Menu Close

බුකී බුක් චැලේන්ජ් හෙවත් කැමති පොත් වලින් 7ක්

        මම ඔය ෆෙස්බුකියේ පැය 24ම ඔන්ලයින් හිටියට, (මම කිව්වට අපි දෙන්නම ඉන්නේ මගේ නමින්.) මලාට කාත් එක්කවත් චැට් කරන්නේ නැති, කිසිම දේකට සම්බන්ද වෙන්නේ නැති, යාන්තමට ලයික් එකක් දාල, කලාතුරකින් කොමෙන්ට් එකක් දාල, ඊටත් වඩා කලාතුරකින් මිනිස්සුන්ගේ උපන්දින වලට විශ්කරන, ඔප දුප ටිකක් විතරක් බලල යන, නුතන ඔන්ලයින් වර්ගීකරණ වල හැටියට මෙලෝ රහක් නැති ඔන්ලයින් චරිතයක්. මොකක් දෝ කම්මැලි කමක් තියෙනවා මට ඕකේ තියෙන කතා බහට එකතු වෙලා කයිය ගහන්න. ෆේස්බුක් එක එන්න කලින් ගුග්ල් එකේ තිබුන Orkut කියල පොඩි සෝෂල් නෙට්වර්කින් සේවාවක්. මම අන්න ඒකෙ නම් බැහැල කයිය ගහල ගෑනු ළමයි කිහිප  දෙනෙක් එහෙම අඳුනගෙන, සම්භාව්‍ය දේවල් ගැන එහෙම කතා කළා. දැන් එක ගුග්ල් එකෙන් වහල.  හැබැයි ඔය ලින්ක් එකේ තියෙන විදියට එක හදපු ඉංජිනේරුවා තාම වැඩේ ඇදගෙන   යනවා. කොහොම වුනත් බුකියෙන් රටේ නිවුස් එකක් බලාගෙන, ඔය මොනවා හරි   දෙන දෙයක් කාල ඉන්න එක තමා දැන් මම කරන්නේ. 
අර වාන් පතුල් රවියා හෙවත් අපේ හිතාදර රවී අයියා මම ඔහොම බොහොම අසරණ විදියට පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා දැකල, මේ ලඟදි දවසක මට චැලේන්ජ් එකක් කළා. “අඩෝ පැතුමා, ඔය ගල්බමුණ වගේ ඉන්නේ නැතුව උඹ කියවල තියෙන ආසම පොත් 7තේ පිට කවර දාපංඩො පුළුවන් නම්” කියල.  රවියටත් කව්ද ගෑනු ළමයෙක් ද කොහෙද චැලේන්ජ් කරලා (අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ)  රවියා වැඩේ බැහැලම කර කර ඉන්න අතරේ තමා මේ මාවත් පටලව ගත්තේ…
මේ තියෙන අන්දබූත ගතිය මගෑරිලා යන්නත් එක්ක ගේමට බහිමු ඔන්න ඔහේ කියල මම කැමති පොත් ගැන කල්පනා කරන්න ගත්තා. කල්පනා කරනකොට කරනකොට ඉතින් මොකකට වැඩියෙන් ආසද කියල හිතා ගන්න එක තමා තිබ්බ ලොකුම ප්‍රශ්නේ.

පොඩි කාලේ ඉඳල එක එක පොත් පත්තර කෑලි කියවන්න පුරුදු වෙලා හිටපු හින්දා මුලින්ම කියෙව්ව එක මේකයි කියන්න මතක නෑ… පොඩිම කාලේ හෙනම ආසාවෙන් ළඟ තියාගෙන හිටපු වෘක හාමිගේ සාදය සහ මාෂා සහ වලහ කියන පොත් දෙක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. . මම ඔය පොඩියට හිටියේ අසුව දසකේ පටන් ගත්තම කාලේ… ඉතින් තාම පොඩි එකා… ඊට පස්සේ මහා විද්‍යාඥයෝ කියල තව පොඩි පොතක් තිබුනා. එකෙන් තමා මාර්කෝනි, ලොගි බෙයාර්ඩ්, එඩිසන්, රයිට් සහෝදරයෝ ගැන එහෙම දැන ගත්තේ… ඒ අතරේ තාත්තගේ මහ ගෙදර වෙච්ච හපුතලේ ගෙදර තමා රුසියන් සුරංගනා කතා කියවන්න පුරුදු කරපු තැන. දැනටත් රුසියන් කතාවක් කියවද්දී ඒ ගෙදර මතක් වෙනවා. කඳු යායකින් වටවුණු, අඳුරු පයිනස් කැලෑවක් අයිනේ, ලස්සන දොර පාරක් කිට්ටුව තිබුණු ගෙයක්. මැටියෙන් හදපු ලිපකට පයිනස් දර දානකොට එන සුවද, ලිපෙන් නගින ගිනි දැල්ලෙන් හීතල මකාගෙන, රුසියාවේ හීතල හිතෙන මවාගෙන තමා ලස්සන වසිලිස්සා මුලින්ම කියෙව්වේ. ඊට පස්සේ තොල්යා සහ ඔහුගේ යහළුවෝ හමුවුනා, ගපුර් ගුලයාම් මගේ හපන්කම් ගැන කිව්වෙත් එහෙදි තමා. කවුරු හරි ලේඛකයෙක් ගේ ලස්සන චිත්‍ර කතා පොතක් තිබුනා. පැන්සලකින් ඇඳපු චිත්‍ර වගේ කළු සුදු හැබැයි පොඩි ළමයිගේ චිත්‍ර නොවන උසස් මට්ටමේ චිත්‍ර තිබුණු පොතක්. මගේ ඔලුව ෆැන්ටසි වලින් පිරිච්ච, විද්‍යාවට ආස, චිත්‍ර අඳින්න කැමති චරිතයක් විදියට ප්‍රෝග්‍රෑම් වෙන්න ඇත්තේ ඔය කියපු පොත් සෙට් එක හින්ද වෙන්න ඇති. 

ඊට පස්සේ ඉඳල ගොඩක් උපන්දිනවලට මට හම්බ වුනේ පොත් තමා. ඉතින් ඔහොම පොත් ගැන කල්පනා කරද්දී මේ චැලේන්ජ් එකට ඉස්සෙල්ලම දාන්න හිතට ආපු පොත තමා මේක
මේ පොත මට 1994 මගේ උපන්දිනේට අපේ අක්කා දුන්නු පොතක්. අක්ක ලියපු නෝට් එකක් තාම පොතේ මුල් පිටුවේ තියෙනවා. මට මතක විදියට මේ පොතත් එක්ක අදිසි මිනිසා සහ භුතාවේශය කියන පොත් දෙකත් හම්බ වුනා. ඒ දෙක බොහොම අභාවයට ගිහිල්ලා තිබුනා මම දැක්ක. භුතාවේශය නම් තිබුනද කියල මතකත් නෑ…අදිසි මිනිසා මම කැමතිම තවත් පොතක්. ඔය කාලේදී මම ආසම කරපු අනිත් පොත තමා රත්නාගාරය. ඇලන් ක්වාර්ටමේන් ව අඳුර ගත්තේ එකෙන්. දැන් මේ ලියද්දි මතක් වෙන අනිත් පොත් ටිකත් ලියල දාන්නම්. තව ආසම එකක් වුනේ විජයග්‍රාහී කෝනාන් හෙවත් මකරාගේ හෝරාව, ඈ හෙවත් අයේෂා, ලෝකය වටේ දින අසුවකින්, කල්ලන්දුවේ මුතුකොල්ලය, පාලු දුපත, කේ.ජි කරුණාතිලක මහත්තයගේ ටාසන් සෙට් එක…හපොයි මේකේ ඔක්කොම ටික ලියන්න වෙනවා මෙහෙම ගියොත්.. ඔය මදැයි දැනට…

මේ  චැලේන්ජ් එකේ කැමතිම පොත් 7 දාන්න කිව්වට මම දැම්මේ කැමති පොත් වලින් 7ක්. ඔක්කොම තියෙන්නේ කැමති පොත් නේ.

පොතක් ගියොත් ගියාමයි කියල කිව්වට කලාතුරකින් එහෙම ගියපු පොත් අපේ අතට එන වෙලාවලුත් තියෙනවා. මේ පොත අවම අවුරුදු 10ක් වත් ඒ විදියට අතුරුදහන් වෙලා තිබුණු පොතක්. මම හිතෙන් අතැරලා දාල තිබුනේ මේක.  අපේ අම්මගේ පැත්තේ ඉන්න ලොකු අම්මල, පුංචිල පොත් ගුල්ලෝ. කොහෙන් හරි පොතක් දැක්කොත් උස්සන් යනවා. ඉතින් මිට අවුරුදු බර ගානකට කලින් මේ පොත අපේ ගෙදරින් අතුරුදහන් වුනා. මම මේ සැරේ ලංකාවෙන් එන්න ඉස්සර අක්කලාගේ ගෙදර ඉන්නකොට අපේ ලොකු අම්මා  ගෙදර ඉස්තෝප්පුවට වෙලා මෙන්න ලෝඩ් වගේ පොතක් බල බල ඉන්නවා. එයාටත් ඉතින් බණ පොතේ සිට මල පොත දක්වා අහුවෙන ඕනේ එකක් කියවනවා. මේකේ කවරේ දැක්ක විතරයි කොටින්ම මම ලොකු අම්ම වාඩි වෙලා හිටපු පුටුව ගාවට පැනල පොත අතට ගත්තේ… “කොහෙන්ද මේ පොත? කොහෙද මේක මෙච්චර කල් තිබුනේ..? මේක මගේ… ” ආ ඕක ඔයාගේද? අන්න අර අපේ ගෙදර තිබිල මම මේ අරං ආවේ බලන්න..” මගේ තමා.. මේ තියෙන්නේ නම..  ලොකු අම්මට කිසි ගානක් නෑ… “ආයේ එහෙම කාටවත් දෙන්න එපා.. බලල ඉවර වෙලා මටම දෙන්න ඕනේ.. ඕක මම අරං යනවා මේ සැරේ..” 

ඉතින් එහෙම තමා ඔය පොත මට ආයේ හම්බ වුනේ. මේ පොතේ ෂර්ලොක් හෝම්ස් කතා 12ක් තියෙනවා. පිටු 386ක්. අනුවාදය එන්.ඒ.ඩි ගුණතිලක කියල මහත්මයෙක් පලවෙනි මුද්‍රණය 1961 දී. මගේ ළඟ තියෙන එක 1991 4 වෙනි මුද්‍රණය. මිට අමතරව බැස්කර්විල් දඩ බල්ලා කියල තව පොතක් තිබුනා හැබැයි එකත් දැනට අතුරුදහන් වෙලා තියෙන්නේ. මම මෑතකාලීනව ෂර්ලොක් හෝම්ස් කතා නිසා ජනප්‍රිය වෙච්ච චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොත් එකක්වත් කියවල නෑ.. මේ පොතේ තිබ්බ කතා ටික කියෙව්වට පස්සේ ෂර්ලොක් හෝම්ස් අලුත් ඒවා කියවන්න හිතුනේ නෑ…

ඔය කාලේදී ඩීමන් ආනන්ද මහත්මයාගේ ජේම්ස් බණ්ඩා පොතත් මගේ ළඟ තිබුනා. දැන් නම් තියෙනවද මන්ද එක.

මේ පොත බුකියට දාල මම අපේ සභාපතිතුමාව මේ අභියෝගෙට මාට්ටු කළා, අපරාදේ කියන්න බෑ.. උන්දැ තාම අභියෝගෙට දාන්න පොත් කල්පනා කරනවා කියල තමා ආරංචිය.
දෙවෙනි දවස
ඔය කාලෙම තමා මම විදුසර කියවන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳල කියවපු විද්යාප්‍රබන්ධ වලින් මම ආසම එක 2001, මේ කතාව වෙනස් මානයකට හිතන්න පුරුදු කරපු කතාවක් කිව්වොත් හරි. විද්යාප්‍රබන්ධ සාහිත්‍යය කියන්නේ වෙනමම කලාවක්. ඒ පැත්ත ගැන ඔලුව විකාර කරගෙන හිතන්න මේ කතාව උදව් වුනා කියන්න පුළුවන්. 2001 කතාව සිව් ඈදුතු කතාමලාවක්. මම 2010 ට කැමතියි නමුත් 2061 සහ 3001 ඒ තරම් අල්ලලා ගියේ නෑ… 2001 කතාවේ  ඩේව් බෝමන් අභ්‍යවකාශයේ කාත් කවුරුවත් නැතුව තනිවෙනවා. මට අන්න ඒ විදියට තරුවලින් පිරිච්ච අභ්‍යවකාශේ තනිවෙන්න ඕනේ වගේ මොලේ කොලොප්පන් ආසාවල් ඇති වෙලා තියෙන්නේ මේ පොත කියෙව්වට පස්සේ ඉඳල.
මම මේ පොතට අපේ ප්‍රා.ජේ මහත්තයව එල්ලලා පොත් අභියෝගය පැටලෙව්වා. අභියෝගය අපේ විදියට බාර නොගත්තත් මට තව මේ වගේම සයි-ෆයි ෆැන්ටසි සීරිස් එකක් ගැන හොඳ ඔත්තුවක් දුන්නා. ඒ Colin Wilson ගේ Spider World කියල සීරිස් එකක්. Colin Wilson ගේ චිත්ත පරපෝෂිතයෝ පොත ගැන රවී අයියා දාපු කොමෙන්ට් එක හින්දා ඒ පොතත් මතක් උනා. මම ඔය විද්‍යා ප්‍රබන්ධ පිස්සුව හැදිලා තිබ්බ කාලේ ගත්ත තව පොතක් ඒක. ඒ එක්කම හිතන පතන යන්ත්‍ර කියලත් පොතක් තිබුනා. මේ ඔක්කොම පොත් එස්.එම් බන්දුසිල මහත්මයාගේ පරිවර්තන. එස්.එම් බන්දුසිල මහත්මයාව පෞද්ගලිකව හඳුනා ගන්නත්, ශ්‍රී ලංකා විද්‍යා ප්‍රබන්ධ කරුවන්ගේ සංගමය කියල ඒ දවස් වල පිහිටවපු සංගමයක ආරම්භක සාමාජිකයෙක් වෙන්නත් ඔය පොත් සෙට් එක හේතු වුනා කියන්න පුළුවන්. 
තුන් වෙනි දවස
මම විදර්ශන පාටක සංගමයේ මුල් කාලින සාමාජිකයෙක්. මම විදර්ශන පොත් වලට ඇලුම් කලේ වෙනස් විදියේ පරිවර්තන සහ මම කලින් නොදැන සිටි බොහෝ විදෙස් පරිවර්තකයින්ගේ පොත පත ඔවුන් ළඟ තිබුන නිසා. බ්‍රසීලියානු ලේඛක Paulo Coelho de Souza ගැන මම දැන ගත්තේ මේ පොතෙන්. කියවල නැති අය ඉන්නවනම් කියවන්න වටින පොතක්. තාත්තගේ මරණින් පස්සේ මම ආගම දහම ගැන, ජිවිතේ ගැන එක එක විදියෙන් කරුණු හොයන්න පටන් ගත්තා. මේ පොතේ තියෙනව අපිට ජිවිතේ දිහා සුබවාදීව බලන්න පොළඹවන අපුරු දර්ශනයක්. ඒක ආගමෙන් ස්වායක්ත දෙයක්. ඕනෙවට වඩා රැඩිකල් නොවී සිම්පල් විදියකට දේවල් තේරුම් ගන්නත්, ආගම් වල මිත්‍යාවන් ගැන වෙනස්ව හිතන්නත් ඔය කාලේදී මම පුරුදු පුහුණු වුනා.   ඇල්කෙමිස්ට් ඒකට උදව් වුනා කියන්න පුළුවන්. පවුලෝ කොයියෝගේ මම කියවපු අනිත් පොත් තමා යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය, විනාඩි 11, පියෙද්රා ගගබඩ සිට වැළපුනෙමි.  manuscript found in Accra පොත ගත්තත් කියවන්න බැරි වුනා. ඒක ලංකාවේ.
මේ පොතට මම අපේ දේශකයා තුමා ව එල්ලුවා. අපරාදේ කියන්න බෑ දේශකයා වැඩේ හෙනම උනන්දුවෙන් කරලා මම කියවල නැති පොත් 7ක්ම දාල, කොටින්ම දාපු පොත් ගැන පෝස්ට් එකකුත් ලියල, මේ වගේ පොත් ගැන ලිපි ලියන මට්ටමට අපිව උනන්දු කළා. ඔය කාට හරි වෙන ඕනෙම වර්ගයක අභියෝග එහෙම තියෙනවනම් අපේ දේශකයව ටැග් කරන්න කියල මම හයිලි රෙකමන්ඩ් කරනවා. 
හතරවෙනි දවස
ප්‍රථම වතාවට මැලේසියාවේ ජිවත් වෙන්න ආපු කාලේ සිංහල පොත් කියවීම සෑහෙන්න මග ඇරිලා ගියා. හැබැයි ඒ එක්කම ඉංග්‍රීසි පොත් කියවන්න මම හුරු වුනා. මුලින්ම Big Bad Wolf ප්‍රදර්ශනෙන් ගත්ත පොත් සෙට් එකෙන් එකක් මේක. මම මයිකල් ක්‍රයිටන් ගැන දැනගෙන හිටියේ ජුරාසික් පාර්ක් එකෙන්. Big Bad Wolf එකෙන් මම මේ පොතයි Micro එකයි ගත්තා. සයි-ෆයි ෆැන්ටසි වගේම පයිරට් කතා කියන්නෙත් මගේ ප්‍රියතම පැත්තක්. මේක නම් පුදුම ලස්සනට ගලාගෙන යන මරු කතාවක්. ලොකු සංකීර්ණ නැති කතාවක්. ඉංග්‍රීසි කියවන්න පටන් ගන්න හොඳ පොතක්. පොත බිමින් තියන්න හිතෙන්නේ නෑ. දැන් වෙනකොට මුහුදු හොරු කියන්නේ සාහිත්‍ය ශානරයක් බවට පත්වෙච්ච මිනිස්සු පිරිසක් නේ (සෝමාලියානු සෙට් එක ඇර). තව කාලයක් අනාගතයේදී දැන්  පාරේ ඉන්න ගැන්ග්ස්ටර්ස් ල මේ වගේ ශානරයක් බිහිකරයි කියල මම කොහේ හරි සඟරාවක කියෙව්වා. හැබැයි වෙන්නත් පුළුවන් නේද? නිකන් තනිකරම Virtual Reality එකක් වෙච්ච, උඩින් යන කාර් වලින් ගමන් බිමන් යන කාලෙකදී පාරේ යන එන මිනිස්සුන්ට පොඩි සද්දයක් දාල, දාමරික කමක් කරපු මිනිස්සු කියන්නේ අමුතුම ෆැන්ටසි එකක් වෙන්න පුළුවන්. තව වැඩි කාලයක් යන එකක් නෑ.
මේ පොතට මම එල්ලුවේ අපේ හද ගී පොත ලියන අසරණ තිස්ස අයියව, අනේ ඊට පස්සේ ආගිය අතක් දැක්කේ නෑ.. පරණ සිංදු කෑල්ලක් කියාගෙන ආතල් එකේ හිටපු මනුස්සයට මොන මුහුදු හොරුද කියල හිතෙන්න ඇති. 
පස්වෙනි දවස
පස්වෙනි දවස වෙද්දී කැමති පොත් එක පිට එක මතක් වෙලා මොකක් දාන්න ද කියල හිතා ගන්න බැරි තත්වයක් තිබ්බේ. මම ඉස්සර ආසාවෙන් කියවපු පොතක් තමා ගමක වත. මේක මිණිවන් පී. තිලකරත්න මහත්මය ලියපු පොතක්. අම්මා අම්මගේ ඔෆිස් එකේ පුස්තකාලෙන් ද කොහෙද ගෙනල්ල අපේ ගෙදරට සින්න වෙච්ච පොතක් ඒක. මම හරි ආස වෙච්ච කතාවක්. කතාවේ තිබ්බ ඔය රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේද කොහෙද උඩ රටින් පැනල ආපු ගැමියෝ ටිකක් අලුතින් ගමක් හදන හැටි. ප්‍රධාන චරිතේ උනේ මහපතිරන්නැහේ එයත් එක්ක ආරෝවට හිටියේ පහළ වත්තේ ලේඛම්රාළ, හරි ලස්සන කතාවක්. දැන් නම් ඒ පොත හොයා ගන්න තියෙනවද දන්නේ නෑ. එකත් එක්ක මතක් වෙච්ච අනිත් පොත කළු දළ මල. කළු දළ මල පොත ගැන මම ලියපු මේ පෝස්ට් එක දැකල මගේ බොහොම පරණ මිතුරියක් මම ඔය ලංකාවට ආපු වෙලාවක ඒක මට දුන්නා. අවාසනාවක මහත කියන්නේ මම කීප සැරයක් ආපහු ඒ පොත දෙන්න උත්සාහ කලත් කොහොම හරි ඒක බැරි වුනා. අන්තිමට මම හිතන්නේ අර අපේ ලොකු අම්මගේ මරණේ වෙලාවේ අක්කලාගේ ගෙදර තිබුණු පොත කවුරු හරි අතුරුදහන් කරවල. දැන් ඒ පොත ආගිය අතක් නෑ… ඒක ගැන තියෙන්නේ හරිම කණගාටුදායක හැඟීමක්. කොටින්ම පොත ගන්න ගිය වෙලාවේ වත් අවුරුදු ගානකට පස්සේ හම්බවෙලා හරියට කතා කරන්න බැරි වෙච්ච එක ඔක්කොටොම වඩා අප්සැට්… කළු දළ මල කියන්නේ මගේ සදා ෆේවරිට් පොතක්. වසිලිස්සා පොත ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑනේ. මම කාලෙකට කලින් මේ ෆොටෝ එක දාල තියෙන පොත ගැන ලිව්වා මෙන්න මේක.
මේ පොත දාල මම අපේ හිතාදර ඩ්‍රැකියව මාට්ටු කළා. අපරාදේ කියන්න බෑ  ඌ අපුරු පොත් සෙට් එකක් දාල අභියෝගේ බාර ගත්තා. සමහර පොත් ජිවිතේට අහලවත් නැති වටිනා පොත්. 
හයවෙනි දවස 
මම Dan Brown ගේ පොත් කියවල තිබුනේ නෑ. Angels and Demons ෆිල්ම් එක නම් බලල තිබුනා. හැබැයි වෘකයාගේ කඩෙන් මේක ගත්තට පස්සේ එක හුස්මට කියවල ඉවර කරපු පොතක්. ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා වගේ තමා. මේකෙන් පස්සේ Dan Brown අනිත් පොත් කියවන්න හිතුවත් මම ආස කරන ගණ පිට කවරේ තියෙන පොත් හම්බ වුනේ නෑ. වෘකයාගේ සේල් වල තියෙන්නේ ඔක්කොම ලාබෙට ප්‍රින්ට් කරපු කුරුමිණි අකුරු තියෙන පොත්. මට ඒවා ගන්න හිතෙන්නේ නෑ. පොත් කඩවල තියෙන උසස් තත්වයේ පොත් තාමත් ගාන වැඩියි. කොයි වෙලාවේ හරි වෘකයා හොඳ කොපි දායිනේ කියල ලෝභ කමට බලන් ඉන්නවා. ලංකාවේ හිටපු කාලේදී ප්‍රා.ජේ කිව්වා කොළඹ මහජන පුස්තකාලේ ඔක්කොම අලුත් පොත් තියෙනවා පුළුවන් නම් ඒකට බැඳෙන්න කියල. හැබැයි ලංකාවේදී තිබ්බ තේරුමක් නැති බිසී ජීවිතෙත් එක්ක ඒක කරන්නත් බැරි වුනා. මෙහෙදී හම්බවෙච්ච ඇමරිකන් සුද්දෙක් කිව්වා Dan Brown ගේ පොත් කියෙව්වට කමක් නෑ. පොත් වල තියෙන තැන් හොයාගෙන යන්න හදන්න එපා කියල. Dan Brown ගේ රසිකයෝ කතාවල තියෙන තැන් ඇත්තට හොයන්න යන එක හෙන ජනප්‍රිය වැඩක් ලු.
මේකට ටැග් කරන්න එකෙක් කල්පනා කර කර ඉද්දි මට අපේ පුරාණ බ්ලොග් කරුවෙක් වෙච්ච, ඕනේ වෙලාවක මැන්ටල් වෙලා හිටපු, මේ වෙද්දී ටුවිටර් කුරුල්ලා එක්ක වැඩි කාලයක් ගෙවන ඕනයා හෙවත් දුලිප් සිකුරජපතියව මතක් වෙලා අභියෝග කරලා බැලුවා. තාම නම් කිසිම සද්දයක් නෑ… ඌට ට්විටරෙන් ගැලවෙන්න බැරි හැඩක් තියෙන්නේ.
හත් වෙනි දවස
අන්තිම එකට ආස කරන සිංහල පොතක් වෙච්ච බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ රන් කරඩුව පොත දාන්නත් හදල පස්සේ මේක දැම්මේ කියවන්න වටින කතාවක් තියෙන නිසා. රුසියන් සාහිත්‍යයට පොඩි කාලේ ඉඳල ආස  කලාට ලෝකේ විවිද රටවල ලියවෙච්ච පොත් කියවල ඒ ඒ සංස්කෘතීන් ගැන දැන ගන්න එක වඩා හොඳයි කියල හිතල මම දැන් ටික කාලෙක ඉඳල ප්‍රිය කරන්නේ මේ වගේ කතා කියවන්න. කාලිඩ් හොසෙයිනි ඇෆ්ගන්-ඇමරිකන් ලේඛකයෙක්. ඇෆ්ගනිස්තානය දැන් පවතින තත්වෙට එන්න කලින් සමාජය කොහමද කියන එක සහ ඇෆ්ගනිස්තානෙට මොකද වුනේ කියල අදහසක් මේ පොතෙන් ගන්න පුළුවන්. සංවේදී ඒ වගේම අපිට අපි ගැනත් නැවත හිතන්න සිද්ද වෙන කතාවක්. ලස්සනට ලියල තියෙනවා. ඔය විදෙස් රටවල පොත් ගැන කියද්දී මතක් වුන තව පොත් කිහිපයක් තමා නෙරුදා ගේ ලියුම් කාරයා, සෝර්බා නම් ග්‍රීකයා, Memories of My Melancholy Whores, ඊළඟට මේ දවස් වල බාගෙට කියවන සියක් වසක හුදකලාව, තව කළු වැස්ස කියල ජපන් පොතක් එතකොට The Shape of Water. මේ The Shape of Water පොත මම අර වෘකයාගේ පොත් ගොඩේ තිබිල කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව  ගත්තේ මේ ගිය අවුරුද්දේ ද කොහෙද හොඳම චිත්‍රපටිය වෙච්ච ෆිල්ම් එකේ පොත වෙන්න ඇති කියල හිතාගෙන. මම ෆ්ලිම් එක බලල නැති වුනාට කතාව ගැන  යන්තම් දැනගෙන හිටියා. ෆිල්ම් එක බලන්න කලින් හම්බ වෙච්ච නිසා පොත කියවලම ඉන්නවා කියල  තමා කල්පනා කලේ…  මරු වැඩේ කියන්නේ ඔන්න මම ඕක කියවන්න පටන්  ගත්තා.    පරිච්චේද දෙක තුනක් ගියත් කතාවේ මම බලාපොරොත්තු වෙච්ච දේවල් නෑ… පස්සේ බලද්දී මේක මේ වෙන පොතක් An Inspector Montalbano Mystery කියල තියෙන වෙන කතාවක්… හෙහ් හෙහ්.. එකත් පොඩි ගතියක් තියෙන කතාවක්. තාම කියවල ඉවර නෑ හැබැයි…
පහු ගිය පොත් ඔක්කොටම බ්ලොග් ලෝකෙන් හදුනා ගත්තු සහෘදයින් ව ටැග් කරපු නිසා මම අන්තිම පොත ජාත්‍යන්තරයට ගෙනියන්න හිතාගෙන මැලේසියාවේදී හඳුන ගත්තු, පොත පත සහ සංචාරයට බෙහෙවින් උනන්දු මැලේ ස්ත්‍රී රත්නයක් ව ටැග් කරලා බැලුවා. එයාගෙනුත් මේ වෙනකම් නම් සද්දයක් නෑ… මං වැඩිය කරදර කරන්න ගියෙත් නෑ ඊට පස්සේ…
ඔන්න ඔහොමයි දවස් හතේ අභියෝගයට මම මුණ දුන්නේ. මාව මේකට ටැග් කරලා මේ පොත් එක්ක ආතල් එකක් ගන්න ඉඩක් දුන්න රවියටත්, මම ටැග් කරලා වැඩේට සෙට් වෙච්ච නොවෙච්ච හැමෝටමත් බොහොම ස්තුතියි. 
ප.ලි
මේක ලියද්දි කියවපු අකමැතිම පොත් ගැනත් ලියන්න හිතුවා. හැබැයි දිග වැඩි වෙන හින්ද ඒක පස්සේ ලියන්නම්. 

%d bloggers like this: