Menu Close

බෝල මුරුක්කු

    “අනේ සුදු මැණිකේ.. තව එක කටක් කන්නකෝ.. ”

අමාලි හිටියේ සාරිය අඳින ගමන්.ලේසියට ඔෆිස් එකට ස්මාර්ට් කැෂුවල් ඇඳන් යන්න පුරුදු වෙච්ච ජීවිතේකට හදිසියකට අඳින සාරිය කියන්නෙ වෙලාවකට මල වදයක්.එහෙම කියලා කෙල්ල ඉස්සරවෙලාම ඉස්කෝලේ යන දවසේ අම්මාට සාරියක් අඳින්නැතුව ඉන්න බෑනේ.. 😊

“මට ඇතීඊඊඊ…” ටිකක් සද්දෙට සැරට.
 අමාලි කාමරෙන් එලියට ඔලුව දාලා බැලුවා.

සවින්දි මූණ පුම්බාගෙන.කෙල්ල එහෙම කම්මුල් පුම්බන්නේ කන්න බෑ කියලා කියන්න.අදත් ආත්තම්මයි දෝණි පටන් අරන් රණ්ඩුව.

“ඔහොම කාලා ගිහින් ඉස්සරවෙලාම දවසේ ඉස්කෝලෙදි ක්ලන්තයක්වත් දැම්මොත් තේරෙයි..” රමණි බොරු තරහක් මවාගෙන කියනවා.😒

“ආච්චී අම්මට කන්න බෑලු ද අම්මෙ” 😘

“කිරිබත් කටවල් පහක් කවාගත්තා .. ඒකත් බලේට”

අලුත්ම අලුත් රැලි රැලි සුදු ගවුමට අලුත් සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙ පැත්තට පීරලා පුටුව උඩට වෙලා කකුල් පද්ද පද්ද ඉන්න සවින්දි, අමාලිව අමාලිගේ අතීතෙට අරන් යනවා..

සවින්දි ගෙවල් ගාව ඉස්කෝලෙට දාමු කියන යෝජනාව අමන්ද ගේ.ඒත් අමාලිට ඕනෙ උනේ කෙල්ලව කොහොමහරි හොඳ ගර්ස්කූල් එකකට දාගන්න..එතකොට බයක් නෑ.අතරමැද්දෙන් එහෙ මෙහේ දාන්න කරදරේකුත් නෑ.අනික එතකොට  කොයි වෙලෙත් තමන්ගෙ දුවගෙ ඉස්කෝල වරුණාව කියවන මිසිස්.ආරියරත්නගෙ කටත් වැහෙයි..කොහෙද ඉතින්… 😏
       ඒත් අමන්දටයි,අමාලිගේ අම්මටයි ,තාත්තටයි ඕනෑ වුනේම කෙල්ලව ගේ ගාව ඉස්කෝලෙට දාන්න.අමාලිගේ මුල්ම පාසල.නිකන් බොරුවට මේ පොඩි කෙල්ලව මහන්සි නොකර ඉන්න කියලයි අම්මා අමාලිට කිව්වෙ.අනික ඉතින් සවින්දිව ඉස්කෝලෙ එක්කන් එන යන ඒවා සේරම කරන්න ආච්චිලා සීයලා පැනලම බාරගත්තු නිසා අන්තිමට අමාලිත් ඒ අදහසට එකඟ වුනා.

අද මුලින්ම සවින්දි ඉස්කෝලෙ යන දවස.  

“ආ … මේ ඉන්නෙ මගේ ආච්චි අම්මා ශෝයී එකට.. ” ඒ හඬ අමන්ද ගෙ. වයසට වඩා පැහුණු කතා කියන සවින්දිට අමන්ද කියන්නෙ ආච්චි අම්මා කියල. 😂

තුන් දෙනත් එක්ක ලක ලෑස්ති වෙලා වාහානේම ඉස්කෝලෙ ගාවට ආවා.අලුතෙන්ම ළමයි බාරදෙන්න ආපු අම්මලා තාත්තලා, චූටි චූටි සිඟිති පැටව් අලුත් සපත්තු,අලුත් ගවුම් ඇඳලා ඉස්සර වෙලාම ඉස්කෝලේ ඇවිත්.හැමෝගෙම අත්වල මල්පොකුරු.
    සවින්දි හිටියෙම තාත්තා ගෙ අතේ එල්ලිලා.එහෙම තමයි ඒ දෙන්නා.තාත්තායි දුවයි.. කෙල්ලට අම්මාව වගේ වගක් නෑ තාත්තා ඉන්නවනම්.☺️

     ඉස්කෝලේ සෑහෙන්න වෙනස් වෙලා.අවුරුදු විසි පහකටත් එහා කියන්නෙ සෑහෙන කාලයක් ඉතින්…තමන් මුලින්ම මේ අඹ ගස් හෙවණට ආපු හැටි අමාලිට අද වාගේ මතකයි.. හැමදාම උදේට මුරුක්කු සීයාගේ කඩේ ගාවට වෙලා චූටි අයියා අමාලි එනකම් බලන් ඉන්නවා.ඒ අමාලිව පන්තියට ඇරලවන්න.තාත්තා අමාලිව ඉස්කෝලෙ ඉස්සරහින් බස්සලා වැඩට යනවා. ⌚️

හැමදාම උදේට තාත්තා ගියාම අමාලි කරන්නෙ අයියාගෙ අතින් අදින එක.ඒ මුරුක්කු සීයාගෙන් මුරුක්කු ඉල්ලලා.එතකොට අයියා කියන්නෙ නම්
 “සුදූ හවසට” කියල. ⛅️

   හවසට අරන් දෙන්නම් කිව්වට අමාලිට මුරුක්කු අරන් දෙන්න අයියාට එන්න වෙන්නෙ නෑ.අයියලාගෙ පන්ති ඇරෙන්නෙ අමාලිට ගොඩක් පස්සෙ. ඉතින් ඉස්කෝලෙට ගිය දවසෙ ඉඳන් කොච්චර ආසා වුනත් අමාලිට මුරුක්කු අත්තගේ මුරුක්කු කන්න ලැබුනෙ නෑ.

මුරුක්කු අත්තා ,නැත්තන් ළමයි කිව්වෙ මුරුක්කු සීයා හිටියේ ඉස්කෝලේ ඉස්සරහා පොඩි මඩුවක.ඒක වටේට කොට මැටි බිත්ති වලින් බැඳලා පොල් අතු හෙවිලි කරලා තිබ්බ පොඩි මඩුවක්.මුරුක්කු අත්තා ගාව රසම රස මුරුක්කු තිබ්බා.බෝල මුරුක්කු!! 🍡

ජීවිතේට මුරුක්කු කියල දෙයක් කාලා නොතිබ්බ අමාලිට ඉන්ටවල් එකටයි,ඉස්කෝලේ ඇරෙන වෙලාවටයි ළමයි පොරකකා ගිහින් උලක් තියෙන කඩදාසියක් ඇතුලෙ තියන් කන ඒ කෑම මොකද්ද බලන්න තිබ්බෙ ලොකු උනන්දුවක්.😌

   රුපියල් 5ක් දුන්නම ඒ කාලේ බටිති පත්තරේ වගේ සයිස් කොලේකින් හදපු ගොට්ටකට තමයි මුරුක්කු අත්තා මුරුක්කු දෙන්නෙ.එහෙම හදලා පිලිවෙලට තියපු ගොටු ගොඩාක් ඉන්ටවල් එක වෙද්දි මුරුක්කු අත්තගේ කඩේ තියල තියෙනවා.ඒත් ඒ ගොටු ටිකට කරන්න පුලුවන් දෙයක් නෑ.ඒ සේරම සුටුස් කියද්දි ඉවරයි.ඉතින් යටින් ඇදල ගත්තු ලොකු ඉටි කවරෙකින් මුරුක්කු අරගෙන ගොටුවලට පුරවලා සීයා ඉස්කෝලේ ළමයින්ට මුරුක්කු විකුණනවා.😊

  මුරුක්කු අත්තා ගාව මුරුක්කු විතරක් නෙවෙයි.සුදු පාට බෝතල් වල දාපු ටොපි, සීනී බෝල , කිසස් , විස්කිරිඤ්ඤා පවා තිබ්බා.ඒත් ළමයි වැඩියෙන් ආසා කලේ මුරුක්කු වලට.

  අමාලිට අදත් මුරුක්කු සීයාව අපහැදිලි ඡායාරූපයක් වගේ හිතේ කොනක ඇඳිලා තියෙනවා.ඉරි ඉරි සරමකට සුදු පාට වගේ දියවෙච්ච කමිසයක් ඇඳලා මදක් කුදු ගැහුණු සීයගෙ කොන්ඩෙ සුදුම සුදුයි.අව්වට වැස්සට ඔට්ටුවෙලාම කලු ගැහිලා නහර පෑදුණු අත පය තමා සීයට තිබ්බෙ.කටේ ඉස්සරහ දත් දෙක තුනක් ඉතුරු උනු සීයගේ මූනේ සතුටින් හිනාවෙනකොට අමුතුම සිරියාවන්ත ගතියක් තිබ්බා.සීයගෙ අත් කලුයි.ඉතින් මුරුක්කු ඉල්ලලා නාහෙන් අඬන හැම දවසකම අමාලිගෙ තාත්තා අමාලිට කියන්නෙ මෙහෙම..

” දැක්කා නේද ඒ මනුස්සයගෙ අත්.ඒවාගෙ පාට.??ඒ අත්වල කුණු පිරිලා.කන්නෙ එහෙම නෑ එතනින් කඩචෝරු යාලුවො දුන්නත්.බඩේ අමාරු එහෙම හදාගන්න ” 😒

        ඔය කියන තරම් ඒ අත්වල කුණු තියෙන්න නැතුව ඇති.😏ආදරෙන් පොඩි උන්ට කඩචෝරු විකුණපු සීයා අද මතක් කරද්දි අමාලිට එහෙම හිතුනා.

    අන්තිමට සියලු බාධක බිඳ දාලා සීයාගෙන් මුරුක්කු කන්න විදියක් අමාලිට පෑදුනා.ඒ කාලේ ගමෙන්ම ටෙලිෆොන් තිබ්බෙ ගෙවල් දෙක තුනක විතරයි.ඒකෙන් ප්‍රයෝජන ගත්තු අමාලිගේ තාත්තා ගෙදරින් පිට අයට දුරකථන ඇමතුම් ගන්න වෙන දුරකථනයක් ගෙනාවා.ඒකෙන් හම්බෙන සල්ලි දාපු පෙට්ටියෙන් දවස ගානේ රුපියල් පහ පහ අඩුවෙන වග තාත්තා දැනන් හිටියෙ නෑ.. 😆
     කාලේ ගෙවිලා ගියා.වෙරළු අච්චාරු,අන්නාසි අච්චාරු,අඹ වාරෙට අඹ අච්චාරුත් ඉඩ ලැබෙන විදියට සීයගේ පොඩි කඩේ ඇතුලෙ විකිණුනා.අයියා නිවාඩුවට හදල දීපු සෙල්ලම් ගෙදරත් මුරුක්කු අත්තාගෙ කඩේ වගේ හින්දා අමාලිත් ඒ සෙල්ලම් ගෙදර කඩයක් කරගෙන මුරුක්කු විකුණන සෙල්ලම කලා.

     එක දවසක් හදිසියේම ගෙදර ආපු අමාලිගෙ අම්මා කිව්වෙ අමාලිට අලුත් ඉස්කෝලෙකට යන්න ලෑස්ති වෙන්න කියලා.තුන වසරෙන්ම අමාරුවෙන් ටවුමෙ ඉස්කෝලෙකට යන්න අමාලිට අවස්ථාව ලැබුනා.පරණ ඉස්කෝලෙ,ආදරණීය ගුරුතුමී,යාලුවො වගේම මුරුක්කු අත්තාගෙ මුරුක්කු දාලා යන්න බැරුව අමාලි බිම හැපි හැපි ඇඬුවත් ඒවා අහන්න කවුරුත් හිටියෙ නෑ.අන්තිමට අමාලිට ඉස්කෝලෙන් යන්න උනා.ඒ තමයි අමාලි මුරුක්කු අත්තා දැකපු අන්තිම පාර..

“ඔයා මොනවද මෙතන කරන්නෙ?? ” ඒ අමන්ද

අවුරුදු විස්සකටත් එහා අතීතෙ හිටපු අමාලි වර්තමානෙට ආවේ ඒ හඬින්.

“දුවව පන්තියට දාන්න යන්.. ඔයාගේ ටීචර් බලාගෙන ඇති ” අමන්ද හිනා වුනා.😌

   පත්වීම් අරන් ආපු දා ඉඳන් ගමේ ඉස්කෝලෙටම සින්න වුනු මාලතී මිස් විශ්‍රාම යන්නෙත් ඒ ඉස්කෝලෙමද කොහෙද..ඒ පැත්තෙ බාගෙට බාගයක් හිටියෙ මිස්ගෙන් අ යන්න ,ආ යන්න කියවන්න ඉගෙනගත්තු මිස්ගෙ ගෝලයො.අද බාරදෙන පරම්පරාවේ අම්මලා තාත්තලටත් අ යන්න කියන්න ඉගැන්නුවෙ මාලතී මිස්.
   සවින්දි ව පන්තියෙ තියලා කෙල්ල අඬන්නෑ කියලා ෂුවර් කරගත්තට පස්සෙ අමාලි එලියට ආවා.
     අන්තිම පාරට මිස්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා අඬාගෙන ඉස්කෝලෙන් එලියට බැහැපු හැටි අමාලිට මතකයි.ඒ එනගමන් අන්තිම පාරට මුරුක්කු අත්තාගෙන් පහේ මුරුක්කු ගොට්ටක් ගන්නකොට ආයේ මේ මුරුක්කු කන්න නොලැබෙන වග හිතිලා ඒ කාලේ අමාලි ඒකටත් ඇඬුවා.😢
    කඳුලු පෙරන පොඩි කෙල්ලගෙ අතට මුරුක්කු ගොට්ට දීලා දත් නැති කටෙන් හිනාවෙලා හොඳට ඉගෙනගන්න කියල කියපු මුරුක්කු අත්තාට තමන්ගේ එක යාව ජීව පාරිබෝගිකයෙක් අහිමි වුනේ එහෙම..
     ඊට ටික කාලෙකට පස්සෙ මුරුක්කු අත්තාගෙ බයිසිකලේ ඉස්කෝලේ ඉස්සරහදිම කාර් එකකින් හප්පන් ගියා කියලා රාවයක් ගියා.අමාලිගෙ මතකේ හරි නම් ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඒ අහිංසක හිනාවත් අරන් මුරුක්කු විකුණන්න සීයා ආපහු ඇවිල්ලා තිබ්බෙ නෑ.. සීයාට අසනීප ඇති පුතේ කියල විතරමයි අහපු හැම වෙලාවෙම තාත්තා අමාලිට කිව්වෙ.

“අමාලි..” ඒ හඬට අමාලි හැරිල බැලුවා.

ඒ හිටියෙ මදූෂා.අමාලිගෙ ක්ලාස්මේට්.
“දුවව ඉස්කෝලෙට බාර දෙන්න ආවද?? ”

“ඔව් අනේ.. එක වසරට.අපේ පන්තියෙමයි.” අමාලි හිනාවෙලා කිව්ව.
“ඉතින් මෙතන.. ?? ” 😕
“අමන්ද එනකම්.. “
“ආ..” 😊
“මේ මධූ… ඔයාට මතකද මුරුක්කු අත්තා..එයාට මොකද වුනේ..?? මන් ඉස්කෝලෙන් ගියාට පස්සෙ එයා ඇක්සිඩන්ට් උනා කියල ආරංචි උනා.. දැන් නම් නැතුවත් ඇති නේද..” 😕 තවමත් අමාලි ඉන්නෙ ඒ සිහියෙන්..

“ආ… ඒ දවස්වලමයි ඒ සීයා නැති උනෙ.අපි ගොඩක් පොඩිනෙ.. එයා හිටියෙ අපෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙ.පව් … අසරණ මනුස්සයා.. එතනමලු” 😒

“එතනමලු කිව්වෙ ?? ”

“උදේ ඉස්කෝලෙට එන්න ආපු සීයාව හප්පලා තිබ්බෙ අර අතන.. මුරුක්කු අත්තා එතනම මැරිලා.ඉස්කෝලෙ දිහා බලන්මද කොහෙද පණ ගිහින් තිබ්බෙ “😕 වගක් නැතිවම කියවන මධුෂා දිහා ගල් ගැහිලා වගෙ අමාලි බලන් හිටියා.

ටවුන් ඉස්කෝලෙන් පස්සෙ ශිෂ්‍යත්වෙ පාස්වෙලා දුර බැහැර ගර්ල්ස්කූල් එකකට යද්දිත් දැකපු අව්වට වැස්සට ටික ටික ගරා වැටී වැටී හේදී හේදී ගිය මුරුක්කු අත්තගේ පුංචි කඩේ අන්තිමට තිබ්බ හැටි ගැන රූපයක් අමාලිගෙ හිතේ ඇඳුනා. 😢

   පස්සෙ කාලෙක  මුරුක්කු අත්තාගෙ ගරා වැටුනු කඩේ අයින් කරලා දැන් එතන තමා ඉස්කෝලේ ගේට්ටුව හදලා තියෙන්නෙ…දැන් ඉන්න කවුරුත්ම මුරුක්කු අත්තා ගැන දන්නෑ.මතකත් නෑ.. ඒත් හරි ආදරෙන් පොඩි එවුන්ට අච්චාරු විකුණලා කාත් කවුරුත් නැති ජීවිතේ ගෙවාගන්න කීයක් හරි හොයා ගත්තු මුරුක්කු අත්තාගේ ආත්මේ මේ අහල පහලක තාම ඇති කියල වගේ වගේ විකාර සිතිවිල්ලක් අමාලිට ඒ වෙලාවේ ආවා.ඒත් එක්කම දත් නැති මන්දහාසයක් දෙන අව්වට වැස්සට වියපත් වුනු ඒ සුන්දර දෑස වැහිදාක බොඳ වුනු සිත්තමක් වගේ අමාලිගේ දෑස් ඉස්සරහ ඇඳීලා මැකිලා ගියා. ☺️

_මානි _ ✒️

%d bloggers like this: