Menu Close

නැවෙන් ති‍්‍රකුණාමලයට බසයෙන් කොළඹට – සයුරේ දසවසක් – 4

බලන බලන අත දිස්වන්නේ තද නීල වර්ණ මහා සාගරයත් සිතිජයත් ලා නිල් පැහැති ගුවන්තලයත් පමණි. අප මහා ජලකදක් මැද තනිවි ඇති සේයකි. විටෙක චන්ඩ වන සාගරය විටෙක සාන්තදාන්ත ලෙසින් හැසිරේ. මහා සාගරයත් ගැහැණියකගේ සිතක් මෙන් යැයි කවුදෝ කීවේ මේ නිරන්තර වෙනස්වන සුුලු බව නිසා විය හැකිය.
 

ඈතින් දිස්වන්නේ ප‍්‍රීමා පිටි  කම්හලයි


 මුහුදු ගමනේ දෙවන දවසත් නිමා විය. පලමු දිනයේ මෙන් නැව් තට්ටුවේ නිදාගැනීමට නොගියේ පෙරදිනමෙන් පැද්දිල්ලට බියෙන් අවදි වී සිටීමට සිදුවන බැවිනි. අපගේ මෙස් රුමයේ ලෑලී බංකුවක් උඩ නිදාගන්නට ගියත් එය සිතු තරම් පහසුවුයේ නැත. වැඩවසම් යුගය සිහිපත් කරවන මේ නෞකාවේ නැවියන්ගේ මෙස් රුම් හි හිදගන්නා බංකු සියල්ල හැඩගැසු ප්ලයිවුඩ් ලීයෙන් සැකසූ කුෂන් රහිත එවායි. එහෙත් නිලධාරින්ගේ මෙස් රූමයේ තිබුනේ සැප පහසු කුෂන් වලින් සැකසු පුටුය. පැතලි මෙට්ටයක් උඩ සැප පහසුවට නිදාගත් මෙමට දෙපැත්තට පැද්දෙන නැවක හැඩගැසු බංකුවේ නිදා ගැනිම කොතරම් අපහසුකාරිවුවත් නිදන්නට වෙන තැනක් නොමැති බැවින් වෙන විකල්පියක් තිබුනේ නැත. නැවට අනුයුක්ත කල පෑස්සුම්කරුවෝ දෙන්නෙකුත් අනෙක් බංකු දෙක අල්ලාගෙන සිටියේය. ඩියුටි මාරුවෙන අයත් විටෙන් විටෙ එහා මෙහා යාමත් නින්දට බාදාකරවන්නක් වුනි. පසුදා අවදිවන විට සිරුරේ එක් පැත්තක් තලා දැමුවාක් මෙන් දැනෙන්නට වුයේ හැඩගැසු බංකුව නිසාය.   

මුහුදු ගමනේ තුන්වන දිනය ඇරඹුනි. අපහසුවෙන් කෑම ටිකක් ගලනාලයෙන් පහලට තල්ලුකරවාගෙන එන්ජින් කාමරයට ඇතුල්වුනිමි. ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාගේන් අණ ලැබුනේ එන්ජින් කාමරයේ වර්ක්ෂොප් හි තිබූ මළබැදුනු ඇණ හා මුරිච්චි පිරවූ බාල්දි කිහිපයක් පෙන්වා ඒවා සුද්දකර ඇණ හා මුරිච්චි එකට සවි කර දෙන ලෙසය. ඇන කිහිපයක් සුද්දකරද්දී ඔහු කීවේ නෞකාවේ පිටුපස තට්ටුවට ගොස් මේ  ක‍්‍රියාව සිදුකරන ලෙසය. ඞීසල් බාල්දියක්, ඇණ බාල්දියක් හා වයර් බුරුසුවක් ගත් මා ඒවා රැගෙන නැවේ පිටුපස තට්ටුවට ගිියෙමි. එකින් එක ඇණය බැඟින් ගෙන ඞීසල්වල පොඟවා වයර් බුරුසුවෙන් පිරිසිදු කරන්න පටන්ගත්තා පමණි.
”ඔය මොනවද මල්ලි කරන්නෙ?”
”මේ ඇණ තෝරලා පොට හොඳට තියෙන ඒවාට මේ නට් දාලා ගන්න කිව්වා.”
”කවුද කිව්වේ?”
”චීෆ් ඉන්ජිනියර්.”
”දැන් කීයක් විතර තේරුවාද?”
සුද්දකල ඇණ පහක් පමණ ඔහුට පෙන්වුවෙමි.
”මිනිහට පිස්සුද කොහෙද. මේක කරන්න පුළුවන් වැඩක්ද. උඹට මාසයක් විතර යයි ඔය ඇණ බාල්දි ටික සුද්ද කරන කොට. ඔය පොට ගිය ඇණ වැඩක් ගන්න පුළුවන් ඒවා විතරක් තොරලා අනික්වා මුහුදට විසික් කරපං.”
ජයතිස්ස අයියා පවසා යන්නට ගියේය. පැවරු වැඩය ලේසියි හිතුවාට බැංකුවක ඇණ තියාගෙන ඞීසල්වල දැමු ඇණ සුද්ද කිරීමට කොතරම් අසීරුද යන්න මට පසක් වූයේ වයර් බුරුසුවේ වානේ කම්බි මාගේ ඇඟිලිවල වැදී තුවාල වී ඞීසල්වලට දැවිල්ල ඇල්ලීමෙන්ය. වැඩකට ගත නොහැකි ඇණමුරිච්චි පිරිසිදුකරන්නට කියා වැඩක් පැවරා ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා මා නැවේ තට්ටුවට දැමුවේ ටිකෙන් ටික නැවේ පැද්දීමට ඔරොත්තුදීමට හැකිවන ලෙස යැයි මට අද හිතෙයි.


             පැවරු වැඩය අවසන්වුයේ නැත. වෙන වැඩක් පැවරු නැති බැවින් පසුදිනටත් මා ඇණ සුද්ද කරන්නට පටන් ගතිමි. මෙය කොතරම් මෝඩ වැඩක් දැයි මටම පසක් වූයේ සුද්ද කළ හැකි වූ ඇණ සංඛ්‍යාව දුටු විටය. මළකඩ සුද්ද කළ පසු ඇණයේ පොට තුවාල වී හෝ වෙනයම් දෝෂ සහිතයක් වූයේ නම් මා එම ඇණය සුද්ද කිරීමට යොදනු ලැබූ කාලයත් මාගේ ශ‍්‍රමයත් නිරපරාදේ වැයකිරිමක් විය. ඔයිලර්වරයා කී පරිදි ඇණය අතට ගත් ප‍්‍රථම අවස්ථාවේදීම එය මදක් නිරීක්ෂණය කර නැවේ ගන්වෝල් එකට උඩින් මුහුදට එකින් එක විසික් කළෙමි. මෙසේ ගාල්ල වරායේ සිට ත‍්‍රිකුණාමලයට යන තෙක් ලීටර් විස්සේ තීන්ත බාල්දි පහක් පමණ පුරවා තිබූ ඇණ හා මුරිච්චි විශාල සංඛ්‍යාවක් එකින් එක  ඇණය බැගින් මුහුදට විසි කරදැමින. අවසානයේ මා නැවේ වර්ක් ෂොෆ් එකට ගොස් දැමුවේ තීන්ත බාල්දියේ හතරෙන් එකක් පමණ අඩු ඇණ සංඛ්‍යාවකි.


                ගාල්ලෙන් පිටත්වු අප නෞකාව ත‍්‍රිකුණාමලය වරායට ආසන්නයට පැමිණිමට දින හතරකට ආසන්න කාලයක් මුහුදු ගමනක් ගතකරමින්ය. ලංකාවේ ජනවාර්ගික යුද්ධය දරුණුවට පැවති ඒ දිනවල උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නැව් ගමනාගමනය ගොඩබිමින් ඉතා දුරින් අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ගමන් කළේ මුහුදු කොටින්ගේ ප‍්‍රහාරවලට ලක්විමට ඉඩඇති බැවින්ය. ත‍්‍රිකුණාමලය වරායට ඇතුලූවෙද්දී කලින් මාගේ සුපුරුදු ඩියුටිය වූ ස්පැනරයක් ගෙන එන්ජිමේ කුඩා සිලින්ඩරය අසලට වි එයට තට්ටු කිරීමට සූදානම්වුයෙමි. නැව ජැටියට හේත්තු කළ පසු එන්ජින් කාමරයේ සියලූ වැඩ කටයුතු අවසන් කරවන්නට තවත් පැය භාගයක් පමණ වේලාවක් ගතවිය. ලංකාවේ විශාලතම හා ස්වභාවික වරායක් වූ ත‍්‍රිකුණාමලය වරාය ගැන අසා තිබුණත් කිසි දිනෙක ලංකාවේ නැගෙනහිර ප‍්‍රදේශයට පැමිණ තිබුණේ නැත. එන්ජිමේ වැඩ කටයුතු ඉවර වූ වහාම ඉන් එළියට බට මා ඉක්මනින් ඉහළට දුවවිත් ප‍්‍රධාන තට්ටුවට ආවේ  ති‍්‍රකුණාමලය දකින්නටය. අප නෞකාව පැමිණ නවත්වා තිබුනේ ලංකාවට පාන් පිටි සපයන ප‍්‍රීමා සමාගම් භූමියේ තිබු ජැටියේය. ඈතින් ක‍්‍රීම් පැහැති විශාල බම්බු කිහිපයක් එකිනෙකට යාකර සිටවා තිබෙන අයුරින් තනවා තිබූ තිරිඟු ඇට ගබඩා සංකීර්ය දිස්වුනිි. නැව නවතා තිබූ ජැටිය ආසන්නයේ විශාල ගබඩාවක් විය. ඉතා පිරිසිදු තත්ත්වයෙන් වූ එම සමාගම් භූමියේ පාන්පිටි පිටි බිඳුවක්වත් දක්නට නොවීම මා පුදුමයට පත් කළේය. ගල්කිස්සේ තැපැල් කාර්්‍යාලය පසුකර ඉදිරියට ගිය විට ධර්මෝදය විද්‍යාලය ඉදිරිපිට තිබු පාන්පිටි ගබඩාව සිහිපත්වුනි. පාන්පිටි ඇගපුරා නාගෙන පියර බබ්බු සේ සිටි සේවකයින් හා හැමතැනම හැලුණු පාන්පිටිද ඉන් නැගුණු පුස්ගඳ අනුව මා සිතා සිටියේ පාන්පිටි නිපදවන ප‍්‍රිමා සමාගමත් එසේ ඇති ලෙසිනි. මල්ගස් වවා සුන්දර ලෙසින් ඇති පී‍්‍රමා සමාගම ඉතා පිරිසිදු ස්ථානයක් විය.




අප නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා මා සොයාගෙන ආවේය.
”ඔය ළමයගෙ ගෙවල් කොළඹද?”
”ඔව් චීෆ්.”
”කොහේද?”
”ගල්කිස්සේ.”
මම පිළිතුරු දුනිමි.
”පුළුවන්ද අද ගෙදර ගිහිල්ලා එන්න.”
ඔහුගේ එම වදන් ඇසූ විගසම හිසේ මලක් පිපුණා වැනි සංතෝෂයක් ඇතිවිය.
 ”පුළුවනි.”
”එහෙනම් ගිහිල්ලා ඇඳගෙන එන්න.  ආ ඔයා ගාව බෑග් එකක් තියෙනවා නම් ඒකත් අරගෙනම එන්න.”
මගේ සතුට උතුරා යන්නට විය. ඉක්මනින් එන්ජින් කාමරයට දිව ගොස් කඞ්ඩාට මම කොළඹ යන බව පවසා සිටියෙමි. ඔහුට එය අදහා ගත නොහැකි වූවා සේ මා දෙස විමතියෙන් මෙන් බලා සිටියේය. ඉක්මනින් කැබින් කාමරයට දිව ගොස් යුහුසුලූව මගේ කුඩා බෑගයේ ඇඳුම් සියල්ලම එළියට ඇද දමා බෑගය ගත්තෙමි. යුහුසුලුව හැඳ පැළඳගත් මා ගමන් මල්ල රැගෙන ප‍්‍රධාන ඉන්ජිනේරුවරයා හමුවීමි.
 ”මේ බඩු ටික බෑග් එකට දාගන්න.”
ඔහු තම කැබින් කාමරයේ පසෙක තිබූ ඉටි කොළයක දවටා තිබූ යම් කිසි දෙයක් මාගේ ගමන් මල්ල තුළට දැමීය.
 ”මෙන්න මේ ලියුම අරගෙන යන්න. ගිහිල්ලා කම්පැනියේ මිස්ටර් …….මස්ව මුණ ගැසෙන්න. දන්නවානේ එයා කවුද කියලා?”
”නෑ චීෆ්.”
”මිස්ටර් …….මස් තමයි ටෙක්නිකල් සුපරින්ටන්ඩන්ඞ්. එයාට ගිහිල්ලා මේ බඩු ටික භාර දෙන්න. එයා දෙයි මෝටර් එකක්. ඒක අරගෙන ආපහු ඉක්මනටම මෙහේට එන්න  ඕනේ. හරිද?”
”හරි චීෆ්.”
”මතක ඇතිව ඔයාගේ පාස්පොට් එකයි සීඞීසී එකයි කැප්ටන්ගෙන් අරගෙන යන්න. මේ ලියුම ආමි එකෙන් හරි පොලීසියෙන් හරි චෙක් කළොත් පෙන්නන්න. මෙන්න තියෙනවා මිස්ටර් …….මස්ගේ ටෙලිෆෝන් නොම්බරේ බැරි වෙලාවත් එයාට ගන්න බැරි වුනොත් මේ එයාගේ ඇසිස්ටන්ගේ නොම්බරේත් මේ එක්කම ලියලා තියෙනවා. එයාට කතා කරන්න. අදම ගිහිල්ලා මේ බඩු ටික කම්පැනියට භාරදෙන්න යනකොට හවස් වෙයි. හෙට උදේම මෝටර් එක අරගෙන ආපහු එන්න.”
”හොඳයි චීෆ්”
”මතක තියාගන්න දවල් දොලහ පහුවෙලා කොළඹින් ත‍්‍රිකුණාමලේට එන බස්වල නගින්න එපා.”
”ඇයි චීෆ්”
”මෙහේට එන්න පැය හයකට වඩා යනවා. හවස හයෙන් පස්සේ හබරනින් මෙහාට පාර වහනවා ආමි එකෙන්. ඒ නිසා හවස් වෙලා බස් එකට නගින්න එපා. මෙන්න මේ සල්ලි තියාගන්න බස් එකේ වියදමට.”
ඔහු රුපියල් දාහක නෝට්ටුවක් මා අතට පත් කළේ ලිපි දෙකක්ද සමඟින්ය. පාස්පෝට් එකේ සීඞීසී යත් මා සුරතට පත්විය.
 ”පොඞ්ඩක් ඉන්න දැන් ඒජන්ට් එයි. එයා ඔයාව ටවුමට අරගෙන යයි. එතනින් කොළඹට යන්න ඉන්ටර්සිටි බස් තියෙනවා.”


              කිසිදා නොදැකපු ත‍්‍රිකුණාමලය බස් නැවතුම පිළිබඳව චිත‍්‍රයක් මනසට නගා ගැනීමට උත්සාහ කළෙමි. පහළ තට්ටුවට ගිය මා මෙස් රූම් එකේ මේසයක් මත ගමන් මල්ල තබා එහි ටික වේලාවක් රැඳී සිටියේ ත‍්‍රිකුණාමලයේ අප නැව් සමාගම් නියෝජිතයා එන තුරුය. නියෝජිතයාගේ ප‍්‍රමාදය සිතේ නොවසිල්ල ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩිවෙන්නට වුනි. මද වේලාවකින් පට පට ශබ්දයක් මුහුද දෙසින් ඇසෙන්නට විය. ලීයෙන් සාදන ලද කොළ පැහැති පැරණි පන්නයේ කුඩා බෝට්ටුවක් ජැටියට අල්ලා නැවැත්වීය. ඉන් ගොඩ බැසගත් ද්‍රවිඩ තරුණයන් දෙදෙනෙකු යම්කිසි බඩු භාණ්ඩද තොගයක් ජැටියට ගොඩබා එවා ඔසවාගෙන අප නැවට ගොඩ විය. නැව් නියෝජිතයා යැයි සැළකෙන පුද්ගලයාද විශාල ෆයිල් කවරයක්ද කිහිල්ලේ රුවාගෙන කැප්ටන් සොයා ඉහළමාලයට ගියේය. තවදුරටත් මා මෙස් රූමයේ රැඳී සිටියේ නොඉවසිලිමත්කමකිනි. යළිත් පහළ තට්ටුවට ආ ඔහු තමන් සමඟ පැමිණි මැදිවියේ පුද්ගලයෙකුට දෙමළ බසින් මා පෙන්වා යමක් පැවසීය.
”ආ මහත්තයා තව ටිකක් වෙලා ඉන්න වෙයි. දැන්ම යන්නෙ නැහැ.”
”දැන් අපි මේ බෝට්ටුවේද යන්නේ?”
”ඔව් මහත්තයා.”
”මම හිතුවේ වාහනයකින් එයි කියලා. ඇයි අපි බෝට්ටුවක යන්නේ? ඇයි මේ ප‍්‍රීමා එකෙන් එළියට යන්න බැරිද? ”
”ප‍්‍රීමා ෆැක්ටරියේ ගේට්ටුවෙන් අපිට යන්න බැහැ. කස්ටම් එකකක් නැති හින්දා. ඒ නිසා අපි බෝට්ටුවෙන් ජැටියට ගිහිල්ලා එතැනින් තමයි එළියට යන්නේ.”
”එතකොට එතැනද කස්ටම් එක තියෙන්නේ?”
”ඔව් මහත්තයා. කස්ටම් එකයි වරාය පොලීසියයි එතැන තමයි තියෙන්නේ.”
කොණ්ඩය කොටට කපා සිටි මැදිවිය පසු කරමින් සිටින එම බෝට්ටු ක‍්‍රියාකරවන්නා ගැලියෙන් ලබා දුන් තේ එකක් මා සිටි මේසයට එහායින් වූ මේසයක පුටුවක වාඩිගෙන බොන්නට විය. ඒ වන විට තේ වේලාවද පසුවූ බව දැනුනද කෑමට හෝ බීමට පිරියක් නොතිබුණේ මා දැන් යන්නට සුදානම් වන ගමන ගැන සිත තුළ වූ උද්යෝගය හෙයිනි. තවත් අඩහෝරාවක් පමණ ගෙවීගියේ මා සිතින් කොළඹට යන ගමන ගැන සිතුවිලි ගොනු කරමින් සිටිනා විටදීය. 


”යමු මහත්තයා.”
බෝට්ටුකරු මා හට කථා කළේය. තරමක් බරින් යුත් ගමන් මල්ලද ඔසවා ගත් මා ඔහු පිටුපසින් ඇකඩමේෂන් එකෙන් එළියට බැස නැවේ ප‍්‍රධාන තට්ටුවට ගියෙමි. ගොඩබිම් නිවාඩුවක් අරන් ටවුමට යන්නට සිටි නැවේ නාවිකයන් කිහිපදෙනෙකුද අපගේ බොට්ටු ගමනට එක්ව සිටියේය. නැවෙන් බැස ජැටියට ආ අප කුඩා බෝට්ටුවට ගොඩවීමු. ලෑන්ඞ් මාස්ටර් අත්ට‍්‍රැක්ටරයක් මෙන් අතින් හෑන්ඞ් ක‍්‍රෑන්ක් කිිහිප වාරයක් කිරීමෙන් අනතුරුව කුඩා බෝට්ටුවේ එන්ජිම පට පට හඬින් පණ ගන්වාගත හැකිවිය. එහෙට මෙහෙට පැද්දි පැද්දී පැරණි ලෑලි බෝට්ටුව දියරළ කපාගෙන ත‍්‍රිකුණාමල වරායේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර වූ මගී ජැටිය වෙත යාත‍්‍රා කරන්නට විය. දියරළ බෝට්ටු බඳේ වැදී කැඞී බිඳී විසිරෙන සිහින් දිය බිඳු අප සිරුර තෙමාලන්නට විය. බෝට්ටුවේ පැති ආසනයේ කෙළවරට වී විසිරෙන දියබිඳුවලින් තෙමිමෙන් වැළකීමට උත්සාහ කළෙමි. තවත් අඩහෝරාවකට නොඅඩු කාලයක් අප මෙසේ වරාය තුළ යාත‍්‍රා කර ජැටිය වෙත ළඟා විය. පි‍්‍රමා ජැටියේ සිට බෝට්ටුවෙන් අප ආ මෙම මගී ජැටිය මඟින් කින්නියා හෝ මුත්තූර් වෙත මගීන් රැගෙන යාම ඒම සිදු කරනා කුඩා ප‍්‍රමාණයේ නැව් සේවයක් එහි දියත් විය. පසු කලෙක රාත‍්‍රියේ එහි නවතා තිබූ කුඩා නෞකාව LTTE මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද්දේ මෙම මගී ජැටියටද තරමක විශාල අලාභහානියක් ද සිදු කරමින්ය. රේගුවට මා සතු ලිපියද බෑගය තුළ වූ එන්ජිමේ අමතර කොටස් කිහිපයද ඔවුනට පෙන්නා අවසර ගතිමි. 

මගි නැව් ජැටිය



           ඇත්තෙන්ම අප ඇවිත් සිටියේ ත‍්‍රිකුණාමලය නගර මධ්‍යයට නොවේය. බස් රථයක නැග ටවුුමට යා යුතු විය. අප සියළුදෙනා බසයක නැග ත‍්‍රිකුණාමලය නගරයට ගියෙමු. නැවේ සිට අපත් සමගින් ආ එකා දෙන්නා නගරයේ විසිර ගියෝය. පසුව බැලීමේදී මාත් සමඟින් කොළඹ යන බසයට ගොඩවීමට නැවේ නිලධාරියෙකුද එක්වී සිටිනු දැකීම තනිව නොදන්නා පළාතක අතරමංවූවෙකුට අසල්වාසියෙකු මුණ ගැසීම තරම් ප‍්‍රීතිමත් විය. මම ඔහු හා කතා කරන්නට උත්සාහ කළත් ඔහු මා නොතැකූ ලෙසින් සිටින්න උත්සාහ කළේය. බස් නැවතුමට ගොස් කොළඹ යන ඉන්ටර්සිටි බසයක් සොයා බැලූවත් ඒ වන විටත් කොළඹ බලා යන බසය පිරී ඇති බැවින් ඊළඟ බසයට එනතෙක් තව වේලාවක් රැදී සිටින්නට සිදුවිනි. මා සමඟින් නැවෙන් ආ පුද්ගලයා වෙනත් අසුනක අසුන් ගත් අතර මා වෙනත් අසුනක් සොයා ගොස් කවුලූවක් අතර හිඳගතිමි. බසය බොහෝ වේලාවක් පණගන්වා තබාගෙන සිට ගමන් ආරම්භ කලේය.


            දින ගණනාවකින් නිල්ල පිරුණු ගහකොළක් දැකීමට හැකි වීම දෙනෙතට ප‍්‍රිය දසුනක්ම විය. සුළඟ කපාගෙන ඉදිරියට දිවෙන බස්රථයේ කවුලූවෙන් පිටත සිරි නරඹමින් සිටින මා හට තැන තැන බාගෙට ගඩොලෙන් ඉදි වුණු හා කැඞී බිඳී ගිය ගෙවල් ඒවා වසාගෙන කැලය වැවි තිබෙනු දුටුවිට යුද්ධය විසින් මේ පළාතේ ජන ජීවිතය කොතරම් දරුණු ලෙස බිලිගෙන ඇතිද යන්න පසක් විය. බසය හබරන කන්තලේ පසුකර ඉද්ද ගැසුවා වාගේ දිවෙන හබරන කැළෑව මැදින් ගොස් හබරන නගරයට සේන්දු විය. කන්තලේ සිට හබරන තෙක් වූ කැළෑ මාර්ගයේ දෙපසින් මීටර් සියයක් පමණ කැලය ඇතුලට කපා දමා සුද්ධ කර තිබුණේ කොටින් විසින් ක්ලේමෝ හෙවත් පැති බෝම්බ පාර අද්දර ගස්වලට තබා හමුදා බස් රථවලට එල්ල කර පුපුරුවා හැර විශාල මිනිස් ඝාතන කර තිබුණ බැවිනි. දින කිහිපයකට පෙර ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බයකට අහිංසක සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයක්ද අසුවී බොහෝ දෙනෙක් මිය ගිය බව බසයේ වූ කෙනෙකු කියනවා ඇසුනි.
 කන්තලේ සිට හබරන හන්දිය තෙක් එන මාර්ගයේ හමුදා පොළවල් කිහිපයක් අප හට පසු කරන්නට විය. ඔවුන් ආරක්ෂක හමුදා සේවකයින් හැර සමාන්‍ය ජනයා ඇතුලු අනෙක් අයට බස් රථයෙන් බිමට බසින්නට අණ කර මගීන්ගේ හැඳුනුම්පත් හා බෑග්මලූ පරීක්ෂාකර බැලීය. ප‍්‍රධාන පොලේ මුරපොලක් ඇරෙන්නට මා අනෙක් මුර පොළවල්වලින් බසයෙන් බැස නොගියේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකු නොවුණත් රටේ පිළිගත් රැුකියාවක නියැලූනු ආරක්ෂක අංශයට බෙහෙවින් උපකාරීවන සේවයක නියැලූනු කෙනෙකු හැටියටය. හබරනට සේන්දු වූ බසය තේ පානය සඳහා මද වේලාවක් නවතාලීය. දහවල් ආහාරයද මග හැරුණු නිසාවෙන් දැඩි කුසගින්නෙන් පෙලෙන්නට වුනි. එහෙත් බත් කෑමට තරම් වේලාවක් බසය නතර නොකර සිටින බැවින් ඉක්මන් කෙටි ආහාරයක් හා කූල් බීම බෝතලයකින් සෑහෙන්ට පුළුවන් විය. 


”ගෙවල් කොහෙද?”
”ගල්කිස්සේ”
”ඔය බඩු ටික කම්පැනියට බාරදෙන්නද යන්නේ?”
”ඔව් මට කිව්වා මිස්ටර්…….මස්ට දෙන්න කියලා. ඔයත් කොළඹද යන්නේ?”
”නෑ මම කුරුණෑගලින් බහිනවා. චීෆ් ඉන්ජිනියර්ගේ ගෙදර තියෙන්නේ ඉබ්බාගමුවේ එහෙට ගිහිල්ලා දෙන්න යමක් තියෙනවා ඒකදීලාම ගෙදර යනවා.”
බනිස් කෑල්ලක් හපමින් මෙතෙක් වේලාවක් මා හා කතා නොකර සිටි නිලධාරියාද කතා කරන්නට විය.
”කීයක් දුන්නද වියදමට කියලා?”
”රුපියල් දාහක්.”
ඔහු යළි තම හිස සෙලෙව්වේය. කෑම බීමවල බිල ඔහු විසින් ගෙවා දමන ලද්දෙන් මා හට වියදම් කරන්නට වූයේ බස් ගාස්තු පමණි. කුරුණෑගල ඉබ්බාගමුව අසලින් බසයෙන් බැස ගත් ඔහු යළි කිසි දිනෙක මාගේ ජීවිතයේ හමුනොවුනි. යළිත් බසය කොළඹ බලා පිටත්වන්නට විය. හවස දෙක පසුවී ත‍්‍රිකුණාමලයෙන් පිටත් වූ බසය රාත‍්‍රී නමයත් පසුවී කොළඹ බස් නැවතුමට ළඟා විය.
 

සයුරේ ආ මඟ 

%d bloggers like this: