Menu Close

ටිකක් දිග මතකයක් !

එක්තරා උදයක
අතින් අල්ලන හුස්මක
මැකෙන හද රිද්මෙක
තාල හොයමින් උන්නෙමි
බෙර නලා නැතිවම
නටපු බලි තොවිලෙක
සිනා පමණක් ඉතිරිවිය හද
පැරණි සැමරුම් සිනාකැන් මැද
ඇඟිල්ලක දැවටෙන
සිඟිති අත් පහසට
බිළිඳු මදහසකට
නිවනු හැකි වෙයි හිතේ දහඩිය
අදත් විත් දොරකඩ
මතක පෙන්වයි ඇද
ඇඟිලි තුඩු වලටත්
මැවිය හැකි බව සැනින් ජීවය…

බෝධිනී සමරතුංග 2018

මේ කවිය ලියැවුනේ, මුහුණු පොතෙන් කරන ලද මතක් කිරීමක් දුටු විටයි.

“Bodhini Samaratunga is feeling exhausted.

September 8, 2017 ·

So I was holding 3 hearts this morning along with the other doctor. one decided to give us a hard time the other came out with a beautiful cry but a heavy weight on my chest ! You know what i mean 😓

I hope this country will be fine tuned when u grow up little one ! I wish you will be a “nick” who conquered the world amidst the challenges marked on him permanently !”

එක්තරා උදයක පුංචි හදවත් තුනක් හිතින් දරාගෙන

සිටියෙමි. කෘතිම ශ්වස්නය දෙන මෙවලම් ලැහැස්තිදැයි බලමින් අපි නො ඉවසිල්ලෙන් උන්නේ, එකම මව් කුස බෙදාගෙන සති තිස් ගණනක් එකට ඉඳලා එළියට එන්න බලන් හිටපු පුංචි පැංචන් දෙන්නෙක් පිළිගන්නයි. හැමදාම වගේ ඕනෙම නරක සිදුවීමකට ලැහැස්ති වෙමින්.

අපි දැනන් හිටියා එක් දරුවෙක් වැඩී නැති බව එනමුත් ඔවුන් එළියට එනකම් එතරම් දරුණු ලෙස ජාන විකෘති ඇති බව අපි දැනගෙන උන්නේ නෑ. අපි බලාපොරොත්තුවෙන් සිටි අවුල් රැසක් දරන් එළියට ආ පැංචා හිතුව තරම් අමාරු නොවුනත් එයාගේ නිවුන්නාට හොඳටම අමාරු වුනා. අවසානයේ ඔක්කොමලා හොඳින් හුස්ම වින්දත්, ආබාධ රැසක් දරන් ආපු පුංචි පැංචා නිසා මගේ හදවත බිඳුනා.

ඉතා දුෂ්කරතා මධ්‍යයේ ජීවිතේ ගෙවන ඒ පවුලට , මේ පැංචා බරක් බව වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ හිටිය කාලයේදී හොඳටම වැටහුනා. කිහිප විටක් අපි දන්නා තරමින් ඒ අම්මාට මේ සිදුවීම පැහැදිලි කර දුන්නා. පාසැල් කාලයේ කළුතර ග්‍රේස් කුමරි ළමා නිවාසයට ගිය විට අපට මෙවන් දරුවන් වැඩිහිටියන් කොතෙකුත් මුණ ගැසුනා. ඔවුන් හරි ආදරණීය දරුවෝ. යුරෝපයේදී මෙවැනි දරුවෙක් හදාගන්නා අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් මට මුණ ගැහුණා. ඔවුන්ට මේ දරුවා ආශිර්වාදයක් ලෙස ඔවුන් සිතනවා. නිතරම සිනහවෙන් සිටින ඈ අම්මාට තාත්තාට බදා වැළඳ හාදු දෙමින් උන්නා. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ කැපවීම දේවත්වයක් ලෙස මම දකිනවා. නමුත් අවාසනාවකට සමාජයේ සියළුම පන්ති වල මව්පියන්ට ඒ කැපවීම එලෙස කරන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ආර්ථික සහ සාමාජීය යුද්ධ වල ඔවුන් කොටු වෙලා.

එයා උස් මහත් වෙද්දිවත් අපේ රට , අපේ ජන සමාජය ආබාධ සහිත අය කෙරෙහි හිතකර සහ යෝග්‍ය එකක් වෙනු ඇතැයි මම නිතර සිතනවා. තව අවුරුදු දහයකින් හෝ මේ රට වෙනස් විය යුතුයි. එක් කොටසකට විතරක් හිතකර නොවිය යුතුයි කියා මම සිතනවා.

සිංගප්පූරුවේදී මා දුටුවේ ඒ රටේ කොතැනක ගියත් , ඒ ඕනෑම තැනකට ආබාධ සහිත රෝද පුටුවක හෝ ගමන් කළ අයෙක්ට පහසුවෙන් ළඟා විය හැකි ලෙස ලිෆ්ට් , වේදිකා සකස් කර තිබුනා. කොටින්ම බස් රථයේ රියැදුරු පැමිණ දොර අසල තිබූ වේදිකාවක් එළියට ඇද රෝද පුටුව සමග එම පුද්ගලයා ඇතුල් කර රෝද පුටුව ආරක්ෂිතව සකස් කරන ලද තැන හොඳින් තබා තමයි නැවත බසයට ගොඩ වී ගමනේ යෙදෙන්නේ.

ඉතින් මට මතක් වුනේම මේ කුඩා ජීවිත. අපේ රටේ සමාජය තවම හරි හැටි මේ දේවල් ගැන සංවේදී නොවීම අපි හැමගේම වගකිම් පැහැර හැරීමක් කියා මට සිතේ.

%d bloggers like this: