Menu Close

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? – 2018 වෙසක් කළාපයෙන්

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව…

http://srilankabudhisttours.com/images/services/service-md-02.jpg

බුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.

ඒ අනුව අර භික්ෂූන් පිටිසර ගමක් ආසන්නයේ තිබුණු වන රොදක් තෝරාගත්තා, තමන්ගේ වාසයට.
ඔය වනයේ සිටි රුක් දෙවිවරු (කතාවෙ තියෙන්නෙ රුක් දෙවිවරු කියල… සමහර විට වනයේ වාසය කරපු මනුෂ්‍යයන් විය හැකියි.) මේ භික්ෂූන් ගැවසීමෙන් තමන්ගෙ වැඩ වලට බාධා වෙන නිසා, ඔවුන් බය කර එළවාගන්නට එක එක දේවල් කළා. මළකඳන්, අමනුෂ්‍ය රූප ආදිය වනයේ තැන් තැන් වල පෙනෙන්නට සැළැස්සුවා. ඉවසන්න බැරි භයානක ශබ්ද, පිළිකුල් සහගත දුගඳ, වනයේ පැතිරෙව්වා.
මේවා ඉවසන්න බැරි වුනු හාමුදුරුවරු, ආපහු බුදුන් ළඟට ඇවිත්, තමන්ට වුනු උපද්‍රවය එතුමා එක්ක කතා කළා.
බුදුන් ඒ අයට කිව්වා: 
මෙන්න ඔබට ආයුධයක්… මේ විදිහෙ ගති පැවතුම් සහ සිතුවිලි ඇති කරගන්න…
යහපත (අර්ථය) සළසා ගන්නට කරන්නට ඇති දේ, මේ කියන කුසලතා අත්කර ගැනීමයි.
ඒ ශාන්ත පදය (නිවන) අත් කරගැනීමට නම්,
හැකියාව ඇති (දක්ෂ)
සෘජු හෙවත් අවංක, 
තව තවත් අවංක,
සුවච (ආලවක දමනයේදි බුදුන් භාවිත කළ හැකියාව), 
මෘදු සහ නිහතමානී  
ලද දෙයින් සතුටු වන, 
පහසුවෙන් රැකිය හැකි (අල්පේච්ඡ),
අල්ප වූ කටයුතු ඇති, 
සැහැල්ලු පැවතුම් ඇති
සන්සුන් ඉඳුරන් ඇති
ඥානවන්ත
සාහසික හෝ රළු නොවන (ප්‍රගල්භ නොවන)
කුලයට හෙවත් පවුල්වලට (දායකයන්ගේ පවුල්වලට) නොඇලුණු
අනෙක් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් විය හැකි අන්දමේ සමාචාරයක් සුළුවෙන් හෝ නැති
කායිකව මානසිකව සුවෙන් සිටින
බිය නැති
යන ගති ඇති කරගැනීම මැනවි…

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
පණ ඇතියවුන් කොයි තරමක් සිටීද, ඒ තාක් දෙනා,
තැතිගැනීමක් ඇති හෝ
ස්ථාවර හෙවත් තැතිගැනීමක් නැති (රහතුන් වැනි) අය
කිසිවෙක් අවශේෂ නොවී
උස් හෝ මහත් හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ කෙටි හෝ ඉතා සියුම් ප්‍රමාණයේ හෝ ස්ථූල හෝ වන සත්ත්වයන්,
ඇසට පෙනෙන හෝ නොපෙනෙන  හෝ
දුර හෝ නුදුරේ වසන
දැනට හටගෙන සිටින හෝ හටගන්නට සිටින හෝ, 
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

එකෙක් තවෙකෙකුට වංචා නොකෙරේවා!
හෙළා නොදකීවා! (පහත් කොට සැළකීමක් නොකෙරේවා!)
කොතැනක හෝ සිටින කිසිවෙක් රෝෂය (කෝපය) ඇති කරගෙන
ගැටීමක් ඇති කරගන්නා අදහසින් 
එකෙක් අනෙකෙකු දුකට පත් වීම අරමුණු නොකිරීම මැනවි

පුතෙකු ඇති යම් මවක් තම පණ මෙන් එම පුතා ආරක්ෂා කරයිද,
ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන්ට
අපරිමිත (සීමාවක් නැති) මනසක් ඇති කරගන්න
ඉහළටද, පහළටද, තිරස් අතට ද බාධාවකින් තොරව
වෛරෙයන් තොරව, සතුරු බවකින් තොරව
සකල ලෝකය වෙත මෛත්‍රිය පතුරවා
සීමාවක් නැති මනසක් ඇති කරගන්න

සිටගෙන සිටින විටදී ද, යන එන විටදී ද, හිඳගෙන සිටින විටදී ද, සයනය කරන විටදී ද,
අවදියෙන් සිටින සෑම විටකම 
මෙසේ සිහිය අධිෂ්ඨාන කරගන්න
මෙසේ ජීවත් වීම උතුම් විහරණයක් යැයි කියනු ලැබේ

මම ය මාගේ ය යනුවෙන් ආත්මයක් ගැන දෘෂ්ඨියකට නොගොස්
සිල්වත් වන තැනැත්තා 
නිවැරදි ආකාරයෙන් දකියි
කාමයන්හි ඇලීම දුරු කරගනියි
නැවත මවු ගැබක සැතපීමක් ඔහුට නැත

මේ දේශනාව තිබුණෙ අපි කවුරුත් වගේ කටපාඩමින් දන්න සූත්‍රයක… ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය.

මේ සූත්‍රය කියවල තේරුම්ගත්තහම තේරෙන එක දෙයක් තමයි, මම කලිනුත් කීපවිටක්ම කියල තියෙනව වගේ, මේ සූත්‍රයත් තේරුමක් නැතුව පාලි පෙළ සජ්ඣායනා කිරීමෙන් නෙවෙයි, තේරුම දැනගෙන ඒකෙ කියන විදිහට තමන්ගෙ ගති, පැවතුම් සහ ආකල්ප සකස් කරගැනීමෙන් බයක් නැතුව ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් ය කියන ඒක

සිංහල බෞද්ධයන්ට පහුගිය කාලය පුරාමත් දැනටත් ලොකු බයක් ඇති වෙලා තියෙනව කියල පේනව ෆේස්බුක් ප්‍රධාන කොටගෙන සමාජය පුරා පැතිරී තියෙන මතවාද දකින කොට. බෞද්ධයන් වීම ගැන කාර් එකේ, වෑන් එකේ, ත්‍රී වීල් එකේ පිටිපස්සෙ ආඩම්බර වෙන උදවියට, වඩා හොඳයි බුදුන් දෙසා ඇති ක්‍රමවේද අනුගමනය කිරීම.
නැද්ද?

http://i.imgur.com/Y0oYJfS.jpg

ආශ්‍රිත තැන්:

http://bodudam.blogspot.com/2014/12/blog-post_18.html
bududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0

%d bloggers like this: