Menu Close

තොරණ හෙවත් Pandol-4

පොල දවසට ටවුමෙ ඉන්න සෙනග වගේ දහ දොලොස් ගුණයක සෙනගක් ටවුමෙ ඉන්නව. වෙනදට පාරෙ අයිං වෙලා පයිං යන මිනිස්සු පාර සම්පූර්ණයෙම්ම වහගෙන. වෙනදට එක හෝන් පාරෙං මිනිස්සුංව පාරෙං අතුගාල දාන වාහනවලට යංතං රෝද හතරට ඉඩ හදාගන්න ඇති වීරියෙං හෝන් එක පිඹලා මිනිස්සුන්ට වැඳ වැටෙන්න සිද්දවෙනව. ඕපීඩී එකේ බෙහෙත් පෝලිම වගේම පෝලිමක් නිව්ටම් පෙරේරගෙ තැබෑරුමේ ඉස්සරහ තියෙනව. ඒ කිට්ටුවම මිනිහෙක් සරමක් දනිහෙ ඉඳං පාතට ඇඳගෙන බිම බුදියගෙන දෙපැත්තට අත දික්කර කර මොනවද කියනවා. තැබෑරුමට යන මිනිස්සුත් ඒ මිනිහට හිනාවෙවී උඩිං පැනල යනව.
 බස් එකෙං බැහැපු මිනිස්සු හැමෝම අනිත් අයව තල්ලු කරගෙන තොරණ දිහාවට යනව. අම්මත් මගෙ වැලමිට ගාවිං අල්ලගෙන පුළුවං තරං ළඟට කිට්ටු කරගෙන ඉන්න හිංදා මගෙ අතේ වැලමිටෙං උඩ ටිකත් කැති මිට වගේ ඉස්සරහට දික්වෙලා තියෙන්නෙ. වැලමිටෙං නමාගන්නත් බෑ. ඒ මදිවට අම්ම ඉස්සරහට තියන හැම අඩියකම දුර යන්න මගෙ කොට කකුල්වලට අඩි දෙකක් තියන්න වෙන හංදා ඒ දෙක අතර මොනයම්ම හෝ ගස්ටනයක් ඇතිවෙලා අම්මට මගෙ කකුල පෑගෙනව. මිනිස්සුත් කලු කූඹි බිත්තිය දිගේ යනව වගේ දෙපැත්තටම යනව. ඒ හංදා හැම අඩි දෙක තුනකටම සැරයක් අසුර වේගෙං අපේ මූනට එන කෙනෙක් දැක්ක ගමං හැප්පෙන් නැතිව බේරෙන්න අම්මා මාවත් ඇදගෙන දකුණට හරි වමට හරි පනිනව. අම්මා වමට අඩියක් තියල බේරිච්චි ගමං ඉස්සරහට එන කෙනාගෙ බඩේ ඇනෙන්නෙ අම්මා කැති මිට වගේ උඩට අල්ලං ඉන්න මගෙ අත. සමහර වෙලාවට මාව දෙන්නෙක් අතර හිරවීම හන්දා අපේ අම්මා නැමති ඔරු කඳට මං නැමති කොල්ලෑවෙං අවහිර වෙනව. ඒ වෙලාවට අපේ අම්මා දෑත බදලා මාව අදින ඇදිල්ලට ඇද්දොත් මාදැලක් උනත් ඔරුව එක්කම ගොඩට විසිවෙනවා.
මේ සේරටම ඉහළිං ටවුම පුරාම තැනින් තැන කණුවල බැඳපු ලයිස්පීකර් රංචුව ටවුමෙ කඩවල්වල තියෙන බඩුමුට්ටු ගැන කියෝනව.
“මහා තොරණ් රාජෙයාට මේ සුභ පැතුම් ගෙන එන්නේ ඔරලෝසු කණුව අසල දිසානායක කඩේ ට්රේඩර්ස් සහ ඉස්ටෝස් වෙතින්. ඔබට අවශ්‍ය අනර්ඝ තත්වයේ හාල්, මිරිස්, තුනපහ, සහ සියළුම පැකැට් බඩු, ඉටිපන්දම්, ගිනිපෙට්ටි, කරවල, සහල් මැස්සන්, සඳුන්කූරු, සබන් වර්ග, රෙදි සෝදන කුඩු, බැටරි කැබලි, ඉන්දිම බීඩි සහ සුදු බීඩි, කැප්ටන් සුරුට්ටු, ශ්‍රීමත් මදන මෝදකය, බිස්ටල් සිගරැට්, කිරිපිටි ආදිය තොග සහ සිල්ලර මිලට ලබාගැනීමට මේ දැන්ම පියනගන්න දිසානායක ඉස්ටෝස්, ඔර්ලෝසු කනුව අසල” 



ඊළඟට පීකරෙන් ඇහෙන්නෙ ගෑණු කෙනෙක්ගෙ කටහඬක්

“යසවද්දන ඉලෙක්රිකල්ස්සායතනයේ තොරණ් රාජයාට ආසිරි පතන්නේ පැරණි බස්නැවතුම අසල හොරණ කඩයේ මුදලාලි මහත්මා, මුදලාලි මැතිණියත් කාර්ය මණ්ඩලයත් විසින්. නිවසට අවශ්‍ය හිරමණ, සැලි වලන්, මුට්ටි, කල, මැටි පහන්, බෙහෙත් පැදුරු ආදිය, පතල් කර්මාන්තයේ යෙදෙන ඔබට අවශ්‍ය ගැරුම් වට්ටි, ඉල්ලම් කූරු, පිචස්, උදලු තල, වැල් කූඩ, කොසු ලණු, කඹ, බාල්දි ආදියත්, තන්ගෝස් නූල්, බිලීකොකු, ඕනෑම වර්ගයක ඇන ආදිය මිලදී ගැනීමට ඔබ පිය නැගිය යුතු එකම තැනයි පැරණි බස් නැවතුම අසල හොරණ කඩය”


හත් අට දෙනෙක්ගෙ ඇඟේ වැදිලා තැලිලා, අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව. තොරණෙ යට කොටස මිනිස්සුන්ට වැහිලා උඩ කොටහ විතරක් මට පේනව. තොරණෙ තවම ලයිට් දාල නෑ. තොරණ ගාව පැත්තක තියෙන මඩුවෙ විතරක් බලුප්පෙකක් පත්තු වෙනව. ඒ මඩුවෙ පැත්තක කාඩ්බෝඩ් කෑල්ලක “කාර්යයාලය” කියලා ලියලා වහලෙ එල්ලලා තියෙනව. ඒක ඇතුලෙ මේසෙයක් උඩ පොත් වගේකුයි කලුපාට පෙට්ටියකුයි කැසට්ටෙහෙකුයි තියෙනව. යකඩෙක උලගහපු මයික්කෙකකුත් තියෙනව. අපේ ගෙදර රේඩිවේකෙ බුරිය රතුපාටට පත්තු වෙනව වගේ ඒ පෙට්ටියෙත් රතුපාට තිත් ටිකක් පත්තුවෙනව.

“මොන සෙද්දද්ද මංද. මෙච්චර ඇඳිරි වැහ්ලත් මේකෙ ලැයිට් දාන්නැත්තෙ”


“ඊයෙ ලැයිද්දාද්දි බච්චන වෙලාවත් පහූනාලු”


“අම්ප, මිනිස්සුන්ට එන්න කියල ලැයිද්දාන්නැතුව මක් කොන්නොවද මංද. තොර්ණ බලන්න වෙන්නෙ චෝට්ටෙක ගහල තමා”
මිනිස්සු තමුන්ට ඇති තරං ආඩපාලි කිව්වට පස්සෙ මිනිස්සු දෙන්නෙක් ඒ ගොල්ලංගෙ කර ගාවට විතර උස පිත්තල පානක් ගෙනත් කාර්යයාලය ඇතුලෙං තියනව. ඒත් එක්කම සරමකුයි අත් දිග කමිසෙකුයි ඇඳපු සිංහල වෙදමහත්තයෙක් වගේ කෙනෙක් මඩුව ඇතුලට ඇවිල්ලා මයික්කෙකෙං කතා කරන්න පටං ගන්නව.  තව ‘සුවල්ප වේලාවකිං’ තොරං රාජයා විදිලි ආලෝකයෙං බබලන්න පටං ගන්නවා ඇති  කියලා එයා කියනව. ආයිමත් පීකර රංචුව ටවුමෙ තියෙන කඩවල්ඔල ගෝනියක් ගානෙ, බැරල්ලෙකක් ගානෙ, වැලක් ගානෙ, රාක්කයක් ගානෙ, ලාච්චුවක් ගානෙ බඩුමුට්ටුවල වරුණාව කියෝනව. ඒ අතරෙ
“කකුල් සිදෙනොව”


“වඩාගන්නකො”

“අයිස්කීමක් ඕනි”

“සටකජු ඕනි”

ආදී වසයෙං කනිපිංදං කියන්න පටං අරගෙන එයිං එකකට එක ගානෙ කන ඇඹරීමක්, කකුල පෑගීමක්, කොන්දට ගුටියක් ආදිය ලබාගන්න මට පුළුවං වෙනව. කලවානෙ ඉස්කෝලෙ ගාවිං පටංගෙන වැද්දගල පාරෙ, ඉස්පිතාල පාරෙ, මතුගම පාරෙ අහුමුලුවල තියෙන හැම කඩේකම වග විස්තර පීකරෙං කියල ඉවර වෙනකං අපිත් “සුවල්ප වෙලාවක්” බලා හිටියට පස්සෙ ආයිමත් සිංහල වෙද මහත්තය වගේ මනුස්සය මඩුව ඇතුලට එනව. මයික්කෙක තියෙන කණුවට කට දික්කරලා කතා කරනව. එයා කියන විදිහට අපි සෑහෙන වෙලාවක් පුලපුලා බලා සිටි අවස්ථාව උදාවෙන්නයි යන්නෙ. පස්සෙ වෙලාවක තේරුම අහගන්න ඒ වචනෙ මං මතක තියාගන්නව.
“අද දින මෙම දර්සනීය තොරන් රාජයා විවුර්ත කිරීමට පොල්තෙල් පහන දැල්වීමට මෙම ඉස්තානයට සැපත්වන ලෙස පොලිස් ඉස්තානාදිපති …………. මහතාට, ග්‍රාම නිලදාරී ……….. මහතාට………………………………..”
නිවේදකයා දිගටම කියාගෙන යනවා. ඒ විදිහට පුස්කැප් පිටුවක දෙපැත්තක් විතර කියවද්දි තඩි බඩගෙඩි තියෙන මිනිස්සු ඇවිල්ලා මඩුව ඇතුලෙ පිරෙන්න ගන්නව. ඉඩ මදි වෙච්ච අය දෙතුන් දෙනෙක් එලියෙත් පිරෙනව. නිවේදකයවත් පැත්තකට තල්ලු වෙනව. අන්තිම නමත් කියල ඉවර වෙනකොට මඩුව ඇතුලෙ ඉන්න අය අපි ආපු බස්සෙකේ සෙනග හිටියා වගේ හිරවෙනව. ආවතේවකාරයෙක් ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා මඩුව ඇතුලෙ ඉන්න අයට දෙනව. ඒගොල්ලත් ඉටිපන්දම අරං පානෙ තිර එක ගානෙ පත්තු කරනව. මඩුවෙ ඉන්න සෙනග බාගයක් තරම ඉවරවෙද්දි පානෙ තිර සේරම පත්තුවෙලා ඉවරයි. අනික් අය පත්තුවෙන තිරේකටම ආයිත් පාරක් ඉටිපන්දම අල්ලගෙන ඇති තරං වෙලා ඉඳල හිත හදාගෙන යනව. තාමත් තොරණෙ ලයිට් පත්තු වෙන්නෑ. ඒ ගමන නිවේදකයා මයික්කෙකට කට තියනව.
“ඔව්. දැන් පොල්තෙල් පහන දල්වා අවසානයි. තොරණේ විදිලි ආලෝකය දැන් දැල්වෙනවා ඇති.”
ඒත් තොරණෙ බලුප් පත්තු වෙන්නෑ. ආවතේවකාරයෙක් ඇවිල්ලා නිවේදකයගෙ කනට මොනවද කියනව. නිවේදකයත් සරම කැහැපොට ගහගෙන තොරණ පිටිපස්සට දුවනව. 
“මොන බඩකඩිත්තුවද්ද මංද”


“ඒකනෙ.”

“මෙවුන්ට මේකෙ බලුප් ටික පත්තු කොරගන්න ඔයි තරං අමාරුද”
තොරණ බලන්න ආපු අය ආයිමත් කටවල් අරිනව. තොරණෙ පින්තූර කොටු පේලි අතරින් ටෝච් එලි දෙක තුනක් එහෙ මෙහෙ හෙලවෙනව. තොරණෙ මොකක් නමුත් අඩුවක් වෙලා ඒක හදන බව තේරුං ගත්තු තොරණ බලන්න ආපු අයත් ඒක හදාගන්න උදව්වක් හැටියට තමුංගෙ අතේ තියෙන ටෝච් පත්තු කරලා තොරණ දිහාවට අල්ලනව. 
“වෑර් සෝට්ටෙකක්ලු”
සමහරු වැඩේ බරපතල කරලා වටේට ප්‍රචාරයක් යවනව. තොරණ හදන එක්කෙනෙක් බුදුපිලිමෙට යටිං තියෙන නෙලුම් මල අස්සෙං ඔලුව එලියට දාලා බෙරිහං දෙනව.
“ඔය ටෝච් ලබ්බවල් මෙහෙට දික් කොරන්නෙපා ඕයි. එළිය මූනට වැදුනහං මෙලෝ ලබ්බක් පේන්නෑ”
මිනිස්සු ටෝච් නිමාගන්නව.

“මුන්ට උදව් කොරන්න ගියත් වැරදියි”
ටෝච් අල්ලපු අය මූණ බෙරි කරගෙන ටෝච් කිහිල්ලෙ ගහගන්නව. 
ටික වෙලාවකිං බුදුරැස්මාලාව පත්තු වෙනව. වැඩිවෙලා යන්න කලිං තොරනෙ අනික් කොටු ටිකත් පත්තුවෙනව. තොරණ ඉස්සරහ බිම කණුවල හිටෝල තියෙන කොටු බලුප් ටිකත් කහපාටට පත්තු වෙලා තොරණෙ පින්තූර ටිකට එළිය දෙනව. 
“සාස් සාස් සාස් සා…………හක්”
තොරණ බලන්න අහිල්ල ඉන්න වයසක මිනිස්සු කරේ තියෙන සාලු අතට අරං ඔලුවට උඩිං වැඳගෙන සාදු කියනව. අපේ ආච්චි අම්මත් වැඳගෙන නමස්කාරය කියනව. 
“තොරං ඔල්ට වඳින්නෑ කියල උඹලෑ අම්මට කියහං මැණීකො”
අපේ අම්මා දැතිහුලහ නැංදට කියනව. උන්දැත් ඒක ආච්චි අම්මට කියනව
“අම්මෙ, තොරං ඔල්ට වඳින්නැහ්ලු. පංසලේ තියෙන එව්වට ඉතරලු වඳින්න ඕනි”
“ඉනඩුවයියාවයි මුම් මට පිනක් කොරගන්න දෙන්නැති හැටි.”
ආච්චි අම්මා නැන්දට මෙත්වඩලා ආයිමත් ගාතා කියන්න පටං ගන්නව.
“ඔන්නොහෙ ඕනෙකක් කොරගච්චාවෙ”
නැන්දයි අපේ අම්මයි ආච්චම්මව නොමග යන්න ඉඩ අරිනව. 
බුදු පිළිමෙ වටේ තියෙන රැස් වලල්ලෙ බලුප් ටික ඉරි වගේ රවුමට කැරකෙනව. ඒ විදිහට දෙපැත්තටම සෑහෙන වෙලාවක් කැරකිලා මැද ඉඳං වටේට මාලු කොරපොතු වගේ එව්වා විදින්න පටං ගන්නව. ආයිමත් සැරයක් රවුමෙ පිට ඉඳං ඇතුලට තුංහුලස් වගේ එව්වා විදිනව. තුංහුලස් වටේට කරකෝනව. රවුම අටට බෙදලා කුඩේ කරකවනව වගේ කරකවනව. 
පහල තියෙන පින්තූර වටේ බලුප් පේලිත් එ් විදිහට එක එක රටාවට පත්තු වෙනව. ගැරඬි රංචුවක් පින්තූරෙ වටේ යනව වගේ දිලිසෙන්න ගන්නව. ඊළඟට දෙපැත්තෙ ඉඳං මැදට එන එළි ටික මැදදි හැප්පිලා දෙපැත්තට විසිවෙනව. ආයිමත් කොටුවක් ඇර කොටුවක් පත්තු වෙලා කොටු ටික දෙපැත්තට දුවන්න ගන්නව. මේ රටා ටික බලා ඉඳිල්ල බොහොම පොඩි වෙලාවකදි මට එපා වෙනව. ඒ වුනාට අනික් අය ගුණවර්ධන මාමා පත්තරේ බලන තරම්ම උනංදුවෙන් තොරණ දිහා බලං ඉන්නව. 
“සාහ් සාහ් සාහ් සා……හක්”
අපේ ආච්චම්මා දෙයියන්ට පිං දීලා වඳින අන්තිම වැඳිල්ල වඳිනව. 
නිවේදකයා සරම පාත දාගෙන හෙමිං සැරේ කාර්යයාලය ඇතුලට එනව. එයා මයික්කෙකට පිඹලා දෙතුං පාරක් තට්ටු කරනවා. ලයිට් කණුවක් ගානෙ බැඳලා තියෙන ලයිස්පීකර් රංචුවත් පොල්කටු දෙකක් හැප්පෙන සද්දෙං මුළු ටවුමටම ඇහෙන්න “ටොහ් ටොහ්” කියනවා. ඉං පස්සෙ නිවේදකයා මයික්කෙකෙං සෑහෙන වෙලාවක් කියෝනව. එයා කියන හැටියට 


සිදුවූ කාර්මික දෝසය නියා ඇතිවූ අපහසුව ගැන සංවිධායක කමිටුව කියන එක හැමෝගෙම්ම සමාව ඉල්ලනවා. මේ වගේ විසාල අම්ම මුත්තගෙ කාලෙවත් තිවිච්චි නැති තරං පුදුමාකාර ලස්සන තොරණක් හදන්න සෑහෙන විසාල සල්ලියක් වියදං වෙනවා. මැණික් වෙළඳ වියාපාරිකයින්, නගරයේ වියාපාරික වෙළද මහතුන් ආධාර දුන්න හින්ද තමයි මේ තොරණ හදාගන්න පුළුවං වෙලා තියෙන්නෙ. මේ තොරණ පෙන්නන්නෙ සල්ලි ගන්නැතුව නිකං.  ඒ වුනාට රටේ අනික් තැංවල තොරං පෙන්නන්නෙ වහගෙන. සල්ලි දෙන අයට විතරයි පෙන්නන්නෙ. එහෙම නැතුව මේ තොරණ සම්පූර්ණෙංම වහුං ඇරලා නිකම්ම පෙන්නනවා. කැමති කෙනෙක්ට ඕන්නැං මේ කාර්යාලයට ආදහරයක් දීලා තමුංගෙ නමිං කවියක් කියෝලා පිං සිද්ද කරගන්න පුළුවං. එ් විදිහෙ කවි කියලා රබං ගහන්න පුළුවං කෙනෙක් වන අසුවල් කිවිඳුංට මෙතැන් සිට මයික්ර පෝනය බාරයි.


කොණ්ඩෙ උරෙස්ස ගානට වවාගෙන සාක්කු බර ගානක් තියෙන දනිස්ස ගාවට දිග කමිසෙකුයි කලිසමකුයි ඇඳගත්ත කෙනෙක් කාර්යයාලයට ඇතුල්වෙනවා. එයා මයික්කෙක ගාවට කිට්ටු කරලා නිල් පාටිං රබාන ගහන ගමං මේසෙ දිහා බලාගෙන රතු පාටිං කවියක් කියනව. ඒ සද්දෙ පීකර වලින් ටවුම පුරාම ඇහෙනව.
“දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  මුලු සිරිලක පරසිදු ඒ යසවද්දන ඉලෙක් ටිකල් 
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  හරි ලක්ෂණ තොරණක් මෙහි සාදා ලන්නෙය හැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
   සැම දෙනටම නොමිලෙම එය පෙන්වන්නෙය නැතිවම ලොල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
   ඔබෙ ආදාරය දෙන්නට මෙහි ඉඩකඩ ඇත සැමකල්
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්
  
වැඩිවෙලා යන්න කලිං කාර්යයාලය ඉස්සරහ නිව්ටම් පෙරේරගෙ තැබෑරුම ඉස්සරහ තිවිච්චි පෝලිමට වැඩි පෝලිමක්  හැදෙනව. හුඟක් වෙලාවට අම්මලා තාත්තලා සල්ලි දීලා පොඩි ළමයිංගෙ නං පීකරෙං කියෝනව. තව වැඩිකාලයක් ජීවත්වෙන්න බැරි තරං වයසක අයත් දිවියලෝකෙට ඇහෙන්න තමුංගෙ නම කියෝගන්න හැරමිටි ගගහ පෝලිමට රිංගගන්නව. විරිඳුකාරයගෙ උදව්වට කලිං හිටපු නිවේදකයත් එනවා. නිවේදකයා ආදාරය දෙන කෙනාගෙ නම අහල ලියාගෙන සල්ලි අරගෙන එයාගෙ නමයි විස්තරෙයි දීපු ගානයි පීකරෙං කියනව. 
“වැද්දාගල සිට පැමිණි ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාව තොරන් රාජෙයාට රුපියල් දහයකිං ආදාරයක් කන්නවා. ඇයටත් ඇගේ පවුලේ අයටත් නිදුක් නිරෝගී චිර ජීවනය පාත්තනා කන්නවා. ඇය නමිං මිය පල්ලොව ගිය සීලුම නෑදෑයින්ටත් මේ පිම්බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගි චිරජීවනය පාත්තනා කන්නවා.”
එතකොටම විරිඳු කාරයාත් රබානට තට්ටුවක් දාලා විරිඳුව පටං ගන්නව.
දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  වැද්දාගල සිට පැමිණිය ඩිංගිරි මැණිකේ අම්මා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  තොරණට ආසිරි පතමින් රුපියල් දහයක් දුන්නා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්
  ආයුස බල සැප සම්පත් තව තව ඇගෙ වැඩිවේවා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබටොට්ටොහ්
  මෙපින් බලෙන් නෑයොත් ඇගෙ නිවනට ගොස් සැනසේවා
  දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දබක් ටොක්”

හමුදාවෙ ඉඳලා මැරිච්ච අයගෙ පවුල්වල අයත් මේ පෝලිමේ ඉන්නවා. විරිඳු කාරයත් ඒ අයට වෙනම රබං පදයක් ගහලා කවි දෙකක්ම කියනවා.
“දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
රට වෙනුවෙන් දිවිපිදු අයියා…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
සිහි කරයි සමන්මලි නංගී…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
අයියාගේ ගුණකඳ සිහිවී…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
දෑසෙහි කඳුලැලි නැංවේවී…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්

දෙව්ලොව සිටිනා මගෙ අයියේ…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
ඔබ වෙනුවෙන් ආදාරය කරමි…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මේ පින් මගෙ අයියට එවමී…
දොහ් ටට් ටට් ටට් ටට් ටට් ටට්
මතු නිවනෙන් සැනසෙනු මැනවී…

ඒ කවිය අහගෙන අඬාගෙන යන ගෑනු කෙනා දැකලා අනික් අයටත් තමුංගෙ පවුල්වල මැරිච්ච අය මතක් වෙනවා. ඒ ගොල්ලොත් පෝලිමට එක්කහු වෙලා ලේන්සු ගැට ලිහන්න පටං ගන්නව.

%d bloggers like this: