Menu Close

චමත්ක කවීන් බණ්ඩාර විසින් රචිත, “චමත්කාර – සිතුවිලි අතර නතර වූ සිතුවිලි”

“කාලය හැමදාමත් අපූරු රටා මවනවා. එක පැත්තකින් බොහෝ දේවල් වෙනස් කරනවා. තවත් දේවල් ගොඩ නගනවා. බිඳ ඉහිරවනවා. ඒ අතරින් කාලයට වෙනස් කරන්න බැරි වුණු පෙර වගේම නිහඬව ගලාගෙන යන සිදුවීම් ඕනෑ තරම් හමු වෙනවා “ පිටු අංක 100 චමත්කාර
චමත්ක කවීන් පුතාගේ පස් වෙනි ග්‍රන්ථය දොරට වැඩීමේදී මට ඒ ගැන කතා කරන්න ලැබුන විට මම ඒක හරිම කැමැත්තෙන් භාර ගන්නවා. ඒ වන විටත් මම, චමත්ක කවීන් පුංචි කවියාගේ කවි කියවන, ඔහුගේ චමත්කාර තීරුව කියවන අතර ඔහුගේ කෙටි චිත්‍රපට, ළමා නාට්‍ය යන මේ සියළු තැන්හි දැක්වූ සමත්කම් ගැන දකිමින් ඔහු ගැන අප්‍රමාණ සෙනෙහසින් බලා හිඳි කෙනෙක්.
ඉතින් ඒ අපූරු පොත් පිංච දොරට වඩින අවස්ථාවේ මට වැටහුනා ළමා සාහිත්‍යය සහ ළමයින්ව සාහිත්‍යයට යොමු කිරීම කියන අපට තියෙන ප්‍රබලම අභියෝගය ගැන කතා කළ යුතුයි කියලා. යන එන අතර, හිත නෙත රැඳුණු බොහෝ කතන්දරවල සංවේදී කියවීමක් සහිත මේ කතන්දර බොහෝ දේ ගැන හිත තෙතමනය ඇති කරන සුළු ලියැවීම්. මේ වයසේ දරුවෙක්ගෙන් මෙවැනි වූ ලියැවීමක් කියවන්න ලැබීම මා පුදුමයට පත් කරනවා. ඒ අතරම මගේ හිතේ දුකක් ඇති වෙනවා. ඒකට හේතුව, අපේ රටේ මේ වන විට, මේ චමත්ක කවීන් පුතා වගේ දරුවෝ බිහි වෙන එක අඩු වෙලා තියෙන නිසා. ඒක මම දකින්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්. ඉතින් මේ වගේ දක්ෂ දරුවන් බිහි කරන්න, අපේ රටේ ඉස්සරහට මොකක් හරි හිතකර වෙනස්කමක් අපට කරන්න පුලුවන් කියා මට හිතුන නිසා මම මේ ටික කියන්නම ඕනේ කියා හිතුවා.
අපේ රටේ මේ වෙනකොට සංවේදී මිනිස්සු දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ අමාරුකම් කෙරෙහි, අනෙකාගේ දුබලතා කෙරෙහි හෝ අනෙකාගේ සැපසම්පත් කෙරෙහි සංවේදී වෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මේ අපේ සමාජයේ රටේ පැවැත්මේ තියෙන ප්‍රබලම මරු පහර ලෙස අපි දකින්නේ මෙන්න මේ දේ. අපේ කාලයේදී, අපි කුඩා කාලයේ නම් අපි එතරම් ජන මාධ්‍ය සමග ගැටුණු පිරිසක් නෙමෙයි නමුත් අද දරුවන්ට පහසුවෙන් මාධ්‍යය සහ ඒ ආශ්‍රිත උපාංග පහසුවෙන් ළඟා කරගැනීමේ හැකියාව තිබිලත් ඔවුන් සෞන්දර්‍යාත්මක , සංවේදී මිනිසුන් බවට පත් වීම අඩු වෙලා තියෙනවා.
එහෙම අපි කතා කරද්දී ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් පර් යේෂන කරනව අපේ ළමා පරපුර මේ ගැටළුවෙන් මුදවාගන්නේ කියලා, උදාහරණයකට කිව්වොත් අපි කොහොමද චමත්ක වගේ දරුවෝ මේ ලෝකෙට බිහි කරගන්නේ කියලා. මොකද අන්න එහෙම දරුවොන් තමා සමාජයේ සාර්ථක මිනිසුන් ලෙස වැඩදායක මිනිසුන් ලෙස වගකීම් දරන්නේ.
ඒක සහජ කුසලතාවය හෝ ඉබේ එන දෙයක් කියලා ලඝු කරලා පැත්තකට කරන්න බෑ. විශාල වගකීමක් තියෙනවා අපේ වැඩිහිටි පරම්පරාවෙන් විශේෂයෙන්ම අම්මට තාත්තට , දරුවන් මේ කෙරෙහි උනන්දු කරන්නට.
ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා.
දරුවෙක් අකුරක් කියවන්න ඉගෙන ගන්න කළින් සංඥාවක් රූපයක් හෝ ඉගෙන ගන්න කළින් ඉඳන් දෙමාපියන් දරුවෙක්ට කියාදෙන දේ තුලින් දරුවන්ගේ මොළයේ විශාල බලපෑමක් ඇති කරනවා කියලා ඔවුන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.
අපේ රටේ අපේ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ඔවුන්ගේ ආභාෂයෙන්, දරුවන්ට ගහකොළ මල් පෙන්වලා කවි කතන්දර කියලා දරුවන්ට කුඩාකාලයේ ඉඳන් සෞන්දර් යය විඳින්න හුරු කළා. ඒත් අද අම්මලා තාත්තලා දරුවොන්ගෙන් ඈත්වෙලා මෙවලමක් අතට දෙනවා. මම මේ හට්න් ගේ පරීක්ෂනය මෙතැනදී කියන්න හේතුවුනේ, ළමා සාහිත්‍යයක්, ළමයින්ව කියවන්න ලියන්න පුරුදු කරන්න අවශ්‍ය බව කියන නිසයි.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය කියන දේ අවශ්‍යයි. පොතක් පතක් කියවද්දී අකුරු කියවද්දී, ළමා මනසේ පරිකල්පන ශක්තිය වැඩිවෙනවා කියන එක කියනවා. පරිකල්පනය තුලින් තමා සොඳුරු සෞන්දර්‍යාත්මක වටිනාකමින් යුත් නිර්මාණ කරන මිනිසුන් බිහිවෙන්නේ. එහෙම මිනිසුන් විනාශයක් ළඟා කරන්නේ නෑ කියා ඔවුන් කියනවා. එතකොට අපි ඇත්තටම කලාකරුවෝ කියා හඳුනාගත් පිරිස් අන් අය කෙරෙහි සංවේදී සොඳුරු මිනිසුන් විය යුතුයි නේද ?
කළින් ඉඳන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සුරංගනා කතා කියලා දෙන දරුවන්ගේ මොළයේ තිබෙන රූප ශබ්ද භාෂා කියන මේ තැන් ගැන වගකියන කොටස් ඉතා දැඩි දීප්තියකින් පෙන්නුම් කරලා තියෙනවා ක්‍රියාත්මකයි හෝ වැඩ කරන බව. එතකොට මම මෙතනදි මුලින්ම කියන පණිවිඩය තමයි චමත්ක වගේ දරුවෝ බීහිවෙන්නනම් ඔබලාගෙන් සියයට සියයක් ඔබේ සහය අවශ්‍යයි. මේ දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න ඔවුන්ව සංවේදී දරුවෝ කරන්න , ඔවුන්ට හැකි තරම් කතන්දර කියන්න. තිර වලින් , ස්ක්‍රීන් එකෙන් මුදවන්න කියන එක.
අයින්ස්ටයින් කියා තිබෙනවා ඔබට ඔබේ දරුවා බුද්ධිමතෙක් කරන්න උවමනානම් සුරංගනා කතා කියවන්න කියන එක
ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවෙනවා.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ, නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.
දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.
අද සමාජයේ තියෙන ආකල්ප නිසා අපේ දරුවෝ සෞන්දර්‍යයට , නිර්මාණකරනයට යොමු කිරීම අපහසුම කාර්යයක් වෙලා තියෙනවා. චමත්ක පුතා දිහා බලන් ඉන්නකොට මට පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහුගේ දෙමාපියන් ගැන. ඔවුන් මේ දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඔහුව හරි මගට යොමු කරලා ඔවුන්ගෙන් ඔහුට එහෙම සහයෝගයක් ලැබුනේ නැත්නම් ඔහුට මේ තරම් දුරක් එන්න අපහසුයි. අපි එකිනෙකාගේ අප තුල තියෙන අපට කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් අපේ හැකියාවන් වෙනස්. ඒවා එක්ක ඉදිරියට යන්න අපේ දරු පරපුරට අපි උදව් වෙමු. ඒවගේම අපේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඉඩකඩ ලබා දීලා ඔවුන් හට නිර්මාණකරනයේදී ලැබිය යුතු සහය ලබා දීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බවත් මතක් කළ යුතුමය.
මම තවමත් චමත්කාර පොතේ අකුරු අතර මේ කුඩා දරුවාගේ චින්තනයේ විස්මය කියවමින් සිටිනවා. අවට ලෝකය ගැනත් , මිනිස් සිත් වලින් එබී බලන වචන සහ සිතුවිලි වල අරුමයත් ඔහුගේ පන්හිඳට කැටිවෙන්නේ ඔහුටම ආවේනික වූ සරල සුගම්‍ය වදන් පේළි වලින්.
හිමි අහිමි දෑ ගැන, මිනිසුන්ගේ කියුම් කෙරුම් ගැන, ඔහුට දැනෙන අයුරින් ලියා දක්වන කතා විටෙක හිත් වල ඇති කරන්නේ ශෝකයක්. සමාජය දෙස ප්‍රකෘති සිහියෙන් බලා සිටින චමත්ක පුතා ඒවා අකුරු කරන්නේ මනා සංයමයකින්.
“ජිවිතය මොන තරම් අපූරුද ? හැම මොහොතක ම හැම දිනයක ම අලුත් පාඩමක් කියා දෙනවා” පිටු අංක 117
මම ඔබ දිහා බලමින් ඒ පාඩමේ අපූර්වත්වය දකිනවා. චමත්ක කවීන් වැනි දරුවන් වෙත අවශ්‍ය ගුරුහරුකම් මග පෙන්වීම ලබා දෙමින් ඔහුගේ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට වඩා කැපවී සිටින දෙමාපියන් ඇතුළු සියළු දෙනා හට ඉතා ස්තූතිවන්ත වෙන්නේ සමාජයට වැඩ දායක සංවේදී සොඳුරු නිර්මාණකරුවෙක් සොඳුරු මිනිසෙක් බිහි කරන්නට, දරුවා තුල තිබෙන සහජ කුසලතා හඳුනාගන්නට, මේ හැල්මේ දිවයන අධ්‍යාපන තරඟයෙන් මදකට මිදෙන්නට අවකාශයක් ලබා දෙන්නට හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හැකි වේවා යැයි පතමිනි.
වෛද්‍ය බෝධිනී සමරතුංග
%d bloggers like this: