්න කිරීමට කාලයකි මේ.

%d bloggers like this: