Menu Close

තොරණ හෙවත් Pandol – 5

හිඟන්නෙක්ට යමක් දුන්නත් පිං දෙනව ඇහෙන්නෙ අහල පහල ඉන්න අයට විතරයි. පන්සලේ හාමුදුරුවන්ට දුන්නත් සමහර වෙලාවට ‘පිංසිද්දෙච්චාවෙ’ කියනව විතරයි. එව්වා දිවිය ලෝකෙට ඇහෙනවද කියල ෂුවර් නෑ. හැබැයි  පිනට දීපු ගානත් එක්ක පීකරෙන් නම කියවා ගත්තොත් දිවියලෝකෙට ඇහෙනවම තමයි. ඒ කියන්නේ ගලේ කෙටුවා වගේ පින ෂුවර් කියන එකයි. ඒ හංදා මිනිස්සු පෝලිමේ ඉඳලා ආදහර දීලා පීකරෙං නම කියවා ගන්නවා. ඒ කාලෙ පීකරේකිං නම කියවාගන්න එකත් ලොකු නම්බුවක් වගේම ආඩම්බරයක්.  නිවේදකයයි විරිඳුකාරයයි දෙන්නත් මිනිස්සුංගෙ පොකැට්ටෙකට මයික් එකෙං ඇනලා රබානට සල්ලි හලා ගැනීමේ වැඩේ දිගටම කරගෙන යනවා. විරිඳුව මැදට සල්ලි දුන්නු කෙනාගෙ නම දාන්නම ඕන හිංදා සමහර වෙලාවට කවියෙ තාලෙ පිට පනිනව. එතකොට විරිඳු කාරයා කවියට කිසිම විදිහකින් ගැලපෙන්නෙ නැති අකුරක් හරි සද්දයක් හරි දාලා තාලෙ බේරගන්නවා.

“හඟරංගල සිට පැමිණිය සිරියලතා ආ……. නෝනා
  රුපියල් දහයක් වටිනා ආදාරය ගෙන දුන්නා”
කියල තාලෙ බේරද්දි පහුවදා ඉඳං ඒ ගමේ අය ඒ ගෑනු කෙනාට “සිරියලතා ආ… නෝනා” කියල නමක් පටබඳින්න වුනත් බැරිකමක් නෑ. තමුංගෙ නම කියවෙද්දි ඒ අය මූන පිම්බෙන්න හිනාවෙලා වටපිට බලද්දි ඒ අහල පහල ගෙවල්වල අයගෙ මූණු සවුත්තු වෙනව. එතකොට ඒ අයත් ආදාරයක් දීලා තමුංගෙ නමත් පීකරෙං කියෝල තමුංගෙ අසල්වැසියගෙ ආඩම්බරේ බස්සනව. මේ සේරගෙම්ම තොරංකාරයගෙ සල්ලි ගොඩ ඉස්සෙනව.
රබානට තලන ගමං සල්ලි දෙන කෙනාගෙ නමයි සල්ලි ගානයි දාලා යන්තං ගැටගහලා රිසිට්ටෙකක් වගේ කියන කවි ඇහිල්ල අපිට එපා වෙනවා. එතකොට මිනිස්සු තොරණ දිහා කටබලියං බලා ඉඳීම නවත්තලා වෙන මොනවහරි බලන්න නැත්තං බඩුවක් මුට්ටුවක් ගන්න හරි හිතලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනව. අන්න එතකොට නිවේදකයටයි විරිඳුකාරයටයි ඇස් ඇරෙනව. ඒ ගොල්ලො සල්ලි ගැනිල්ල පොඩ්ඩකට නවත්තලා වෙනම පදයක් ගහනව. ඒ කියන විදිහට තව බොහොම සුළු වෙලාවකින් තොරණේ කතා වස්තුව අහන්න ලැබෙනවා. ඔය විදිහට දෙතුන් පාරක්ම පොරොන්දු වෙලා ආයිමත් සල්ලි ගැරිල්ල පටං ගනිද්දි මිනිස්සුන්ට පීකරෙං කියන එව්වත් විස්වාසෙට නැතුව යනවා. 
වාසනා බේකරියේ ඉස්පන්චි
මෙන්න මේ වෙලාවෙම පොල පිටිපස්සෙ ලැලිවලිං අටෝපු යෝද ඉස්පංචිය අස්සෙං චිංසෝ එහෙකට පීකරයක් හයිකෙරුව වගේ ලතෝනියක් ඇහෙනව.
“රෑඈෑෑෑෑ……ං පට්ටං රෑං රෑං රෑං පට්ටං පට පට”
මං උඩ පැනල අම්මගෙ බෙල්ලෙ එල්ලෙනව. මාව වඩාගන්නව වෙනුවට අම්මා මාව ගසා දාල බිමට හලනව. 
“බලියන්නැතුව හිටහං. ඒ ළිඳේ බයිසිකල පදිනව. ඒක මෙහෙ එන්නෑ”
මං ඒ පැත්ත හැරිල බලනව. ඉස්පංචියට උඩිං ලොකු ටෙන්රෙද්දක් ඇදලා. ඉස්පංචියෙ ගැට්ටට නගින්න පඩිපෙලකුත් අටෝලා. ඒ පඩිපෙල පටං ගන්න තැන කනු දෙකක් හිටෝලා ඒ දෙකට ගැටගහපු රෙද්දක
මාරක ලිඳේ සයිකල් සංදර්ශනය
මාරක ලිඳක් – Art by Suranga MLR
කියලා ලියල තියෙනව. ඉස්පංචියෙ මුදුනේ ගැටගහල තියෙන ඉස්පීකර් දෙක දෙපැත්තක් බලාගෙන එකම දේ කියනව.
“එන්න…. මාර්ර..ක ලිදේ බයිසිකලේ.. පුංචි ර්…රුපියල් දහයකට… මාර්ර…ක ලිඳේ මාර්රාන්තික සංදර්සනය නර්රබන්න…. තවස්සුලුමෝතකින්…. ඒ ම් මාර්රාන්තික මෝටර් බයිසිකල් දහවනය ආර්රම්බ වනවා ඇත්ත.”
තොරණ දිහා බලං හිටපු සෙනග අතරින් පව් පින් ගැන වැඩි සැලකිල්ලක් නැති අය ඉස්පන්චිය දිහාවට ඇදෙනව. අපේ අම්මත් මාව දෑත බදලා අදිනව.


“වරෙං යමං ලිඳේ බයිසිකල් බලන්න”

“බෑබ් බෑබ් බෑ…….ඈ…… බම්බයායිඊඊඊ”
පොලොවෙ ගල් ගැලවෙලා හැදිච්ච වලකට විළුඹ තියලා ගැම්ම ගන්න ගමං මං අනික් පැත්තට අදිනව.
“මොකවත් වෙන්නෑ… අර මිනිස්සු පුරාම ඉන්නෙ”
අපේ නැංදයි චන්දරෙ මාමයි දෙන්නත් මගේ කන්දෙක ඇතුලටම කට ඔබලා මගෙ බය අරින්න හදනවා. ඒ වුනාට මං මගේ තීරණේ වෙනස් කරන්නෙ නෑ. අන්තිමට අම්මයි මායි දෙන්න ඇර අනෙක් සේරම අය ටිකට් අරගෙන ඉස්පංචිය මුදුනට නගිනව. අපේ අම්මටත් යකා නගිනව. ඉස්පංචියට අරක්ගත්තු අල්රයනු වැඩි නිවේදකයත් තව ඉතා සුළු වේලාවකින් මාර්රක ලිංදේ අත්තිබ්බිහිස්සුනු සයිකල් ධා…වනය ආරම්භ වන බව කිය කියා ඉස්පංචිය වටේට කූඹි වැහුවා වගේ සෙනඟ පටෝනව. මාත් පිටු එකසිය විස්සෙ පොතක් පිරෙන්න තරමට අම්මගෙං බැනුං ඇහුවට පස්සෙ ඉස්පංචිය ඇතුලෙං මෙතෙක් වෙලා ඇහුණු “රෑං පට් පට්” සද්දෙ නැතිවෙලා කුරුමිණියෙක් ඔලුව වටේ කැරකෙනව වගේ සද්දයක් එන්න ගන්නව.
“රෑව්ව්ව්ව්ව්ව්වව්වව්ව්ව්ව්ව්ව් රෑව්ව්ව්ව්ව්ව්වව්ව්ව”
අපේ අම්මගෙ කේන්තිය ඉස් මුදුනටම නගිනව.
“ආං බලහං ලිඳේ බයිසිකලේ පදින්න පටං ගත්ත. අම්ප තොට යන්න බෑ කිව්වනෙ. අර මිනුස්සු සෝක්කෙකට ඉන්නෙ”
අම්මා මගෙ ඉල ඇට දෙකක් අතරට ඇඟිල්ලෙං අනිනව. ඒ වෙනුවට මගෙ කටිං පයින වචනෙ කාටවත් ඇහෙන්නෙ නෑ.
රේඩිවේකෙ හවස ප්‍රවෘත්තිවල සිරස්තල කියලා ඉවරවෙන තරං වෙලාවක් ගතවෙද්දි කුරුමිණි සද්දෙ නවතිනවා. ඒ එක්කම වැට කඩාගෙන කුඹුරට පැන්න හරක් රංචුවක් එළවනව වගේ ඉස්පංචියේ නිවේදකයා ආටෝප මොකවත් නැතුව මිනිස්සු එළවන්න පටංගන්නවා.
“ඔය සංදර්ශනේ බලපු අය සේරම විගහට බැහැල යන්න. කවුරුවත් රැඳීඉන්න එපා. හැමෝම යන්න. ආයෙත් බලන්න ඕනි නං ආපහු ටිකට් අරගෙන එන්න. කර්ණාකල්ල යන්න. අපට එළවන්න ඉඩ තියන්නෙපා.”
ඉස්පංචිය මුදුනෙ හිටිය අය තම තමන්ගෙ ළමයින්වත් ඇදගෙන අනුංගෙ කකුල් පාගගෙන, කකුල් පටලවගෙන ආඩපාලි කිය කියා බැහැල එනව.
“ඉදකිං රෙද්ද යාංතං වට පහක් කැරකැවුන්නෑ.”
“වෙන්දට ඔය ගැටිය ගාවටම එනවලු. අද යංතං අඩියක් දෙකක්කත් උට්ට ආවෙ නෑ”
“ඒක බයිසිකලෙයක්යැ. හිරමන දණ්ඩක් වගේ එකහ්නෙ.”



“මන්නං මේ මුංගෙ වදේට ගියෙ. අපරාදෙ සල්ලි. සටකජු ගොට්ටක් කෑවනං බඩහරි පිරෙනව”

සමහරු තමුං කරපු ගොංකම ළමයින්ගෙ පිට දාල බේරෙනව. මේ ආඩපාලි සේරම හිංදා අපෙ අම්මගෙ කේන්තියත් කේතලේ ලිපට පෙරලුනා වගේ නිමිල යනව. ඒ හංදා උන්දැත්
“මාත් මේ මූ කවදාකත් ඕව දැකල නැති හිංද එක්ක යන්න හැදුවෙ. එකාතකට නොගියෙක හොඳා එහෙනං”
කියලා මාව පෙන්නනව. මාත් මේ අපේ අම්මද වෙනිං කෙනෙක්ද කියල හිතාගන්න බැරුව උඩ බලනව.
මාරක ලිඳේ ලනුව ගිලලා විස්සෝපෙං එන මිනිස්සුගෙ ඔලුවට මරණ බය හලලා පොකට්ටෙකේ තියෙන කීයකට හරි කවියකිං තට්ටුවක් දාලා පිං ටිකක් විකුණගන්න හිතාගෙන විරිඳුකාරයා ආයිමත් විරිඳුවක් අඹරනවා. ඒ විරිඳුවෙ හැටියට විනෝදවෙන්න එක එකාකාරයෙ දේවල් බලබලා පිනට කීයක්වත් නොදී ඉඳලා කොයිවෙලේ හරි හිටිගමං මැරිල ගියොත් අපායෙ උපදින්නයි වෙන්නෙ. ඒ හංදා තනයක් අගිස්සෙ පිනි බිංදුවක් වගේ තියෙන ජීවිතේ තියෙන කාලෙ පිනට දෙන්න ඕනා. ඒ විරිඳුව ඇහුණාම තමුං කරපු පිනක් මතකවත් නැති අය ඉක්මන් පිනක් කරගන්න හිතලා තොරනෙ කාර්යාලෙට දුවනවා. එහෙම නොදුවන කට්ටිය අල්ලගන්න තව කාණ්ඩයක් ඒ කිට්ටුවට එනවා.
“කල්ලගන් කල්ලගන් කල්ල කල්ල කල්ල ගන්. තම්බ්පු කල්ල ගන්. ම්‍රිස් දාපුව තීනව නැතුව තීනව. කල්ලගන්න කල්ල කල්ල…”
රෝද දෙකක් හයිකරපු තේ පෙට්ටියක් විතර එකක් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී තල්ලු කරගෙන එනගමං කඩල කාරයෙක් කෑ ගහනව. අපෙ ආච්චිඅම්මා කුස්සියෙ කබඩ්ඩෙකේ දාල තියං ඉන්න තඩි බෙලෙක් පලඟාන විතර ලොකු පළඟානක් ඒ පෙට්ටිය මැද්දෙ කඩල පුරෝගෙන බලං ඉන්නව. ඒකට පැත්තකිං තොවිල් පන්දමක් විතර පන්දමක් වගේ එකක් පත්තුවෙනව.
මිනිස්සු කඩලකාරයව වටකරගන්නව.


“පාක දෙන්න”

එක්කෙනෙක් රුපියල් පහක් දික්කරනව. කඩලකාරයා රුපියල් පහ ඇදල අරං සරමෙ ඉස්සරහ ඔලොඟුවට දාගෙන හීනි ගොට්ටක් අතට ගන්නව. ඒකෙ අගිස්ස පැන්සලේ තුඩ තරං හීං. කට පැත්ත ඉදල් මිටකට වැඩිය මහත නෑ.
“ම්‍රීස් දාපුවද නැතුවද?”
උත්තරේ ලැබෙන්නත් කලිං කඩලකාරයා මේස හැන්දක් අරං ඒ ගොටුවට කඩල පුරෝනව. තම්බපු කඩල ඇටේකට ඒ ගොට්ටෙ බාගෙක දුරට වඩා යන්න බැරුව හිරවෙන හංදා කඩල ගොට්ට තුංපාරට පිරෙනව. සමහරු කඩල ගොටුවෙ අඩියෙං අල්ලගෙන ඉඳලා ගොටුව දෙකට මැදිං නැමිලා කඩල ටික බිම හැලෙනවා. ඒකෙං කඩලකාරයගෙ වෙළඳාම තවත් වැඩිවෙනව.
“ඉදකිං උගෙ කල්ල ගොට්ට. කල්ලෑට දායක් නෑ. පොල් කෑලි දෙක තුනද්දාල ඉතරයි. රුපියල් පහම්ම ගත්ත.”



කඩල කාරයගෙ හීං ගොට්ටෙ වංචාවට අහුවෙච්ච අය ආඩපාලි කියනව.

A deceptive KG – වංචා සහගත කඩල ගොට්ටක්
කඩලකාරයගෙන් ඇතෑරෙන අය අල්ලගන්න ඉන්නෙ රටකජුකාරයා. රටකජුකාරයගෙ ලිපයි තාච්චියයි හින්දා එයාට රටකජු මැස්ස තල්ලු කරගෙන යන්න බෑ. ඒ වෙනුවට සවල්කාරයො තුං හතර දෙනෙක් යකඩ තහඩුවක් උඩ සිමෙන්ති කොට්ටෙක විතර කොන්ක්‍රීට් එකක් අනන තරං සද්දෙට හැන්දෙං රජකජු තාච්චිය කාල්ගාන ගමං
“කජේක් කජේක් කජේක්…ර්රටකජේක්”
කියලා කෑ ගහනව. ඒ සද්දෙට මේ නං ලෝකෙ අන්තිමටම ඉතුරුවෙලා තියෙන රටකජු ටික තමයි කියල හිතන ළමයි, මහ අය රටකජුකාරයව වට කරගෙන. චන්දරෙ මාමත් සාක්කුවෙං කොලපාට සල්ලි කොලයක් ඇදල අරගෙන 

“දායක දෙන්න”
කියල ඉල්ලනව. රටකජුකාරයත් දහයෙ කොලේ ඇදල අරගෙන තමුං ගාව තියෙන සුරුට්ටු පෙට්ටියට දාගන්නව. හැන්දෙන් කාල්ගෑම නවත්තල හැන්ද පුරෝල රටකජු අරගෙන දෙපැත්තට වනනව. එතකොට හැන්දෙ තියෙන හිල් අස්සෙං වැලි ටික හැලිලා රටකජු ටික හැන්දෙ ඉතුරු වෙනව. ඒ ටික වෙනම බෙලෙක් බාජනේකට දානව. ඉං පස්සෙ මාපටැඟිලි දෙකක් විතර මහත බෙලෙකේකෙයක් අරගෙන ඒකෙං දෙකක් බෙහෙත් කවරයක් විතර කඩදාසි කවරෙකට පුරෝනව. ආයිමත් ඇඟිලි තුඩුවලට අහුවෙන තරං රටකජු ඇට දෙක තුනක් කවරෙට දානව. කවරෙ අගිස්ස හීං තීරුවක් දෙකට නමල “ආහ්” කියල දෙනව.

“මෙච්චරද?”
චන්දරේ මාමා පුදුමවෙලා අහනව.
“නැත්තං තමුසෙ කියන්නෙ පිඟාන්ට දාල දෙන්නද”
රටකජුකාරයා හැන්ද උරුක්කරනව. අපි පස්සට වෙනව. අපේ අම්මත් ගිහිං තව රුපියල් විස්සක රටකජු ගෙනාවට පස්සෙ අපි හැමෝටම කන්න ඇතිවෙනව. 
“ඔව්වෑ වැලි තියෙනව. පොත්ත අයිං කරන්නෝනැ”
අපේ ආච්චම්ම කියනව. ඒ කීමට අපි රටකජු ටිකක් අල්ලට හලාගෙන අනික් අල්ල ඊට උඩිං තියලා තදකරලා කරකවනව. එතකොට රටකජු පියලි දෙක වෙංවෙලා පොතු ටිකත් ගැලවෙනව. ඉං පස්සෙ පොතු ටික අයින් කරගන්න ඒ ටික යංතං උඩ විසිකරන ගමං පිඹිනව. රටකජු පොතු වටේ ඉන්න අයගෙ ඔලු, මූණු, අතපය, සාක්කු අස්සෙ රිංගනව. ගෑනියෙක් අපේ ඇඟට කඩා පයිනව.  
“මොකක් කොරනවද? මයෙ හැට්ටෙයස්සෙත් ගියා සටකජු පොතු. අනෙයම්ප”
ඒ වගේ වෙලාවට තමුංගෙ වැරැද්ද පිළි අරගෙන සොරි කියන පුරුද්දක් අපේ ගමේ නෑ.
“ඉතිං අපි මක්කොරන්නද. අපි හිතල දැම්මෑ”
අපේ නැංදා පලවෙනි කස්තිරම අල්ලනව.

“තමිසෙ මොටදැ මේ ඉස්සරහිං ගියෙ. අර අරෙහෙං යන්න තිවුන්නැතෑ”
අපේ අම්මත් තමුංගෙ නෑනට උදව්වෙනව. ඒ වුනාට ඒවට උත්තර හම්බුවෙන්නෑ. රටකජු පොතු හැට්ටෙ අස්සෙ ගිය ගෑනු කෙනා හැට්ටෙ අස්සට පිඹ පිඹ මූණ පුප්පගෙන යන්න යනව. 
අපිත් මිනිස්සුංගෙ ඇඟේ හැප්පි හැප්පී වටේටම රටකජු පොතු විසුරුවන ගමං රටකජු ටික ඉවර කරනව. චන්දරෙ මාම විතරක් රටකජු නොකා ඉන්නව. කඩචෝරු කෑම ළමයින්ගෙයි ගෑණුංගෙයි වැඩක් හැටියටයි අපේ ගමේ සැලකුණේ. පිරිමියෙක් කඩචෝරු කෑවොත්, ගහකිං පළතුරක් කඩාගෙන කෑවොත් ඒක පිරිමිකමට අවනම්බුවක්. ඒ වගේ අවනම්බු විඳින්න කැමති නැති පිරිමින්ට වෙළඳං කරන්නත් කෙනෙක් එනව.
එයාගෙ ඉන හරියෙං බීම බෝතල් කේස් එකක් විතර ලොකු පැතලි පෙට්ටියක් තියෙනව. ඒක පටියකිං බෙල්ලෙ එල්ලලයි තියෙන්නෙ. ඒ පෙට්ටිය පුරෝලා බුලත් ගොටු හදලා. ඒ එක එක ගොටුවල එක එක පාටට පොල් කුඩු වගේ ඒව දාලා. තව පොඩි කුප්පි වගේකුත් පෙට්ටියෙ පැත්තක තියෙනව. ඒ සේරටම උඩිං පුංචි කූරක් තියෙනව. ඒකෙ අග ටෝච් බලුප් එකක් විතර ලොකු එලියක් පත්තු වෙනව. දුමක් නැතුව කහපාටට පත්තුවෙන ඒ එලිය හුළඟටවත් වැනෙන්නෙ නෑ. එයා ටොනික් මූඩි මැදිං හිල්කරලා කම්බියක අමුනපු වලල්ලක් අතේ තියාගෙන සැරිං සැරේ “ඉසල් සල්….. ඉසල් සල්” කියල හොලවනව. 
“අර කවුදම්මෙ”

මං අම්මගෙං අහනව.

“ඒ සාරවිට විකුණ්න මිනිහෙක්”

“අර පත්තුවෙල තියෙන එලිය මොකද්දම්මෙ?”

“මං දන්නෙකහ් නෑ. ගෙදර ගිහිං මහ එකෑං අහගනිං”

අම්ම වෙනුවට චන්දරේ මාම ඒකට උත්තරේ දෙනව.

“ඒ කාබයිට් ලාම්පුවනෙ”
චන්දරෙ මාමත් සාරවිටකාරයගෙං පාට පාට කුඩු පුරෝපු බුලත් ගොට්ටක් ගන්නව. සාරවිටකාරයත් ඒකට පුංචි කුප්පිවලිං තව මොනවද ජාති ටිකක් හලලා බුලත් ගොටුව චන්දරෙ මාමට දෙනව. අපි හැමෝටම ඒක බලන්න ඕනි වෙනව.

“පොඩි උන්ට ඒව හොඳ නෑ”
චන්දරෙ මාමා බුලත්ගොටුව කටේ දාගන්නව. 
“යන්ද ඒයි අන්නර පැත්තට. පොඩියෑයින්ට මොනව හරි පෙන්නන්නවත් දෙයක් තියෙද බලන්න.”
චන්දරෙ මාමලෑ නැංදගෙ යෝජනාවට “හුම්” කියල චන්දරේ මාම බිමට කෙලපාරක් ගහනව. එතනිං ගිය මිනිහෙක් බිමට තියන්න ගිය අඩිය නොතියා සරමෙ පොට උඩට උස්සගන චන්දරෙ මාමට රවනව. එයාට බුලත්කෙල ඩිංගක් වදින්න ඇති. ඒ වුනාට ගමේ පිළිවෙලට චන්දරෙ මාමත් ඒ මනුස්සයට ඔරෝනව. දෙන්නට දෙන්න රවාගෙන අයිමත් තමුන් යන ගමන යනව.
තොරණෙ විරිඳු කියන මනුස්සයගෙ කීම ගනං ගන්නෙ නැතුව මිනිස්සු වෙනිං දේවල් බලන්න යද්දි අපිත් ඒ රැල්ලටම තල්ලුවෙලා තොරණිං දුරට යනව. තමුංගෙ නමත් එක්ක කියවෙන කවිය අහන්න මිනිස්සු නැතිබව දැනගෙන තොරණට ආදාර දෙන පෝලිමත් කොටවෙනව. 
%d bloggers like this: