Menu Close

සී සික් සමගින් පළමු මුහුදු ගමන. – සයුරේ දසවසක් – 3

නැව් බදේ හැපෙන මුහුදු රළ ශබ්දය විටින් විට ඇසේ තවමත් කළුවර පහව ගිහින් නැත. පාන්දර වැටුන පින්නෙන් සිරුර තෙමිගොසිනි. තැන නුපුරුදු වුවත් මාහට අවදිවන්නට වුයේ අපත් සමගින් නිදා උන් එකා දෙන්නා නැගිට යන්නට පටන්ගත් පසුය. මා මෙන් කැබින් කාමර අහිමිව සිටි කිහිපදෙනෙකු සමගින් පෙරදින රාත‍්‍රියේ බෝට් ඩෙක් (Boat Deck) හි කාඩ්බෝඩ් කැබැල්ලක් එලාගෙන නිදාගත් බව සිහිපත් විය.

                නෞකාවක ගෙවන දෙවන දිනයත් උදාවුනි. දවසේ වැඩ පටන්ගන්නට පෙර උදේ පාන්දරම සිදුකලයුතු පිරිසිදු කිරිමේ වැඩ රාජකාරි සියුලු පුහුණුවන්නන්ට බෙදා දී තිබුණි. මෙස් රූම් පිරිසිදු කිරිම ඇලිවේ අතුගා මොප් කිරිම හා නානකාමර හා වැසිකිලි සෝදා පිරිසිදු කිරිම මේ අතරින් කිහිපයක් විය.එකිනෙකා තමන්ට පැවරුනු පිරිසිදු කිරිමේ රාජකාරිවලට එක්වුනු අතර වැඩක් පැවරුනු නොලැබු මා ඇලිවේ එකක් පිරිසිදු කිරිමට එක්වුනි. එදින පුරාවටම විවිධාකාර වැඩ රාජකාරිවලට උපකාර කිරීමට මා හට සිදුවිය. 

        සවස් වරුවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා හට පැවරූ විශේෂ රාජකාරියක් වූයේ එන්ජින් කාමරයට ඉහළින් වූ ඩෙක් හෙඞ් (Deck Head) එක වෙල්ඩර්වරුන් විසින් කපාදැමීමේදී එන්ජින් කාමරයට වැටෙනා ගිනි අඟුරුවලට වතුර ගසා නිවාදැමීමයි. විවිධාකාර ලිහිසි තෙල් ඩීසල් හා ග‍්‍රීස් ඇතුලු තෙල් මංඩිවලින් ද තෙල්මිශ‍්‍ර වාතයෙන්ද පිරුණු තැනක් වූ එන්ජින් කාමරය ගිනි ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතියේය. මා හට ලීටර් විස්සේ කෙමිකල් බැරලයක් කපා සාදා ගන්නා ලද වතුර බාල්දියක් හා කුඩා කෝප්පයක් ලබාදුනි. ඉහලින්වු යකඩ තහඩුව කපා දැමීමේදී පහලට ඇද වැටෙන උණු යබොර ගුලි වැටෙන වැටෙන වාරයක් පාසා වතුර ටික ටික විසි කිරීමට සිදුවිය. මුලින් හිටගෙන මේ ක‍්‍රියාව සිදුකලත් පැය කිහිපයකට පසුව ඇතිවු කකුල් කෙඩෙත්තුව අධික විම නිසා කුඩා ලෑලි බංකුවක් ළඟට ඇදගත් මා එහි වාඩිගෙන වතුර විසි කිරිම සිදුකලෙමි. 

       සවස් වරුවත් අවසන් වී රාත‍්‍රිය උදා විය. ඉහළ යකඩ තහඩුව කපා අලූතින් යෙදු තහඩුව වෙල්ඩින් කිරීම අරඹීය. මුළු දවස පුරා අධික ලෙස වැඩ කළ මා සිටියේ හෙම්බත් වීගෙනය. තද කුසගින්නක් මෙන්ම නිදිමතද මා වෙලා ගනිමින් පැවතියේය. රාත‍්‍රී අටට පමණ ඉහළින් වැටෙනා වෙල්ඩින් යබොර කැබලි නැවතී ඇති බව නිරීක්ෂණය කළෙමි. මා හට එන්ජින් කාමරය තනි කර දමා ඉහළ තට්ටුවට ගොස් බැලිය නොහැක්කේ යළිත් ඔවුන් වැඩ ආරම්භ කළහොත් යන බිය මා සිතෙහි හොල්මන් කරන්නට පටන් ගත් බැවිනි. තව පැයක් පමණ බංකුව මතට වි බලාසිට  ඕනෙ දෙයක් වෙන්නයි සිතා මා ඉහළ තට්ටුවට ගොස් ඔවුන් වැඩ කරමින් සිටි කැබින් කාමරයට එබී බැලූවෙමි. පෑස්සුම්කරුවන් දෙදෙනා පෙනෙන්නට නොසිටියහ. ඔවුන් තම වැඩය නවතා දමා ගොස් ඇති බව මට වැටහුණි. ඔවුන් වැඩ කරන තෙක් මා මෙහි නිදි කිරමින් කුසගින්නේ එන්ජින් කාමරයේ වතුර බාල්දියත් සමඟින් දිටියදී ඔවුන් වැඩය නවතා දමා හොඳින් නා කියාගෙන රාත‍්‍රී ආහාරයද ගෙන නින්දට වැටී ඇති බව දැක ඇති වූයේ දැඩි කෝපයකි. මේ පිස්සු නැව අත්හැර ගෙදර බලා යාමට තරම් කලකිරීමක් මා සිතට ඇති වූයේ කෑමට කිසිවක් නොවූ බැවිනි. එදින පටන් මා පළමුව ඉගෙන ගත් දෙය නාවික ජීවිතයේදී වේලාවට වැඩ කිරීමය. සියල්ලන්ම ඉටු කරන්නේ රාජකාරියයි. අරක්කැමියාද සිය රාජකාරිය නිමා කර ඉතිරි වූ ව්‍යංජන සියල්ල විසි කර දමා භාජන සෝදා දමයි.
     
            තවත් දින කිහිපයක් ගාලූ වරායේ ගෙවී ගොස් නැවේ කරමින් සිටි අලූත්වැඩියා කටයුතු යම් තරමකට අවසන් කරගැනීමට හැකිවිය. දැන් ඇත්තේ වරායෙන් පිටත්ව ත‍්‍රිකුණාමලය වරාය දක්වා ගමන් ආරම්භ කිරීමටය. සියල්ල සූදානම්ව ඇත. එන්ජින් කාමරයේ වූයේ දැඩි කලබල ගතියකි. නැවේ කාර්යයමණ්ඩලය ලකලැහැස්ති වෙයි. කඞ්ඩා මා හට කථා කළේය.
”මචං ස්ටෑන්ඞ් බයි (Stand-by) දාලා තියෙන්නේ. උඹත් එන්ජින් රූම් එකට වරෙන්.”
මේ වන විට ප‍්‍රධාන එන්ජිම ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියහ. නාවික පුහුණු පාසලේදී ඉගෙන ගත් ක‍්‍රියාවලිය මාගේ මනසට යළිත් මතක් විය. එහෙත් මෙම අවස්ථාවේදී විය යුත්තේ නිරීක්ෂකයෙකු වීම පමණි. ඔයිලර්වරයෙකු (Oiler) දිව ගොස්  සම්පීඩන වායුව (Compressed Air) ටැංකිවලට පිරවීම සඳහා කොම්ප්‍රෙෂර්ය (Air Compressor) ස්ටාර්ට් කළේය. එන්න එන්නම එන්ජින් කාමරේ ශබ්දය දෙසවනට උසුලාගත නොහැකි වන ලෙසින් වැඩිවන්නට විය. ප‍්‍රධාන එන්ජිම දෙසැරයක් පමණ පණ ගන්වා වාමාවර්තව හා දක්ෂිණාවර්තව කරකවා බැලූවේය. විදුලි කාර්මිකවරයා මීටර් පැනල් සියල්ල පරීක්ෂාකර බැලීය. සියල්ල නිවැරදි ලෙස කි‍්‍රයාකරනවාදැයි පරික්ෂාකර බලා අවසන්විය.  ටෙලිග‍්‍රාෆය (Telegraph) නැව ඉදිරියට ධාවනය වන්නට ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) සංඥාව දක්වන්නට විය. විදුලිකාර්මිකවරයා සංඥාව දැක්වූ වේලාව බෙල් බුක්හි (Bell Book) සටහන් කරගත්තේය. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා ටෙලිග‍්‍රාෆ්හි ලීවරය නියමිත ස්ථානයට පත්කර එහි නාදවන සීනුව තනරකර එන්ජිම ඉදිරියට ධාවනය කිරීමට ලීවරය ඉහළට දැමීය. මහත් ශබ්දයක් නංවමින් එන්ජිම ක‍්‍රියාකිරීම ඇරඹීය. එන්ජිමේ ධාවන වේගය වැඩි කිරීමට පුවරුවේ තිබු පැරණී අතින් කරකවන මහන මැසිමක් රෝදයක් වැනි රෝදයක් කරකවමින් එහි වේගය ඩෙඞ් ස්ලෝ එහෙඞ් හි නියමිත වේගයට එන්ජිම පත් කරවීය.    
            
                 දෙවන ඉන්ජිනේරුවරයා මා හට කථාකොට ප‍්‍රධාන එන්ජිමේ වම්පස කුඩා මෝටරයක් වැනි සිලින්ඩරාකාර කොටසක් පෙන්වා එහි අසල කම්බියකින් එල්ලා තිබූ ස්පැනරයක් ගෙන ලෑස්තිව සිටින ලෙසත් ඔහුගෙන් ලැබෙන සංඥාවකට අනුව එම සිලින්ඩරාකාර කොටසට මොකක්දෝ කරන ලෙස මාගේ කනට කර පැවසීය. මට මෙලෝ දෙයක් නොතේරුණ නමුත් මා ඔහු කී ලෙසට එම උපාංගය අසලට වී ස්පැනරයත් අතට අරන් සූදානම්ව සිටියෙමි. නැවේ බ්රිජ් එකෙන් නිකුත් වූ සංඥාව ටෙලිග‍්‍රාෆයෙන් නිකුත් විය. ප‍්‍රධාන එන්ජිම යළි පණ ගැන්වූ ඉන්ජිනේරුවරයා එකවරම කලබල වී මට තට්ටු කරන ලෙසිින් සංඥා කළේය. මාහට කුමක් කරන්නද කියා සිතාගත නොහැකිවිය. එක වරම අසල සිටි ඔයිලර් ජයතිස්ස අයියා මා අත තිබූ ස්පැනරය උදුරාගෙන එකදිගට සිලින්ඩරාකාර කොටසට තඩිබාන්නට විය. දෙවන ඉන්ජිනේරුවරයා දිවවිත් නතරකරන්නට පවසනතුරු ඔහු එයට තට්ටු කරමින් සිටියා මතකය. පසුව දැනගන්නට ලැබුණ පරිදි මෙම සිලින්ඩරාකාර කොටසින් සිදුකරන්නේ එන්ජිම ක‍්‍රියාකරවන ස්ථානයේ වූ වේගය පෙන්නුම් කරන මීටරයට අවශ්‍ය සංඥාව ලබාදීමයි. එන්ජිම ඉදිරියට ධාවනය වෙද්දී එහි දෝෂයක් නොපෙන්වුවත් පසුපසට ධාවනය වන විට එය සමහර අවස්ථාවලදී හරිහැටි ක‍්‍රියානොකරයි. එයට පිළියමක් ලෙස කිහිපවාරයක් තට්ටු දැමූ විට නියමිත ලෙසින් ක‍්‍රියාත්මකවි වේගය පෙන්නුම් කිරිම සිදුකරයි. එතැන් පටන් මම සෑම විටම මෙම නෞකාව වරායකට පිවිසෙන හා පිටවන අවස්ථාවලදී ස්පැනරය ගෙන කුඩා සිලින්ඩරාකාර කොටසට තට්ටු දැමීමට සූදානමින් සිටින්නට පටන්ගතිමි. 

               නෞකාව ගාල්ල වරායෙන් පිටත් විය. ටිකෙන් දියඹට ඇදෙන නෞකාව ගොඩබිමෙන් ඇත්වෙමින් සිටියාය. රූමස්සල කදුවැටිය කුඩා වෙමින් දර්ශණපථයෙන් මිදෙන්න ආසන්නය. එන්න එන්නම මුහුද රළු ස්වභාවයක් ගෙන එන්නට වුනි. තද නීලවර්ණ මහා සාගරය සුදෝසුදු පෙන කැටි අහුරක් නෞකා බදේ හැපෙමින් නැංවන්නවුයේය. දෙපැත්තට පැද්දෙන බඩු කිසිවක් පටවා නොතිබු හිස් නෞකාව චන්ඩ මුහුදු රළට පැරදුනා සේය. ගාල්ලෙන් පිටත්වූ පළමු දිනයේ සුපුරුදු පරිදි මා ඇතුලූ තවත් කිහිප දෙනෙක් නැවේ ප‍්‍රධාන තට්ටුවට ඉහළින් වූ තට්ටුවක එළිමහනේ බිමට කාඞ්බෝඞ් කැබැල්ලක් දමාගෙන කිළිටි කොට්ටය හිසට තබාගෙන නිදාගන්නට ලෑස්ති වීමු. නැව පැද්දෙන බැවින් මා හට තිබූ විශාලතම බිය වූයේ පැත්තට රෝල් වී ගොස් නැවේ වැටට යටින් මුහුදට වැටේ යැයි සිතට නැගුනායිනි. නින්ද මා අහලකටවත් නොපැමිණියේය. අහස් තලේ කුඩා තරු කැට දෙස බලමින් සිටින මා හට නැවේ එන්ජිමෙන් ඇසෙන ඝෝරනාදයද දුම් බටයෙන් පිටවන දුමද සඳඑළියෙන් දිස්විය. නොනිදා රැය පහන්කල පසු දින මාගේ හිස බමන්නට විය. රාත‍්‍රියේ නිදිමැරීමෙන් වූ තෙහෙට්ටුවද නැවේ පැද්දීම නිසා ඇතිවු කෑම අරුචියද  නිසා උදේ කෑමවේල ගත්තේද නැත.

     ප‍්‍රධන ඉන්ජිනේරුවරයා උදේම වැඩක් ලෙසින් නැවේ ඉදිරිපස වූ හදිසි අවස්ථාවලදී යොදාගන්නා ජෙනරේටර් කාමරය (Emergency Generator Room) පිරිසිදු කරන ලෙසින් පැවරීය. පිරිසිදු කිරීමට අවශ්‍ය රෙදි කැබලි බාල්දියක් ඇතුලූ දේවල් රැගෙන නැවේ ඉදිරියට ගියේ හොඳින් වාත‍්‍රාශය ලැබෙන තට්ටුවේ රාජකාරිය වඩා හොඳ යැයි සිතමින්ය. එන්ජින් කාමරයේ පවතින තෙල් මිශ‍්‍ර වාත‍්‍රාශ‍්‍රය ආඝ‍්‍රහනය කළ විට බඩදගලා එන ඔක්කාරය නිසා තට්ටුවට වී සිටීමට ප‍්‍රිය කළෙමි. නැවේ ඉදිරිපස පැද්දීම වැඩි බව වැටහුණේ එහි වැඩ කරද්දීය. නෞකාවක් දෙපැත්තට පැද්දීම රොලිං (Rolling) ලෙසත් ඉදිරියට හා පිටුපසට පැද්දීම පිචිං (Piching) ලෙසත් හඳුන්වයි. මේ නෞකාව විටෙක රෝලිනුත් විටෙයක පිචිංනුත් සිදුවන්නේ බඩබොකු එළියට ඇද දමන්නට තරමේ සීසික් ඇතිකරවමින්ය. මෙම පැද්දීම වැඩි වෙත්ම කෙලින් සිටගෙන ඉන්නටත් නොහැකි කරමින් විසිවි යයි. පැවරූ වැඩ කොටසින් තුන්කාලක් නිම කිරීමට නොහැකිව දොර අසලට වී වාඩි ගත්තෙමි. හිස කැරකැවීම තවත් වැඩිවේගන එන්නට විය. ඔක්කාර ගතියක් දැනුණත් මා හට වමනය මෙතෙක් නොවීය. හිතට දිරිගත් මා කෙසේ හෝ මෙම වැඩය නිම කරනවා යැයි සිතා ගතිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මාගේ වැඩ පරීක්ෂා කිරීමට එහි එන විටත් මා වැඩ කරමින් සිටියෙමි. ඔහු ඉමර්ජන්සි ජෙනරේටර් රූම් එක පරීක්ෂා කර බලා තවත් පිරිසිදු විය යුතු තැන් පෙන්වා පිටත්ව ගියේය.

            දහවල් කෑම මට රුචි නොවීය. මාගේ නාවික පුහුණු පාසලෙන් මෙම නැවට අනුයුක්ත කල දෙවන අවසන් වසරේ ආධුනිකයෙක් වු අප  බක සිල්වා නමින් හැදින්වු එබි වරයෙකු (AB – Able bodied Seaman) මා හට කිව්වේ මුහුදු වතුර පානය කළ පසු සී සික් (Sea sick) ගතිය පහව යනු ඇතැයි කියාය. එහෙත් මා ඔහු පැවසූ පරිදි මුහුදු ජලය පානය කිරීම බැහැර කළෙමි. කඞ්ඩා කෙසේ හෝ කෑම කන ලෙසත් බල කළේය. පිගාන අතට ගත් මා කටවල් දෙකක් පමණ අමාරුවෙන් මෙන් උගුරෙන් පහළට යවා ගතිමි. සවස තේ පානය සඳහා යළිත් නැවේ ඉදිරියේ සිට නැවේ පසුපස පුප් ඩෙක් (Poop Deck) එක වෙත පැමිණෙන විටත් මා සිටියේ අඩක් පණ නැතිවය. මා හට මුහුදු ජලය පානය කරන ලෙස පැවසූ බක සිල්වා
”ඔහොම ඉඳලා හරියන්නෙ නැහැ. සී වෝටර් ටිකක් බීලා බලපන්. මුහුදත් කැළඹිලා තියෙන එකේ බඩත් කැළඹුනාම ඔක්කෝම හරියනවා.”
ඒ වන විට වහ දුන්නත් බොන තරමට මා මානසිකවද ශාරීරිකවද තෙහෙට්ටු වී සිටියෙමි. ප්ලාස්ටික් ජොග්ගුවක් ගත් ඔහු කුඩා ලණුවක එය ගැටගසාගෙන එහාට මෙහාට යනු නැව පිටුපස වූ බොලාඩයක්  (Bollard) උඩ වාඩිගෙන සිටි මාගේ නෙතට අසුවිය.
”ආ මෙන්න මේක බොන්න.”
අඬක් පිරුණු මුහුදු ජලය සහිත ප්ලාස්ටික් ජොග්ගුව මා වෙත දිගු කළේය. දෙසැරයක් නොසිතා ඉන් උගුරු කිහිපයක් ගිල දැමු පසු
”ඔහොම බෑ ඔක්කොම බීලා දාපං.”
කට කොනකින් සිනාසෙමින් ඔහු කීවේය. 

     ගැලියේ සිටි  ස්ටුවඩ් (Steward) මා දෙස බලාගෙන සිටියේය. ඔහු මාගේ නාවික පුහුණු පාසලේ එකම බැච් එකේ අරුක්කැමි පුහුණුවන්නෙකු විය. ලුණු වතුර උගුරු කිහිපයක් අපහසුවෙන් බී ගත් මා ඉතිරිය මුහුදට හලාදැමුවෙමි. ඉන් බඩහි දැගලිල්ල අඩුවක් නොවුණත් සිතට ඔසුවක් වුනි. එන්න එන්නම නෞකාවේ පැද්දිල්ල වැඩිවෙයි. ඉදහිට මුහුදු රළ ප‍්‍රධාන තට්ටුව ආක‍්‍රමණය කරන්නට සැරසෙයි. මාගේ බඩ දගලා ඔක්කාරයට ඒම වැළැක්විය නොහැකිවිය. එකවරම උගුරට ගලා ආ වමනය ගන්වෝ්ල් (Gunwale) එකෙන් පිටතට ඔලූව දමා මුහුදට පිට කළෙමි. මෙතෙක් වේලාවක් අපහසුවෙන් තද කරන් සිටි වමනය පිටකිරිම මෙවර නවතා ගත නොහැකි විය. වමනයට යන්න බඩේ කිසිවක් තිබුනේ නැත. මේ එන ඔක්කාරයට බොකු බඩවැල් සියල්ලද ගැලවි යන්නට මෙනි.  කඞ්ඩා පැමිණ මාගේ පිට අතගාන්නට පටන්ගත්තේය. කිහිප වාරයක් ඔක්කාර කල පසුව අමාරුවෙන් වමනය නතරකරගන්නට හැකිවිය. ටික වේලාවකින් ස්ටුවඞ් ගැලියෙන් එළියට පැමිණ,
”අරූ බක සිල්වා මූට බොන්න දුන්න සී වෝටර් අරන් ආවේ ටොයිලට් එකෙන්” යි කීවේය.
එය ඇසූ වහාම අපහසුවෙන් නතරකරගත් වමනය යලිත් ආරම්භවුයේ ඇතිවු අප‍්‍රියාව හේතුවෙනි. මෙවැනි කැඩා නෞකාවන් වල පිරිසිදු ජලය ගබඩාකර තබාගන්නා ටැංකි විශාල නොවන නිසා වැසිකිලිවල පාවිච්චිය සඳහා වූයේ මුහුදු වතුරයි. මුහුදු වතුර පාවිච්චිය මා හට එතරම් ප‍්‍රිය වූයේම නැත. වැසිකිලියේ වූ කරාමයෙන් මුහුදු වතුර ගෙනවිත් මා හට පෙවූ බව මතක් වෙන වාරයක් පාසා වමනය යෑම නතරකරගන්නට හැකිවුයේද නැත.

සයුරේ ආ මඟ 

පළමු කොටස – පැද්දෙන පොල් ලෙල්ලක් – සයුරේ දසවසක්   

අටුවාව 

බෝට් ඩෙක් (Boat Deck)  ජිවිතාරක්ෂක යාත‍්‍රා / බෝට්ටු රදවා තැබෙන නැව් තට්ටුව (a ship’s upper deck on which lifeboats are stored)

ඩෙක් හෙඞ් (Deck Head) නැව් තට්ටුව යට පැත්ත  (A Deckhead is the underside of a deck in a ship. It bears the same relationship to a compartment on the deck below as does the ceiling to the room of a house.)

ස්ටෑන්ඞ් බයි (Stand-by) නෞකාව පිටත් විමට පෙර සුදානම් විම 
 
ටෙලිග‍්‍රාෆය (Telegraph)  නෞකාව පදවන ස්ථානයේ සිට එන්ජින් කාමරය හා නැවේ වේගය සදහා සංඥා  හුවමාරුව කරගන්නා උපකරනයක් (An engine order telegraph or E.O.T., also referred to as a chadburn, is a communications device used on a ship (or submarine) for the pilot on the bridge to order engineers in the engine room to power the vessel at a certain desired speed.)

ඩෙඞ් ස්ලෝ එහෙඞ් (Dead slow ahead) නෞකාව බොහෝම සෙමින් ඉදිරියට ගමන් කිරිම

සී සික් (Sea sick)  මුහුදේ ගමන්කිරිමේදි පැද්දිම නිසා ඇතිවන  වමනය (The signs and symptoms of motion sickness usually begin with a feeling of uneasiness followed by cold sweats and dizziness. Some people may exhibit pale skin and increased saliva production along with headache and fatigue. Nausea and vomiting usually occur after these initial symptoms.)

පුප් ඩෙක් (Poop Deck)  නැව පිටුපස තට්ටුව 

බොලාඩයක්  (Bollard)  නැව හි කඹගෙට ගැසිම සදහා ඇති කෙටි යකඩ කනුව 

ගන්වෝල් (Gunwale) නැවක නැව් තට්ටුවෙන් ඉහලට එසවුනු පැති බද-the upper edge of a ship’s or boat’s side 

 

%d bloggers like this: