Menu Close

Paterson


හිතන්න. ඔබට හොරෙන් ඔබේ දෛනික ජීවිතයට වීචියෝ කාචයක් අටවනවා. එක දිගට දින හතක් පිටපත් කරලා අටවන දිනයේදී ඔබේ අවසන් දවස් හත ඔබට පෙන්නනවා. ඔබට අනුව ඒ දවස් හත කොයි විදිහේ එකක් වේවිද? සාම්ප්‍රදායික සිනමා කෘතියකින් අපි අපේක්ෂා කරන විදිහේ ගැටුම්, කූටප්‍රාප්ති  සහ සමාවයන්ගෙන් පිරුණු විචිත්‍රවත් සතියක් ඔබේ සැබෑ ජීවිතයේ මුණ ගැසේවිද? නොඑසේනම් ඒකාකාරී දිනචර්යාවන්ගෙන් පිරුණු  පරාරෝපිත සහ නීරස අවකාශයක් මුණ ගැසෙන්න තියෙන ඉඩ වැඩිද?
Jim Jarmuschවිසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ Paterson (2016) නම් අපූර්ව සිනමා කාව්‍යයත් පදනම් කරගන්නෙ කරන්නේ මේ යථාර්ථය. සිනමා කෘතිය දිගහැරෙන්නේ ඇමරිකාවේ New Jersey ප්‍රදේශයේ ඇති නිස්කලංක සහ සුන්දර ප්‍රදේශයක් වන Paterson හි නිවසන පාර්ටසන් (Paterson) නම් බස් රියදුරකු සහ ඔහුගේ බිරිඳ වන ලෝරා  (Laura) නම් තරුණ යුවලක් වටා. (මේ අපූර්ව චරිත දෙකට ඇමරිකානු නලු  Adam Driver සහ ඉරාන ජාතික නිලියක වන Golshifteh Farahani පණ පොවනවා) කෘතියේ අවකාශය හසු කරගන්නේ සඳුදා සිට ඉරිදා දක්වා, මේ යුවළගේ දෛනික ජීවිතයෙන් දින හතක්.
Patersonගේ දෛනික දින චර්යාව මෙහෙමයි. පාන්දරම අවදි වන ඔහු විගස සූදානම් වී රාජකාරියට පිටත්වනවා. මගී බස් රථයේ රියදුරු සේවය අහවර වී හවස නිවසට පැමිණෙන ඔහු නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාද කැටිව නිවස අසල පිහිටි පබ් එකට ගිහින් දෛනිකව බියර් වීදුරුවක් තොලගානවා. රාත්‍රියේ නිවසට පැමිණ නිදාගන්නා ඔහු පහුවදාත් ඒ දේම කරනවා. වෙනස් දෙයකට කරන්නේ ගමන අතර මග ඉසිඹුවක් ලද සැනින් කවි ලියන්න ඔහු පෙළඹෙන එක. ඇත්තටම කවි ලිවීමත් වෙනසකට වඩා ඔහුගේ දෛනිකයේ ම කොටසක්.                  
ගෘහණියක වන ඔහුගේ රූමත් බිරිඳ ලොරාගේ ජීවිතය ගෙදර වැඩ එක්කම ගෙවෙන අරිටත් සාපේක්ෂව පාලු එකක්. එසේ නමුත් ලෝරා නිවස තුළ සිට වුවත් මේ ඒකාකාරීත්වයට එරෙහිව වැඩ කරන්න උත්සාහ කරනවා. ඇය දවල් කාලයෙහි නිවස තුළ විවිධ සැරසිලි කරනවා. දොරරෙදි පුටු කවර පාපිසි සහ තමං ඇඳන් ඉන්න ඇඳුම්වල පවා අපූර්ව රටාවන් අඳිනවා. ඒ ඇයගේ ප්‍රියතම වර්ණ වන කලු සහ සුදු වලින්. (සමස්ත කෘතිය පුරා ඉස්මතු වන මේ කලු සුදු රටාවන් කතාවේ තේමාව තවත් විදිහකින් සංකේතවත් කරන ප්‍රබල චරිතයන් සේ සමස්ත කෘතිය පුරාම තැවරී තියෙනවා). ඇය යූටියුබ් සහ අන්තර්ජාලය හරහා විවිද දේවල් ඉගන ගන්නවා. සංගීතය ඉගනගැනීමටත් ගීත ගැයීමටත් ඇය කැමතියි. මේ සඳහා සැමියාට කියලා ගිටාරයක් මිළදීගන්නවා. දවස පුරාම ගෙරට වී හිටියත් තමටත් දවසක හොඳ ගායිකාවක් විය ජීවත්වෙන්න අමාරුයි කියලා හිතන ඇය තමන්ගේ හැකියාව භාවිත කරලා කප් කේක් ව්‍යාපාරයක් පටංගන්නවා. එම කේක් වල කලුසුදු අයිසින් රටා නිර්මාණය කර තමන්ම ගොස් විකුණා මුදල් රැගෙන එනවා. ඉන් ලද මුල් ම මුදලිනුත් ඇය කරන්නේ සිනමා පටයක් නැරඹීමට යෑමට සහ රාත්‍රී ආහාරයක් පිටින් ගැනීමට සැමියාට ආරාධනා කිරීම.
මොවුන් දෙදෙනා එකිනෙකා කෙරේ විශාල ආදරයකින් බැඳී ඉන්නවා. නමුත් ජීවිතවල ඒකාකාරීත්වය ඇතුළේ තවත් විශාල හුදකලාවක් වර්ධනය වෙමින් තියෙනවා. ඒ දරුවෙක් නැතිකම. සඳුදාට එළිවන්නේ ඇය නිවුන්දරුවන් පිළිබඳ සිහිනයක් දකිමින්. අඟහරුවාදා පාන්දර රිදී පාට ඇතෙක් හීනෙන් දකිනවා. මොවුන් තමන්ට නිවුන් දරුවන් සිටියෝතින් කොහොමද කියන කාරණය දිගින් දිගට සාකච්ඡා කරනවා. ඒ වගේම ඔහු රාජකාරී කරන බසය තුළ මෙන්ම යන එන හැමතැන සිටින නිවුන්නු ඔහුට වැඩිපුර අවධාරණය වෙලා පේනවා.
මොවුන්ගේ දාරකත්වය පිළිබඳ කාන්සිය යම් විදිහකින් හෝ මකාගන්නේ සුරතලයට ඇති කරන බල්ලා (Marvin). බල්ලා Patersonගේ පුටුවට නැග්ගාම ‘කවුද තාත්තගෙ පුටුවේ නැග්ගේ’ කියලා ඇය විහිලු කරනවා. ඔහු පබ් එකට යද්දී ඇය Marvin කියන්නෙ ‘දැන් ඉතිං තාත්තා එක්ක එළියට ගිහින් එන්න කියලා’. ඒ විතරක් නෙමෙයි සුනඛයා ඉදිරියේ සිපගැනීමක් වගේ දෙයක්වත් ඉදිරියට නොගෙනියන්න දෙමව්පිය වෘත්තය රකින්න මේ අය වගබලාගන්නවා. ඉතිං මේ සුනඛයා දිවා කාලයේ ඇගේ දාරක ප්‍රේමය සපුරනවා, රාත්‍රියේදී ඔහු සමග ඇවිදින්න ගිහින් – ඔහු මධුවිත නිමකරන පබ්එකේ දොරකඩට වෙලා ඉන්නවා.
මොවුන්ගේ ගේ ඉස්සරහා තියෙන තැපැල්පෙට්ටිය ඇති කණුව හැමදාම ඇදවෙනවා. හැම හවසක ම ගෙට එනකොට Paterson ඒක හදනවා. ඒත් අන්තිමට පෙන්නනවා ඒක ඇද කරන්නේ මේ Marvin බව. මෙයත් සමස්ත තේමාව සඳහා අපූර්ව සංකේතාර්ථ ලබා දෙනවා.
තම බිරිඳගේ කිසිමදේකට ඔහු විරුද්ධ නොවුණත් ඔහුට ඒ කිසි දෙයක් ගැන උද්‍‍යෝගයක්ද නෑ. පිටර්සන් සාමාන්‍ය දෛනිකය ගැන නොතකන අතර එය යථාර්ථය හැටියට බාරගන්න බව පේනවා. තමන් අත්දකින සහ තමං පදවන බස් රථයේ මගීන් පවසන දේවල් ඔහුගේ කවියට අනුභූති වෙනවා. එසේම ඇමරිකානු මහා කවියකු වන William Carlos Williamsගේ කවි ඔහු ගුරු කොට ගන්නවා. William Carlos තමං ඉපදුණු මේ නගරයේම (Paterson) ඉපදීමත් ඔහු තමාගෙත් නගරයේත් නම වන Paterson නමින් මේ මහා කවියා පොතක් ලියා තිබීමත් වගේ කාරණා එක්ක තමන්ටත් කවිය ගැන අමුතු බැඳීමක් තියෙන බව ඔහුට හැඟෙනවා. ඔහු ඉතාමත් හොඳ කවියෙක් වන නමුත් තමං ලියූ කවි වෙනකෙකුට නොපෙන්වා සඟවා තබාගන්නවා. එසේම රියදුරෙක් වන තමන්ට කවියෙක් හැටියට පවතින්න පුලුවන්ද කියන ගැටලුවත් ඔහුට තියෙන බව පේනවා. ඔහුගේ කවි පළ කරන මෙන් ඇය නිතර ඇවිටිලි කරනවා. නමුත් ඔහු එසේ කරන්නෙ නෑ. අවසන ඔහු තම සටහන් පොත එළියට අරං ඇයට කවි කියවනවා. ඇගේ ඇවිටිල්ල දරාගන්න බැරිම තැන. නමුත් ඔවුන් සිනමා පටිය බලන්නටගිය රාත්‍රියේ (සෙනසුරාදා) මේසය උඩ තබා  තිබූ කවි පොත Marvin විසින් කීතු කීතුවට ඉරා දමනවා.
මේ මොහොත තුළ කෘතිය එක්තරා කූටප්‍රාප්තියකට එළඹෙනවා. නමුත් සිනමාකරුවාගේ අරමුණ එතනින් එහා ගිය එකක්. ඒ නිසා තවදුරටත් ධාවනය වෙනවා. Paterson පසු දින ඔහුගේ ප්‍රියතම ස්ථානයක් වන නිස්කලන්ක සහ සුන්දර දිය ඇල්ල (Great Falls of the Passaic River) වෙත යනවා. එහිදී ඔහුට අහම්බෙන් ජපන් සංචාරකයෙක් මුණ ගැහෙනවා. ඔහු ජපන් කවියකු බවත් තමං මෙහි ආවේ තමං ප්‍රියතම කවියා වන William Carlos Williamsගේ ජීවිතයේ සුන්දර ස්ථාන නැරඹීමට බව පවසන ඔහු Patersonසමුදෙනවා. ඒ කිසිවක් නොලියන ලද අලුත් සටහන් පොතක් ඔහු අත තබමින්. සිනමා පටය අවසන් වෙන්නෙ එතනින්. ත්‍යාග ලද මේ සටහන් පොත එක්තරා අතකට ඔහුගේ කවිය පිළිබඳ බලාපොරොත්තු දල්වන්නක් තමයි. ඒ වගේම එය හෙටින් ඇරඹෙන සුමානයත් එක්ක සුපුරුදු දෛනිකත්වයට ඇර දෙන යතුරක් ලෙස ද රූපකාර්ථ දනවනවා.

සිනමායේ පසුතල නිර්මාණයත් සංගීත භාවිතයත් මේ ඒකාකාරී දෛනිකත්වයේ ආකෘතිය ප්‍රේක්ෂකයාට තදින් දනවනවා. එසේ නමුත් ඒ ඒකාකාරීත්වය ප්‍රේක්ෂකයාට බෝවෙන්නෙ නෑ. සැම රූපරාමුවක් ම ඔහුගේ උද්යොගය දල්වනවා. Paterson යුවල සතු මේ යථාර්ථය ජීවිත දෙකක අවකාශයෙන් ඈත්කර, ධනවාදී රාමුව තුළ හුදකලා කෙරුණ පොදු මිනිසාගේ ඛේදනීය යථාර්ථය සහ ඒ යටතේ වර්ධනය කෙරුණ ඒකපුද්ගල විඥානයේ විශ්වීය මුහුණුවර ඉදිරියෙන් තැබූ කැඩපතක් ලෙස ගොඩනගන්න සිනමාකරුවාට හැකි වෙලා තියෙනවා.

– ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රාවය  2018 ජූලි 22

%d bloggers like this: