Menu Close

ටිපීගේ සමයං samaga හරි දඟ පොඩි කාලේ

ප්‍රභානී තෙන්නකෝන් සොයුරිය විසින් රචිත,

ටිපීගේ සමයං
හරි දඟ පොඩි කාලේ
යන කෘති ද්විත්වය ගැන කතා කරන්නට ඇගේ පොත් දොරට වැඩුමේදී මට අවස්ථාව ලැබුනා. මේ පොත් දෙක ගැන මගේ කතා බහ මම හිතුවා ලියා තබන එක හොඳයි කියලා.

මොකද මේ පොත් දෙක වැඩිහිටියන් වශයෙන්ද, දෙමාපියන් වශයෙන්ද මම ,ඔබ අපි සෑම දෙනාම කියවිය යුතුම පොත් දෙකක් නිසා.
මේ පොත් ගැන මට කතා කරන්න තියෙන්නෙ වෙනස්ම මාතෘකාවක්. “ළමා මනස සහ මව්පිය භාවය“ මූලික කරගෙන මේ පොත් ගැන කතා කරන්න පුළුවන්දැයි යෝජනාවක් ලැබුනා. ඉතින් ඒ ගැන කියන්න මම ටිපීගේ සමයං පොතෙන් මෙන්න මේ කියමන් ටික එකතු කරගත්තා

ටිපී මහතාට එක තැනක එක විදිහකට ඉන්නවා යනු මරන්න දෙයකි.
ටිපී මහතා පරිසරය කෙරෙහි මහත්වූ ආදරයෙන් සිටින දරුවෙකි. ටිපී බොහෝ සේ ආදරණීය දරුවෙකි එමෙන්ම ඉතාමත් දඟ දරුවෙකි
“ටිපී මහතා ඉතාමත් කුතුහල පැංචෙකි.
ටිපී මහතා හා මග බැසීම යනු මහ අතුරු කරදර තොගයක මුලකි. ඔබ කවුරුත් දන්නා පරිදි ටිපී මහතා උපන්ගෙයිම දඟයෙකි

මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වෙන්නේ යම්කිසි කාලයක දරුවන් හැටියට සමාජයේ හිටපු අය. සමාජයේ සියළු දේ විඳ දරාගෙන ලොකු මහත් වූ අය. මේ ලොකු මහත් වීමේදී අම්මා කෙනෙක් කියන කෙනාට ලොකු භූමිකාවක් තියෙනවා දරුවෙක් වෙනුවෙන්.  අම්මා සහ දරුවා අතර බැඳීම හරි විශාලව දැනුණු දෙයක්. මුහුණු පොතෙන් මම ප්‍රභානිගේ කතා කියවලා තියෙනව, හැම දෙයින්ම මම දකින්නේ තමන්ගේ ලෝකයම දරුවා කරගත්ත අම්මා කෙනෙක්.  සාර්ථක ලේඛිකාවක් මෙන්ම මේ දරුවාගේ ලෝකය ඉතා සුන්දරව විඳින මවක්.

නමුත් ලංකා සමාජය තුලමෙහෙම අම්මලා මම දකින්නේ හරිම අඩුවෙන්. මම පහුගිය අවුරුදු 4 ම වැඩ කළේ ළමා වාට්ටු වල , නමුත් මම ඒ කිසිම තැනක දැක්කේ නෑ, දරුවන්ගේ ලෝකය සුන්දරව විඳින අම්මලා. මොකද ඒක මම හිතන්නේ අපේ රටේ, අපේ සමාජයේ  ප්‍රශ්නයක්. මේ මම වුනත් වෛද්‍යවරියක් හැටියට ජීවිතය සහ රැකියාව එක්ක ඔට්ටු වෙන ගමන් මගේ දරුවාගේ ලෝකය විඳින්න කාලය අවස්ථාව මට අඩු වෙලා තියෙනවා. හෙදියන් ගුරුවරියන් මේ හැමෝටම තියෙන්නේ මේ ජීවන බරත් එක්ක මේ ආර්ථික යුද්ධයත් එක්ක අපේ රට පත්වෙලා තියෙන සාමාජීය ප්‍රශ්නත් එක්ක ගැටෙන ගමන් දරුවනේ ලෝකයට හදිස්සියේ එබෙන්නන් බවට පත් වෙලා.

නමුත් ටිපී හරිම වාසනාවන්තයි ! එයාට ඉන්නවා අම්මා කෙනෙක්, එයා පසුපස සෙවනැල්ලක් වගේ ඉඳගෙන එයා ගැන දකින, විඳින.  එයාගේ ඒ සුන්දර ළමා කාලය ඒ විදිහට විඳින්න ඉඩ දෙන අම්මා කෙනෙක්. ටිපී ගේ කතාව එහෙම ලියවෙනකොට ප්‍රභානිගේ පොඩි කාලේ ගැන කියවෙන හරි දඟ පොඩි කාලේ තුළින් අපිට ගමක ගම්බද පරිසරයත් එක්ක ගැටෙමින් හරි අපූරුවට ළමා කාලය ගත කරන දරුවෙක්  මුණ ගැහෙනවා. එතකොට සාහිත්‍යය ළමා මනස සහ මව්පිය බාවය කියන කාරණය ගැන කොහොමද සම්බන්දය ඇති කරගන්නේ කියලා හිතනකොට මට කතා කිහිපයක් මතක් වෙනවා.
එකක් මගේ මිතුරෙක් ගැන, ඔහු කිසි විටක අපි එක්ක කතා බහට එන්නෙ නෑ. වෙන්ව සිටින්නයි කැමති , කා එක්කවත් මුසු වෙන්න කැමති නෑ, වෙනම තමන්ගේ ලෝකයක ඉන්න කැමති කෙනෙක්, ෆෝන් එක දිහා බලාගෙන ඉන්න සිරිතක් තිබුනා. කාලයක් ගිය තැන ඔහු මා සමග මිතුරු වුන නිසා කියනවා. “ මට ගෑණු අය එක්ක හරි වෛරයි ඒකයි මට ඕගොල්ලොන්ව අල්ලන්නැත්තේ” කියලා. ඉන්පසුව කියනවා මගෙ අම්මා එක්ක මම දැඩි වෛරයකින් ඉන්නේ කියලා. තව ඔහොම කතා කරගෙන යද්දී කියනවා මගෙ අම්මා මම පොඩි කාලේ ළඟට අඬගහලා ඔළුව අත ගාලා කතන්දරයක් කියලා දීලවත් නෑ. මම වෛද්‍ය විද්‍යාලයේ ඉන්නකොට පවා මම කොහේඉන්නවද කියලවත් එයාට දැනුමක් තිබ්බේ නෑ. එයා කළේ බත් ටික උයලා කඳු ගහලා කෑම පිඟන් දෙන එක, රෙදි හෝදලා දෙන එක. ඒ වගේ වැඩ කරනවා මිසක් අපි එක්ක කතා බහ කරේ නෑ කියලා .  මේ කතාවෙන් අපට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ එහෙම හැදුණු දරුවා සමාජයෙන් අයින් වෙලා සමාජය සමග වෛරයෙන් ගැහැණු කෙරෙහි වෛරයෙන් ඉන්න කෙනෙක් බවට පත්වෙන්න සිදුවුනේ අම්මාගෙන් ලැබිය යුතු සෙනෙහස සහ මග පෙන්වීම නොලැබුණු නිසයි කියලා.
තව දරුවෙක් හමුවෙනවා අම්මා තාත්තා හරිම පොහොසත්, ඒ දරුවාට අවුරුදු තුනක් පමණ ඇති. ඒ දරුවා වාට්ටුවට ගෙනා විට, ඒ දරුවා හැසිරුණේ, කූඩු කළ සතෙක් ඉන් එළියට ගෙනාවා වගේ. කිසිම වචනයක් ඒ දරුවා කතා කළේ නෑ. අපි ඒ මව්පියන් සමග කතා බස් කළ විට අපිට තේරුණේ ඒ දරුවා හදන්නේ, වැසුණු පරිසරයක හෙවත් closed environment එකක කියලා. ඒ කියන්නේ කිසිම සමාජ ඇසුරක් නැතිව ඒ දරුවා හැදෙන්නේ. කවුරුත් ගෙදර එන්නේ නෑ ඒ අය බලන්න, පුළුල් තිර ඇති රූපවාහිනියෙන් කාටූන්  පෙන්වනවා. ගෙදර තියෙන්නේ අති විශාල සෙල්ලම් බඩු, ඔවුන් කුඩා සියුම් දේවල් කිසිම දෙයක් අල්ලන්න හෝ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ ඒකට හේතුව ළමයා ගිළියි කටේ දමයි කියලා, අපි පරීක්ෂා කරද්දි තේරුණු දෙයක් තමයි ඒ දරුවට කුඩා සියුම් දේවල් අතේ ඇඟිලි වලින් හසුරුවන්න පෑනක් අල්ලන්න බොත්තමක් දාගන්න ඒ කිසිත් බැහැ. කාල සටහනකට ඒ දරුවව හදන්නේ, ඒ දරුවා ඒ වෙද්දිත් වචනයක් කතා කරන්නෙ නෑ මොකද ඒ දරුවා එක්ක කවුරුත් කතා කරන්නේ නෑ.
ඔය වගේ දහස් ගණන් දරුවෝ මට මුණ ගැහෙනවා මේ සමාජය තුල අතරමං වුණු. ඔවුන් දන්නේ නෑ ඔවුන් කළ යුත්තේ කුමක්ද කියලා. සමහර දෙමාපියෝ ඔවුන්ව පාසැලට ඇරලලා ගියාට පසුව ඔවුන් ආයේ දරුවන් දකින්නේ මහ රෑට. ඔය වගේ තත්වයන් තුල අපට ළමා සාහිත්‍යයක් ගැන කතා කරන්න සිදුවෙනවා. අධික වේගයෙන් මේ සමාජ තරඟයේ විභාග සහ අනෙකුත් දේ අතර දුවන දරුවන්ට කතන්දර පොත් කියවන්න කියනවා ඒක කොච්චර අමාරුද කියලා මම අත් දුටුවා. මොකද මම සේවය කළ වාට්ටුවේ තිබ්බ පොත් කබඩ් එකෙන් පොතක් අරන් කියවන්න කියලා දරුවන්ට ඇවිලිටි කරන්න අපට සිදු වුණා. දරුවන්ට පොත් අවශ්‍ය වුනේ නෑ ඔවුන් පුරුදු වෙලා තිබ්බේ තමන්ගේ මවගේ ජංගම දුරකථනයෙන් ගේම් ගහන්න. එක්කෝ වාට්ටුවේ රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන වැඩිහිටි නාට්‍ය බලන්න. අපේ හෙද සොයුරියන් ඒ වෙනුවෙන් කැප වුනා. ඔවුන් පොත් කියවන්න උනන්දු කළා. කාලයක් යනකොට වාට්ටුවට ඇතුල් වෙන දරුවන්ට පොත් කියවන එක හුරුවෙලා ඔවුන් ඉල්ල ඉල්ල පොත් කියවන්න පුරුදු වුණා
මං හිතන්නේ දරුවෙක් කියන්නේ ගහක්.  ගහක් වැඩෙන්න හිරු එළිය ජලය හැමදේම අවශ්‍යයි වගේ. දරුවා වැඩෙන්නත්, දෙමාපියන්, වැඩිහිටියන්,පරිසරය සහ වටපිටාවෙන් ලැබෙන ආභාෂය ගොඩක් වැදගත්.
කෙනෙක්ගේ වර්ධනයක් වෙන්න නම් ඔහු අවට පරිසරය සමග ගැටෙන්න ඕනෙ අවට පරිසරයෙන් එන බාදා හඳුනාගන්න ඕනේ. ඒකට හොඳ උදාහරණයක් මට මේ පොතෙන් හමුවෙනවා. මේ පොතේ ඉන්න ටිපී මහතා දන්නේ නෑ කුකුලා හෝ කටුස්සා කවුද කියලා. එනිසා ඔහු ඔවුන් වැළඳගෙන සිපගන්න උත්සහ ගන්නවා. නමුත් ඉන්පසු ඔහු මේ පරිසරය තුලදී සත්වයින් හඳුනාගන්නවා.
අපේ දරුවන්ට වෙන්නේ මෙන්න මේ ටිකයි. ඔවුන් දන්නේ ටීවී එකේ යන කාටූන් ටිකයි , ජංගමයෙන් බලන ගේම් ට්කයි පමණයි, ස්ක්‍රීන් එකක කතාවක් බලද්දී ඒ කතාව ඔවුන් ඉදිරියේ රූප මට්ටමෙන් තිබෙනවා. එය මවා ගන්න විශේෂ වෙහෙසක් ගන්න ඕනේ නෑ. නමුත් පොතක අකුරෙන් අකුර ඒවා කියවද්දී මනස තුලින් මේ කතා රූපමය වශයෙන් මැවී පේනවා. අන්න එතකොටයි පරිකල්පන ශක්තිය වර්ධනය වෙන්නේ. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා මේ දෙකෙන් දරුවෙක්ගේ මොළය වර්ධනයට අවශ්‍ය වෙන්නේ, මේ කතා කියවීම සහ කතන්දර ඇසීම තුලින් බව.
අද අපි දකින ඕටිසම් හෝ බුද්ධි හීන දරුවෙක් තුලින් දකින ලක්ෂණ අපි දකිනවා එක දිගට ටීවී හෝ පරිගණක තිරයකට ඇබ්බැහි වුණ දරුවන්ගෙන්. විද්‍යාඥයින් පෙන්වලා දෙනවා මේ ස්ක්‍රීන් ටයිම් එක කියන එක පුළුවන් තරම් අඩු කරලා මේ දරුවන්ව පොත පතට යොමු කරන්න කියලා.චිත්‍ර අඳින්න, කුරුටු ගාන්න දෙන්න කියලා. ඒවගේම පොතක් කියවන්න දෙන්න කියලා කියනවා සුරංඟනා කතා පොත් වැඩියෙන් කියවන්න දෙන්න කියලා කියනවා.

මේවායින් දරුවෙක් තුල තාර්කික බුද්ධිය, අවබෝදයෙන් අනතුරු වලකා ගන්න, වගකීම් ගන්න, මේ සියළු දේ ළමයා තුල වර්ධනය වෙනවා
ළමා මනසක වර්ධනයට විශේෂයෙන්ම සුරංඟනා කතා කියවන්න දීම ගැන, ඒ සුරංගනා කතා වල තිබෙන මනෝ විද්‍යාත්මක පසුබිම මොවුන් පැහැදිලි කරනවා. ඇල්බට් අයින්ස්ටයින් පවා කියා තිබෙනවා වැඩිපුර දරුවන්ට සුරංගනා කතා කියවන්න කියලා.
දැන් අපි දකින ටිපී ගත්තොත් ඔහුට මේ හැමදේම ලැබෙනවා, ප්‍රභානි ට ඇගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණ ඒ දේවල්. මං එහෙම කියන්නේ මේ පොත් දෙකේ ඇති අපූරුම කතා ගොන්න නිසා.  අපිට මේ පොත තුලින් ගොරක යක්කු , මායා බෝංචි ඇට,ලොකට් ගෙඩි, පළා පොළඟා , එස්කොමෝ ගෙවල් හමුවෙනවා.  මේ දේවල් තුලින් අපිට ගෙනෙන්නේ ඒ සුන්දර ළමා කාලය ගැන සංඥා.
ඒත් මට අද සමාජයේ  හමුවෙන දරුවොන්ට මේ දේවල් ලැබෙන්නෙ නෑ.  සමහර විට ඔවුන් රෝහලේ වාට්ටුවේ ඉන්න තමා වඩා කැමති. මොකද ඔවුන්ට ගෙවල් වල නිදා ගන්න මෙට්ටයක්වත් නෑ. අපි සමහර විට බෙහෙත් බොන්න අදිමදි කරන දරුවන්ව බය කරන්න කියනවා,
“මේ බෙහෙත බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් දෙනවා කියලා”
මට හමුවෙන මේ අපූරු දරුවෝ කියන්නේ  “ හරි අපිව තියාගන්න අපි කැමතියි මෙහෙ ඉන්න” කියලා
මේ දරුවන්ගේ ලෝකය ඒ තරම් දූෂිත සහ දරුණු සමාජ වටපිටාවක් නිසා.
ඊළඟට මට හිතෙන දෙයක් තමා, ටිපීගේ සමයං කතාව කියවිය යුත්තේ අපේ රටේ අම්මලා තාත්තලා බව.  අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි සංවේදී විය යුත්තේ කොහොමද ඒදේවල් ඉවසිය යුත්තේ කොහොමද , අවශ්‍ය තැනදී දඬුවම් දිය යුත්තේ කෙසේද කියලා අපිට මේ කතා තුලින් වැටහෙනවා හරි දඟ පොඩි කාලේ කියවිය යුත්තේ අපේ ළමාවියෙන් නව යොවුන් වියට එළඹෙනදරුවන්.
කියමනක් තියෙනවා, our main task is to raise kids who don’t have to recover from their childhood කියලා.

අපි දෙමාපියන් වශයෙන් දරුවෝ හදන්න ඕනේ ඒ දරුවොන්ට තමන්ගේ කුඩා කාලයේ සිදුවෙච්ච දේවල් වලින් මිදෙන්න පුළුවන් දරුවෝ ඒ කියන්නේ  අපි බහුතරයක් ගත්තොත් මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වුනාට, කුඩා කළ ඉඳන් අපට සිදු වෙච්ච අකරතැබ්බ , අකටයුතුකම්, දුක්කරදර හිරි හැර වලින් අපි අපේ මනස අසනීප කරගෙන ඉන්නේ. 

මේක තමයි අපේ රටේ ප්‍රධානම තියෙන සමාජ ප්‍රශ්නය.
ඒ අසනීප වුණු තුවාල වුණු මනසත් එක්ක වැඩිහිටියෝ බවට පත්වුනත්, සමාජයේ බහුතරයක් දන්නේ නෑ ඒ තුවාල හොඳ කරගන්න. පරිණත බවක් කොහෙත්ම දකින්න ලැබෙන්නෙ නෑ. මේ පරිණත බව නැති හින්දා තමයි අපි දකින්නේ, තාමත් දරුවෝ වගේ රණ්ඩු කරන පිරිස්, හැමදෙයින්ම හිත රිදෝගන්න පිරිස් සහ අනුන් කෙරෙහි සංවේදී නොවන පිරිස්. 

නමුත් මම හිතනවා මෙවැනි මේ පොත්  තුලින්  දෙමාපියන්ට ලොකු පණිවිඩයක් දෙනවා, සාර්ථක දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා, ඒ කියනෙනෙ පොත පතේ දැනුමෙන් සාර්ථක දරුවන් නොවේ සමාජ දැනුමෙන් පිරිපුන් දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා.
ඊළඟට මම මේ පොත් වල රසවත් තැන් දෙක තුනක් මම උපුටා ගන්නවා
එකක් තමා , ටිපී ගේ ටිපිකල් වැඩ, කියලා මට හිතුන තැන්. මම හිතලා බැලුවා ඇයි මේ ළමයට ටිපී කියන්නේ කියලා,
එකක් තමා ටිප්සි කියනවා විනෝදකාමී, බරක්පතලක් නැති හැසීරීම් වලට
තව තේරුමක් ලැබුනා, ඕනෑම මොහොතක නොපිට පෙරලෙන්න පුළුවන් කියන තේරුම.
ඔන්න අම්මා දවසක් ටිපීව මිත්තනියට බාරදීලා ගමනක් ගිහින් එනකොට මිත්තනියත් ඉන්නවලු ටිපීත් ඉන්නවලු, ගෙදර බඩු මුට්ටු විසිරිලා හතර අත. ටිපීගෙන් මේ සන්තෑසිය මොකක්ද ඇහුවම ලැබෙන පිළිතුර
“ෂ් ෂ් ෂ් කිටී දොයි” කියලා
“ඉලක්කම් ලිව්වද “
“කිටී දොයි අම්මේ”
“මේ සෙල්ලම් බඩු”
“කිටී දොයි අම්මේ සද්ද කරන්න එපා”

මෙලෙස අහන හැම ප්‍රශ්නෙටම පිළිතුර කිටී දොයි කියන ටිපීගෙන් අහලා වැඩක් නැති තැන මේ අම්මා තාත්තාගෙන් අහනවා, මෙච්චර විනාශයක් කරනකම් ඔයා මොකද කළේ කියලා.. එතකොට තාත්තා අම්මා දිහා බලලා කියනවලු “ෂ් කිටී දොයි” කියලා
මේ අපි දකින ටිපී. මේ වගේ කතා ගොන්නක්ම කියවන්න පුළුවන් ටිපීගේ සමයං පොතෙන් ඒ එක්කම මේ තරම් ඉවසීමක් සහ සාහිත්‍ය ගැන සංවේදී වෙන මේ අම්මා කුඩා කල, සාලය පුරාම සබන් පෙණ හලාගෙන තාත්තා ගෙනා සීත කබායක් ඇඳගෙන එස්කිමෝ ගෙවල් හදපු කතාව අපිට හමුවෙනවා හරි දඟ පොඩි කාලයෙන්.
පුතා කරන දඟ වැඩ ලියන අම්මා කළ දඟ වැඩ හමුවෙද්දි මට ඒ සිදුවීම් වල වෙනසක් පෙනෙන්නේ නෑ

ප්‍රභානි තමන්ගේ දරුවා කෙරෙහි සංවේදී අම්මා කෙනෙක්. ඒක එහෙම වෙද්දී මට හමුවෙනවා දරුවෝ , ඔවුන්ගේ දෙමාපියන් එක්ක ගැටුම් ඇතිකරගෙන යම් යම් විනාශකාරී දේවල් ඔවුන්ගේ ජීවිත වලට කරගත්තු.
අපේ වාට්ටු වලට එනවා දරුවෝ, අවුරුදු පහළොවේ 16 පමණක් නොවේ, අවුරුදු හතේ අටේ ළමයි අම්මලාට පාඩම් උගන්වන්න පැනඩෝල් බීලා වස බීලා.

එක දරුවෙක්ගෙන් ඇහුවම ඇයි පුතේ මෙහෙම කරගත්තෙ කියලා.
“අම්මා අයියට කිරි තේ දීලා මට ප්ලේන්ටි දුන්නා නිසා”
තව කෙනෙක් කියනවා, “අල්ලපු ගෙදර හරකා අල්ලන්න ගිය නිසා අම්මා බැන්නා ඒකයි”කියලා.
අද අම්මලාගේ දරුවන්ගේ විරසකය දැඩිව පෙනෙන්නට තියෙනවා.
දරුවෙක් කෙරෙහි මවක් ඉවසන්නේ කොහොමද කියන එක මේ පොත කියවද්දී අපිට මේ කතා තුලින් අපූරුවට වැටහෙනවා.
සමහර අම්මලාට තේරෙන්නෙ නෑ දරුවාගේ මනස තුල ඇතිවෙන සිතුවිලි කොහොම වෙයිද කියලා. අම්මා තමන්ගේ දුක හෝ කෝපය පිටකරගන්න වදන් හසුරනවා, ඒ දරුවාගේ මනස තුල ඒකෙන් සිදුවෙන හානිය ඇය දන්නෙ නෑ.  මේ සමාජයේ තියෙන ප්‍රචාරන රැල්ලත් එක්ක ඔවුන් පෙළඹෙනවා මොනවා හෝ දරුණු දෙයක් කරගෙන ජීවිතේ හානි කරගෙන අම්මට පාඩමක් උගන්වන්න.
එක පැත්තකින් අපි දරුවන්ට දොස් කියනවා දරා ගන්න ශක්තියක් නෑ කියලා අනිත් පැත්තෙන් අපේ දෙමාපියන් තුලදරුවන් තේරුම් නොගැනීම කියන දුර්වලතාවය පෙන්නුම්කරනවා.
ඉතින් ප්‍රභානි, මවක් හැටියට තමන්ගේ දරුවාගේ ළමාකාලය සුන්දරව ගෙවෙන්න අවශ්‍ය උපදේශනයසහ මගපෙන්වීම ලබා දෙනගමන්, අපිවරසවත් කරනවා මේවා ලියා තැබීම තුලින්
ඇගේ කුඩාකාලය ගැන මේ කෘතිය තුලින් අපට විශ්වාස කරන්න බැරි තරම් සුන්දර ළමා කාලයක් ගැන අපිව මොහොතකට වෙනස් සමාජයකට ගෙනයනවා. මොකද අපට මේවගේ ළමාකාලයක් තිබුනේ නෑ. අපි නාගරික සමාජය තුලදැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දුන්නා. ප්‍රබානි හරි වාසනාවන්තයි. ඉතින් මේ වගේ සුන්දර ළමා කාලයක් අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්නම්, ඔවුන් සමාජය ගැන සංවේදී මිනිස්සු, සාහිත්‍යය ගැන ඇල්මක් ඇති මිනිස්සු සහ අනුන්ගේ දුක කෙරෙහි සානුකම්පිත මිනිස්සු බවට පත්වෙනු නො අනුමානයි.
හරි දඟ පොඩි කාලේ,
ටිපීගේ සමයං
මේ පොත් ද්විත්වය තුලින් අපිට මග හැරුණු දෑ, හරි ගැස්විය යුතු දෑ, කපා ඉවත් කළ යුතු දෑ, ළඟට ගෙන බදා වැළඳගතයුතු දෑ මේවා යැයි කියා දුන්නාට ප්‍රභානි තෙන්නකෝන් සොයුරියට ස්තූති වන්ත වෙමි.


වෛද්‍ය බෝධිනී සමරතුංග
%d bloggers like this: