Menu Close

278. හැපි බර්ත්ඩේ ටූ මී…

අද සිත්තමීගේ උපන් දිනේ. කීවෙනි එකද කියලා අහන්න එපා ඉතිං, හරි නෑනේ. අද මං ඔයාලට රහසක් එළි කරන්නයි යන්නේ. රහසක් කිව්වට මේක මේ වෙද්දි හුඟක් දෙනෙක් දන්නවා. ඒ වුණාට කමක් නෑ අහං ඉන්ඩකො.

සිත්තමී මේ වෙද්දි මේ බ්ලොග් එකේ නව කතා තුනක් ලියලා තියෙනවා. මුල් දෙකනම් දැනට ඔයාලට පේන්න නැහැ, ඒවා මම කාලෙකට පස්සේ හංගගත්තා. තුන් වෙනි එක මේ ළඟදී ලියපු ‘හද වෙණ සත්සර’. මං ඒ මුල් දෙක හංගගත්ත හේතුව වුණේ, මම ඒ කතන්දරවලින් පොත් පෙළක් කරන්න හිතපු නිසා. පළවෙනි කතාන්දරේ මතක අය ඉන්නවානම්, එඩ්වඩ්-වැනේසා දෙන්නාව ඔයාලාට හම්බවුණේ ඒ කතාවෙන්. එකෝමත් එක කාලෙක. 2016දී තිබුණ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී මට බ්ලොග් නවකතා අංශයෙන් දෙවෙනි ස්ථානය ලැබුණේත් ඒ කතාවට. දෙවෙනි කතාව තමයි ජේම්ස්-ලීසල් දෙන්නාව ඔයාලට මුණගැහුණ කිරුළක උරුමය. ඉතින් දැන් ඔය කතන්දර දෙකෙන් පළවෙනි එක ඔන්න පොතක් වෙලා තියෙනවා. සරසවි ප්‍රකාශනයක් විදිහට ඒ පොත නිකුත් වුණේ මේ සතියේ.



ඉතින් දැන් රහස දැක්කනේ. ඔය තියෙන්නේ සිත්තමීගේ හැබෑ නම. පහුගිය කාලේ මහ රෑ නිදි මරාගෙන ‘හද වෙණ සත්සර’ ලියන අතරෙදි ඔයාලගෙ කමෙන්ට්වලට නිදි මරගාතේ උත්තර දෙද්දී වැරදිලා සිත්තමීගේ නමින් නැතුව මගේ හැබෑ නමින්ම ඒවාට උත්තර වැටුණා. විගහට ඒවා මකලා ආපහු සිත්තමීගේ නමින් උත්තර දුන්නා වුණත් ඒවා දැකපු අය ඇති ඔයාලා අතර නොවැරදීම. 2016, 2017 නෙළුම් යාය උත්සවවලදිත් මගේ හැබෑ නම ඇහෙන්න ඇති කට්ටියට. 

ඒත් ඉතිං තව දුරටත් මේ හැංගි මුත්තම ගැන හිත හිත ඉන්නේ නැතුව, මේ වෙලාවෙදි මේ පොත ගැන ඔයාලට කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මේ කතාව සම්පූර්ණ කතාවක් විදිහට ලියාගන්න මට පුළුවන් වුණේ, එතනින් නවතින්නේ නැතුව දෙවෙනි කතාවකටත් යන්න පුළුවන් වුණේ, ඉස්සරහට කතන්දර පෙළක්ම ලියන්න තරම් හිතට දිරියක් ලැබුණේ මේ බ්ලොග් ලෝකේ ඉන්න මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැම දෙනාම නිසා. ඉතිං ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. 

මේක මගේ මුල්ම ස්වතන්ත්‍ර කෘතිය. මේ පොතේ, බ්ලොග් එකේ ලියපු කතාවේ චරිතවලට වඩා නම් එහෙම ටිකක් වෙනස්. සිදුවීම්වලත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා පොත කියවලා රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මීට කළින් 2015 අවුරුද්දෙදි මම පරිවර්තනයක් කළා. ඒකත් සරසවි ප්‍රකාශනයක්. මේ තියෙන්නේ ඒක. කළින් වතාවකදි මම මේ ගැන නිකම් බොහොම පොඩියට කිව්වා. 

දැන් ඉතින් ඔයාලා මගේ නම දැනගත්තා වුණාට, බ්ලොග් ලෝකෙදි මම කැමති ‘සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත’ නමින් ම ඉන්න. එහෙමත් නැත්තම් ඔයාලා මට කියන ‘සිත්තමී’ නමින් ම ඉන්න. ඒ නිසා ඒ නමින්ම විතරක් මට මෙහෙදි කතා කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමදෙනාටම ආයෙමත් ගොඩාක් ස්තූතියි. 🙂




%d bloggers like this: