Menu Close

මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.
ලිවිල්ල මගේ වාසගමෙන්ම මට උරුම වෙච්චි එකක්. අපේ තාත්තගේ තාත්තා හෙවත් අපේ ආතා මොකද්දෝ ආරෝවකට ගමේ එකෙක් කොස් ගහක බැඳ තලා මෙලොවෙන් තොලොන්ජි කර ගම්පහෙන් පැනලා අපේ ගමට එත්දි උන්දැගෙ අයිඩිං කාඩ්ඩෙකේ පටලැවිලා ඒ වාසගමත් ආවා. ‘ලියනගේ’ කියා වාසගමක් තිබුණත් උන්දෑ මැල්ලුමක් වත් ලියන්නට දැනගෙන හිටියේ නෑ. මට හිතෙන හැටියට මේ වාසගම ‘නලියනගේ’ කියා ලියා තිවිලා පසුව ‘න’ යන්න හැලීයාමෙන් ඉතිරි වූ නටඹුනක් වෙන්ට ඇති. අාතාගේ පුතාලා, දූලා, මුණුබුරු, මිනිබිරි හැත්ත බුරුත්තටම නලියන ගතිය ඇති හන්දා ඒ තර්කය ඕනෑම විද්වතෙක්ට ඔප්පු කර පෙන්වන්න පුළුවං.
පසුකලක චූටි මැණිකේ මගේ ඇදයක් හොයා පදයක් හදන්නට අල්ලා ගත්තේ මගේ වාසගම.
“ඕගොල්ලංගෙ වාසගම ගත්තු ආදිකාලෙ මුත්තා මොකද්ද අනේ ඔය මඩවලේ ලිව්වෙ?”
මේ වගේ වෙලාවට ගේම දෙන්ට ඕනා හිතා බලා බැවින් මං මුසාවාදා යකාට දමා ටොංපචයක් ගෙතුවා.
“බොහොම ඉස්සර අපේ මුත්තෙක් රජ්ජුරුවන්නෙ වැඩකට ඊජීප්තුවෙ නගරෙකට ගිහිං තියෙනව”
“පයින්ද?”
“පයින්නැතුව ඉන්නකො. පයිං හරි කොලපතේ හරි. ඒක මෙතන්ට වැඩක් නෑනෙ…… ඕං ඉතිං අපෙ මුත්තා එහෙ යන කාලෙ ඒ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්ලු ලිවීම ගැන. ඒ මිනිස්සුන්ට බාසාවයි, අකුරුයි සේරමත් තිබිලා ලියන්න ක්‍රමයක් නැහ්ලු.”
“ඒ මොකද ඒ.”
“මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්සු දහ අතේ කල්පනා කරනවලු අපි මොකේදෑ මේ අකුරු ගනං හිලව් ලියන්නේ කියල. ලොකු මුදලාලිල එහෙම මිනිස්සු පනහ හැට කුලියට අරං තියාගෙන ඉන්නවලු ගනං හිලවු මතක තියාගන්න. එවුන්ට කන්ට බොන්ටත් දෙන්න එපෑ වෙනම. පුස්තකාලවල රාක්කවලත් ඉන්නෙ පොත් කටපාඩං කරපු මිනිස්සු ලු. ඒ හංද හුඟක් අය ගෙදර ගිහිං කියවන්න අරං යන්නැතුව පුස්තකාලෙදිම කියෝල යනවලු. ඇයි ඉතිං පොත් දෙකක් අරං ගියොත් සති දෙකක් යනකං කන්න බොන්න දෙන්න එපෑ පොත් දෙකටම. ඩික්සනරි එහෙම කට පාඩං කරං ඉන්නෙ එක ගමක්ම එක්කහු වෙලාලු. ලියුංකාරය ලියුං අරං එන්නෙ අස්පයො දෙන්න බැඳපු මහ කරත්තෙකලු. ඇයි ඉතිං ලියුම කියල එවන්නෙත් ඒක කටපාඩං කරපු මිනිහෙක්නෙ. අතිං දාලා වෙනස් කරල කියන හංදා ගෑනුංව ලේඛන විදිහට යවන්නෙ නැහ්ලු. ඔය පොඩි පොඩි වචන හතරෙ පහේ රිසිට්, තුණ්ඩු, ටෙලිකරං පණිවිඩ එහෙම වෙනුවට දෙන්නෙ ඒක කට පාඩං කරවපු ගිරා පොඩ්ඩෙක් හරි මයිනෙක් හරිලු.
“හිකි හිකි හිකි හිකි…. ඔන්න ඔතන පොලොව පැලීගෙනත් යනව”
“හා.. මං එහාට වෙන්නංකො. හරිද. ඔන්න ඉතිං ඔය නාටකේ දැකපු අපේ මුත්තා ඔයාගෙ ඔය කැකිරි පැලිල්ල වගේ නෙමෙයි සැටයොදුන් රක්ගල්තලා මස්තකයේ සිංහනාද කරන සිංහ රාජයෙක් වගේ හං හං හං හං හා….. කියල හිනාවෙලා ඒ මිනිස්සුන්ට මේං මෙහෙම කිව්වලු”
“මං ඔය ඇහුවමයි හං හං කියල මිනිස්සු හිනාවෙන බවක්”
“එහෙම තමා ඒ හිනාවෙ ගාම්බීරකම ලියන්න අකුරු නෑ. ඒකයි. නැත්තං ඕක එන්න ඕන විසාල ඝංටාරෙකිං එනව වගේ සද්දයක්… ඕං අපේ මුත්තා ඒ මිනිස්සුන්ට කියනවලු.. බොලල්ලා ඔය විදිහට කටපාඩං කරන්න ගියොත් බොලාට කාලෙකදි පිටරටිනුත් මිනිස්සු ගේන්ට වෙනව. ඔව්වා පාඩං කෙරුවාව වෙනුවට මොහොක හරි ලියා තියපල්ලා කියල. එතකොට ඒ මිනිස්සු කිව්වලු, තමුන්නැහැ කිව්වට අපි මොකේද ලියන්නෙ. හා කියමු බලන්න. කියල. ඒ ගමන අපේ මුත්තා එතන තිවිච්චි කුඹුරු ලියැද්දකිං මඩ ටිකක් අරං සාස්පාං පියනක තුනී කරල ඒ මඩ ටිකේ මතුපිට සිනිදු වෙන්ට කෙහෙල් කොලේකිං මට්ටං කරල හොඳ සමතලාවට හදාගත්තලු. ඉං පස්සෙ ඒ අහල පහල තිවිච්චි බෝඹු ගහකින් කෝට්ටක් කඩල අරං ඒ ළඟ හිටපු දෙතුං දෙනෙක්ගෙම නං ඒකෙං අර මඩ තට්ටුව උඩ ලිව්වලු. එයිං පස්සෙ එයිං එකෙට්ට දුන්නලු මේක ගෙහුං අව්වෙ තියල වේලන්න කියල. ඕං ටික වෙලාවක් රටතොට විස්තර කියෝ කියෝ කහට ඩිංගක් එහෙම බීල ඉවර වෙලා පැයක් දෙකක් ගිය තැනදි අපේ මුත්තා කලිං අව්වෙ තියෝපු මඩ තට්ටුව ගෙන්නුවලු. එතකොට ඒක හොඳට වේලිලා. අකුරු ටිකත් ගලේ කෙටුව වගේ බොහොම හයියට තියෙනවලු. ඒ ගමන මුත්තා ඒ මැටි පුවරුව සාස්පාං පියනෙං ගලෝල අරං ඒ මිනිස්සුන්ට දීලා කිව්වලු මේං මේ ආකාරයට ලියා තියාගන්න ඕන දේවල් මැටි පුවරුවල ලියා වේලලා තියාගනිල්ලා කියල. ඔය පහුගිය කාලවල ඊජිප්තුවෙං පුරාවස්තු හැටියට හම්බුවෙච්චි සේරම මැටි පුවරුවල ලියාපු ලේඛන අපේ මුත්තා කියා දුන්නු සාත්තරේට අනුව ඒ කාලෙ මිනිස්සු ලියපුව තමා.”
“හිචි හිචි හිචි හිචි….”
“හිචි හිචි ගාන්න දෙයක් නෑ. ඒ බව දැනගත්ත ඒකාලෙ ඊජිප්තුවෙ රැජින වෙච්චි ක්ලියෝ පැට්රා මහ රැජින ‘ඔය කොකිස් අච්චුව වගේ රටෙං ආපු උන්නැහැට රජ වාසලට එන්ට කියව’ කියලා පණිවිඩයක් කටපාඩං කරවපු ගිරවෙක්ව කූඩුවක දාලා අපේ මුත්තා ගාවට යවලා මුත්තව රජ වාසලට ගෙන්නාගත්තලු. ඉංපස්සෙ ඒ රජවාසලේ සේවෙටත් බඳෝගෙන මඩ වල ලියූ බැවින් ‘මඩවල ලියනගේ’ කියල නම්බු නාමයකුත් දුන්නලු.
“හිචි හිචි හිචි හිචි. මොකද දන්නෑ ඉතිං උන්දැ ආපහු ලංකාවට ආවෙ. එහෙ හිටියනං එහෙම ඉන්න එපෑ.”
“පස්සෙ කාලෙක මුත්ත එන්න පරක්කු හංදත්, යවපු එක මැටි පුවරුවකටවත් උත්තර ලියල ආපහු පුවරුවක් ආවෙ නැති හංදත් මේ මනුස්සයට මොකද උනේ කියල බලන්න මුත්තගෙ පවුල ගියාලු ඊජිප්තුවට.”
“හැබෑට ඊට පස්සෙ”
“එයිට පස්සෙ වෙච්ච හරිය ඇලෙක්සැන්ඩ්‍රියාවෙ පුස්තකාලෙ මැටි පුවරුවක ලියල තිවුනලු. පහුකාලෙක පුස්තකාලෙ වහලෙ අබලං වෙලා වැහි වතුර වැටිලා ඒ මැටි පුවරුව දියවෙලා ගිහිං. ඒ හංදා මොකක් වුනාද දන්නෑ.”
“මොනව වෙන්නද? කොහෙ හරි යන කාපීරි ගෑනියෙක්ටවත් දපනෙ වැහ්ලා එහෙම තප්පලං ගහගෙන ඉඳල අරුන්දැට අතට අහුවෙන්නැති. එවුන්දැත් ඉලපත් පාර දෙකක් දීල කනෙං ඇදගෙන එන්නැති ආපහු ලංකාවට. පේන්නැතෑ මේ මුණුබුරාගෙත් පේස්බුක් එකවුන්ටෙකේ අප්‍රිකාවෙ කාපීරි ගෑනුයි, ඉංදියාවෙ පඟර නැට්ටියොයි ගොඩ ගහං ඉන්න හැටි”
“ඒක නෙමෙයි කාරනාව. ඔය කලිං පොත් පාඩං කරගෙන අනුංගෙන් කකා බිබී හිටිය ලේඛන පවුල් වලට අපේ මුත්තා හිංද රස්සාව නැතිවුනානෙ. ඒ හංදා උං අපේ මුත්ත එක්ක තරහෙං ඉඳල තියෙන්නෙ. පස්සෙ උං අපේ මුත්තට ඔය ක්ලියෝ පැට්රා රැජිනිව ජෝඩු කොරල කටකතාවක් හදල තියෙනව. ඒ කටකතාව ඊජිප්තුවෙ වෙළඳාමෙ ගිය චීනෙක් මාර්ගෙං ලංකාවටත් ඇහිල්ලා. අපේ මුත්තා බොහොම රූප සම්පත්තිය තියෙන මිනිහ හංදා මුත්තගෙ පවුලත් ඒක විස්සාස කරන්නැති. අන්තිමට කොහොම හරි ඊජිප්තුවට රටක් වටින මිනිහෙක් නැතිවුනා. එයිං පස්සෙ තමා සීසර් ඊජිප්තුව අල්ලගත්තෙ. අපෙ මුත්ත හිටියනං ඊජිප්තුව…..”
“ඔව් ඔව් හිටියනං සීසර්ට මඩ ගහල තමයි ආපහු අරින්නෙ…හුහ්.. මයෙ කට නිකං”
ඔය විදිහට වාසගමෙන් පටංගත්තු මගෙ ලිවිල්ල කඩදහියක ලියන එක දක්වා දියුණු කළේ අපේ මාමා. මට අවුරුදු තුන හතරක් විතර වෙද්දි අපේ මාමා වැඩකෙරුවෙ බොහොම දුෂ්කර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ළමයින්ට බෙදන්න ගෙනා අච්චු පොත් වලින් එක සිංහල අච්චු පොතක් අපේ මාමා මටත් ගෙනැල්ල දුන්නා. ඒ මදිවට කොහෙන්දෝ ගෙනා හෝඩි පොතකුත් අපේ ගෙදර තිබුණා. ඔය දෙකේම උදව්වෙං අපේ අම්මා තමුං දන්න විදිහට මට අකුරු කියෝන හැටියි ලියන හැටියි කියාදුන්නා. ඒ කාලෙ අපේ ගෙදර අපි තුන්දෙනා ඇරුණම අපේ තාත්තගෙ මල්ලිගෙ පවුලෙ කට්ටියත් පදිංචි වෙලා හිටියෙ. එතකොට අපි ඔක්කොම නම දෙනෙක්. බාප්පගෙ ළමයින්ට අකුරු කියෙව්වෙ අපේ තාත්තයි කුකුළු වැලකුයි. ඒ පවුලෙ ළමයින්ට පොඩි කාලෙ ‘ර’යනු උෟනතාවයක් තිබුණා. ඒ හංදා මට අවුරුද්දක් විතර වැඩිමල් ජනක අයියට ‘ර’ යන්න වෙනුවට ‘ස’ යන්න වැළඳිලා තිබුණා. අපේ තාත්තා මේසෙ අයිනෙ පුටුවක ඉඳගෙන වං අතිං එක වසරෙ සිංහල පොත චිමිනි ලාම්පුවට කිට්ටු කරල අල්ලගෙන අනික් අතිං කුකුළු වැලත් අමෝරාගෙන ජනක අයියට අකුරු කියෝනව.
“හා ජනක ඕං මං කිව්වහම උඹ කියහං හොංද”
“හොලයි ලොකු චාච්චෙ”
“අයන්න”
“අයඤ්ඤ”
“මයන්න”
“මයඤ්ඤ”
“ර්රයන්න”
“සයඤ්ඤ”
“සයන්න නෙමෙයි බොල රයන්න. ර් ර් කියල සද්ද කරහං”
“ල් ල්”
“පොඩි මැණීකො. මේ කොල්ලෑ නාහෙ පිහදාහං. මුට හෙම්බිරිස්සාව හංද අකුරු කියවෙන්නෑ”
එතකොට කුඩම්මා තමුංගෙ සාය කොනකිං ජනක අයියගෙ නාහෙ හූරල ගන්නව.
“හා දැං කියහං ර යන්න”
“ස්රයන්න”
“ආ.. හරි එහෙනං එක පාර කියහං. අයන්න මයන්න රයන්න අ-ම-ර”
“අයංන මයංන සයන්න අ-ම-ල”
ඒ ගමන තාත්තගෙ අතේ තියෙන කුකුලු වැලෙං ජනක අයියට එකක් වදිනව.
“ව්යවු”
“අන්න හරි ලොකුඅයියෙ. ඕකුන්ට තලල මිසක්ක හදන්න බෑ. තවේකක් ගහන්න”
කුඩම්මයි බාප්පයි දෙන්නම අපේ තාත්තට තල්ලුවක් දෙනව. ඇඬුවොත් තව වදින හංදා ජනක අයියා ඇඟ අඹරෝලා ගුටිය ඇඟ පුරා බෙදා හරිනව. මේ වෙලාවට මං මගෙ ලොකුකම පෙන්නන්න හෝඩි පොත අතට ඇරං එක හුස්මට මහ හයියෙං කියෝගෙන යනව. එතකොට බාප්පයි කුඩම්මයි දෙන්නම තව හයියෙං බැනුම පටං ගන්නව.
“පෙනේද, පුතා තාම මොන්ටසෝරි යන්නෙවත් නැතුව පොත එක හුස්මට කියෝනව. මුට බෑ තාම. තවේකක් ගහන්න තියෙන්නෙ.”
මේ වෙලාවට අපේ අම්ම මාව කුස්සියට ගෙන්නෝනව.
“උඹ කටවහගෙන හිටහං ජනකෙයට තව ගුටි ගස්සන්නැතුව”
ඒ විදිහට අකුරු කියවිල්ල පටං ගත්තු මට මොන්ටිසෝරි යන්න කලිං ජෑන්ති අක්කගෙ ඉස්කෝල පොත් ටිකත් කියවන්න පුළුවං උනා. එදා අපේ තාත්තගෙ අකුරු කියවිල්ල හරි නොගිය ජනක අයියට අද සිංහල, දෙමළ, ඉංග්‍රීසි බාසා තුනමත් මැලේසියාවෙ බාසාවත් පවුලගෙ බාසාව වන ඉන්දුනීසියන් බාසාවත් එක්ක ඔක්කොම බාසා පහක් විතර පුළුවං ලු.
ඊළඟට ඉස්කෝලෙ යන කාලෙ එකේ දෙකේ පන්තිවලදි කරුණාවතී මිස්ගෙන් එහෙම මගෙ අකුරුවලට බොහොම වටිනාකමක් ලැබුණා.
“ළමයො, මෙයිට වඩා හොඳයි ලොකුවිතානෙ වෙදමහත්තයෑ අකුරු. බේස්සීට්ටු ලිව්ව වගේනෙ”
“තයන්නයි, නයන්නයි, කයන්නයි එක්කොම එක වගේනෙ”
“අනිද් දවසෙ මෙහෙම ලිව්වොත් විසික්කරනව පොත පිටිම්ම දොට්ට”
“සොරොස් ….. තක් (පොත පන්තියෙං එලියට විසිවී බිම වැටෙන හඬ)”
යන්තං තුන වසරට එද්දි කයන්නට යටි පැත්තට තට්ටං දෙකක් තියෙන්න ලියන්න ඕන බවත්, තයන්නේ බඩ පිරෙන්නට ඕන බවත්, නයන්නේ පස්ස උඩ ගිහිං දිමියා වගේ වෙන්න ඕන බවත්, යයන්නේ දකුණු පැත්තට විතරක් කණක් තියෙන්න ඕන බවත්, පයන්න බත් මුට්ටිය වගේ අඳින්න ඕන බවත්, සයන්නට යයන්නෙ වගේම තට්ටං දෙකක් එක්කම දෙපැත්තටම කං තියෙන බවත්, වයන්නේ ඔලුව ඇවිත් කට අස්සෙ රිංගන්න ඕන නැති බවත් ආදී අකුරු සම්බන්ධ බව වල් ටික දැනගන්නට මට පුළුවං උනා. පොඩි කාලෙ බාප්පගෙ ළමයින්ට ලොකු කං පෙන්නපු පව මට පළදුන්නෙ එහෙමයි.
මගෙ ලිවිල්ලකට මුලින්ම නම්බුවක් දුන්නෙ හතර පහ වසරවලදි අපේ පන්තිය බාරව හිටපු නිලන්ති මිස්. බුකිය පැත්තෙ යන්න හැටියක් නැති හංදා එතුමිගෙ පොටෝ එකක් මෙතෙන්ට ගේන්න හැටියක් නෑ. ඒ කාලෙදි ශිෂ්‍යත්ව විභාගෙට අනුමාන ප්‍රශ්න පත්තර බරගානක් හදවලා කොහොම හරි අපිව ගොඩදාන්න උත්සහ කරපු එතුමිය ඒ හැම ප්‍රශ්න පත්තරේකම අගට රචනාවකුත් ලියෙව්වා. එක දවසක් මාතෘකාව තිබුණේ ‘මගේ රට රැකගන්නට යුධ බිමට යන්නට ලැබුනොත්’ වගේ මොකක් හරි එකක්. ඒකට ලියපු රචනාවට මට ලකුණු විස්සෙං විස්සම ලැබුණා. මයෙ රචනාව එදා එතුමිය මුළු පන්තියටම ඇහෙන්න කියවල වර්ණනාවක් කළා. අනික් පහේ පන්තියෙ චන්ද්‍රා මිස් මයෙ පොත ගෙනිහිං එයාගෙ පන්තියෙත් කියෙව්වා. සිකුරාදා සාහිත්‍ය සමිතියෙදිත් ඒක කියවන්න මට සිද්දවුනා. නිලන්ති මිස්ට පිං සිද්දවෙන්ට ටියුෂන් පංති නොගිය මායි, දිමුතුයි දෙන්නම සිස්සත්වෙ පාස් වුනා. අවුරුදු දහයකට වැඩි කාලයක් නිකගොඩ හංදියෙ ජයන්ති මහ විද්‍යාලෙ පහ වසරෙ ළමයින්ට අපේ සිස්සත්වෙ පාස් වීමේ වාර්තාව පහුකරන්න බැරි වුනා.
ඊළඟට මං කලවානේ ජාතික පාසලට මාරු වුනා. අපේ තාත්තට ආයිමත් මාව දෑහැට පේන්න බැරි කාලයක් උදාවුනා. ඒ ගමන මයෙ පිහිටට හිටියෙ මගේ කල්‍යාන මිත්‍ර තුසිත ධර්මප්‍රිය. කොල්ලො තුං දෙනෙක් හිටිය ඒ ගෙදර හතර වැනි ළමයා වෙන්න මට පුළුවං උනා. කියවන්න පොත් ඕන තරං තියෙන, තුං වේලට කෑම බීම ඕන හැටියෙ තියෙන, කියවන්න ඕන තරං පොත් තියෙන ඒ ගෙදර මට කවි කතන්දර ලියන්න ඕන තරං නිදහස තිබුණා. ගෙදර දෙවෙනි ළමයා වන ‘දේශප්‍රිය’ත් මමත් හාප්සීට් කොළවල ලියලා, බ්‍රිස්ටල් බෝඩ් වලින් පිටකවරෙ දාපු කතන්දර පොත්, කවි පොත් ගණනාවක් හැදුවා. ඒවා නාස්තියක් හැටියට නොසලකපු තුසිතගෙ තාත්තා වැඩ ඇරිලා ගෙදර එත්දි අපිට ඕන ලිපි ද්‍රව්‍ය ගෙනත් දුන්නා. ඒ පොතක් අච්චු ගහන්න ඕන කිව්වම රෝනියෝ ස්ටෙන්සිල් කොළ පවා කොහෙන්දෝ හොයල ගෙනැල්ලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපේ පොත් අකුරක් නෑර කියවලා එව්වාට විචාරයකුත් දුන්නා. උපාධිධාරී ගුරුවරියක් වෙච්චි තුසිතගෙ අම්මත් අපේ පොත්වල අකුරක් නෑර කියෙව්වා. වාසනාවට පහුගිය මාසෙ තිබුණු දේශප්‍රියගෙ විවාහ උත්සවේ වෙලාවෙදි තුසිතගෙ අම්මගෙත් තාත්තගෙත් පොටෝ දෙකක් ගන්න මට පුළුවන් උනා. ඔය පහළ පොටෝ දෙකේ මං එක්ක ඉන්නෙ ඒ දෙන්නා.
මැණිකේ මොලමුරේ මැතිණිය
හින්නිමහත්මයා නරසිංහ මහතා

අවුරුදු ගානක් මාව තමුන්ගේ ළමයෙක් වගේ රැක බලාගෙන, තැපැල් නයින්ටියේ තියාගෙන අපි හතර දෙනාවම ඉස්කෝලෙ ගෙනිහිං, ඇල්පෙනෙත්තක දෙයක් අඩුපාඩු නොකර මට ඉගෙනගන්න පාර කපා දුන්නා වගේම ආගම දහමට යොමු කරලා දහම් පාසල් යවලා යහපත් මිනිහෙක් කරලා යහපත් සමාජ ඇසුරක් ලබාදීලා මාව හදාවඩාගත් පිනෙන් එතුමාටත් එතුමියටත් තව චිරාත් කාලයක් කිසි ලෙඩක් දුකක් නැතුව බොහොම සතුටින් ජීවත් වෙන්ට වරම් ලැබේවා!
ඒ කාලෙන් පස්සෙ ආයෙමත් මට ලියන්නට කාලයක් ආවෙ බ්ලොග් කියවීමෙන්. රන්දිකා රණවීර අක්කාට අයිති නමුත් රවී වීරසිංහ උන්නැහැ විසිං අඳේට ලියාගෙන යන නිදහස් සිතුවිලි බ්ලොග් එකේ මං දාපු කොමෙන්ට් එකක මොකක් නමුත් හොඳක් දැකපු ඉන්දික කොඩිතුවක්කු අයියා මට ‘ලියාපං’ කියලා ඊමේල් එකක් එවා තිබුණා. ඒ වගේම තව කීප දෙනෙක්ගෙ තල්ලුව එක්ක පටං ගත්තු බ්ලොග් ලිවිල්ලට වටිනාකමක් එකතු කරල දුන්නේ අටං අයියාගෙ අටං පහුර සහ මාතලන්ගෙ සින්ඩිය. යන්තම් දෙතුන් සීයක් දෙනා කියවපු ලිපි දාහක් දෙනා කියවන තැනට ප්‍රසිද්ධ කරල දුන්නෙ ඒ දෙන්නා. අද වෙත්දි තවත් සින්ඩිකේටර් ගණනාවක මේ ලියවිල්ල පේන්න තියෙනවා. බුකියට යන්ට විදිහක් නැති හංදා මාතලං සහ අටං වරුන්ගේ පොටෝ මෙතැනට අමුණාගන්නට හැටියක් නැතුවා වගම ඒ දෙන්නා පෙනී සිටිනා මගේ ලඟ ඇති පින්තූරද දෙනෝ දහක් බලන තැනකට දාන්ට සුදුසු තත්වයේ නැත.
බොහොම කාලයක් ලියවෙන්නැතුව තිබිලා අද ආයිමත් පටන් ගත්තු මේ ලියවිල්ලට නිකං ඉන්න වෙලාවට තනිකං දෝසෙ හදනා බුකි කුමාරයාගෙං වන දෝස ඇත්නං, යූටියුබ් යස්සයාගෙං වන බන්ධන ඇත්නං, හුලංකියා (airtel) සමාගං පෙරේතයාගෙං වන දත්ත මන්දගාමී හූනියං ඇත්නං, මේ ආතුරයාගේ පින්තූර දැක “හානේ හරිම ලස්සන බෝයි කෙනෙක්” කියා කාන්තාවන්ගෙන් වන ඇස්වහ කටවහ හෝවහ දෝසාන්දකාර ඇත්නං, ඒ සියල්ලම දූරිංභූත වී හැම ඉරිදාටම එක ලිපිය ගානේ ලියන්නට හැකියාව ලැබේවා!, ලියනා ලිපි “මොන හජ්ජරාවක්දැ” යි කියා සිතා මකා දාන්නට නොසිතේවා!, ස්වස්ථි සිද්ධම්.
%d bloggers like this: