Menu Close

තව එක්තරා ඇත්ත කතාවක්…

2000 දි විතර එක හාදයෙක් ඉපදුනා අපේ ගමේ ගෙදරක. උප්පැන්නට එයාට දාපු නම බ්‍රවුන්. එයා සහෝදරයො, සහෝදරියො හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ කට්ටියගෙන් දුර්වලම විදිහට හැදුනෙ එයා තමයි. මොකද, එයා කන්නෙ බොන්නෙ තෝරල බේරල. ඉතිං එයා හදාගන්න ගෙනිච්ච කීප දෙනා එයාව ආපහු ගෙදර ගෙනත් ඇරලුවා. ඔය අතරෙ තමයි එයා අපේ අම්මට හදාගන්න ලැබුණෙ. අම්ම එයා උපන්දා ඉඳන්ම ඉල්ල ඉල්ල හිටියෙ හදාගන්න.

එයා කොච්චර ළෙංගතුයිද කියතොත්, අපේ ගෙදර පදිංචියට ඇවිත් මාස ගාණක් යනකම්ම එයා සැරින් සැරේ තමං උපන්න ගෙදරට ගිහිං ඒ අය දැක බලාගෙන ආපහු ආව.

අපේ ගෙදරදි එයාට කවුරුත් කිව්වෙ චූටි කුකූ… මොකද මේ හාදය පොඩියි සයිස් එකෙන්. ඒ වගේම සෑහෙන වයසක් යනකම්ම එයාගෙ තිබුණු හුරතල්කමයි සෙල්ලක්කාරකමයි නැති උනේ නෑ.

මම ඒ කාලෙ කිසිම සත්ත්ව කරුණාවක් නැති මනුස්සයෙක්. ඇත්තට කියතොත්, අපේ ගෙදර හිටිය බල්ලො එකෙක්වත්, මං ඉන්න තැනකට එන්නෑ. මොකද, කොයි වෙලේ වදියිද දන්නෑ පාර. මං හයියෙං වචනයක් කිව්වොත්, ඒ වචනෙ තියෙන ටෝන් එකට බල්ල විසික් වෙනව ගෙයිං එළියට. ඒ වගේම මං මහ අමානුෂික විදිහට සත්තුන්ට අතට අහුවෙච්ච එකෙං ගැහුව.

ඒත් පුදුමෙ කියන්නෙ මේ හාදය, කුකූ… උන්දැ බොහෝම ටික කාලෙකිං මට පුදුම විදිහෙ කැමැත්තක් දක්වන්න ගත්ත. මං වැඩ ඇරිල ගෙදර එනකං බලං ඉන්න මේ යාළුව, ඊට පස්සෙ ඇදුං ලෙහන්නෙත් නැතුව ඇවිත් මං ඔළුව අතගානකං මගෙ පස්සෙං… ටික කාලෙකිම්ම මෙයා මගෙ දරුවෙක් ගාණට මට ෆිට් උනා. මුන්දැ දැං මං යන පස්සෙම්මයි. කාලෙයක් තිබුණ, මගෙ කම්පියුටරේ ගාව නිතරම ප්ලාස්ටික් පුටුවක් තියල තිබුණ මෙයාට ඇවිත් වැතිරිල ඉන්ඩ.

දවසක් මහරෑක මෙයා දරුණු වේදනාවකිං කෑගහන සද්දෙ ඇහිල අපි ඔක්කොම දුවගෙන ආව සාලෙට. මෙයා ඉන්නව මේං ටීපෝ එක ගාව බිම වැටිල… අම්මගෙ මහන මැෂිම උඩ ඉඳං ටීපෝ එකට පැනල, ඒකෙ රෙද්දත් එක්කම ලිස්සල බිම වැටිල, කකුලක් කැඩිල. හම්මෝ… කුකූව විඳපු වේදනාව මට උගෙ ඇස් දෙකන් පෙනුන. ඒ කකුල මං අල්ලල බලද්දි මෙයා මගෙ අත ගාවට කට ළං කළා. ඒත් කිසිම වෙලාවක හපා කෑවෙ නෑ. අපි එවෙලෙම දහයිය ලුණු වතුරෙං තම්බල (කුකුල්ලුන්ට අඬු කැඩුණම කරන අත් බේතක්), කකුලට උණ පතුරු දෙකකුත් තියල පත්තුවක් බැන්ද. දවස් ගාණක් යනකං ත්‍රී වීල් එකෙන් පැන පැන ගියපු කුකුව පස්සෙ හොඳටම හොඳඋනා.

මම ඩ්‍රැකියානිට ආදරෙයි කියපු දවසෙ හරි ඒ ආසන්න දවසක, මං එයා එක්ක මහ රෑ දහයට විතර කතා කරද්දි – අපේ ගෙදරට ඩයලොග් සිග්නල් තිබුණෙ නෑ ඒ දවස් වල මං අලුතෙං ගේ හැදුවෙ අපේ ගේ ගාවම ටිකක් උතුරු පැත්තට වෙන්න. ඒ ගේ ඇතුලට යන්තං සිග්නල් තිබුණ. ඉතිං මං ගෙදර දොර ඇරගෙන එළියට ඇවිත්, “ඇහෙනවද?“ “දැං ඇහෙනවද?“ කිය කියා ඇවිත්, අලුත් ගෙදර (බිත්තියි වහලෙයි විතරයි තිබුණෙ) සාලෙටම ආව. ඇවිත් බ්ලොක් ගල් ගොඩක් උඩිං වාඩි උනා. ටිකකිං බැලින්නං කුකුවත් මං ගාව. කොල්ල මාව හොයාගෙන ඇවිත්.

ඒ දවස්වල මුන්දැට තිබ්බ ප්‍රියතම සෙල්ලම තමයි පොල්ලෙල්ල දඩයම. ඌට පේන්ඩ අපි පොල්ලෙල්ලක් විසික් කරන්ඩ ඕනෙ. ඒක දැක්ක ගමං කුකුව දුවගෙන ගිහිං ඒක අහුල ගන්නව. අහුලගත්ත ගමං ආපහු රවුම කැරකිල දුවගෙන එන මෙයා, අපේ කකුල් ගාවිං දුවනව, ඒ දුවන ගමං ගොරවනව. එතකොට අපි පොල්ලෙල්ල උදුරන්ඩ හදන්ඩ ඕනෙ. ඔය විදිහට මිදුල වටේ වට විස්සක් විතර දුවපුවහම බල්ලට වගේ හති.

ඒ වගේම මට ඩ්‍රැකි කියල නම දාපු මහතුව කියන්ඩ පුරුදු වෙලා හිටපු කතාවක් තමයි, “ළමයින්ට හාල්මැස්සො – බල්ලට බිත්තර“… මොකද, මං කලිනුත් කිව්ව වගේ මෙයා තොරල බේරල තමයි කෑවෙ. ඉතිං අපි ඔක්කොගෙම එකඟතාවයෙන්, අපි නොකෑවත් මෙයාට මොනව හරි රසවත් දෙයක් හදල දෙනව. සමහර දවස් වල අම්ම මෙයාට බත් ගුලි කර කර කවනවත් එක්ක.

අපේ තාත්ත මියගිය දවස් වල, මළගෙදර ගත්තෙ මං අලුතෙං හදපු ගෙදර. ඒ ගෙදර කිරි උතුරවල පදිංචි වෙලා තිබුනෙත් නෑ එතකොට. ඒ දවස් ටිකේ කොච්චර ගේමක් මං තනියම ඇද්දද කිව්වොත්, කුකූව දිහා බලන්ඩවත් පුළුවන් උනේ තාත්ත භූමදාන කරල ඇවිත් ගෙදර අස් පස් කරල ඉවර වෙලා එදා රෑ. කුකුව අපේ මහගෙදර පුටුවක ගැටගහල උන්නෙ. මාව දැක්ක ගමං එයා කකුලක් උස්සගත්ත කොරගහනව වගේ. මං එවෙලෙම ඌ අරං ගියා අලුත් ගෙදරට. එවෙලෙ ඉඳං මං ආපහු මහගෙදරට ඇවිත් නිදාගන්නකම්ම කුකුව මගෙ පස්සෙං. නිදාගන්නකම්ම කිව්වට, එයා නිදාගත්තෙත් මගෙ ඇඳේ මගෙ පාමුලමයි.

කොලුවයි – බව්වයි
මං වැඩ ඇරිල එනතුරු, අලුත් ගෙදර සාලෙ තිබ්බ මේසෙ උඩට වෙලා
බලං හිටපු කුකුවගෙ කරට අත දාගෙන ගහපු සෙල්ෆියක්

තාත්තගෙ මරණෙං මාස දෙකකට විතර පස්සෙ මං ගෙදර එක කාමරේකට ජනෙල් පියන් දාගෙන, අනික් කාමර වල ජනෙල් වලට ඉටිරෙදි ගහල,  කාමරේයි, ගෙදර ඉස්සරහයි, පස්සෙයි දොර පියං දාගෙන, බඩුත් ඇදගෙන අලුත් ගෙදර පදිංචියට ආව. නැකතට කිරි ඉතිරෙව්ව එක විතරයි කළේ. අපි බඩු අදිද්දි මාත් එක්ක ගෙදරට ආව කුකුව ආපහු මහගෙදරට ගියෙ නෑ. ඒ කියන්නෙ අවුරුදු දෙකක් විතර යනකං, අර ඉස්ඉස්සෙල්ලම මළගෙයක් තිබුණු ගෙදර පදිංචි වෙලා උන්නෙ මායි කුකුවයි විතරයි. රෑ දහයට විතර අපි දෙන්නම ජනෙල් පියන් තිබුණු එකම කාමරේ දොර ජනෙල් වහගෙන නිදාගන්නව. කලාතුරකිං දවසක මහරෑට කුකුව මාව ඇහැරවනව, “මීක් මීක්“ ගාල. එතකොට මං දොර ඇරල දෙන්ඩ ඕනෙ. ටුක් ගාල එළියට දුවන කුකුව, විනාඩි පහක් යන්ඩ කලිං ආපහු දුවගෙන එනව.

ඩ්‍රැකියානි කැන්දං ආවට පස්සෙ කුකුවට තිබ්බ එක වරප්‍රසාදයක් අහිමි උනා. ඒ තමයි මගෙ ඇඳේ නිදාගන්න එක. ටික දවසකිං ඕනෙම පුටුවකට පැනල නිදාගන්න එකත්, විශේෂ ප්ලාස්ටික් පුටු දෙකකට – එකක් ඉස්සරහ වැරැන්ඩා එකේ. අනික කුස්සියෙ – සීමා කරන්ඩ උනා. (ගෑණු ළමයිගෙ පිළිවෙල…) ඒත් කුකුව කළබල කළේ නැතුව ඒවට අනුගත උනා. එයාට අපේ ඇඳ ගාව බිම නිදාගන්ඩ තිබුණනං එයා ඒකෙං සෑහීමකට පත් උනා. ඒ වගේම එයා ඩ්‍රැකියානිට විශේෂ අකමැත්තක් දැක්කුවෙත් නෑ. මං ගෙදර නැත්තං එයා ඩ්‍රැකියානි පස්සෙං…

දවසක් අපි පාන්දර නැගිටල කුස්සියෙ දොර අරිද්දි කුකුව එනව එළියෙ ළිඳ ගාව ඉඳං වැනි වැනි. “වෙරිද බං?“ කියල ඇහුවම යාන්තං කෙඳිරි ගාල කුක්ක දොර ගාව වැටුණ. බලන කොට බෙල්ල ගාව තුවාලයක්. මට දැණුන, ලොකු බල්ලෙක් මෙයාගෙ බෙල්ලෙං අල්ලල වනල කියල. ඒ තුවාලෙත් තියාගෙනම මෙයා ගෙදර ඇවිත්. ගොඩක් ලේ ගිහිල්ල තියෙනව. සාමාන්‍යයෙන් වෙනදට මෙයා අපි  දන්නැතුව දොරෙං එළියට ගිහිං තිබුණොත්, අපි දොර වහලනං, මෙයා දොර ගාවට ඇවිත් එකක් දෙකක් බුරනව. එදා එහෙම බුරාගන්ඩවත් පණ නැතුව, අපි කොයි වෙලේ හරි දොර අරිනකං ළිඳ ගාවට වෙලා ඉඳල.

මං එවෙලෙම එයාගෙ තුවාය ගෙනත් ඒකෙං ඔතල, සුදු කිරි එකක් හදල හැන්දෙං පෙව්ව. එදා සතියෙ දවසක්ද මට මතක නෑ, එහෙම උනානං වැඩට යන් නැතුව මං කුකුව බලු දොස්තර ගාවට අරං ගියා. දොස්තර මහත්තෙය ඉන්ජෙක්ෂන් එකක් ගහල, කිව්ව, “මෙයාගෙං ලේ ගොඩක් ගිහිං තියෙනව. එයිටත් වැඩිය ඔලුව තදට වැදිල කම්පණයෙන් ඉන්නෙ. මෙච්චර වෙලා හිටිය එකේ, බයවෙන්ඩ දෙයක් නෑ. හොඳ වෙයි“ කියල.

නරකම දේ උනේ පුතා ඉපදුනාට පස්සෙ. බව්වට කුස්සියෙං මෙහා එන්ඩ තහනම් උනා. ළදරුවෙක් බව්වෙක් එක්ක හදන්ඩ හොඳ නැතිය, විෂබීජ ය කියන පදනමිං. කුකුවා ඒකත් බාර ගත්ත. මටත් පියපදවියෙ රාජකාරිත් එක්ක බව්ව හුරතල් කරන්න වෙලාව මදි උනා. ඒකටත් කුකුව එච්චර සැලුන්නෑ කියල පෙනුන.

ඊටත් පස්සෙ තමයි එයාගෙ ඇහේ සුද ආවෙ. දැං කුකුව අපිව අඳුනගන්නෙ ඉවෙං විතරයි. ඒත් එයා පාරෙ එහෙම යනව. ඈත වාහනයක් එන සද්දෙයක් ඇහුනත් හොඳටම අයිං වෙනව. තමුංගෙ බලප්‍රදේශය මාක් කරන්නෙ ගෙදර හතර කොණේ විතරයි. ඉතිං හැමදාම උදේ ඩ්‍රැකියානි මැසිවිලි කිය කියා ඒ හතර කොණ හෝදනව. මොකද, පුතා පොඩියි. එයා බිම තියෙන දේවලුත් ඇරං කටේ දාගන්නව. ෂුවර් නෑ මොනව කරයිද කියල.

වෙනද වගේම අපි වැඩ ඇරිල එනකොට කුකුව ඉස්සරහ වැරැන්ඩා එකේ තියෙන එයාගෙ ප්ලාස්ටික් පුටුවෙං බැහැල ඇවිත් මීක් මීක් ගානව. මාත් අදරෙං “කුකූ…“ කියල කතා කරනව. එතකොටම පුතා ඇවිත් අපේ ඇඟේ එල්ලෙනව. එතනිං බලු හුරතලේ ඉවර වෙනව. කුකුව ආපහු පුටුව ගාවට ගිහිං බිම වැතිරෙනව.

දැං දවස් දෙකක විතර ඉඳං අම්ම වාර්තා කරන්න ගත්ත, දවල්ට කුකුව එලියට ගියාම ගොඩක් වෙලා යනකං එන්නැහැලු. අම්ම හොයන්න යනකොට එක පාරක් – වලක වැටිල ඉඳල අසල්වැසි මල්ලි කෙනෙක් ගොඩට අරං. එතනිං වෙළ පැත්තට ගියා කියල කිව්වලු. ඒ ආරංචියට අම්ම වෙළට ගියාම, වෙලේ වැටිල, වැතිරිල හිටියලු. අම්ම වඩාගෙන ඇවිත් නෑව්වලු. තව සැරයක් තව කොහෙද වැතිරිල ඉද්දි අම්ම හොයාගෙන ගෙදර ගෙනත්. අද අම්ම මාසික ක්ලිනික් එකට ගියා රාගම රෝහලේ. අපිට කුකුව ගැන හොයන්න වෙලාව තිබ්බෙ නෑ. පුතාටත් සනීප නෑ – උගුර පැසවලා. මටත් එක්ක හදන කිරි කෝපි එකෙන් කුකුවගෙ පංගුව දවල් වෙනකම්ම කුකුවගෙ පීරිසියෙ. අම්ම ආපහු ගෙදර එක්කරං ආවට පස්සෙ, පුතාට දවල් කවන අතරෙ මං ගියා කුකුව යයි කියල හිතන හැම තැනකම කුකුව හොයන්න. ඒ කොහෙවත් කුකුව හිටියෙ නෑ.හොඳටම හෙම්බත් වෙලා මං ආපහු ගෙදර අාව විතරයි, වැස්සක් කඩංහැලුන. එතකොටයි කුකුව හොයන්න ගිහිං හිටිය අම්මත් ගෙදර ආවෙ…

සත්තු තමං වාසය කරන තැනිං ඈතට යනව මැරෙන්න කිට්ටු උනාම. කුකුවටත් දැං වයස අවුරුදු දාහතක්. ඒ කියන්නෙ ඒ විදිහෙ බව්වෙක්ගෙ පරමායුෂ. ඒ වගේම ඇහේ සුද ආවට පස්සෙ එයා හිටියෙ එච්චර ෆිට් එකකිං නෙවෙයි. කලාතුරකිං මාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළාට ගොඩක් වෙලාවට කළේ ඔහෙ වැතිරිලා ඉන්න එකයි.

ඒත් කුකුවට මැරෙන්න තරං ලෙඩක් තිබ්බෙ නෑ. කලිං දා රෑත් හොඳට කෑව. පහුගිය දවස් දෙකේ කුකුවගෙ හැසිරීමත් එක්ක හිතන්න පුළුවං, දැං එයා කොහෙ හරි අපිට හොයාගන්න බැරි තැනක වැතිරිලා, හිමිං හිමිං තමංගෙ මරණය එනකල් බලං ඉන්නව ඇති. අනේ… මේ වැස්ස ඒ අසරණයගෙ ඇඟට වැටෙනව ඇති. ඒකෙං බේරෙන්ඩ එයාට ඕනෙකමක්වත් ඇඟට හයියක්වත් නැතුව ඇති. හෙමිං හෙමිං එළඹෙන මරණය කොච්චර අමාරුයිද?

මගෙ තාත්තගෙ මළගෙදරිං පස්සෙ පාලු ගෙදරක තනිවෙච්ච මට තනියට හිටිය එකම යාළුව. මේ මොහොතෙ එයාගෙ මරණය බලාපොරොත්තුවෙං කොහෙ හරි තැනක වැටිල… කිසිම උදව්වක් නැතිව, කිසිම කරුණාවන්ත වචනයක් අහන්ඩ නැතුව, උදේ ඉඳං බඩගින්නෙ…

ඔයා ගොඩක් හොඳ කෙනෙක් චූටි කුකූ… ඔයා තමයි මගෙ ලොකු පුතා… යන තැනක ඔයාට හොඳක් වෙයි… පුළුවන්නං ආපහු එන්ඩ !!!

%d bloggers like this: