Menu Close

පව්ව

“කොහෙද පිස්සු ** ගෑණු දෙන්නා ඉන්නේ?” දෙවන ලෝක යුද්ධ කාලයේ රේඩියෝවකින් නැගෙන ශබ්දයකට සමාන ඩැනීගේ කටහඬ ෆෝන් එකේ එහා පැත්තෙන් මතු වුණා.

“IT ලැබ් එකේ ඉන්නේ බන්. අපි හිතුවේ උඹ එන්න පරක්කු වෙයි කියලා. අපි දෙන්නා කූඹියෝ බලනවා”

“මෙන්න මෙහේ වරෙන් ***”

“අනේ බන් පොඩ්ඩක් තේරුම් ගණින්. මේක දැන් ඔන් වුණේ”

“****”

දෙමළ සෙටිපිකැට් කෝස් එකේ විභාගය තිබ්බේ තුනට නවපු කුඩයක් වගේ තුනට කඩලා. උදේ වරුවේ එක කලින් ම ලියලා මායි ටනූසායි එක්සෑම් හෝල් එකෙන් එළියට දිව්වේ කූඹියෝ එකේ මගහැරුණු එපිසෝඩ් ටික බලාගන්න. අන්තිම පැය භාගයත් හෝල් එකේ ඉන්න බවට වියත් සිළුමිණි ස්වරූපයක් ඩැනීගෙන් දිස් වුණ නිසා අපි හිතුවේ ඌ එනකන් නිවිහැනහිල්ලේ එපියක් දෙකක් බලන්න.

ලැබ් එකේ කොම්පියුටර් එකක් ඔන් වෙන්න යන වෙලාව ශිෂ්ටාචාරයක් ගොඩනැගිලා ඒක නැතිබංගස්ථාන වෙලා යන වෙලාවට සමානයි. ඔන් වෙනකොට ම බඩගින්න ඉස්මොල්ලෙට ම ගහපු ඩැනීගෙන් අපිට කෝල් එක ආවා. පිංසෙණ්ඩු වෙලා එක ම එකක් බලාගන්න කාලය අපි ඉල්ලගත්තා. ලැබ් එකෙන් එළියට ආවා ම බංකුවක් උඩ ඉඳන් ෆෝන් එකේ එල්ලිලා මල් පාත්තියකට ම රෝසකැට දාන ඩැනී ව දර්ශනපථයට හසු වුණා.

“මගේ බෑග් එකත් අරන් වරෙන් මම අරූ ගාවට යන්නම්” ටනූසාව නාට්ටාමි සේවෙට පංගාර්තු කරලා මම ඩැනී ගාවට ඇදුණා. අනික් එවුන්ව තනිකර ජෝක්ස් එකක් බවට පත් කිරීමෙන් ජීවිතයට එක් වරක් පමණක් හිමිවන ‍යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය විසි වතාවක් විතර ගත්තු ඩැනියා නෙළුම් මල් සුවඳින් පිරුණ මුව පොඩ්ඩ විවර කරා.

“ගිජිකුළු පව්ව ආවා” ෆෝන් එකේ එහා පැත්තේ හිටිය හාදයාට මගේ පැමිණීම ගැන වාර්තාව ලැබුණේ එහෙමයි. අතින් කටින් බෑග් එල්ලන් ආපු ටනූසාට මම මගේ අවනඩුව කිව්වා. “බලපන් මූ මට ගිජිකුළු පව්ව කියනවා…..”

“ඒ මොකක්ද ඒ???” ඒ වචන තුනේ බලයට ඩැනියගේ කෝල් එක ඉබේ ම කට් වුණා. ආතල් සම්භාරයක ආරම්භය නේද මේ කියලා මමත් සැදීපැහැදීගෙන හිටියා.

“ඈ යකෝ තෝ ගිජිකුළු පව්ව දන්නේ නෑ?!”

“අර්..ම්ම්ම්ම්ම් මොකක් හරි පව්වක් නේද?” මගේ යටිබඩ රිදෙන්න පටන් අරන් තිබ්බේ. ඩැනියා අපස්මාරේ හැදුණ ලෙඩෙක් වගේ බලාගෙන හිටියා.

“හා කියපන් පව්ව කියන්නේ මොකද්ද?” ඒ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගියපු කාලය ඇතුළත ඇලෙක්සැන්ඩර් අධිරාජයාට ලෝකේ තවත් පැත්තක් යටත් කරගන්න ඉඩ තිබ්බා.

“…. මවුන්ටන් එකක් නේද?” මලලසේකර ඩික්ෂනරියකින් මගේ ඔළුවට ගැහුවා වගේ වේදනාවක් මට දැනුණා. මම ඩැනියගේ තත්වය දිහා බැලුවේ නැති වුණත් ඌටත් හෙනට ම අමාරුයි කියලා මට තේරුණා.

“උඹ මවුන්ටන් ඩිව් එකක් ගහලා මවුන්ටන් එකකින් ම පැනපන් අම්මා”

දවසේ අවසානයේ හොඳ වැඩ දෙකක් වුණා. ගිජිකුළු පව්ව කියන්නේ මෙන්න මේකටයි කියලා ටනූසා ඉගෙනගත්තා. අනික් එක ටනූසාට තියෙන කෙළ කෝටියක් නම්වලට ගිජිකුළු කෑල්ලත් එකතු වුණා.

%d bloggers like this: