Menu Close

දානෙ 3

ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර.
“අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“
චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා.
“දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං මදෑ“
“දැං ඕනි. කට්ලිස් හදන්න එපෑ“
“දැං ඔව්ව හදා තිව්වම පොඟනවනෙ සුදු පුතේ. අනික පින්නි වෙයි හෙට දවල් වෙත්දි. කඩවල්ලොල කරන්නා වගේ අපිට ලේසිවට සවුත්තුවට දෙන්න නරකයි. දානයක්නෙ.“
මේ වගේ වෙලාවට මට කට පියාගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා කට ඇරියා.
“අපි එව්ව සේරම බැදල අරං එවලෙම ලැමිනේට් කරනව. එතකොට පොඟන් නෑ”
ඒ හරුපෙ මොකද්ද තේරුං ගන්න බැරුව නැන්දම්මා උඩ බිම බලද්දි චූටි මැණිකේ මට දුන්නු අවවාදය ඉංග්‍රීසියෙන් ලියන්නෙ මෙහෙමයි.
“Man, close your mouth” (මෙතැන Man = මනුස්සයෝ, Your = තමුන්නෙ, mouth = හැකර කට වෙන්න ඕනැ)
ඉං පස්සෙ තව ටිකක් පැහැදිලිවට කාරණාව කිව්වා. 
“නෑ නෑ අම්මෙ දැං ඒ ටික හදල තියල උදේටයි තෙලේ දාල බදින්නෙ“
“අනේ මංද. මං ඔය විපිරියාස කෑම හදන්න දන්නෑනෙ. ආං අර මේසෙ යට ඇති තාච්චියක්. මේ ලිප ගාව යටත් ඇති ඕන්තරං. එයිටත් ලොකු එකක් ඕන්නැං අටුවෙත් ඇති. ඕන එකක් ගන්නකො. මං යනව විස්නු දෙයියංගෙ කතාව බලන්න“
නැන්දම්මා බත් පිඟානත් අරගෙන අඩි තුනට සාලෙට පැනගත්තා. මං මේසෙ යට තිබුණු විසාල තාච්චිය එලියට ඇද්දා. බල්ලෙක් නාවන්න ගෙනියන තරං වෙර වීරියෙං ඇද්දට පස්සෙ තාච්චිය එලියට ආවා. ඒක පුරෝල තිබුණු දේ දකින ඕන කූඹියෙක්ට සන්තෝසෙට සිහි නැතිවෙනව.
“ආ… ඒකෙ පැණි“
ආයිමත් අපි කුස්සියෙ ඉඳං කෑ ගැහුවා. ඒ අතරේ මං මේස හැන්දක් තාච්චියට ඔබලා පැනි ඩිංගක් අරං කටට හලාගත්තා…///// කිතුල් පැණි කොච්චර කෑවත් දයබිඩිස් හැදෙන්නෑ. සීනි වගේ නෙමෙයි.
“අම්මේ…“
“ඇයි ළමීනේ“
උත්තරේ සාලෙං ලැබුණා.
“මේකෙ පැණිනේ.“
“එහෙනං ඉතිං වෙනිං එකක් ගන්න“
අපි ලිප ගාව යට තිබුණ හැලි වලං ගාල ඇදල බැලුවත් එතන තිබුණෙ ආප්ප තාච්චියක් විතර පොඩි එකක්. ඒක ඇතුලෙ හිටපු යන්තං රැවුල ඇදිච්චි, සාමාන්‍ය පෙළ ලියන වයසෙ කරදලි ටිකකුත් අපිව දැකල ලැජ්ජාවෙන් හට්ටියක් අස්සෙ රිංගල හැංගෙද්දි උං අතර හිටපු ගුවන් දලියෙක් ඉගිලිලා ගියා. අපි ආයිමත් කෑ ගැහුවා.
“මේක මදි.“
“අනේ ඉතිං ළමයො ඔය එකක් හොයා බලල ගන්නකො. හැම දේම මං අතට දෙන්න ඕනද? පිට ගෙදරක වගේනෙ හැසිරෙන්නෙ“
ගේ වටේ රවුමක් ඔතන්න තරං දිග නෝක්කාඩුවක් සාලෙං ගලාගෙන ආවා. 
“අටුවෙ තියෙනව කියපු එකවත් බලමුද“
දිගං නැන්දා මගෙ දිහා බලල කිව්වා. ඕං පිරිමියෙක් වෙන එකේ අවාසිය.
“ටෝච්චෙකක් නැතුව කොහොමද මේක උඩට නගින්නෙ. තිත්තපල් කරුවලයි.”
මං ගැලවීමට කරුනු ඉදිරිපත් කලා.
“මල්ලී… ඔය ටෝට්චෙකක් ගෙනත් දෙනවකෝ..”
චූටි මැණිකේ පිඟං රාක්කෙ දෙදරවන තරං සද්දෙට කෑ ගැහුවා.
“මේ තියෙන්නෙ අරං යනවකො ඕනි එකක්.”
ඒ අක්කගෙ මල්ලිම බව තහවුරු කරන්න ජනෙල් වීදුරු දෙදරන තරං සද්දයක් සාලෙං ඇහුනා. දිගං නැන්දා සාලෙට ගිහිං ඒ සේරම ගෙනාවා. නැවක හෙඩ් ලයිට් එකට ගැලපෙන තරං ලොකු චාජ් කරන ටෝච්චෙකක්, ගිලින්නට පහසු හැඩයෙං හදාපු රානී සඳුන් සබන් කැටයක් වගේ ටෝච් එකක්, පටියකිං ඔලුවෙ පළඳන්න පුළුවං විදිහෙ පතල් ටෝච් එකක්, කීටැග් එකක් විදිහට අමුණන්න හදාපු ගිනිපෙට්ටි සයිස් ටෝච් එකක් ඒ අතර තිබුණා. ඒවා පත්තු කරල බලන තැන පරණ කොටියා ලකුණ ටෝච් එකක් එහෙම හිටියා නං ලිපට පැනලා බැට්ටිකෑලි ටික පුපුරුවගෙන දිවිනහ ගන්න තිබුණා. නැව් ටෝච් එකේ සුවිච්චෙක ඉස්සරහට දාන්න අලවංගුවක් ඕන. ඒ සුවිච්චෙක ආපස්සට ගන්න විදිහ ඒ වෙද්දි හොයාගෙන තිබුණෙ නෑ. එහෙම තල්ලු කරල පත්තු කලත් ඒකෙ එලියෙං යන්තමට හරි පේන්නෙ ටෝච් එකේ බලුප් එක තියෙන තැන විතරයි. සබං හැඩේ ටෝච් එක ඊට හපං. ඒක උඩට හැරුණම පත්තු වෙනව බිමට හැරුණම නිමෙනවා. හොර පොල් කැඩිල්ලට, රෑට ආත ගහට එන වවුල්ලු, මාකඹයි එලවිල්ලට, අමාවක දවසට හඳ බලාගන්න ඇරෙන්න මට හිතෙන හැටියට ඒකෙං ගන්න පුළුවං එකම ප්‍රයෝජනේ සාමාන්‍ය පෙළට සම්භාවිතාව උගන්නන එක විතරයි. කීටැග් ටෝච්චෙක අතට ගන්නකොටම පියං දෙක දෙපැත්තට ඇරිලා ඒක ඇතුලෙ තිබුණු බොත්තං සයිස් ඔරලෝසු බැට්ටි දෙක, ඉස්ප්‍රීන්නෙකක්, තව ඉටි කෑලි ටිකක් වංගෙඩිය අස්සට, මිරිස් ගල යටට ආදී සොයාගන්න ඉතාමත් පහසු තැංවලට විසිවුනා. පතල් ටෝච් එක ඒ වෙත්දි තමුන්ගෙ බැට්ටි කෑලි ටික ඔරලෝසුවටයි, රිමෝට් එකටයි උගස් තියලා එව්වා සින්නවෙලා ඉවරයි. ඒ හංදා සමස්ත මහජන චීන සමූහාණ්ඩුවටම පිං අනුමෝදං කරන්න මං ඒක අවස්ථාවක් කරගත්තා. චීන්නුන්ට සම්බන්ධයක් නැතත් ඒ පිං අනුමෝදනාවෙ අපර කොටසට ගෙදර ඉන්න පිරිමි දෙන්නවත් ඇතුළත් උනා.
“තාත්තල පුතාල දෙන්නගෙං එක්කෙනෙට්ටවත් බැයිද අම්ප හරිහමං ටෝච්චෙයක් ගෙනත් තියාගන්න”
සාලෙට ඇහෙන්නෙ නැති ගානට නිර්භීත විදිහට අදහස් පළ කරපු මට අවසානෙට පිහිටට හිටියේ අපේ නැන්දම්මගෙ ටෙලිපෝන් එක. එකපාරක් චාජ් කරහම ඊළඟ පුර පසලොස්වක වෙනකංම චාජ් එක අල්ල හිටින, ඕන බොකලමක් අස්සට සිග්නල් ඇදගැනීමේ ආකර්ශන බලයක් තියෙන, බහුබූත සිංහල වචනවලිං හදපු මෙනුවක් තියෙන ඒ පෝන් එකේ ඉහ මුදුනෙං එලිය පිටවෙන කොටුවක්  හදලා ඒක විදුලි පන්දම හැටියට මෙනුවටත් ඇතුලත් කරල තිබුණා. හතර පැත්තටම එබෙන මැද බොත්තම උඩු අතට තප්පර දෙක තුනක් ඔබාගෙන හිටියම තිරේ ඉටු කලා කියල හරියක් දාලා පෙන්නුවා. එතකොට පෝන් එකේ ඉස් මුදුනෙං කලාමැදිරි බල දෙක හමාරක විතර එලියක් දකින්න තිබුණා.
මං පුටුවක් උඩට නැගලා අටුවෙ ලැල්ලක එල්ලිලා  ජනේලෙ ග්‍රිල් එකකට අඩිය තියාගෙන අටුව පුරාවට කට හරවලා බැලුවා. අතපය හතරින්ම උඩ එල්ලිලා හිටපු හන්දා ඒ වෙලාවෙ ටෝච්චෙක විදිහට වෙස්මාරු කරපු පෝන් එක තිබුණෙ මගෙ කටේ ඉස්සරහ දත් හතර පහට හිරවෙලා. විසාල සාස්පාං, විසි තිස් නමකට දෙන දානෙකට එක පාර මාලු පිනි හදන්න තරං විසාල ඇතිලියක්, එක්දාස් නමසිය අසූ ගනංවල ළමයි නාවපු පරණ යකඩ බේසමක්, කඹ රෝල්, ගැරුං වට්ටියක්, චිමිනි ලාම්පුවක්, පරණ ලයිට් එකක්, දෙපැත්ත කලු වෙච්චි ටියුබ් ලයිට් මිටියක්, කොලපත්, වයර් කෑලි, වීදුරු බෝතල්, බෙහෙත් තෙල් කුප්පි, හිස් දසමුලාරිස්ට බෝතල්, බට පොතු කූඩ, කුඹුරු උදලු තලයක්, උලුවහු කඳං දෙක තුනක්, රීප්ප හත අටක්, බණ්ඩි කියතක්, වෑයක්, පරණ වෙසක් කූඩු වගේ සෑහෙන දේවල් තිබුණත් ඒ අතරෙ තාච්චියක් තිබුණෙ නෑ. මං කට පහලට හරවලා අටුව උඩ විස්තර විචාරෙ බිම ඉන්න අයට ඉදිරිපත් කලා.
“ඒහ අඅ ආහ් ඉඅහ් ඈ“
“කට ඇරල කියන්නකො අනේ. මොකද්ද කිව්වෙ“
“ංඒ ඕහ් එහ අංඅ ංඈ“
“මොකක් කියනවද මංද“
අන්න ඒ වෙලාව වෙද්දි අපේ නැන්දම්මගෙ නෑයෙක්ට, නැත්තං යාලුවෙක්ට උන්දැට කතා කරන්න ඕන වෙලා අපේ නැන්දම්මට කෝල් එකක් ගත්තා. නමුත් අවාසනාවට ටෝච් එක හිටියෙ උන්දැගෙ බෑනගෙ කටේ. ඒ වගේම ඒ පෝන් එකේ බාසාවෙංම කියතොත් පැතිකඩ අස්සෙ හඬ නාදය කියන එක නාද හා කම්ප. බවට හරෝල තිබුණෙ. ඒ හංදා නොකියා සමාගමේ තේමා නාදය
“ඉටිපන්දං.. ඉටිපන්දං … ඉටිපන්දං කෝ“
කියල මගේ දිවත් උඩුතල්ලත් අතර නින්නාද දෙද්දි, මගෙ නහයට හරි කෙලිං යටිං තිරය එලිය ඔටෝමැටික් කරමිං එන. ඇම. කියලා පෙන්නද්දි ජල සන්නිය හැදිච්ච මිනිහෙක් වෙව්ලන තරං තදිං මගෙ දත් කුට්ටම දෙදරවාගෙන උඩුතල්ල කිචිකවාපු ටෙලිපෝන් එක ලිස්සලා බිමට වැටුනා. පියන පින්ලන්තෙ දිහාවටත්, මූනතේ ඉලක්කං ටිකත් එක්ක පට්ටම ගැලවිලා පිඟං රාක්කෙ යටටත්, බැට්ටිය ගැලවිලා MADE IN CHINA කියන අකුරු ටික උඩට හිටින්න දොරකඩ දිහාවටත් විසිවෙද්දි අමතන්නා එක්ක අපේ නැන්දම්මගෙ තියෙන හොඳ හිතටත් කනකොකා ඇඬුවා. එන ඇමතුමක් විසන්ධි කිරීම කියන්නෙ අපේ ගම්පලාත්වල මූනට මුලිච්චි වුනත් කතා නොකර යන්න තරං වටින වරදක්.
“අර ඒකත් කැඩුව.“
“ඔය දහිරපට්ටම කටේ තියං ආයි වචනයක් කීහැක්ද. ඕං ඔය පුටුව අල්ලන්න මට බහින්න“
“ඉතිං කිව්වනං හරිනෙ ටෝච්චෙක ගන්න කියල. අපි ගන්නවනෙ.“
“ඒක කියන්න කට අරින්න එපෑ. එතෝට කොහොමත් ඕක බිම තමා“
“කෝ චාච්චිය“
“ඔහෙ ඇති චාච්චියක් නෑ.“
“එහෙනං වෙනිං මොනවද තියෙන්නෙ“
“ඒක ඇර අනික් එක්කොම ජාති තියෙනව.“
ඒ ගමන දිගං නැන්දා කුස්සියෙ ඉඳලා සාලෙ දිහාවට බෙරිහං දුන්නා.
“අක්කෙ. අටුවෙත් නෑ“
ඒ අතරෙ මං ටෙලිපෝන් එකේ කෑලි ටික එක්කහු කරලා අමුණලා සම්පූර්ණ ටෙලිපෝන් එකක් බවට පත්කලා.
“අනේ මන්දා මේ ළමයින්ට මං නැතිදාක කිසිම දෙයක් තනියම කරගන්න බැරි වෙනව.“
ඒ වාක්‍යෙය අන්තිම තිතේ නැගලා නැන්දම්මත් කුස්සියට ආවා. පරණ චිත්තරපටියක සිංදුවක් බෙලෙක් පිඟානෙං නව ආරට සංගීතවත් කරමින් ඒ පිටිපස්සෙං මාමණ්ඩිත් ආවා. 
“මේ ඒයි ඔයාවත් බලන්නකො අටුවෙ අර ලොකු චාච්චිය තියෙද කියල. මේ ලමයින්ට ඒක හොයාගන්න බැරිවෙලා.“
“ඒ චාත්තිය නෙ ඕගොල්ලංගෙ ඩොම්පි නැන්ද ඇරංගියෙ උන්දෑ පුතෑ ලොකු කෙල්ලගෙ කොටහලුවට දොදොල් හැඳිගාන්න කියල“
“ඒක ගෙනැත් දුන්නැද්ද“
“කොහෙ ගෙනත් දෙන්නද? දැං උං මගදි දැක්කං අහක බලං යන්නෙ එදා අපේ ලකිය උංගෙ පොඩි කොල්ලව කන්න එලවං ගියාට පස්සෙ“
“ඉතිං ඒයි බලන්න……………… මේ මිනිස්සුන්ට බඩුවක් මුට්ටුවක් දුන්නං ගෙනත්දෙන්න මතක නැති හැටීඊඊඊඊ….. ආයි නං ඉල්ලුවට දෙන්න නාකයි“
“ආයි දෙන්න ඉතිං තීන්නෙපෑ“
“ඕක කලිං කියන්න තිබුන්නැද්ද. අපරාදෙ මං දැලි නාගෙන අටුවෙ නැග්ග”
මාත් මගෙ නෝක්කාඩුව ඒ මැද්දට දමා ගැහුව. කවුරුවත් ඒක ගනං ගත්තෙ නෑ.
“කෝ අම්මෙ එතකොට අර අම්ම සීට්ටුවක් දාල ගත්ත චීනච්චට්ටි චාත්තිය“
“ඒක අර රෝල්මඩුවෙ ලිපේ පුතේ. ඒකෙත් එහෙම් පිටිම්ම තෙල්දිය එකක්. ඔයා මට මතක් කල එක හොඳයි. ඒකට ගින්දර දාන්න බැරිවුනා.“
“එහෙනං මේ පැණි ටික අස්කරල මේ චාත්තිය වත් දෙන්න“
එතකොටම දිගං මාමා සාලෙ ඉඳං කෑගැහුවා.
“අක්කේ, එන්ඩෝ. මෙන්න පටං ගත්තා“
ඒ එක්කම ටීවී එකෙං ටිංකිරි කට හඬක් ඇහෙන්න ගත්තා.
“රාධා ඉන්න සමග මා. එන්නම් සමග ඔබ මා.“
ඒ සද්දෙත් එක්ක කන් දෙක කෙලිං කරගත්තු නැන්දම්මා අතේ තිබුණු පිඟාන සින්ක් එකට අතෑරලා යන්තං අත හෝදගෙන වතුර කෝප්පෙත් අරං සාලෙට දුවන ගමං අපිටත් උපදෙසක් හලාගෙන ගියා.
“ඕක මොහොකට හරි දාල ගන්නකො.“
අපි තුන්දෙනා පුස්කර් නගරෙ හනුමන්තා පාරෙ සන්තෝස් රාටිගේ ගෙදර අය වගේ මූනෙං මූණ බලාගත්තා. ඊළඟට තිබුණෙ පැනි හැලිය පිටුවහල් කිරීම. ඒ ගැන විස්තර කරන එක සෙල්ටික් බාසාවෙ වචන කියෝන තරං අමාරු වැඩක්. අන්තිමේදි කුල්ලෙ තිබුණු මිරිස් කරල් ටික සොපිං කවරෙකට දාලා, පෝර කවරෙ තිබුණු දෙල් අටුකොස් ටික කුල්ලට දාලා, පෝර කවරෙට පනිට්ටුවෙ තියෙන හාල් ටික දාලා, ඒ පනිට්ටුවෙ අඩිය පැලිලා බව දැකලා වෙනිං පනිට්ටුවක තිබුණු සිල්ලර තුනපහ, කොත්තමල්ලි, සූදුරු, උම්බලකඩ, සුදුළූණු වගේ ජාති ටික අඩිය පැලිච්ච පනිට්ටුවට දාලා බේරගත්තු පනිට්ටුව හෝදල අරං ඒකට තාච්චියෙ තිබුණු පැණි ටික දැම්මා. ඒ වෙත්දි ආයිමත් ටීවී එකේ වෙළඳ දැන්වීම් පෙන්නන්න පටං අරං. ප්‍රේක්ෂකයො ටික කුස්සියට ආවා.
“ඉතිං ඕකනෙ ළමෙයෝ මං කිව්වෙ. අර දරුවත් අටුවෙ ඇරල දුඹුලු නාවන්නැතුව පළවෙනිවැම්ම ඔය තාච්චිය ගත්තනං අහවරනෙ.“
නැන්දම්මා ඉනට අත්දෙක ගහගෙන දොස් පැවරුවා.
“අනෙයම්මෙ කෑනොගහ ඉන්න.“
චූටි මැණිකෙ පිපිරුවා.
“ඕං පේනවද. ළමයින්ට යමක් පැහැදිලි කර දෙන්න බෑ. අපි වයසට යද්දි කොහොම බැණ අඬගහයිද?“
ඊළඟට සාලෙං කැඳවීම ලැබෙනකං නැන්දම්මා කලුතර දිස්ත්‍රික්කයෙ පහුගිය අවුරුදු ගානක් ඇතුළත ළමයි දෙමාපියන්ට නොසැලකීම ගැන සුවර්ණවාහනේ පෙන්නපු කතන්දර එකිං එක දිගාරින්න පටං ගත්තා. ඒ අතරෙ මං පිහියෙයි පොල් ගෙඩියෙයි උදව්වෙං සාඩිං ටිං කඩද්දි, චූටි මැණිකේ දෑසින් රූරා හැලෙන කඳුලැලි සහිතව බොහොම දුකින් ලූණු කැපුවා, දිගං නැන්දා ලිපෙං බාගත්තු අර්තාපල් හැලියක් බේසමට හලාගෙන සැරිං සැරේ
“හුයි..“
“පිච්චෙනවා“ 
  කියන ගමං එව්වයෙ පොතු ඇරියා.
අනික් අය සාලෙට වෙලා නිදිකිරා වැටෙන ගමං රාත්‍රී ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයට තනි රකිද්දි අපි තුන්දෙනා ඒ සේරම ජාති තෙලේ දාලා බැදලා, තලලා, චොප්ප කරලා අරං කට්ලස් බෝල හදලා ගෙදර තියෙන තරමක් තැටි, පිඟං ආදියේ අහුරලා පිජ්ජෙකට දැම්මා. බෝංචිවල මැහුං කපලා දෙපැත්තෙ නූල් ඇරලා හුස්ම ගන්න බැරිවෙන්න කවරෙකට දාල ගැටගැහුවා, ලීස් ගස් කොලෙන් කොලේට පතුරු ගහලා සුද්ද කරල හෝදද්දි මධ්‍යම කඳුකරේ සාරවත් පස ඛාදනය වෙලා ගිහිං කොරහෙ අඩියෙ තැන්පත් වුනා. ඒ සේරම ඉවර වෙලා අන්තිමට ඇස් පිහාටු තුනටිය ගාවටම පාත් වෙද්දි අපිත් බිත්තිවල වැදි වැදී ගිහින් ඇඳංවලට ඇදං වැටුනා.
%d bloggers like this: