Menu Close

දෙසතිය මතක – රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම.

 රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද.

අද ලියන්නට යන කතාව මීට කලින් මා ලියන්නට පටන් ගත් කතාවක ඉතිරි කොටසයි.  විශේෂය වන්නේ මම මේ මුලින් ලින්කුව දී ඇති කතාව ලියා තිබෙන්නේ මීට අවුරුදු හතරකටත් පෙර එනම් 2014 මාර්තු මාසයේ වීමයි.  ඉතින් කතාවේ ඉතිරි කොටස ලියන්නට මේ සාහිත්‍ය මාසය තරම් සුදුසු වෙන කාලයක් නැති බව සිතුනු නිසා අවුරුදු හතරකට පසුව වුවද ඉතිරි හරිය ලියන්නට කල්පනා කළෙමි.
හංවැල්ලේ රාජසිංහ මහා විද්‍යාලයේ එම වසරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණි.  දැන් අප යමින් සිටින්නේ දෙසතිය ප්‍රදර්ශන කුටියට වෙන්කරදී ඇති ඉඩ ප්‍රමාණය භාරගැනීමටය.  රාජලාගේ ගෙදරින් උදේට කෑම ගැනීමෙන් පසුව රාජසිංහ මහා විද්‍යාලයට ගිය අපට නියමිත රාජකාරිය ඉවර කරගැනීමට විනාඩි පහළොවක් වත් ගත නොවීය.  විද්‍යාලයට පැමිණ සිටි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විද්‍යාලයේ ගොඩනැගිල්ලක උඩුමහලේ කාමරයක් පෙන්වා එහි යතුර මට භාරදුන්නේ අපේ දෙසතිය ප්‍රදර්ශන කුටිය එම පන්ති කාමරයේ පිහිටුවා ගන්නට කියාය.  සාහිත්‍ය උත්සවය ගැන කියනවිට එදා තිබු රාජ්‍ය සාහිත්‍ය උත්සව සහ අද පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව ගැන පොඩියට වුණත් යමක් කිව යුතුමය.
රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ සංවිධානය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමකි.  ඒ කාලයේ දෙපාර්තමේන්තු බලධාරීන් රාජ්‍ය සාහිත්‍ය උත්සවය  දෙපාර්තමේන්තුව මගින් පවත්වන  වසරේ ලොකුම උත්සවය ලෙස සලකා ඒ උත්සවය මහ ඉහළින් පවත්වන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූ බව සඳහන් කළ යුතුය.  කොළඹින් පිට සමහර විට බොහෝ ඈත පලාතක විද්‍යාලයක් ලබාගෙන දිවයිනේ සිටින සියළුම පොත් ප්‍රකාශකයින්ට ආරාධනා කර පමණක් නොව රජයේ දෙපාර්තමේන්තු සංස්ථා ආදියේ සහභාගිත්වයත් ලබාගෙන ඉතා උත්කර්ෂවත් අන්දමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදී.  බී.එම්.අයි. සී. එච් එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අරඹා නොතිබූ ඒ කාලයේ පොත් ප්‍රදර්ශනය කෙරුණේද සාහිත්‍ය උත්සවය පැවැත්වෙන තැනදීමය.  සාහිත්‍ය උත්සවය සතියක කාලයක් අදාළ විදුහලේදී පවත්වනු ලැබූ අතර සංස්කෘතික ඇමතිවරයා විසින් පළවෙනි දිනයේ විවෘත කිරීමෙන් පසු සෑම දිනෙකම ප්‍රධාන  ආරාධිතයා ලෙස ඇමතිවරයෙක් පැමිණි අතර අවසාන දිනයේ ඒ වසරේ තෝරාගනු ලැබූ හොඳම පොත්වලට අදාළ සම්මාන පිරිනමනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි.
සාහිත්‍ය උත්සවයේ ආරම්භක දිනයේ සිට අවසන් වනදා දක්වා හැම දිනකම උදේ කාලයේ සිට සවස් වනතුරු  සාහිත්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශන, කවිමඩු ආදී සාහිත රස වෑහෙන වැඩසටහන් ද රාත්‍රියේ දේශීය සංගීතාංග ද, නැටුම් ගැයුම් ද, බලි තොවිල් ආදී ශාන්තිකර්ම ද වශයෙන් බලන්නට අහන්නට බොහෝ විශේෂාංග  විය.  කොටින්ම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවති කාලය අදාළ පෙදෙසේ ජනතාව සාහිත්‍ය රසයෙන් මුසපත් කරන කාලයක් වූ අතර මුළු සතිය පුරාම ප්‍රදේශවාසී ජනතාව සාහිත්‍ය උත්සව භූමියට පොදි කමින් පැමිණියහ.  උදේ කාලයේ විශේෂයෙන්ම පාසැල් සිසු සිසුවියන් වැඩිපුර පැමිණි අතර රාත්‍රියේ ගැහැණු පිරිමි බාල මහලු ළමා ළපටි ආදී සියලුම දෙනා එකසේ පැමිණියේ සාහිත්‍ය උත්සව බිමේ අසිරිය විඳිමින් ගීයක් අසා නැටුමක් බලා සිත සැහැල්ලු කර ගන්නටය.  ජනාධිපති ප්‍රේමදාස මහතාද සද්ද බද්ද ඇතිව අලංකාරයට මහ ඉහලින් පැවැත්වෙන උත්සව වලට සහභාගීවීමට බොහෝ ප්‍රිය කළ නිසා උත්සවය සුළු හෝ අඩුපාඩුවක් නොමැතිව පවත්වන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැපවී වැඩකළ බව කිව යුතුය.
එහෙත් අද නම් ඒ කාලයේ මෙන් රටවටා සාහිත්‍ය උත්සව ගෙනගොස් පවත්වන්නට කටයුතු නොකරන අතර පොත් ප්‍රදර්ශනය අවසානයේ බී.එම්.අයි.සී.එච් එකටම රාජ්‍ය නායකයා ගෙන්වා නැටුමක් ගැයුමක් පෙන්වා සම්මාන ප්‍රදානය සිදුකරයි.   අවුරුදු විසි ගණනකට පසු අපේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වැටුණු තැන එහෙමය.
නැවතත් අපේ කතාවට ආවොත් රාජසිංහ මහා විද්‍යාලයේ කරන්නට යෙදුණු රාජකාරිය කළින්ම ඉවරවීම නිසා අපි එතැනින් එළියට බැස්සේ උදේ එකොළහ වෙන්නටත් පෙරදීය.  ඊළඟට යොදාගෙන තිබුණු කටයුත්ත වුණේ රම්‍යාගේ ගෙදර ගිහින් දවල්ට කෑම ගැනීමයි.  නමුත් එහේ යන්නට කල් වැඩි බව අපි සියලු දෙනාගේම මතය විය.  තවම රම්‍යලාගේ අම්මා දවල්ට උයන්නට හාල් ගරනවා ඇති යැ’යි අපි කතාකළේ සිනහසෙමිනි. කාලය ගත කරන්නට තිබුණේ එකම දෙයකි.  වයින් ස්ටෝර්ස් එකකින් බෝතලයක් ගෙන මගදී දුටු අලංකාර රබර් වත්තක් අයිනේ ගලක් උඩ හිඳගෙන බෝතලය ටික ටික හිස් කළේ කාලය ගතවෙන තුරුය.  එක එක්කෙනා තම තමන්ට රිසි පමණින් පානය කළ බෝතලය හිස්වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.  ඊට පසු තවත් බෝතලයකි.  දැන් සංවාද, සාකච්ඡා මණ්ඩප ජයටම පැවැත්වෙයි.  වැඩේ ඉවර වනවිට එකත් පහුවුණු නිසා ඉක්මන් කර රම්‍යා ගේ ගෙදරට යන්නට පිටත් වුණෙමු.
රම්‍යලාගේ ගේ තිබුණේත් රබර් වත්තකය.  පාරෙන් වම් පැත්තේ කන්දක් නැගගෙන ගෙදරට ගිය අපි එනතුරු  රම්‍යා ගෙදර අයත් එක්ක මග බලා සිටියේ සරුසාරයට දවල් කෑමත් පිළියෙළ කරගෙනය.  කෑමෙන් පසු ආපහු එන්නට පාරට බැස්සත් මග දිගට බාර් ගානේ නවත්වමින් රස්තියාදු වෙවී කොළඹට එනවිට රෑ නවයත් පහුවෙලාය.  හේරත් ව කළුතර බස් එකකට ගොඩකරවා මමත් කුමාරත් පීරිසුත් කොටුව ස්ටේෂමට ගියේ නවයහමාරේ කෝච්චිය අල්ලා ගන්නටය.  කෝච්චියට ගොඩවුණු සැණින් කුමාරත් පීරිසුත් ගොරවමින් නිදන්නට වුහ.  දැන් මටත් නින්ද ගියොත් එහෙම තුන්දෙනාම නවතින්නේ පොල්ගහවෙල කියන එක හොඳටම ෂුවර් ය.  බොහෝම අමාරුවෙන් ඇස් ඇරගෙන සිට කුමාරව ගනේමුල්ලෙනුත් පීරිස් බෙම්මුල්ලෙනුත් බස්සවා මම ගෙදර එනවිට රෑ දොළහටත් කිට්ටුවෙලාය.
සාහිත්‍ය උත්සවය පටන් ගන්නට පෙර අපට කරන්නට තිබු වැඩක් වුණේ දෙසතිය කුටිය ලස්සනට හදා ගන්නා කාරියයි.  චිත්‍රපට අංශයේ බාස් ලා දෙන්නෙක් ලී වැඩවලට සහ අලංකාර කටයුතුවලට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්ය කෙනෙක්ගේ උදව්වෙන් සාහිත්‍ය උත්සවය පටන්ගන්නට දින කීපයකට පෙර කුටිය ලස්සනට සාදා නිමකර ගත හැකිවිය.  සාහිත්‍ය උත්සවයට සහභාගී වෙන්නට අපි හංවැල්ල බලා පිටත්වුණේ උත්සවය පටන් ගන්නට පෙරදින හැන්දෑවේ ය.  අපේ කණ්ඩායම වුණේ මමත්, මගේ සහායක රාජාත්, ගෝලයාවූ සෝමපාලත්ය. උත්සවය ආවරණය කරන්නට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යවන නිල ඡායාරූප ශිල්පියා වූ සරත් ද අප සමගම එක්විය.  රියැදුරු වුයේ මොළේ සුනිල් හෙවත් මොළයාය.  රියැදුරන් සම්බන්ධ සෑම කාර්යයකදීම හැම දෙනාම උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් නිසා සුනිල් හඳුන්වනු ලැබූයේ මොළයා කියාය.
කණ්ඩායමේ සියළුම දෙනා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන විනෝදයෙන් ඉන්නට කැමති අය වීම නිසා මම සිටියේ සතුටිනි.  එමෙන්ම ඉතාම සුන්දර සතියක් ගතකරන්නට ලැබෙන බවද මම දැන සිටියෙමි.  හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයයට ගිය අපි අපේ දෙසතිය කුටියේ ස්ථානගතවී පසුවදා උත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තෙමු.  අපේ නවාතැන වුයේද එම කුටියමය.  ඡායාරූප ශිල්පියාවූ සරත් අපේ දෙපාර්තමේන්තුවෙන් ගියද ඔහු අයත් වුයේ මාධ්‍යවේදීන් ගණයට නිසා සරත්ට වෙනම නවාතැන් සහ කෑම බීම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිවිය.  ඒත් ඔහු වඩා කැමතිවුනේ අපිත් එක්කම එකට නවතින්නටය.  අපිත් එක්ක එකට ඉන්නවිට තියෙන සොමිය පිට අය එක්ක වෙනම ඉද්දි ලබාගන්නට බැරිවීම ඔහු නවතින්නට හේතුවූ ප්‍රධාන කාරණය බව මම දැන සිටියෙමි.  කෙසේ වුවද සරත් ඉතා සුන්දර සහ වටිනා ගමන් සගයෙක් වීම නිසා ඔහු අපත් සමග නැවතීම සියළුම දෙනාගේ සතුටට කරුණක් විය.  පසුදා සිට සාහිත්‍ය උත්සවය ඉතා අලංකාරයෙන් සහ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.  අපිද දෙසතිය කුටියේ වැඩ කටයුතු ඉතා සතුටින් කරගෙන ගියෙමු.
සාහිත්‍ය උත්සවයේ පළමු දිනයේ උදේ වරුව වෙන්වන්නේ දේශන වැඩමුළු සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සඳහාය.  මෙවැනි තැන්වලදී එකතුවෙන ආචාර්ය මහාචාර්ය වරු සහ පණ්ඩිතයන් බොහෝ කරුණු කාරණා ගැන මත පළකරමින් සහ වාද විවාද කරගනිමින් සාකච්ඡා කරති.  එවැනි එක් තැනක මුළු උදේ වරුවම ගතවුණේ හංවැල්ල යන නමේ නිරුක්තිය සෙවීම සඳහාය.  එවැනි තැන්වලදී කියැවෙන බොහෝ වටිනා කරුණු කාරණා මට නම් මී මෙන් රසවත් විය.  පණ්ඩිතයන් ගම්වල නම් පමණක් නොවැ කතාකරන පඬිවරයාගේ නමේ නිරුක්තිය පවා විචාරති.  හංවැල්ල නම හැදුණු හැටි හොයන්නටම මේ පණ්ඩිතයන්ට වරුවකටත් වඩා ගතවූ බව මට හොඳට මතකය.  දෙසතිය කුටියේ වැඩ කටයුතු රාජාටත් සෝමපාලටත් පවරා මම මුළු උදේ වරුවම මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වල ගතකරන්නට පටන් ගත්තේ ඒවා ඒ තරම්ම රසවත් වීම නිසාය.  රසවත් වීම පමණක් නොව මා ඒවායින් අපමණ දැනුම් සම්භාරයක් ලබාගත් බවත් කිවයුතුමය.  හවස් වරුව එක එක ප්‍රකාශකයන්ගේ වෙළෙඳ කුටි වෙත ගොස් ලාබෙට විකුණන්නට ඇති පොත් සොයමින් ගතකලෙමි.   රාත්‍රියේ මාව කුටියේ තබා අනික් දෙතුන් දෙනා කඩචෝරු කමින් සංගීතාංග සහ නැටුම් ගැයුම් බලන්නට ද ඒවා බලන්නට එන ගමේ කෙල්ලන් පස්සෙන් යන්නටද පටන් ගනී.  එය මට කිසිම කරදරයක් නොවුණේ රෑට වෙළෙඳ කුටිවලට එන අය අඩු නිසාත් පහළ කෙරෙන සියලුම දේවල් උඩ තට්ටුවේ ඉන්නා මට හොඳින් පේන නිසාත්ය.
මේ අතර මොළේ සුනිල් වාහනයේ හංවැල්ල ටවුමට ගොස් රෑට කන්නට සහ විශේෂයෙන්ම බොන්නට අවශ්‍ය දේවල් රැගෙන එයි.  ඇවිදින්නට ගිය උන් මහන්සිවී ආපහු දෙසතිය කුටියට එන්නේ බොන්නත් කන්නත් බලාගෙනය.  දෙකක් තුනක් දාගත් පසු  ගිය ගමන්වල විස්තර ගැන කෙරෙන කතාබහද මඩ ගහ ගැනිලි ද අඩුවක් නැත.  ඔක්කොම වැඩ ඉවරවී අපි නිදාගන්නේ මහ පාන්දරය.  උදේ අවදිවී කට්ටියම වාහනයට නැගගෙන නාන්නට යන්නේ හංවැල්ල ටවුමට කිට්ටුවෙන් කැළණි ගඟේ තියෙන තොටුපොලකටය.  රාත්‍රියේ බීපුවායේ අමාරුව යන්නත් එක්ක හොඳට ගඟෙන් නාගෙන පාරෙන් තැඹිලිත් බී කුටිය විවෘත කරන්නට  කල්වේලා ඇතිව ආපහු එන්නේ උදේට කන්නට බලාගෙනය.  උදේ කෑමට වියදම් කරන්නට අවශ්‍ය නොවුණේ සරත් ඔහුට දෙන කෑම අපටත් එක්ක ඇතිවෙන්නට අරගෙන එන නිසාය.  මේ විදියට කටයුතු  වෙද්දී කාලය ගතවෙනවා නොදැනේ.  ඇත්තටම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ගතකරපු මුළු කාලයම අපට නම් එකම විනෝදයක් විය.
දවසක් දා රාත්‍රියේ (එය මට මතක හැටියට සිකුරාදාවක් විය) අපේ කාර්යාලයේ වැඩකරපු ප්‍රේමා හෙවත් ප්‍රේමක්කා ඇගේ මහත්තයා සහ දරු දෙදෙනා එක්කරගෙන සාහිත්‍ය උත්සවය බලන්නට ආවාය.  එතැනදී අප හමුවූ විට ඇගේ සතුට නිම් හිම් නැතිවිය.  ඒ ගැනත් කතාවක් ඇත.  ප්‍රේමක්කා අපේ කාර්යාලයේ වැඩට ආවේ හංවැල්ලේ ඉඳලාත් කිලෝමීටර් තුන හතරක දුර ගමක සිටය.  දරුවන්ගේ වැඩත් එක්ක ගමනාගමනය අපහසු නිසා වෙලාවට කාර්යාලයට යන්න එන්න තිබුණු කරදර නිසාවෙන් ඇය ගමට ළඟ තැනකට ස්ථාන මාරුවක් ඉල්ලා අවුරුදු කීපයක් ගතවී තිබුණත් ස්ථාන මාරුව නොලැබුණු නිසා ඇය සිටියේ ඒ ගැන සිත් කරදරයෙනි.  මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුවී ආවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිට නිසා ඇය ඒ ගැන මට කීවේ පුළුවන් කමක් ඇත්නම් වැඩේ කරදෙන්න කියාය.  රාජ්‍ය පරිපාලනේ හිතවත් අයගේ මාර්ගයෙන් ප්‍රේමාගේ ස්ථාන මාරුව ලබාදෙන්නට මට ගතවුණේ සති දෙකක් වැනි සුළු කාලයකි.  ස්ථාන මාරුව ලබාගත් ප්‍රේමක්කා මට මුව නොසෑහෙන සේ ස්තුති කර සතුටින් ගම් පළාතට ගියාය.  ප්‍රේමා හංවැල්ලේ ඉන්නවාය කියා ඒ වන විට අපටද අමතක වී ගොසින්ය.  අපි කට්ටිය දුටු පමණින්ම ප්‍රේමක්කා සතුටු වුණේ ඒ හින්දාය.  කතාබහ කර සාහිත්‍ය උත්සවයද බලා ආපසු යන්නට ලෑස්ති වෙන ප්‍රේමක්කා අපට ආරාධනාවක් කළාය.
” මල්ලියෙ, ඔන්න ඔක්කොම කට්ටිය එක්ක හෙට රෑ අපේ ගෙදර කෑමට එන්න!”
අපි ආරාධනාව සතුටින් පිළිගත්තෙමු.  පහුවදා උදෙන්ම රාජකාරියට ගිය සරත් දවල් වෙද්දී අපේ කුටියට ආවේ සිනාසෙමිනි.
” උඹල දන්නවද වැඩක්, මම අද ටවුමට ගිය වෙලාවෙ ප්‍රේමගෙ මහත්තය හම්බුණා නෙ.”
” ඉතිං.”
” ඉතිං තමයි, පොරගෙ සයිකලේ පිටිපස්සෙ ලේ පෙරෙන ඌරු ගාතයක් ගැට ගහල තිබ්බනෙ.” 
සරත් සිනාසෙමින් කියයි.  එදා රාත්‍රියේ ප්‍රේමා ගේ ගෙදර රෑ කෑමට ඌරු මස් පිළියෙළ කොට තිබුණාදැයි මට මතකයක් නැතත් සරත් එහෙම කිව්වේ අපටද සිනාසෙන්නටය.  ඒ කාලයේ අද මෙන් නොව ඌරු මස් ටිකක් ලේසියෙන් හොයාගන්නට තිබුණේ නැත.  අද නම් හන්දියක් හන්දියක් ගානේද පාර අයිනේද ඌරු මස් තට්ටු ඕනෑ තරම් ඇත.  හෝටල බොහොමයකද බෝඩ් එල්ලා තිබෙන්නේ ඌරු මස් සමග බත් කන්නට තියෙනවා කියලාය.  හැබැයි හරක් මස් ටිකක් කඩේකින් හෝ හෝටලයකින් වැරදිලාවත් හොයාගන්නට නැතිවීම පුදුමයකි.  අද කියැවීම අනුව ඌරන් මැරීම පව් සිදුවන දෙයක් නොවෙන නමුත් හරකුන් මැරීම ආනන්තරිය පාප කර්මයකි.  ඒ නිසාදෝ ඉඳහිට හරි කොහේ හෝ තැනක හරක් මස් විකුණනවා නම් ඒ කරන්නේත් හොරන් හොරෙන් කේ ජී විකුණනවා වගේ පුද්ගලයා හොඳට හඳුනා ගැනීමෙන් පසුවය.  නමුත් මට මතක ඈත කාලයේ නම් හරක් මස් නිදහසේ විකුණුන අතර අරන් යන අයගේද අඩුවක් නොවීය.  කොටින්ම අද සුලභව කෑමට ඇති කුකුල් මස් වල තැන එදා තිබුණේ හරක් මස් වලටය.  මම මේ කියන කතාවේ යටිපෙළ තේරුම් ගැනීම ඔබ සතු කාර්යයකි.  
මේ ළඟදී දවසක මම ලේ පරීක්ෂණයක් සඳහා උදේ නිරාහාරව ගොස් පරීක්ෂණයට ලේ දුන්නෙමි.  ලේ දීමෙන් පසු කෑම කා පැයකට පසු නැවතත් ලේ ගැනීමට නියමිත විය.  ඊට පසු මම ටවුමේ හෝටලයකට ගියේ උදේට කෑම කන්නටය.  මට කෑම ගෙනැත් තියපු මනුස්සයා කීවේ පාන් කන්නට වෙනත් වෙනත් හොදි වර්ග සමග ඌරු මස් හොදිත් තියෙනවා කියලාය.  මම ඔහුගෙන් හරක් මස් පීරිසියක් ඉල්ලුවේ නැති බව දැන දැනම උනත් උදේම පොඩි සොමියක් ගන්නට හිතලාය.
” හරක් මස් නෑ!” ඌ කීවේ මුහුණද හපුටු කරගෙනය.
” මම හිතුවෙ ඌරු මස් තියෙන එකේ හරක් මසුත් ඇති කියලා!” මම අහිංසක ලෙස කියා සිටියෙමි.
” නෑ නෑ අපි හරක් මස් ගේන්නෙ නෑ!” ඔහු තදින්ම කියා සිටියේය.
හරක් මස් ආහාරයට ගන්නවාට විරුද්ධව මෙතරම් විරෝධයක් තියෙද්දී හරක් මස්ම කන්නට ඉල්ලන මේකා මහ මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම විය යුතුයැයි ඔහු නිසැකවම සිතන්නට ඇත.
අපිත් එක්ක එකට ඉන්දියාවේ සිටි ටෙරන්ස් කතෝලිකයෙකි.  සතියකට දෙතුන් වේලක් හරක් මස් ආහාරයට ගැනීම ටෙරන්ස්ලා සිරිතක් වශයෙන් කරන දෙයකි.  ඒ දවස්වල අපි හවස වැඩ ඇරී ගෙදර යද්දී එග්මෝර් ටවුමේ හරක් මස් පොට් එකකට ගිහින් මස් මිළදී ගත් අතර එතැන මස් ඉවර නම් අන්නා නගර් වල තැනකින් මස් ගන්නට පුරුදුවී සිටියෙමු.  දැන් ටෙරන්ස්ගේ පදිංචිය ලංකාවේය.  ළඟදී දවසක අපි ටෙරන්ස් ලාගේ ගෙදර කෑමකට ගිය වෙලාවක දවල් බතට සුපුරුදු පරිදි හරක් මස් ඉස්ටුවක් ද විය.  
” මේ පැත්තෙ නම් මස් ගන්න එච්චර අමාරුවක් නෑ වගේ.” 
මම කීවිට ටෙරන්ස්ට මල හොඳ එකෙන්ම පැන්නේය.  
” පිස්සුද බං, මස් ටිකක් හොයාගන්න තියෙන අමාරුව අපියි දන්නෙ. දැන් හැම කඩේකම වාගේ හරක් මස් විකුණන එක නවත්තලානේ.  මස් ටිකක් හොයාගන්න හෙන ඈත යන්න වෙනව.  ඇයි යකෝ ඉන්දියාවෙදි වත් මෙහෙම අමාරුවක් තිබ්බෙ නෑනෙ මස් ටිකක් හොයාගන්න.”
ඒ කතාව එහෙමය.  සාහිත්‍ය උත්සවය ගැන කියන්නට තියෙන දේ කියා අහවර බව සිතමි.  හංවැල්ල සාහිත්‍ය උත්සවයේ දී සිදුවූ මතක හිටින තව දෙයක් වුයේ කරුණාරත්න දිවුල්ගනේ හමුවීමයි.  සාහිත්‍ය උත්සවයේ තිබු සංගීතයක ගීත ගයන්නට ඇවිත් සිටි ඔහු වෙලාව එනතුරු උත්සව භුමියේ ඇවිදිමින් සිටින අතර දෙසතිය කුටියටත් ගොඩවුණේ එක දෙසතියක ඔහු ගැන ලිපියක් පළවී තිබීම හේතුවෙන් එය මිළදී ගන්නටය.  කාලය සම්බන්ධව අපි දෙදෙනාටම ප්‍රශ්නයක් නොතිබූ බැවින් අපි දෙදෙනා ටිකක් වෙලා කතා කරමින් සිටියෙමු.  එවකට ඔහු ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම අපේ කතාවට බඳුන් වූ අතර කතාව අවසන් කරන්නට වුණේ ඔහුට ගී ගයන්නට යායුතු වෙලාව පැමිණීම නිසාය෴
%d bloggers like this: