Menu Close

පණ්ඩුකාභය රජතුමා ගැන දැන ගනිමු

(Image Source: amila-history.blogspot.com)
මහාවංශයට අනුව ලංකාවේ ප්‍රථම රජු වූ විජය රජුගේ ඇමතියෙක් වන අනුරාධ නමැත්තා අනුරාධග්‍රාමය පිහිටුවන ලදී. මෙම අනුරාධ ග්‍රාමය සියලු අංග ලක්ෂණවලින් යුතු නගරයක් බවට පත්කරනු ලැබූයේ පණ්ඩුකාභය රජතුමාය. මෙම නගරය කේන්ද්‍ර කොටගෙන අනුරාධපුර රාජධානිය බිහිවූ අතර එය සියවස් ගණනාවක් යනතුරු මෙරට ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බවට පත්විය.
පණ්ඩුකාභය රජුගේ කුඩා කාලය ඉතාම කටුක අවධියක් විය. උන්මාද චිත්‍රා කුමරිය හා දීඝගාමිණී කුමරු පණ්ඩුකාභය කුමරුගේ මව්පියන් වූයේය. කුමරු උපන් දිනයේදීම චිත්‍රා කුමරිය, එදිනම උපන් ගැහැනු ළමයෙකුට කුමරා හුවමාරු කිරීමට කටයුතු සකස් කලේ තම පුත්‍රයා ඇයගේ සහෝදරයින්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහාය.
පණ්ඩුකාභය කුමරුගේ මාමාවරු කුමරා සොයා මරා දැමීමට කටයුතු සකස් කලේ කිසියම් දිනෙක ඔවුන් මරා කුමරු රජවේයැයි බියෙනි. මේ නිසාම චිත්‍රා කුමරිය සිය කුමරා අප්‍රසිද්ධව වැඩීමට සැලැස්වීය.
දිඹුලාගල හා රිටිගල යන ප්‍රදේශවල පණ්ඩුකාභය කුමරු ඉතා කටුක කාලයක් ගත කළ අතර පසුව ස්වදේශික ජනයා සමග එක්ව සේනා සංවිධානය කරනු ලැබීය. තම මාමාවරුන් සමග සටන් කළ කුමරා ඉන් දෙදෙනෙකු හැර අනෙක් අට දෙනාම මරා අනුරාධ ග්‍රාමයට පැමිණ එහි රජ වූයේය.
අනුරාධ ග්‍රාමය සැලසුම් සහගත නගරයක් බවට පත්කිරීමෙන් අනතුරුව එහි නගර ගුත්තික තනතුරට පත්කරනු ලැබූයේ ඔහුට සැමවිටම අනුකම්පා කරමින් සහය වූ ලොකු මාමා වූ අභය” ටය. නගරයේ සොහොන් බිමක් හා ආරෝග්‍යශාලාවක්ද ඉදිකරනු ලැබීය. සොහොනේ කටයුතු සදහා සොහොන් පල්ලන් සේම නගරය පිරිසිදු කරලීම සදහා නගර ශෝධකයන් පත්කරලීමටද පණ්ඩුකාභය රජු පියවර ගත්තේය.
තමාට රාජ්‍ය ලබා ගැනීමට උපකාර කළ චිත්තරාජ හා කාළවේල යන යක්ෂ ගෝත්‍රික නායකයන්ට කලගුණ සැලකීමට අමතක නොකළ පණ්ඩුකාභය රජතුමා ඔවුන්ට වාසස්ථාන ඉදිකර දුන්නේය. නිගණ්ඨ ආදී විවිධ ආගම්වල පූජකයන් නගරය අවට පදිංචි කිරීමටද පියවර ගන්නා ලදී.
තම බිසවගේ පියා වූ ගිරිකණ්ඩ ශිව නම් මාමාට රිටිගල ප්‍රදේශයේ පාලනය භාරදුන් අතරම රටේ මුල් පදිංචිකරුවන් වූ ස්වදේශික ගෝත්‍රික ජනතාව කෙරෙහිද වැඩි සැලකිල්ලක් දැක්වූ බව මහාවංශය සදහන් කරයි.
අභය වැව
(Image Source: guruthumaweb.blogspot.com)
අනුරාධපුර නගරයේ ජනයාගේ ජල පරිභෝජනය උදෙසා අභය වැව හෙවත් බසවක්කුලම වැව ඉදිකිරීමත් පණ්ඩුකාභය රජතුමා අතින් සිදුවූ වැදගත් කාර්‍යයකි.  මෙතුමා දඩයම් කිරීම හා වී ගොවිතැන දියුණු කිරීමටද කටයුතු කර ඇත.
පණ්ඩුකාභය රජු සිය දසවෙනි රාජ්‍ය වර්ෂයේදී මුළු දිවයිනේම ග්‍රාම සීමා නිළ වශයෙන් ලකුණු කළ බව මහාවංශය සදහන් කරයි. මෙමගින් පැහැදිලි වන කරුණ වන්නේ මුළු දිවයිනම එතුමාට යටත්ව පැවැති බවයි.
මෙරට ප්‍රථම වරට සංවිධානාත්මක පාලනයක් ඇතිකළ පණ්ඩුකාභය රජු වසර 70ක් රට පාලනය කළේය.

%d bloggers like this: