Menu Close

රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්.

ඉලියුමිනාටි කියන සීක‍්‍රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ‍්‍රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක එක කණ්ඩායමක් විදිහට සැලකුනත් කණ්ඩායම් ගානක් මේ නම යටතේ පැවතිලා තියෙනවා. ඉලියුමිනාටි කියන්නෙ එන්ලයිට්න්ඞ්, නැත්තං අවබෝධයට පත්වූ කියන අදහස. මේ නමින් ඇත්ත කණ්ඩායම් වගේම ප‍්‍රබන්ධ කණ්ඩායම් පවා තියෙනවා. ඒත් ඉලියුමිනාටි කියල පොදුවෙ රිෆර් කරන්නෙ දාර්ශනික සියවස විදිහට හඳුන්වන 18 වෙනි සියවසේ පැවතුනු බැවේරියන් ඉලියුමිනාටි සමාජය. මේකෙ අරමුණු වුනේ පුරවැසියන්ගෙ ජීවිතය මිත්‍යාවෙන්, ගූඪත්වයෙන්  සහ ආගමික බලපෑම්වලින් නිදහස් කරන එක. ඒ වගේම රාජ්‍ය පීඩනයට විරුද්ද වෙන එක. ආධිපත්‍යයෙන් තොරව ජනතාව පාලනය කළ හැකි ක‍්‍රමවේදයන් නිර්මාණය කරන එක. ඒත් බැවේරියන් පාලකයෙක් වුන චාල්ස් තියඩෝර් ඉලියුමිනාටි වගේම ඒ කාලෙ තිබුනු ෆ‍්‍රිමේසන්රි වගේ සමාජයනුත් තහනම් කරනවා. ඒ කතෝලික පල්ලියේ බලපෑම නිසා. එහෙම කළත් ඉලියුමානාටි කණ්ඩායම අන්ඩර්ග‍්‍රවුන්ඞ් විදිහට ක‍්‍රියාත්මක වුන වගත් ප‍්‍රංශ විප්ලවයට ප‍්‍රධානව වග කිව යුතු බවටත් කතන්දර තියෙනවා.

වැඩියෙන් වැදගත් වෙන්නෙ මේ ඉලියුමිනාටි කණ්ඩායමට එකතු වුණු සුවිශේෂ බුද්දිමතුන්. විශේෂයෙන්ම ජොආන් වොන් ගොතේ කියන ලේඛකයා මාරම අදහස් තිබුනු චරිතයක්. මේ නම හරියට උච්චාරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ජර්මන් නෙමෙයි නම් කටපැටලෙන එක අනිවාර්යයි. ජර්මානු විදිහට ඒක ගර්ත වගේ අමුතු සද්දෙකට කියවෙන්නෙ. වොන් ගොතේ යුරෝපයේ හිටපු ලොකුම සංස්කෘතික විප්ලවකාරයෙක්. ෂේක්ස්පියර්, ඩාන්ටෙ, හෝමර් අපිට පේන්නෙ කොයි වගේද ගොතේත් ඊට කොහෙත්ම දෙවෙනි නෑ.  එයා කවි ලිව්වා. නවකතා ලිව්වා. භූ විද්‍යාව, උද්භිත විද්‍යාව, කායික විද්‍යාව වගේ විෂයන්වල වැඩ දැම්මා. එයා ඩිප්ලොමැට් කෙනෙක්. ෆැෂන් ගුරු කෙනෙක්. සිවිල් සේවකයෙක්. ඒ වගේම පෝර්නොග‍්‍රැෆර් කෙනෙක්. ආර්ටිස්ට් කෙනෙක්. සංචාරකයෙක්. කැනීම් සමාගමකත් ලොක්කෙක්. මේ විදිහෙ එකකට එකක් නොගැලපෙන ගොඩක් දේවල් ඇතුලෙ ගොතේ ලොකු වැඩ කොටසක් කරනවා. ඇන්ඩි වාර්හෝල් කියන විදිහට ගොතේ කියන්නෙ එයාගෙ වීරයො සෙට් එකේ පෙරමුනේ කෙනෙක්.

ගොතේ ගොඩක් අයව ඉන්ස්පයර් කරන දේවල් ලිව්වා. ඒත් ඊටත් වඩා ලෝකය ඉන්ස්පයර් කරන විදිහෙ ජීවිතයක් එයා ගත කළා. ඇත්තටම එයාගෙ ජීවිතය එයාගෙ ලේඛනවලට හෝ සාහිත්‍යයට වඩා සුවිශේෂීයි.

එයා ගතකළේ ඉහළ පාංතික ජීවිතයක්. එයා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳන්. අවුරුදු දොලහෙ ඉඳන්ම කඩුවක් පවා පැළදුවා. ලෙප්සිග් යුනිවර්සිටියෙ උපාදිය කළ අතරෙ ස්ට‍්‍රැස්බර්ග්වල නීතිය මාස්ටර් කළා. ඒත් එයා නිතරම ලෙක්චර්ස් කට් කළා. උස තැන් වලට ගිහින් බිම බලාගෙන ඉන්න කැමති වුනා. ඇත්තටම නං ගොතේ උස තැන් ගැන ෆෝබියාවෙන් පෙලූන කෙනෙක්. ඒත් එයාටම අභියෝග කරගන්න එක එයාට විනෝදයක් වුනා.

ආදරය රොමාන්තිකයෙන් ඔබ්බට. ඒ තමයි ගොතේ ආදරය ගැන හිතපු විදිහ.
උපාදිය ගත්තට පස්සෙ එයා උසාවියක ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ කාලෙදි එයාගෙ යාලූවෙකුගෙ පෙම්වතියක් ගැන එයාට ලොකු ආදරයක් ඇතිවෙනවා.  මේ ආදරය කාගෙන එයා පොතක් ලියනවා. සොරෝස් ඔෆ් වර්දර්.. වර්දර් කියන්නෙ ගොතේ නවකතාව ඇතුලෙ එයාට දීලා තිබුන නම.

මේක උපරිම රොමාන්තික කතාවක්. ඇය ගැන උනන්දුව ඇතිවෙන හැටි, සියුම් සියුම් දෙයින් පවා ආදරේ දැනෙන හැටි, එකට නටද්දි දැනෙන ගැටෙන සියුම් පහසකින් පවා පිබිදෙන හැටි, ගොතේ විස්තරාත්මකව ලියනවා. එයා මේ පොතේ කියනවා ආදරේ කිරීම තමයි ජිවිතේ වැදගත්ම දේ කියල. රොමැන්ටික් ආදරේ නැතුව ජීවිතේ කියන්නෙ මොකක්ද? වර්දර් අහනවා. ඒක හරියට දැල්වෙන එලියක් නැති ලන්තෑරුමක් වගේ.

මේක ඊළ`ග අවුරුදු 25ක් පුරා යුරෝපයේ බෙස්ට් සෙලින්ග් පොත වෙනවා. නැපෝලියන් මේ පොත හත් පාරක් කියෙව්වා කියල ආඩම්බර වෙනවා. ඒත් මේ පොතේ අවසානය ඛේදාන්තයක්. තරුණිය වර්දර්ගේ ආදරය ප‍්‍රතික්‍ෂේප කරනවා. හිත් වේදනාවෙන් වර්දර් දිවි නසා ගන්නවා. මේ පොතේ අවසානය විසින් ගොතේ රොමාන්තික පේ‍්‍රමයේ සීමාවන් ඉස්මතු කරනවා. රොමාන්තික ආදරය සුන්දරයි. ඒත් ඒක දරුණු විදිහට අර්බුදකාරීයි.

ගොතේ දකින විදිහට රොමාන්තික ආදරයේ අර්බුදය වෙන්නෙ එක මොහොතක් නතර කරගන්න හදන උත්සාහයයි. ගිම්හානයේ උයන්වතු මැදින් පෙම්වතිය සමග ඇවිද යන මොහොතක් වෙන්න පුළුවන්.. තරු වියන් යට හුරතලෙන් ගතවුනු මොහොතක් වෙන්න පුළුවන්.. රොමාන්තික ආදරය මේ මොහොත සදාකාලයක් දික්වෙන්න ප‍්‍රාර්තනා කරනවා. විවාහ වෙන්න, දරුවන් හදන්න ප‍්‍රාර්තනා කරනවා. ඒත් විවාහය රොමාන්තික ආදරය බිඳ වැටෙන තැනක්. මුදල් උපයන්න වෙනවා, බිල් ගෙවන්න වෙනවා, රන්ඩුසරුවල් වෙනවා, එපා වෙනවා. මේ විදිහට රොමාන්තික ආදරය එය විසින්ම ප‍්‍රාර්ථනා කරන ඊළ`ග මොහොතේදී දරුණු බිඳවැටීමකට ලක්වෙනවා. රොමාන්තික පේ‍්‍රමය සියදිවි නසාගන්නවා. මේකෙන් රොමාන්තික පෙම්වතුන් සිත් තැවුලට අවුලට, වේදනාවට පත්වෙනවා. බලාපොරොත්තු සුන්වීම, රොමාන්තික ආදරයේ අනිවාර්යයක් කියල ගොතේ කියනවා.

මේ හින්ද එයා රොමාන්තික ආදරය වෙනුවට තාර්කික නැත්තං යතාර්ථවාදී ආදරයක් යෝජනා කරනවා. අර්බුද ගැටුම් සමග වර්ධනය වෙන, තේරුම් ගැනීම් තුලින් ඉදිරියට ඇදෙන, ජීවිතයේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන යතාර්ථවාදී ආදරයක් ගොතේ වඩාත් අගය කරනවා. ඒක එකපාර ඇතවෙන පිපී විකසිත වෙන ආහ්ලාදජනක ආදරයට වඩා වෙනස්. ඒ ආදරය රොමාන්තික අවධියෙන් ඔබ්බට වැඩෙන එකක්. ෙ සිහනමය බලාපොරොත්තු වෙනුවට එදිනෙදා එකට ජීවිතෙන් බැඳෙන සබඳතාවයක්.  ගොතේ රොමැන්ටික් අයිඩියොලොජිය විවේචනය කරන්නෙ එයාට ඒක විඳින්න අවශ්‍ය පරිකල්පනය නොතිබුනු හින්ද නෙමෙයි. ඒකෙන් සිද්ද වෙන අනතුර, සීමාවීම දැකපු හින්ද.

ගොතේ වර්දර්ගේ රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් සම්භාව්‍ය පේ‍්‍රමය දක්වා එයාගෙ දැක්ම පරිණත කරනවා. පස්සෙ එයා අතින් ලියවෙන ඉෆිජීනියා නාට්‍යය ඇතුලෙ රොමාන්තික පේ‍්‍රමයට එයාගෙ විකල්පය අරන් එනවා.

ඉෆිජීනියා කියන්නෙ ට්‍රොජන් යුද්දෙ කාලෙ හිටපු ග‍්‍රීක කුමාරිකාවක්. එයා ග‍්‍රීකයන්ගෙ ප‍්‍රධාන රජු වුනු ඇගමෙම්නොන්ගෙ දුව. ඉෆිජීනියාගෙ පවුල ඉතාම බිහිසුණු අපරාධයන්ට සහ ආරවුල්වලට මැදිවෙනවා. ඒක හරියටම සාමාන්‍ය පවුල් ජීවිතයේ අර්බුද එක්සැජරේට් කරලා පෙන්නීමක් වගේ.

පරම්පරාවෙන් පරම්පරාවට ආශාවෙ මූලයන් ගමන් කරනවා. ගොතේ කියන්නෙ මේ සියල්ල අවසාන කරමින් සාමය සහ සමාව දීම අරගෙන එන්නෙ ඉෆිජීනියා කියලයි. ඉෆිජීනියා ඇගේ ජීවිතයේ අර්ථය තේරුම් ගන්නෙ පිරිමින්ව මෘදු කිරීම නැත්තං පිරිමි හිත් වඩාත් ආදරනීය කිරීම විදිහටයි. එයා නිරන්තරයෙන්ම මිනිස්සුන්ව සංසුන් වෙන්නත් සානුකම්පිත වෙන්නත් පොළඹවනවා. එයා ආදරය වෙනුවෙන් කැපවෙනවා. ඒත් නොදැමුණු, ළදරු වලිප්පු ආශාවන් වෙනුවෙන් නෙමෙයි. තේරුම් ගැනීමෙන්, අනුකම්පාවෙන් සහ සාමයෙන් පිරුනු ආදරෙන්.

අප සියල්ලන් කෙදින හෝ මියෙන වග දන්නා අප විසින්
ඉතාම දැඩි හදවතත් මෘදු බව වෙතට කැඳවිය යුතු නොවේද?
අනෙකා වෙනුවෙන් අප ජීවිතේ දන්නා
උපරිම කාරුණිකබවෙන් සංග‍්‍රහ කළ යුතු නොවේද?

ගොතේගේ පළමු පොතේ රොමාන්තිකබවට වශී වුනු පිරිස මේ පරිණත පණිවුඩය බාරගන්න ටිකක් පරක්කු වෙනවා. ගොතේ රොමාන්තික පේ‍්‍රමයට පිටුපානවද? කෝ එයා කලින් දැනවූ අනුරාගී බව? ඒ ගොල්ලො ඉෆිජීනියා දැක්කෙ අලූපාට දුමාරයක් විදිහට.

ගොතේ මේ වෙද්දි හිටියෙ මැදිවයසෙ. ඒ හින්ද මේ ප‍්‍රතික්‍ෂේප වීම් වලින් එයා සැලූනෙ නෑ. එයාට වර්දර්ගේ මනසෙ ජීවත්වෙලා ඇතිවෙලා තිබුනෙ. එයා කියනවා, රොමාන්තික පේ‍්‍රමය කියන්නෙ රෝගයක් කියල. සම්භාව්‍ය පේ‍්‍රමය නිරෝගී මිනිස් සම්බන්ධතාවයක්.
ඒත් අපි රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් අවබෝධාත්මක පේ‍්‍රමයක් දක්වා පරිණත වෙන්න ලෑස්තිද?

තව කොටසක් ඊළ`ගට.

%d bloggers like this: