Menu Close

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 19 – ජීප්ගේ වැලපීම, කළුතර ගමන, දීපිකාගේ උපදෙස්, අබේගේ මඟුල, ස්ථාන මාරුව, පාට් ටයිම් ජොබ් එක සහ අලුත් අත් ඔරලෝසුව.

                           Photo : Google Images

අක්කා කෙල්ල හෙවත් ජීප්ගේ කලවයස දැනටමත් පැන ඇති නිසාවෙන් කා සමග හෝ හැකි ඉක්මණින් විවාහ වීමේ අවශ්‍යතාව තදබල ලෙස ඇයට දැනෙමින් තිබිණි.  ඇය නිතරම කියවන්නේ අපි දෙන්නා ඉක්මනින්ම කසාද බැඳිය යුතු බවය.  ඒ කතාව ඇහෙනකොටත් මගේ ඇඟ පත සීතල වෙන්නේ කසාදයක් බැඳ පවුලක් පන්සලක් වීම ගැන ඒ වනවිට මම හිතලාවත් නැති නිසාය.  ජීප් ව අතහැරීම ගැන සිතන්නටත් බැරි තරමට ඇය අප දෙදෙනාගේ සම්බන්ධය ගැන ඇගේ පවුලේ අයටත් යාළුවන්ටත් දන්වා පුළුල් ප්‍රචාරයක් ඒ වනවිටත් දී තිබුණි.  ඔය කාලය වන විට මා පැටලී සිටියේ මොනවා කරන්නදැයි හිතා ගන්නට බැරි තරම්  උහතෝකෝටිකයකය.  ජීප් හඬමින් ද වැලපෙමින් ද නිතරම මගේ සිත අවුලෙන් අවුලට පත් කරන්නට පසුබට නොවුවාය.  හැමදාම උදේ ජීප් මගෙත් එක්ක කතාකරන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.  ටිකකින් ඇය කඳුළු වගුරුවමින් හඬන්නට පටන්ගැනීම මට මහත් හිසරදයක් වෙන්නට වැඩි කලක් ගත නොවීය.  හැම උදේකම සිද්ද වෙන මේ සිද්දිය මගේ දවසම මුසල කරවයි.  ජීප් හිතාගෙන ඉන්නේ අඬපු විට මට දුක හිතී ඇය කියන දේවලට කැමති වේය කියාය.  ටිකක් හරි මගේ හිත හදන්නට ඉන්නේ දීපිකාය.  මා බුම්මාගෙන ඉන්නවිට ඇය මට විහිළුවක් කර නැවතත් මාව යථා තත්ත්වයට ගෙන එන්නට සමත්වෙයි.  මේ හේතුව නිසාම මම ජීප්ට වඩා දීපිකාගේ ඇසුර ප්‍රිය කරන්නට පටන් ගතිමි.  තරුණයින් වූ අපි දවසම අඬා වැලපෙමින් ඉන්න අයට වඩා විහිළුවක් දෙකක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්නට  කැමතිවීම සාමාන්‍ය ස්වභාවයයි.  නගරයේ හැදී වැඩී ජීවිතය සතුටින් විනෝදයෙන් ගතකරන්නට පුරුදුවී සිටි කෙල්ලක් වූ දීපිකා ගේ ඇසුර මගේ සිතේ වූ කණස්සල්ල ද කලකිරීම ද නැතිකරන්නට ඖෂධයක් මෙන් විය.
කෙසේ වුවද අපි දෙන්නාගේ කතා බහ ජීප්ට රහසෙන් කරගෙන යන්නට සිදුවුණේ එය ජීප් දැනගතහොත් දීපිකාටද බැනවදින නිසාය.  අපි තුන්දෙනාගේ අනෙක් හිතවතා වූ අබේ මේ ගැන මට දැඩි ලෙස විරෝධය පලකළේය.  ඒ වනවිටත් විවාහ වන්නට කෙල්ලෙක් තෝරාගෙන සිටි අබේ අවංක සහ ආදර්ශමත් පෙම්වතෙක් විය.  ඔහුගේ අදහස වුණේ මා ජීප්ට දැඩි අසාධාරණයක් කරන බවයි.  එක සති අන්තයක අපි හතර දෙනා අබේ බඳින්නට සිටි කෙල්ලත් සමග කළුතර බෝධියට ගියේ අබේගේ ආරාධනයෙනි.  අබේගේ කෙල්ලට කළුතර බෝධියට පුජාවක් පවත්වන්නට අවශ්‍යතාව තිබුණු අතර ජීප් ඉතා කැමැත්තෙන් ගමනට එකතු වුණේ ඇයට ද බෝධියට බාරයක් වෙන්නට වුවමනා ය කියාය.  මටත් දීපිකාටත් එහෙම විශේෂ වුවමනාවල් කිසිවක් නොවූ අතර එය අපට තවත් විනෝද ගමනක් විය.  උදේම කළුතරට ඇවිත් සල්ගාදු හෝටලයෙන් උදේ ආහාරය ගත් අපි ඊළඟට පුජා වත් පිළිවෙත් කරන්නට බෝධියට පැමිණියෙමු.  අබේගේ කෙල්ල අබේවත් ලඟින් ඉන්දවා ගෙන ඇය ගෙදරින් ගෙනා ලොකු පොතක් දිග හැර ගෙන ගාථා කියවන්නට වූ අතර ජීප් ඒ ලඟින්ම වාඩිගෙන තවත් පොතක් දිග හැර ගෙන ගාථා කියන්නට වුවාය.  මල් පහන් පුදා මම නැගිට යන්නට හදන විට ජීප් මට තරවටුවෙන් කතා කර ඇය ලඟින් ඉන්දවා ගත්තාය.  දීපිකා ඒ වන විටත් මළුවේ ඇවිදිමින් සිටියාය.  ටිකක් වෙලා ජීප් ළඟ ඉඳගෙන සිටි මට ජීප්ගේ ඉවරයක් නැති ගාථා කියවිල්ල අහගෙන ඉඳගෙන ඉන්නට කම්මැලි නිසා කකුල් රිදෙනවා ය කියා නැගිට ගොස් දීපිකා ගේ ඇවිදිල්ල ට එකතු වුණෙමි.
මළුවේ තාප්පයට හේත්තුවී හිස් බැල්මෙන් ගඟ දෙස බලා සිටි මගේ ලඟට ආ දීපිකා ඇහුවේ ජීප් සහ මගේ අතර ඇතිව තිබු ප්‍රශ්නකාරී වාතාවරණයේ ඒ වනවිට තත්ත්වය ගැනය. 
” දෙන්නත් එක්ක ඔක්කොම කාරණා කටයුතු කතාකරගෙන ඉවරවෙලා වෙන්නැති අද බෝධියට පුජා පවත්තන්න ආවෙ.”
ජීප් සහ මගේ අතරේ සිදුවූ කතා බහ හැම දෙයක් ගැනම හොඳින් දන්නා දීපිකා එහෙම ඇහුවේ මට සවුත්තුවටය.
” ඔව් ඔක්කොම කතාබහ කරගෙන ඉවරයි, තව සතියකින් දෙකකින් හොඳ දවසක් බලල රෙජිස්ට්‍රේෂන් එක ගන්නයි ඉන්නෙ.”
මමත් ඇය ඇසු විදියටම උත්තර දුන්නෙමි.  දීපිකා කතා කළේ සිනාවෙමිනි.
” එහෙම නෙවෙයි අනේ, කියන්නකො ඇත්තටම මොකද වුණේ කියල.”
” මොකුත් වුණේ නැහැ.  ජීප් කළුතර යන්න කතා කළා මම ආවා, ඔයත් දන්නවනෙ.”
” මම ඇහුවෙ ඒව නෙවෙයි අනේ, ඔය දෙන්නගෙ මඟුල කෙරෙනවද නැද්ද කියල.”
” ජීප් නං හැමදාම කන්කෙඳිරි ගානවා. ඒ උනාට මම කැමති නෑ.  කැමති නෑ කියල ජීප්ගෙන් බේරෙන්නත් බෑ, මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල.”
දීපිකාගේ මුහුණ ආලෝකමත් විය.  ඇය මටත් හිසෙන් කතාකරගෙන මළුවේ ඈත කෙලවරට ගොස් වටපිට බලා කතාකළේ හඬ පහත් කරමින්ය.
” මේ අහන්න, දැන් ජීප්ට තියෙන්නෙ ඉක්මනට කාව හරි බැඳගන්න තියෙන උවමනාව.  ඒ කියන්නෙ ඔයාවම නැතත් වෙන කෙනෙක් හරි.  එයාට එච්චර හදිස්සියි.  ඉතින් කොහොමත් එයා මේ අවුරුද්ද ඇතුළත කාව හරි බඳීවි.”
” ඔය ඇත්තමද දීපිකා? හැබැයි එයා කතා කරන්නෙ නං මාව බඳින්න ලැබුනෙ නැත්නම් ගඟේ මුදෙ පනින ගානට.”
” විකාර……..ඔයාටත් ඔව්ව ඇත්ත.  මොකද වෙන්නෙ කියල සද්ද නැතුව බලාගෙන ඉන්නකො.   අඬන අඬන වෙලාවට බයවෙලා එයා කියන දේවල් කරන්න යන්නෙ නැතුව.”
දීපිකාගේ වචන වලින් මගේ සිත ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වන්නට විය.  අද කළුතර ආවේ කරන්නට කිසිම දෙයක් හිතාගන්නට බැරුව වුවත් දීපිකාත් එක්ක කළ කතාව නිසා සිතේ බර ටික ටික අඩුවී යයි.
” දැන් හරි ෂෝක් නෙ.  ළමයගෙ මුණත් එක්ක එළිය වැටුණා.  ජීප්ගෙ පුජාවල් මෙතනදීම පල දෙනව වගේ.”
දීපිකා විහිළු කරන්නට පටන් ගත්තාය.  ජීප්ලා පුජා වතාවත් ඉවර කළේ ඊටත් පැයකට විතර පසුවය.  ඒ වන විට අපි දෙන්නා ඊළඟ සති අන්තයේ මුණ ගැසෙන්නට ද කතා කරගෙන ඉවරය.  ආපසු එද්දී උදේ ආවාට වඩා සැහැල්ලුවකින් හැසිරෙන මා දෙසද දීපිකා දෙසද ජීප් විමසිලිමත්ව බැලුවත් මොකුත් කිව්වේ නැත.
ජීප්ට අසාධාරණ කම් මදි පුංචිකම් කරනවාය කියා මගෙත් එක්ක ටිකක් හිත නොහොඳින් සිටි අබේ පසුව සිය විරෝධය එළිපිටම පෙන්වන්නට විය.  ඔහු මගෙත් එක්ක කතාකිරීම පවා නවතා දැම්මේය.  ඊට ටික දවසකට පසු ජීප් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන ගියාය.  එහෙම ගියත් ජීප් හැමදාම මට කතා කළ අතර විටින් විට ඇය බලන්නට එන්න යැයි තර්ජනයක්ද කළාය.  අබේගේ මඟුල සිදුවුණේ මේ අතරය.  හිත නොහොඳින් හිටියත් අබේ මටත් මඟුලට ආරාධනා කළේ කාර්යාලයේ අනෙක් ඔක්කොටොම මඟුල කියපු නිසා මිසක කැමැත්තකින් නොවන බව මට හැඟුණි.  ගම්පහ තිබුණු අබේගේ මඟුල් ගෙදරට කාර්යාලයේ අනික් අයත් එක්ක මමත් ගියෙමි.  ඒ මඟුල් ගෙදර අපි ඔක්කොටොම මතක හිටින මඟුලක් වුණේ මඟුල් බතට තිබු චිකන් කාපු හැමෝටම බඩ එළිය යෑම නිසාය. 
ඔය කාලයේ මගේ රැකියාවේත් වෙනස්කමක් සිදුවිය.  මට උසස්වීමක් සමග ස්ථාන මාරුවක් ලැබුණු නිසා මම ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය අතහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරියට වාර්තා කළෙමි.  අලුත් රාජකාරි ස්ථානයේ දී මට නව මිතුරු මිතුරියන් රැසක් හඳුනා ගන්නට ලැබුණු අතර මගේ හොඳම යහළුවන් දෙදෙනා වුණේ මගේම බැච් එකේ චන්ද්‍රලාල් සහ මා එන්නට දින කීපයකට පෙර ස්ථාන මාරු ලබා පැමිණ සිටි ඉන්ද්‍රා ය.  ඒ දෙදෙනාම දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයෙන් පැමිණ සිටි අතර ලාල් දිනපතා ගාල්ලේ සිට රාජකාරියට පැමිණි අතර ඉන්ද්‍රා කැලණිය පැත්තේ නිවසක නවාතැන් ගෙන වැඩට ආවාය.  දීපිකා නිතරම පාහේ කාර්යාලයට ටෙලිපෝන් කර කාර්යාලයේ විස්තර කතාකළත් ජීප් නම් වැඩිපුර කතා කළේ නැත.
මේ අතර සිදුවූ තවත් වෙනස්කම් කිහිපයක් නම් එතෙක් කල් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක පවත්වාගෙන ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය එතැනින් ඉවත්කර ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලට ගෙන ඒමයි.  සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධාන කාර්යාලයේ අය ඒ ගොඩනැගිල්ලට සුවසිරිපාය යනුවෙන් නම් තබා පදිංචි වූ අතර අවතැන්වූ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වැලිසර ළය රෝහලේ ගොඩනැගිල්ලක ස්ථානගත කරන ලදී.  මේ අතර මට කණින් කොනින් අහන්නට ලැබුණු ආරංචියක් වුණේ අබේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ලැබ් එකේ වැඩකළ තරුණියක් වූ ශ්‍රියානි සමග කිට්ටු ආශ්‍රයක් පවත්වාගෙන යන බවයි.  දවසක් මම මේ කතාව ඇත්තද කියා දීපිකාගෙන් ඇසුවිට ඇය කිව්වේ කතාව ඇත්තය කියාය.  ශ්‍රියානි ත් ගම්පහ සිට වැඩට එන තරුණියක් වූ අතර අබේ ඇයත් එක්ක හැමදාම උදේ හවස යන එන බව දීපිකා වැඩිදුරටත් කීවාය.  නුගේගොඩ සිට උදේ හවස වැලිසරට යන්නට අමාරුයි කියා කන්කෙඳිරි ගාමින් සිටිය දීපිකාට උසස්වීමක් සමග කොළඹ කාර්යාලයකට ස්ථාන මාරුවක් ලැබී ගිය නිසා ඊට පසු අබේගේ අලුත් ප්‍රේම කතාවේ විස්තර දැනගන්නට ක්‍රමයක් නැතිවිය.
දවසක් දා වැඩ ඇරී ගෙදර එන ගමන් මම රාගම දුම්රිය පොළෙන් බැස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබන මගේ මිත්‍රයෙක් බලන්නටය.  රෝහලට ගොස් මිත්‍රයාත් බලා ආපසු ගෙදර එන්නට මම රාගම දුම්රිය පොළට ආවෙමි.  ඈතදීම මම දැක්කේ දුම්රිය පොළේ බංකුවක ඉඳගෙන සිටි තරුණ යුවළක් සිනහසෙමින් කුටු කුටු ගා කතා කරමින් ප්‍රේම සාගරයේ ගිලී ඉන්නා අන්දමය.   ළං වනවිට ඒ ඉන්නේ අබේත් ශ්‍රියානිත් බව හඳුනා ගත්තෙමි.  මට එක්වරම මතක් වුණේ කෙල්ලන් දෙතුන් දෙනෙක් එක්ක එකවර හාදකම් පවත්වනවාය කියා ඔරොප්පු වූ අබේ මට මදි පුංචිකම් කළ අන්දමයි.  මුට පේන්නටම ඒ ඉස්සරහින් යන්නට හිතාගෙන එද්දී මා එනු දුටු අබේ දෑස් පියාගෙන නිදි බව පෙන්වන්නට වුණේ කර කියාගන්නට කිසිවක් නැතිවූ තැනය.  ඌ අසරණ වූ ආකාරය දැක දුක හිතුණු මම ශ්‍රියාණිත් එක්ක සිනහවී එතැනින් ඉස්සරහට ගියෙමි.  මේ ගැන මට කියන්නට තියෙන්නේ ඔය බොරු සුචරිතවාදීන් සියල්ලම එක වගේ බවය.  තමන්ට අවස්ථාවක් ලද සැණින් සුචරිතවාදය පැත්තකට දමා තහනම් ගහේ ගෙඩි රස විඳිමින් චව් චව් ගගා වළඳති.  අබයාත් ඉන් එකෙකි.  මගේ නම් බොරු උපාසක කම් හෝ ව්‍යාජ සුචරිතවාදයක් කවදත් තිබුණේ නැති අතර ඒ කාලයේ මා අනුගමනය කළේ ‘පුදන කැවුම් කාපල්ලා’ යන න්‍යාය බව කටපුරාම කියා සිටින්නට කැමතිය.  අබේගේ අලුත් පෙම් කතාව ආරංචි වූ උගේ බිරිඳ ගම්පහට ඇවිත් රැක සිට ජෝඩුවම අල්ලාගෙන කුඩයක් කැඩෙන්නටම දරුණු ප්‍රහාරයක් එල්ල කළ බව මට පසුව ආරංචි විය.
මේ කාලය වන විට ජීප් හිතාගන්නටත් බැරි විදියට බොහෝ නිශ්ශබ්දව සිටි අතර මම කතාකළොත් මිසක  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ මට ලැබුණේ නැත.  මෙය මට හිතාගන්නටවත් බැරි තත්ත්වයක් වුයේ ඇය අඬපු දොඩපු හා මට තර්ජනය කළ ආකාරයට මෙසේ නිහඬව සිටීම එකිනෙක ගලපාගන්නට නොහැකිවූ නිසාය.   දීපිකාත් මමත් බොරැල්ලේ දී මුණගැහුණු දවසක මම ඇයගෙන් මේ වෙනස ගැන ඇසුවෙමි.
” ඇයි දවසක් දා මම ඔයාට කිව්වා මතක නැද්ද?”  දීපිකා කියන්නේ සිනහව මැදිනි.  
” ජීප් වැඩිකල් ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියල මම කිව්වෙ, දැන් ඒ කතාව හරිගියා නේද?”
” කිව්වා නං තමයි, ඒත් මට හිතාගන්න බැරි ඒ ඇයි කියල.”
” ජීප් ආයෙමත් ඔයාට කතා කරාවි කියල මම හිතන්නෙ නෑ.  ඔයා මේක හිතේ තියාගෙන ඉන්න කාටවත් කියන්න යන්න එපා.  එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්.  ඉතින් දැන් ඒ මනුස්සය ජීප්ව හම්බවෙන්න එනව යනවා.  ඒකයි ජීප් සද්ද නැත්තෙ, ඔයා ආයෙ ජීප් ගැන හෙව්වෙ බැලුවෙ නැතුවට කමක් නෑ, දැන් ඒක කරන්න කෙනෙක් ඉන්නවනෙ.”
දීපිකා එක දිගටම කියාගෙන ගියාය.  මම නිහඬවම අසා සිටියෙමි.
” මොකෝ සද්ද නැත්තේ, දුක හිතුනද?”  දීපිකා අසයි.
” නෑ දුකක් නම් නෑ සතුටුයි.”
” එහෙම තමයි, අපි අතේ තියෙනකොට අගයක් නැතිවුණාට ඒ දේම නැතිවුණාම ඒකෙ අගේ වැඩියෙන් දැනෙනවා.” 
දීපිකාගේ කතාව ඇත්තය.  කොච්චර රණ්ඩු වුණත් ඇඬුවත් ජීප් මා ගැන නිතරම සොයා බැලුවාය.  ඒ සොයා බැලීම බොහෝ විට මට හිරිහැරයක් වන තරමට විය.  එක අවුරුද්දක නත්තල් සහ අලුත් අවුරුදු සමයේ මට පාට් ටයිම් ජොබ් එකක් ලබාදී අමතර මුදලක් සොයාගන්නට මග පාදාදුන්නේ ජීප්ය.  ඒ හැම්පර් පැක් කරන සහ ඩිලිවරි කරන රස්සාවකි.   මම ඒ ජොබ් එක කළේ රාත්‍රී කාලයේ සහ සති අන්ත වලය.  හැම්පර් රස්සාවෙන් මට ලැබුණු මුදලින් අලුත් ඔරලෝසුවක් ගන්නැ’යි ජීප් කීවාය.  මම එදාම සලාකා එකෙන් සිටිසන් වර්ගයේ හොඳ අත් ඔරලෝසුවක් මිලදී ගත්තෙමි.  ඒ අවුරුද්දේ අන්තිම දවසේ හෙවත් දෙසැම්බර් තිස් එක් වැනිදාවක බව මට හොඳට මතකය.  ඒ අත් ඔරලෝසුව කිසි කරදරයක් නැතිව අවුරුදු හතක් පමණ මම පාවිච්චි කළෙමි.  ඊට පස්සේ මල්ලී මට අලුත් ඔරලෝසුවක් දුන් පසු දවසක් මම අලුත් ඔරලෝසුව බැඳගෙන පරණ එක ලාච්චුවේ දමා ගමනක් ගිය විට එකෙක් ඔරලෝසුව උස්සාගෙන ගිහින් තිබුණි.  හොරෙන් ගත්තේ අලුත් එකක් ගන්නට ඌට සල්ලි නැතිකම නිසා නොවැ කියා මම සද්ද නැතිව හිටියෙමි.  හැබැයි ඌට ඒ ඔරලෝසුව සතියක් වත් පාවිච්චි කරන්නට නොලැබුණේ ගුවන් යානා අනතුරකින් ඌ දැවී අළුවී නිවන් ගිය නිසාය෴
%d bloggers like this: