Menu Close

නිරෝගී දිවියක් උදෙසා පලතුරු ආහාරයට ගත යුත්තේ ඇයි දැයි විමසා බලමු

අපි හැමෝම ආසයි පලතුරු අනුභව කරන්න, නමුත් අපි ගෙවන කාර්‍යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනෙක්ට මේ පලතුරු හා එළවළු තමන්ගේ ආහාරවලින් ඉවත් කරගන්න සිදුවෙලා තියෙනවා. මේ ලිපිය තුළින් අප අවධාරණය කිරීමට සැරසෙන්නේ ඔබගේ නිරෝගීභාවය උදෙසා පලතුරු ආහාරයට ගත යුත්තේ ඇයිදැයි විමසා බැලීමටයි.
ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි
පලතුරුවල අඩංගු සමහර විටමින් හා ඛනිජ ලවණ සිරුරෙහි ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙහිදී ප්‍රතිඔක්සිකාරක ලෙස හැදින්වෙන්නේ අපේ සිරුරෙහි විවිධ රසායනික ක්‍රියාවලීන් නිසා නිර්මාණය වන හානිදායක අංශු විනාශ කිරීමේ ගුණය ඇති සංඝටකයකි. සිරුරේ සෛල හා පටකවලට සිදුවිය හැකි හානි අවම කිරීමට හෝ වැළැක්වීමට ප්‍රතිඔක්සිකාරකවලට පුලුවන.
ඔබව රෝගවලින් ආරක්ෂා කරයි
පිළිකා,දියවැඩියාව,හර්දයාබාධ,අංශභාගය,අධිරුධිර පීඩනය,ඇදුම,සන්ධි රෝග ආදිය වැළැක්වීමේ ප්‍රතිඔක්සිකාරක ගුණය පලතුරුවල අඩංගු වන අතර මෙම ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වන්නේ ගස්ලබු,දොඩම්,දෙළුම්,අන්නාසි,කොමඩු,අලිගැටපේර,අඹ,මිදි,ඇපල්,පේර ආදී පලතුරුවලය. එබැවින් මෙකී පලතුරු නිරතුරුවම ආහාරයට ගැනීම ඔබව රෝගවලින් ආරක්ෂා වීමට හේතුවේ.
දිනකට කොපමණ පලතුරු ප්‍රමාණයක් අවශ්‍යද?
අඹ,දොඩම්,කෙසෙල් වැනි මධ්‍යම ප්‍රමාණයේ පලතුරු ගෙඩි 2-4 අතර ප්‍රමාණයක් දිනකට සෑහේ. මීට අමතරව කුඩා පලතුරු වන වෙරළු,නෙල්ලි,ජම්බු,උගුරැස්ස,ලොවි ආදිය අඬු කෝප්ප 1ක් හෝ පලතුරු යුෂ වීදුරුවක් පානය කිරීම ප්‍රමාණවත් වේ. වියලි පලතුරු ලබාගන්නේ නම් තේ හැදි 4-6ක් අතර දිනපතා ගැනීම සෑහේ.
බොහෝවිට ලංකාවට විදේශ රටවලින් ගෙන්වන ඇපල් ආදී පලතුරුවලට විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර පලතුරු මිලදී ගැනීමේදී ඒ පිලිබදවත් ඔබ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. හැමවිටම ස්වභාවික හා නැවුම් පලතුරු සොයාගෙන අනුභව කිරීමට හුරුවන්න.
(මෙම ලිපිය සකස් කරනු ලැබූයේ මිහිර සඟරාව 2018 පෙබරවාරි ඇසුරෙනි)

%d bloggers like this: